අදත් (02) පැය අටහමාරක (8½) විදුලි කප්පාදුවක්

අදත් (02) පැය අටහමාරක (8½) විදුලි කප්පාදුවක්

*********************************************

අදත් (02) පැය අටහමාරක (8½) විදුලි කප්පාදුවක්

(02.04.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ඇනවුම් කරන ලද ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 5,500 ක් අන්තර්ගත නෞකාවක් ආපසු හැරී ගොස් තිබෙනවා.

ඒ එම ගෑස් ලබා ගැනීමට නිකුත් කල යුතු ඩොලර් මිලියන 5 ක ණයවර ලිපිය පවතින ඩොලර් අර්බුදය හමුවේ නිකුත් කිරීමට නොහැකි වීම හේතුවෙන්.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව එළඹෙන අලුත් අවුරුදු සමයේදී ජනතාවට ලාෆ් ගෑස් ලබාදීමට හැකියාවක් නොමැති බවයි.

මේ අතර ලබන සඳුදා (04) තවත් ගෑස් අඩංගු නෞකාවක් පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් අන්තර්ගත වන බවයි.

එමෙන්ම මේ වන විට ගොඩබා ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,800 බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර දිවයින පුරා සිදුකරන විදුලි කප්පාදුව අද (02) පැය 8½ දක්වා අඩු කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව අද (02) උදෑසන අටට පමණ දිවයිනට ළඟාවනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් සහ භූමිතෙල් මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ගේ පෝලිම් ඊයෙත් (01) පැවති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

එලෙස පෝලිම් වල රැඳී සිටිමින් අපහසුතාවයට පත් ජනතාව අදහස් පළ කළා ෴

+++++++++++

ඩීසල් නැවක් දිවයිනට – පස්වරුවේ සිට බෙදාහැරේ

(02.04.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

අද (02) දිනයේ දී මෙරටට ඩීසල් රැගත් නෞකාවක් පැමිණ තිබෙනවා.

ඒ අනුව අදාළ නෞකාව රැගෙන ආ ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000 ක් බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම ඩීසල් නෞකාව මෙරටට ලැබී තිබෙනවා.

ඒ අනුව අද (02) පස්වරුවේ සිට දිවයිනේ සියලුම ප්‍රදේශ වෙත මෙම ඩීසල් බෙදාහැරීමට පියවර ගන්නා බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

රට තුළ පවතින දැඩි තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට දෛනිකව සිදුවන විදුලි කප්පාදුව පවා පැය 10 ඉක්මවා යාමේ තත්ත්වයකට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් කාණ්ඩ වශයෙන් කලාපවලට බෙදා අදාළ විදුලි කප්පාදුවට අවසර දීමටයි මහජන උපයෝගීතා කොමිසම උපදෙස් ලබා දී ඇත්තේ.

කෙසේවෙතත් ඊයේ (01) දිනයේ දී මෙරටට එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් රැගත් නෞකාවක් පැමිණිය ද මෙරට රාජ්‍ය බැංකුවක් විසින් ඊට අදාළ ගෙවීම් කටයුතු කිරීමට අවශ්‍ය අමරිකානු ඩොලර් මිලියන 4.9 ක් සඳහා අවශ්‍ය ණයවර ලිපි විවර කිරීමට අවස්ථාව නොදුන් නිසා එම නෞකාව යළි ආපසු හරවා යවා තිබෙනවා.

ඉන්ධන අර්බුදය සහ ගෑස් අර්බුදය හේතුවෙන් තවදුරටත් දිවයිනේ පෝලිම් දැකිය හැකි අතර, තෙල් සහ ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් ජන විරෝධතාවන් ද හටගෙන තිබෙනවා ෴

+++++++++++

පාසල්වලට නිවාඩු ?

(02.04.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

විදුලිය විසන්ධි වීම හේතුවෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවට පත්වන බැවින්, ඔවුන්ට අප්‍රේල් 04 වැනිදා සඳුදා සිට නිවාඩු දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසනවා.

දිවයින පුරා මේ දිනවල දිනකට පැය 10 කට අධික කාලයක් ජනතාවට විදුලි භාවිතයෙන් තොරව කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මහජනතාවට සිය එදිනෙදා දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවන් තත්ත්වයක් තුළ දියි, සියලුම පාසල් සිසුන් හට ද විදුලි අර්බුදයට පාසල් අධ්‍යාපන කාලය තුළ මුහුණදීමට සිදුවන හෙයින් එය වළක්වාලීමට එළඹෙන සඳුදා (04) සිට නිවාඩු දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 වසරට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමුවන (1) වාරය සඳහා අප්‍රේල් 18 වනදා සඳුදා සිට 2022 මැයි මස 20 වැනිදා සිකුරාදා දක්වා දෙදිනම ඇතුළුව 2022 මැයි මස 21 වැනි දින සිට ජුනි 05 තෙක් 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.

එහි දෙවැනි (2) අදියර ජූලි මස 06 වැනි සඳුදා සිට 2022 ජූලි මස 08 වැනි සිකුරාදා දක්වා දෙදිනම ඇතුළුව ජූලි 09 සිට 17 තෙක් නිවාඩු හිමිවනු ඇති.

2022 වසරට රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් දිනකට පැය 01 බැගින් අමතර කාලයක් එකතු කර දින 139 ක් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මාසයේ දී හා සාමාන්‍ය පෙළ විභාගය 2023 වර්ෂයේ මුල් භාගයේ පැවැත්වෙනු ඇති.

+++++++++++

යළි පණ ගැන්වූ කෙරවලපිටිය

(02.04.2022 – 12:44 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

බලාගාර ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අවශ්‍ය ඉන්ධන අද (02) පෙරවරුවේ ලැබීමත් සමඟ ජනන කටයුතු යළි ආරම්භ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් උපදෙස් ලැබුණු බවයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයන් මෙගවොට් 200 ක් පමණ ජාතික පද්ධතියට මුදාහැරෙනවා ෴

+++++++++++

පෞද්ගලික බස් ධාවනය සියයට 10 ට බසී

(02.04.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් අද (02) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම ඉන්ධන ගොඩබෑමෙන් අනතුරුව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (02) පස්වරුවේ සිට ආරම්භ කිරීමට කටයුතු සැළසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් සති අන්තයේ දිනයක් වුව ද දිවයිනේ ප්‍රදේශ රැසකම අද (02) පෙරවරුවේත් දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර ඩීසල් අර්බුදය හමුවේ අද (02) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සිදුවන්නේ සියයට 10 ක ප්‍රතිශතයකින් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පෞද්ගලික බස් රථ භූමිතෙල් යොදාගෙන ධාවනය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ෴

+++++++++++

විදුලි අර්බුදයෙන් ජන ජීවිතයට දැඩි බාධා

(02.04.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවයට පත්වන බැවින් පාසල් නිවාඩුව ලබන 04 වනදා සිට ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා.

එම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම විසින්.

මේ අතර, දිවයින පුරා සිදු කරන විදුලි කප්පාදුව අද (02) පැය අට හමාරක් (8½) දක්වා අඩු කෙරුණා.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුව හේතුවෙන් පුද්ගලයින් රැසක් මේ වනවිටත් දෛනික වැඩ කටයුතු කර ගැනීමට නොහැකිව දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා.

දිවයිනට පැමිණි සංචාරකයින් ද මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින පිරිසට අයත්

කළුතර – පයාගල – ගෝමරන්කන්ද ප්‍රදේශයේ නිවසක ඊයේ (01) රාත්‍රී විදුලිය විසන්ධි වීමත් සමග එම නිවසේ දැල්වූ ඉටිපන්දම පෙරලීයාමෙන් නිවසේ කාමර කිහිපයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා.

එමෙන්ම අක්ෂි ආබාධයකින් පෙලෙන 78 හැවිරිදි පුද්ගලයෙකු ද පිලිස්සුම් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි කප්පාදුව නිසා හංවැල්ල සතොස ශාඛාව වසා දැමීමට සිදු වූ අතර එහි භාණ්ඩ මිල දී ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ලබන සඳුදා (04) මෙට්‍රික් ටොන් 3500 ක ලිට්රෝ ගෑස් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.

එම සමාගම ප්‍රකාශ කළේ මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළඳපොලට නිකුත් කරන බවයි.

මේ නිසා අලුත් අවුරුදු සමයේදී ජනතාවට ලිට්රෝ ගෑස් හිඟයකින් තොරව ලබා දිය හැකි බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරටට ඇනවුම් කරන ලද ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් අන්තර්ගත නෞකාවක් ආපසු හැරී ගියා.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

බණ්ඩාරවෙල – වැලිමඩ පිහිටි ගෑස් අලෙවිසැලක පෝලිමේ සිටින ජනතාවට එම අලෙවිසැල් හිමිකරු විසින් දින ගණනක සිට කෝපි, බිස්කට් ඇතුළු ආහාර පාන ලබාදීමේ පුවතක් ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

කෙසේ වෙතත්, හැටන් – ඩන්බාර් ප්‍රදේශයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයා ගෑස් සිලින්ඩරයක් ලබාදීමට ටෝකන් නිකුත් කර අමතර රුපියල් 400 ක මුදලක් අයකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ද ඇතිවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, තැඹිලි විකුණන පුද්ගලයෙකු ගෑස් පෝලිමක සිටින පිරිසකට නොමිලේ තැඹිලි බෙදීමේ පුවතක් ද මාතර ප්‍රදේශයෙන් වාර්තා වුණා ෴

***************************************

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් විසි (20) දෙදෙනෙකුට ඇප – හයක් (6) රිමාන්ඩ්

(02.04.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතම ආවරණය වන පරිද්දෙන් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද (02) උදෑසන හය (6) දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

කෙසේ වෙතත් එය මේ වනවිට ඉවත් කර තිබෙනවා.

මේ අතර මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ආසන්නයේ පසුගියදා සිදු වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 53 දෙනාගෙන් 28 දෙනෙකු ඊයේ (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් 22 දෙනෙකුට ඇප හිමිවූ අතර, සෙසු හයදෙනා (6) අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම සඳුදා (04) දිනයේදී ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ද ඒ අතර වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දත්ත සහ අනෙකුත් තාක්ෂණික සාක්ෂි උපයෝගී කරගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඊට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන අතර කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මෙන්ම පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, ඇඟිලි සලකුණු කාර්යංශය හා පොලිස් තොරතුරු තාක්ෂණ නිලධාරීන් ද සහායට යොදවා තිබෙනවා.

සිද්ධියෙන් වාහන සහ දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 39 කට ආසන්න බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

මේ අතර මොරටුව නගරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා ඊයේ (01) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවනු ලැබූවා.

මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් ඇතුලු පිරිසක් ගාලු පාර අවහිර කරමින් එම විරෝධතාවය ආරම්භ කළේ ඊයේ (01) දහවල් කාලයේයි.

විරෝධතාකරුවන් ඊයේ (01) පස්වරුවේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවස අසලට පැමිණ ඊට ගල් ප්‍රහාර එල්ල කිරීමටත් සමග නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා.

එමෙන්ම ජීවන වියදම ඇතුලු ගැටලු වලට විසඳුම් ඉල්ලා ඊයේ (01) රාත්‍රියේ පන්දම් දල්වා බේරුවල දී ද විරෝධතාවයක් පැවැත්වුණා.

විරෝධතාවය හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය බේරුවල නගරයෙන් අවහිර වු බවයි අප වාර්තාකරු පැවසුවේ.

මීට අමතරව නුගේගොඩ – විජේරාම මංසන්ධියේදී ද පන්දම් දල්වමින් ඊයේ (01) රාත්‍රියේ විරෝධතාවක් ක්‍රියාත්මක වුණේ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විරෝධය පළ කරමින් ෴

***************************************

විරෝධතාවල දී දේපළ හානි කළහොත් නීතිය තදින් – මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

(02.04.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවල දී දේපළ හානි සිදු කළහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ සාමකාමී විරෝධතා සිදු කිරීමට රජයෙන් කිසිදු බාධාවක් නොමැති බවයි.

එමෙන්ම මිරිහාන ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ආසන්නයේ පසුගියදා සිදුවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 53 දෙනාගෙන් 28 දෙනෙකු ඊයේ (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් 22 දෙනෙකුට ඇප හිමිවූ අතර, තවත් හයදෙනෙකු (6) අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම සඳුදා (04) දිනයේදී ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනෙකුත් සැකකරුවන් මාළිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන ලෙසද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

මේ අතර මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ද ඒ අතර වුණා.

මේ අතර ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී ලෙස විරෝධතාවල නිරතවීමේ අයිතියක් පවතින අතර, එය, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන් පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව තමන් පරීක්ෂාවෙන් පසුවන අතර, ඉදිරි දිනවල දී සියලු පාර්ශවයන් වෙතින් සාමකාමී පාලනය වූ තත්වයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මෙරට ආර්ථික ස්ථාවර භාවය සහ පීඩාවට ලක්ව සිටින ජනතාවට සහනයක් හිමිවීම තම අපේක්ෂාව බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හැනා සිංගර් හම්ඩි ද මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එහිදී ඇය සඳහන් කළේ මෙරට වර්ධනයන් පිළිබඳව තමන් අධීක්ෂණයෙන් පසුවන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් කණස්සල්ලට පත්වූ බවයි. එමෙන්ම සියලු පාර්ශ්වයන් වෙතින් සියලු කණ්ඩායම් වෙතින් සංයමයක් අපේක්ෂා කරන බව ඇය සඳහන් කළා ෴

***************************************

අදත් (02) තැන තැන විරෝධතා

(02.04.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාම, පැය ගණනක විදුලි කප්පාදුව, ගෑස්, ඉන්ධන, කිරිපිටි, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට එරෙහිව අදත් (02) දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වෙනවා.

පන්නිපිටිය මංසන්ධියේ අද (02) පෙරවරුවේ නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වූ පිරිසක් විසින්. එමෙන්ම නෙළුව නගරයටද තරුණ පිරිස් රැස්ව අද (02) පෙරවරුවේ සිට විරෝධතාවයේ නිරත වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල විරෝධතාවයක් ඊයේ (01) රාත්‍රියේ පැවැත්වුණේ නුගේගොඩ විජේරාම ප්‍රදේශයේදීයි.

කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලදී ද ඊයේ (01) රාත්‍රියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුනේ විදුලි කප්පාදුවට සහ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පල කරමින්. එම ගැටලු මුල් කර ගනිමින් වත්තල – ඇලකන්ද ප්‍රදේශයේදීද විරෝධතාවයක් පැවැත්වුණා.

බලපිටිය ප්‍රදේශයේ ඊයේ (01) රාත්‍රියේ විරෝධතාවයක් පැවැත්වුණේ පන්දම්, පහන්, ඉටිපන්දම් සහ බකට් දල්වමින්.

ඉන්ධන හිඟය සහ පවතින පොහොර හිඟයට විරෝධය පල කරමින් කරන්දෙණිය – ඌරගහ – බොරලුකැටිය ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් ද උද්ඝෝෂණයක නිරත වුණා ෴

***************************************

ජා ඇළත් මාර්ගයක් හිර වෙයි – ජනතාව වීදි බසියි

(02.04.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ජා ඇළ – කනුවන මංසන්ධිය අසල සිදු කරන විරෝධතාවක් හේතුවෙන් අද (02) දිනයේ දී දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

රට තුළ දරාගත නොහැකි ආර්ථික අර්බුදවලට ජනතාව විසින් කඩිනම් විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

මේ අතර අදත් (02) දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණේ පවතින ආර්ථික පීඩනයට එරෙහි වෙමින් ෴

***************************************

අප්‍රේල් 04 තෙක් දිවයිනට ම ඇඳිරිනීතිය

(02.04.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

අද (02) පස්වරු 6 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අප්‍රේල් 04 සඳුදා උදෑසන 6 දක්වා එය බලාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *