මිරිහාන විරෝධතාවයේ විමර්ශන රහස් පොලිසියට – දේපල හානිය රුපියල් මිලියන 39 ක්

මිරිහාන විරෝධතාවයේ විමර්ශන රහස් පොලිසියට – දේපල හානිය රුපියල් මිලියන 39 ක්

*********************************************

මිරිහාන විරෝධතාවයේ විමර්ශන රහස් පොලිසියට – දේපල හානිය රුපියල් මිලියන 39 ක්

(01.04.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ (31) සිදු වූ කලහකාරි සිද්ධියේ දී වාහන සහ දේපලවලට සිදු වූ හානිය රුපියල් මිලියන 39 කට ආසන්න බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව විසින් සිදුකරන බවයි.

ඒ සම්බන්ධයෙන් කාන්තාවක ඇතුලු පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

එසේම, විරෝධතාවට එක්වූ සිවිල් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය අතරතුර පොලිස් නිලධාරින් 24 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන් 18 දෙනෙකුම පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින්.

එසේම, සිද්ධිය වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ද තුවාල ලැබූ අතර, ඔහුට පහරදීමක් ද සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස රඳවා සිටි මිරිහාන පොලිස් ස්ථානයට අද (01) පෙරවරුවේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ද පැමිණ තිබුණා.

සැකකරුවන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර මේ වනවිට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු නොකරන අතර, දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපල යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

+++++++++++++

මිරිහාන සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ පෙනී සිටිමට නීතිඥයින් පෙළගැසෙයි

(01.04.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) සවස් කාලයේ මිරිහානේ ජනාධිපතිවරයා ගේ නිවස ආසන්නයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් විශාල පිරිසක් ගංගොඩවිල උසාවියට පැමිණ ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඒ අතරේ කාන්තාවක් ද සිටිනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (01) දින ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර ඔවුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා පණිවිඩ හුවමාරු කරගනිමින් ඒකරාශී වී තිබෙනවා.

එහි සිටින අප වාර්තාකරු සඳහන් කරන්නේ මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් 54 දෙනා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයින් තුන්සියයකට (300) ආසන්න පිරිසක් පැමිණ ඇති බවයි.

+++++++++++++

මිරිහානේ සිද්ධියට සම්බන්ධ අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු වැටෙයි ද ?

(01.04.2022 – 18:49 +0530 – hirunews.lk/sinhala)

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස ඉදිරිපිට ඊයේ (31) කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට අදහස් නොකරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අද (01) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ සහ පොදු දේපල නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

ඊයේ (31) සවස මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ප්‍රවිශ්ට වන මාර්ගය ඉදිරිපිට විරෝධතා කරුවන් පිරිසක් විසින් පැය හයකට (6) අධික කාලයක් විරෝධතා දැක්වූ අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මෙම විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් විසින් බස් රථ දෙකක් (2), පොලිස් ජීප් රථයක් (1), සහ යතුරු පැදි දෙකකට (2) ගිනි තබා හානිකර තිබුණා.

මෙම කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් පුද්ගලයින් 54 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (01) දින ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++

මිරිහාන අරගලයේ 22 දෙදෙනකුට ඇප – තවත් පිරිසක් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

(01.04.2022 – 23:25 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන – නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ දී පැවති විරෝධතාවයෙන් අනතුරුව අත් අඩංගුවට ගත් පුද්ගලයින් 22 දෙදෙනකුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

ඒ අනුව තවත් සැකකරුවන් 06 දෙනෙකුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම සයදෙනා එළඹෙන සඳුදා (04) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණා ෴

+++++++++++++

බස්නාහිර පළාතටම ඇඳිරිනීතිය පැනවේ

(01.04.2022 – 22:11 +0530 – hirunews.lk/sinhala)

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (02) පෙරවරු 06 දක්වා බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ඊයේ (31) රාත්‍රියේ දී මිරිහාන ප්‍රදේශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට අරගලකරුවන් විසින් සිදු කරන ලද කළහකාරී ක්‍රියාකාරකම් හේතුවෙනුයි, වැඩිදුර පරීක්ෂණ කටයුතු සහ කළහකාරීත්වය පාලනය කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ.

වත්මන් රජයේ ක්‍රියාකාරකම්වලට සහ ජන ආර්ථික පීඩනයට විරුද්ධව මහජනයා විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට වරින් වර වීදි බැස අරගල කරන අයුරු දක්නට පුළුවන්.

ඒ අනුව අද (01) දිනයේ දී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බේරුවල ප්‍රදේශයේ ද , පුත්තලම නගරයේ ද , විජේරාම ප්‍රදේශයේ ද දැඩි විරෝධතාවක් ජනතාවගේ රැස්වීමෙන් යුතුව ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙනුයි පොලීසිය විසින් ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා බස්නාහිර පළාතටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ ෴

+++++++++++++

ගෑස් ගැන මගේ නෝනගෙන් අහන්න – ඇමති කෙහෙළිය

(01.04.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

මිරිහානේ සිදුවීම පිටුපස ඇත්තේ දේශපාලන අන්තවාදය බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර, මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ (31) පැවති විරෝධතාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම විරෝධතාවයේ නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළේ යැයි අනාවරණ වී ඇති බවයි.

යකඩ මුගුරු, කැති පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන – පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වයක් ඇති කර තිබෙන බව එමඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔවුන් ‘අරාබි වසන්තයක් මෙරට ඇති කරමු’ ලෙස හඬ නගමින් මෙම උද්ඝෝෂණය මෙහෙයවා ඇති බව ද එමඟින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඉතා සැළසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාව කෝප ගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්වය සිදුකර ඇති බවට අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණ වී ඇති බවයි එහි සඳහන් වන්නේ.

+++++++++++++

මොරටුව නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක්

(01.04.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala)

මොරටුව නගරාධිපති, සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවස අසළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ, විරෝධතාකරුවන් පිරිසක් නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට රැස්වී විරෝධතාවක් දියත් කිරීමට සැරසීමත් සමග යි.

මේ අතර, එම විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් විසින් මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු පසුගිය දිනවල රජය මගින් දියත් කළ, දීප් ව්‍යාප්ත කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තුළදී දේශපාලන දැන හැදිනුම්කම් මත කොවිඩ් එන්නත ලබා දීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක් වූ පුද්ගලයෙක්.

එමෙන්ම, අද (01) මොරටුව නගරයේදී වඩු කාර්මිකයින් විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය තුළදීත් ඔහුට බරපතල ලෙස චෝදනා එල්ල කෙරුණා.

මේ අතර, නගරාධිපතිවරයාගේ නිවස අසල ඇති වූ කළහකාරී තත්ත්වය සමනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ.

සමන් ලාල්ගේ නිවසට යළිත් ගල් ප්‍රහාර

(01.04.2022 – 22:58 +0530 – hirunews.lk/sinhala)

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මේ වනවිට යළිත් (01) ඇති වී තිබෙනවා.

මේ වනවිට විරෝධතාකරුවන් නගරාධිපතිවරයාගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

අද (01) පස්වරුවේ සිට මෙම කළහකාරී තත්ත්වය ඇති ව තිබෙනවා.

එම තත්ත්වය පාලනය කිරීමට නගරාධිපතිවරයාගේ නිවස අසලට පොලිස් විශේෂ කාර් ය බලකාය ද යෙදවීමට පියවර ගත්තා ෴

+++++++++++++

බේරුවල නගරයේ විරෝධතාවක්

(01.04.2022 – 20:13 +0530 – hirunews.lk/sinhala)

බේරුවල නගරයේ මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙන බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ගාලු පාරේ රථවාහන ගමනාගමනයට පවා දැඩි බාධා එල්ල වී ඇති බවයි ෴

+++++++++++++

ශෂීන්ද්‍රටත් කළු කොඩි එසවෙයි – චාමරට බිත්තර ප්‍රහාරයක්

(01.04.2022 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ පැවැති රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබූ රැස්වීමකට බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක පැමිණීමේ දී උණුසුම් තත්ත්වයක් මතු වී තිබෙනවා.

මෙම උත්සවයට ශෂින්ද්‍ර රාජපක්ෂගේ පැමිණීම සම්බන්ධයෙන් ද කළු කොඩි ඔසවා විරෝධතාවයක් සංවිධානය කර තිබීම හේතුවෙනුයි රාජ්‍ය අමාත්‍යවරයා එම උත්සවය මඟ හැර ඇත්තේ.

කෙසේ වෙතත්, බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් එම අවස්ථාවට සහභාගී වී ඇති අතර, ඔහුට ද උත්සව භූමිය තුළදී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන්, සහතික පත්‍ර ලබා දීමේ කටයුත්තටත් නොසිට ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි, මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරින් කටයුතු කර තිබුණේ.

ඔහු උත්සව භූමියෙන් ඉවතට පැමිණෙද්දි එම උත්සවයට පැමිණ සිටි පිරිස මන්ත්‍රීවරයා ගමන් ගත් රථය හරස් කර එයට විරෝධය දක්වා ඇති අතර බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකෝපකාරී පිරිස් අතරින් මන්ත්‍රීවරයා රැගත් ජීප් රිය ගමන් ගනිද්දී ඔහුට දැඩි හූ හඬක් ද එල්ල වූ බවයි අපගේ ප්‍රාදේශීය වාර්තාකරු හිරු ප්‍රවෘත්ති සමඟ සඳහන් කළේ.

+++++++++++++

කැබිනට් මණ්ඩලයත් ‘ෆේල්’, වහාම භාරකාර රජයක් පිහිටුවන්න ! පක්ෂ 11 සන්ධානය ඉල්ලයි

(01.04.2022 – 16:35 +0530 – hirunews.lk/sinhala)

වත්මන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආණ්ඩුවේ පක්ෂ 11 ක සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ පවතින කැබිනට් මණ්ඩලයට සහ මැති ඇමතිවරුන්ට මේ වන විට රටේ මහජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනා ගැනීමට නොහැකිව ඇති බවයි.

රට අරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ නොදී වහාම කැබිනට් මණ්ඩලය විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගත යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

+++++++++++++

භාරකාර ආණ්ඩුවක් නැත්නම් තනතුරු අතහරිනවා – දයාසිරි

(01.04.2022 – 21:21 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

එම තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, සිය අමාත්‍ය තනතුරුවලින් ඉවත් ව ස්වාධීන ව කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බවයි මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

+++++++++++++

මහජන ආරක්ෂාව වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(01.04.2022 – 23:53 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදියි.

Extraordinary Gazette :
2273/86 – 2022-04-01 – Presidential Secretariat – Public Security Ordinance (Chapter 40)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *