අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

*********************************************

අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

(01.04.2022 – 15:19 +0530 – hirunews.lk/sinhala)

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදූලිය මහජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන තොග වහා ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ, එම අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එහි මුදල් මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කාර මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ අනාගතයේ දී මතුවිය හැකි බලශක්ති අර්බුදයක් පිළිබඳව තමන් 2016 වසරේ සිට රජයේ බලධාරීන් හා ආයතන වෙත වරින්වර උපදෙස් නිකුත් කිරීමත් සිදුකළ බවයි.

2015 වසරින් පසුව මහා පරිමාණ විදුලි උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක් සිදු නොවූ බව පෙන්වා දෙන පෙත්සම්කාර කොමිසම එවැනි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස තමන් විසින් රජයේ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබු බවත් පවසනවා.

එහෙත් වර්තමානයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇතැයි පෙන්වා දෙන එම කොමිසම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවත් සඳහන් කරනවා.

ඉදිරි අප්‍රේල් මස අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න මුදලක් අවශ්‍ය වන බවත් එම කොමිසම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

අඛණ්ඩව විදුලිය සැපයීමට නොහැකි වීම හේතුවෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අඛන්ඩව විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග මිල දී ගැනීම සඳහා වහාම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ එහි මුදල් මණ්ඩලය වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

++++++++++

හෙට (02) දිනයේ පැය 8½ ක විදුලි කප්පාදුවක්

(01.04.2022 – 16:56 +0530 – hirunews.lk/sinhala)

බලාගාර පවත්වාගැනීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා සිදු කරන විදුලි කප්පාදුව හෙට (02) දිනයේදී පැය 8½ දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් සහ භූමිතෙල් මිල දී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ගේ පෝලීම් අදත් (01) පැවති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

මෙවන් පසුබිමක ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් අඩංගු නෞකාව අද (01) රාත්‍රි 11:30 ට පමණ මෙරටට පැමිණෙනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ලබන සඳුදා (04) ගෑස් අඩංගු නෞකාවක් පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් අන්තර්ගත වන බවයි.

එමෙන්ම, මේ වනවිට ගොඩබා ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,800 බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ද ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, පවතින විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට විරෝධය පල කරමින් අද (01) දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

මොරටුව වඩු කාර්මිකයින්, ගාල්ලේ ධීවරයින් මෙන්ම පුත්තලම ලොරි රථ රියදුරන් ඇතුලු පිරිස් පැවැත් වූ විරෝධතා හේතුවෙන් එම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයන්හි වාහන ගමනාගමනයට එල්ල වුණේ දැඩි බාධාවන්.

මොරටුවේ පැවති විරෝධතාවයේ දී විරෝධතාකරුවන් අද (01) පස්වරුවේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, නගරාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ වඩු කාර්මිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමග දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කළ බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද වැල්ලවාය – කිරිඉබ්බන්ආර මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රශාලා පරිශ්‍රයේ පැවති රැකියා ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේ දී එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ පිරසක් විසින් හූ හඬ නගමින් මන්ත්‍රීවරයාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම උත්සවය රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ද සහභාගී වීමට නියමිතව තිබුණා.

ABCDEF
8 am – 12 pm අතර පැය 04 ක්
4 pm – 7 pm අතර පැය 03 ක්,
9 pm – 10:30 pm අතර පැය 1:30 ක් ද,

GHIJKL
12 pm – 4 pm අතර පැය 04 ක්
6 pm – 9 pm පැය 03 ක්
10:30 pm – 12 am අතර පැය 1:30 ක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

++++++++

+ https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

++++++++

ණයවර ලිපි අහිමි වීමෙන් ආ ගෑස් නැව යළි යයි

(01.04.2022 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා මෙරට රාජ්‍ය බැංකුවක් විසින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට සිදු කළ යුතු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් එම ගෑස් නෞකාව භාර ගැනීමට නොහැකි වූ බව ‘ලාෆ් ගෑස්’ සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව මෙරටට ආ එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් අඩංගුව ගෑස් නෞකාව ආපසු හරවා යවා තිබෙනවා.

අමරිකානු ඩොලර් මිලියන 4.9 ක ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ව ඇති අතර ඒ සඳහා අදාළ රාජ්‍ය බැංකුව විසින් අවසර ලබා නොදීමෙනුයි මෙම ගැටලුව පැන නැගී ඇත්තේ.

මේ හේතුවෙන් උත්සව සමයේ දී ගෑස් සැපයීම සිදු කිරීමට නොහැකි බව ද ‘ලාෆ් ගෑස්’ සමාගමේ සභාපති වෑගපිටිය සඳහන් කළා ෴

***************************************

තීරුබදු නොගෙවා මෙරටට හොර පාරේ ගෙන ආ දුම්වැටි තොගය

(01.04.2022 – 20:31 +0530 – hirunews.lk/sinhala)

තීරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ විශාලතම දුම්වැටි තොගය අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමක දී හැකි වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරක් අනුව සිදු කරන ලද වැටලීමක දී මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සමග මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු (5) ද අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වුණා.

අද (01) පස්වරුවේ සිදු කරන ලද මෙම වැටලීමේ දී නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි ඇසිරූ බහාලුමක් සොයා ගැනුණු අතර, ඒවා ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට, මුදවා ගත් ඒවා බවටයි සැක කෙරෙන්නේ.

මෙම කූඨ ජාවාරම සඳහා එකම වර්ගයේ, එකම වර්ණයෙන්, යුත් එකම ලියාපදිංචි අංක තහඩු සවි කරන ලද බහාලුම් රථ 02 ක් යොදාගෙන තිබෙනවා.

මින් එක් බහාලුමක පිටරටින් ආනයනය කරන ලද රෙදිපිළි තොගයක් ගබඩා කර තිබුණු අතර, එම බහාලුම් රථය පරීක්ෂාවට ලක් කරන අතරතුරදියි, එම රථයටම සමාන අනෙක් රථය යොදාගෙන මෙම දුම්වැටි සහිත බහාලුම වරායෙන් පිටකර ඇත්තේ.

ඉතාම සූක්ෂ්ම ලෙස සිදු කරගෙන ගොස් ඇති මෙම ජාවාරම දීර්ඝ කාලීන බුද්ධි තොරතුරු රැස් කිරීමකින් අනතුරුව වැටලූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙම බහාලුමේ දුම්වැටි ඇසුරුම් ලක්ෂ 02 ක තිබූ දුම්වැටි ලක්ෂ 40 ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ තීරුබදු රහිත වටිනාකම රුපියල් මිලියන 280 ක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මෙම ජාවාරම හරහා පමණක් වරකට ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 200 කට අධික බදු මුදලක් අහිමි වන බවත්, එම වාර්තාවේ සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වයස අවුරුදු 29 ත් 48 ත් පසුවන්නන්.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් (2)

(01.04.2022 – 16:45 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් (2) මෙරටින් වාර්තා වනවා. ඊයේ (31) දින වාර්තා වූ මෙම මරණ දෙකත් (2) සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 16,479 ක් දක්වා ඉහළ යනවා ෴

+++++++++++++

නව ආසාදිතයින් 150 ක්

(01.04.2022 – 21:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 150 දෙනෙකු අද (01) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,61,781 ක් සීමාවට පැමිණ ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,046 ක් වන අතර, සිදු වූ මරණ සංඛ්‍යාව 16,479 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *