අදත් (01) පැය 12 ක් විදුලිය කැපෙයි

අදත් (01) පැය 12 ක් විදුලිය කැපෙයි

*********************************************

අදත් (01) පැය 12 ක් විදුලිය කැපෙයි

(01.04.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

අද (01) දිනයේදීත් දිවයිනටම බලපාන පරිදි පැය 12 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

• ඒ අනුව A B C D E F P Q R සහ S කලාපවලට අලුයම 4 සිට පෙරවරු 6 දක්වාත්, පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වාත්, පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත් විදුලිය විසන්ධි කෙරෙනවා.

• G H I J K L T U V සහ W කලාපවලට පෙරවරු 6 සිට පෙරවරු 8 දක්වාත්, මධ්‍යහ්න 12 සිට පස්වරු 4 දක්වාත්, පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත් පැය 12 ක් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.

• M N O X Y සහ Z යන කලාප සඳහා විදුලිය කප්පාදු කෙරෙන්නේ, අලුයම 05:30 සිට පෙරවරු 9 දක්වා සහ පස්වරු 4 සිට පස්වරු 6 දක්වා කාලයේදී යී.

• පෙරවරු 06:00 සිට පෙරවරු 09:30 දක්වා කාලයේ දී කොළඹ නගරයට විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර, ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගෙන පැමිණෙන නෞකාව අද රාත්‍රියේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියේ එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඉන් අනතුරුව සිදු කෙරෙන බවයි.

එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් සහිත නෞකාවක් මෙතෙක් ඩොලර් ගෙවීම් සිදු නොකිරීම නිසා තවදුරටත් නැංගුරම් ලා ඇති බවද ඇය සඳහන් කළා. අදාළ නෞකාව පසුගිය 22 වැනිදා මෙරටට ළඟා වී ඇති අතර, මේ වනවිට කොළඹ වරායට ආසන්නව නැංගුරම් ලා තිබෙනවා. අදාල ගෙවීම් කටයුතු මේ වනවිට සුදානම් කරමින් සිටින බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

+++++++++++

පෞද්ගලික බස් ධාවනය ගැන සංගම්වලින් අනතුරු ඇඟවීමක්

(01.04.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

අද (01) දිනයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය අවම වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් 15% ක් පමණක් ඊයේ (31) දිනයේදී ධාවනය කෙරුණු බවයි.

කෙසේ වෙතත්, ඩීසල් නොලැබීම හේතුවෙන් එය අද (01) දිනයේදී තවදුරටත් පහත වැටෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඩීසල් නොමැති වීම හේතුවෙන් ආනයන අපනයන බහාළුම් ප්‍රවාහන රථ 75% ක් පමණ මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

සමස්ත ලංකා බහාළුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල සඳහන් කළේ මේ හේතුවෙන් අපනයන බහාළුම් නියමිත වේලාවට නෞකා වෙත ප්‍රවාහනය කිරීම ගැටලුවක් වී ඇති බවයි ෴

+++++++++++

ඩීසල් ඉල්ලා පුත්තලමේ විරෝධතාවක්

(01.04.2022 – 09:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – පුත්තලම මාර්ගය මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ලොරි රථ රියදුරන් පිරිසක් අද (01) උදෑසන විරෝධතාවක් ආරම්භ කළා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මදුරන්කුලිය – මුන්දලම සමූපකාර සමිතියට අයත් පිරවුම්හලෙහි ගබඩා කර ඇති ඩීසල් ලීටර 3,000 ක් ඉන්ධන නොමැති ලොරි රථ රියදුරන් සඳහා නිකුත් කරන ලෙසයි.

දින පහක (5) සිට ප්‍රදේශයේ ලොරි රථ රියදුරන් මෙලෙස ඉන්ධන පිරවුම්හල අසළ දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

පසුව ඔවුන් අද (01) පෙරවරුවේ මහා මාර්ගයේ බිම වාඩිවෙමින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂනයේ නිරතවන බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ ෴

+++++++++++

අද (01) පස්වරුවේ පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු

(01.04.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

අද (01) පස්වරුව වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු කියා සිටියේ අද (01) උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලැබුවේ සියයට 10 ක පමණ අඩු සංඛ්‍යාවක් බවයි.

මේ අතර, රජය පොරෙන්දු වූ පරිදි පෞද්ගලික බස් රථ වලට ඩීසල් ලබා නොදීමට එරෙහිව නුවරඑළිය නගරයේ දී විරෝධතා පා ගමනක් පැවත් වුණා.

නුවරඑළිය බස්නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන ග්‍රෙගරි වැව පරිශ්‍රය දක්වා පැමිණි අතර, ඒ වනවිට එම පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබූ වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය අතරමග නතර කිරීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව විරෝධතාකරුවන් නුවරඑළිය – වැලිමඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

එමෙන්ම ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය ධීවර වරාය ඉදිරිපිටින් අවහිර කරමින් ධීවරයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ පවතින ඉන්ධන අර්බුදය හා විදුලි කප්පාදුව හමුවේ තම ජීවනෝපායට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන්.

මේ අතර, කොළඹ – පුත්තලම මාර්ගය මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ලොරි රථ රියදුරන් පිරිසක් අද (01) උදෑසන විරෝධතාවක් ආරම්භ කළා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මදුරන්කුලිය – මුන්දලම සමූපකාර සමිතියට අයත් පිරවුම්හලෙහි ගබඩා කර ඇති ඩීසල් ලීටර 3,000 ක් ඉන්ධන නොමැති ලොරි රථ රියදුරන් සඳහා නිකුත් කරන ලෙසයි.

එමෙන්ම, මොරටුව – කුරුස හන්දියෙන් ගාලු පාර අවහිර කරමින් වඩු කාර්මිකයින් පිරිසක් විරෝධතාවක නිරතවනවා.

කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මෙන්ම විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන බව සඳහන්.

මේ හේතුවෙන් ගාල්ල දෙසට වන මංතීරුව අවහිර වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

+

@@@@@@@@@@@@

ඖෂධ හිඟයෙන් රෝහල්වල ප්‍රතිකාර කටයුතු සීමා කෙරේ

(01.04.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පවතින ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය හමුවේ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සීමා කිරීමට රෝහල් පරිපාලන අංශ තුළ සාකච්ඡා ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ රෝහල් තුල අත්‍යවශ්‍ය ඖෂධ රැසක තොග පවතින්නේ ඉදිරි සතිය සඳහා පමණක් බවට තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විෂය භාර රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන ගෙන් අප කල විමසීමක දී ඔහු කියා සිටියේ, අවශ්‍ය ඖෂධ තොග රෝහල් වෙත ලබාදීම සම්බන්ධයෙන් අද (01) උදෑසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ හදිසි සාකච්ඡාවක් පවත්වන බවයි ෴

***************************************

කබ්රාල් මුදල් කාරක සභාව හමුවට

(01.04.2022 – 08:06 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (01) රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙලෙස කැඳවා ඇති බවයි ඔහු කියා සිටියේ.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට පසුගිය 24 වැනිදා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මීට පෙර ප්‍රකාශ කළා.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

මහ බැංකු අධිපතිවරයා, එහි උසස් නිලධාරීන්, මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් පසුගිය 24 වැනිදා එහි කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයින්ටද කාරක සභාවට සහභාගිවීමට නොහැකි බව දන්වා මහ බැංකුව විසින් ලිපියක් යොමුකර තිබුණා ෴

***************************************

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(01.04.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් එම පක්ෂ මූලස්ථානයේදී අද (01) පස්වරු පහට (5) පැවැත්වෙනවා.

රටේ උද්ගතව ඇති තත්ත්වය සහ ජනතාව මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තීරණය කෙරෙන බවයි නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්ද ඊයේ (31) පස්වරුවේ පවත්වා තිබුණා. ඒ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ අමාත්‍යාංශ කාර්යාලයේදීයි ෴

***************************************

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ උපවාසය අද (01) 2 වන දිනටත්

(01.04.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දිවයින පුරා ආරම්භ කළ වර්ජනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අසල ආරම්භ කළ උපවාසය අද (01) 2 වන දිනටත් ක්‍රියාත්මකයි. එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ සිය ගැටලුවට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඊයේ (31) මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව පවසමින්.

එමෙන්ම, සිය උසස් වීම් ගැටලුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 06 වනදායින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් තිලකරත්න ඊයේ (31) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වසර 5 කට සහ 7 කට වරක් උසස් වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදී ඊට අදාල චක්‍ර ලේඛය නිකුත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන නොමැති බවයි.

මේ අතර, විකිරණ ආරක්ෂණය පිළිබඳ සේවා වෙනත් වෘත්තියකට පැවරීමට විරෝධය පළ කරමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ දින 2 ක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා ෴

***************************************

පාසල් පෙළපොත්වල ඇතුළත් අන්තවාදී ඉගැන්වීම් ගැන වාර්තාවක්

(01.04.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

ඊජිප්තුවේ තහනම් ත්‍රස්ත නායකයෙකුගේ පොත්පත් අමතර කියවීම් ලෙස ගුරු අත්පොත්වල නිර්දේශ කර ඇති බව ‘එක රටක්, එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ අනාවරණ වී තිබෙනවා.

ඒ, මෙරට අධ්‍යාපන විෂය නිර්දේශයන් හි පවතින අන්තවාදයට තුඩුදෙන ඉගැන්වීම් පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මධ්‍යස්ථ මුස්ලිම් මතධාරීන් කර ඇති ඉල්ලීම් පිළිබඳ අධ්‍යාපන ලේකම්වරුන් කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

අදාළ ඉගැන්වීම් පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගෙන සිය දරුවන් අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් බේරාදෙන ලෙසයි එම මුස්ලිම් මතධාරීන් ඉල්ලා ඇත්තේ.

විදේශික අන්තවාදී මතවාද පාසල් පෙළපොත්වල ඇතුළත්ව තිබෙන අවස්ථා වහා නිවැරදි කළ යුතු බවද මෙහිදී අධ්‍යාපන සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පෙන්වා දී තිබෙනවා.

විෂය නිර්දේශයට අයත් සියලු වසරවල සිංහල හා දෙමළ භාෂාවලින් මුද්‍රිත පාසල් පෙළ පොත්වල මෙන්ම ගුරු අත්පොත්වලද ඉස්ලාම් ධර්මය සහ සංස්කෘතිය යටතේ අන්තවාදී ඉගැන්වීම් සිදුකර ඇති බවට ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අමාත්‍යාංශ නිලධාරීන් වෙත මෙහිදී සවිස්තරව කරුණු ඉදිරිපත් කළා.

ත්‍රිත්ව තලාක් දික්කසාද ක්‍රමය, භාර්යාවට පහරදිය හැකි බව, වයස සම්පූර්ණ නොවූ දැරියන් විවාහ කර ගැනීම වැනි ළමා මනසට යෝග්‍ය නොවන ඉගැන්වීම්ද ඒවායේ ඇතුළත් බව ජනාධිපති කාර්ය සාධක බලකාය සහ අධ්‍යයනයන් සිදුකළ මුස්ලිම් විද්වතුන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ අන්තවාදී ඉගැන්වීම් සියල්ල හඳුනාගෙන ලේඛණගත කර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස කළ ඉල්ලීමද ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිගෙන ඇති අතර, ඒවා අප්‍රේල් 07 වැනිදා වනවිට අමාත්‍යාංශයට ලබාදීමට නියමිතයි ෴

***************************************

මාර්තුවේ උද්ධමනය 18.8% දක්වා ඉහළට

(01.04.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 18.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කොළඹ පාරිභෝගික මිල දර්ශකයද 164.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් අනාවරණ වන්නේ.

මාර්තු මාසයේ ආහාර ඛාන්ඩයේ උද්ධමනය පසුගිය වසරට සාපේක්ෂව සියයට තිහයි දශම එකකින් (30.1) ඉහළ යාමද විශේෂත්වයක්.

එය, 2019 වසර හා සැසඳූ විට සියයට 42.2 ක ඉහළ යෑමක් ලෙස සැළකිය හැකියි ෴

***************************************

දින කිහිපයකින් සාකච්ඡා අරඹන බව අයි.එම්.එෆ්. කියයි

(01.04.2022 – 09:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ හැකි ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දී සාකච්ඡා ආරම්භ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ප්‍රකාශක ජෙරී රයිස් ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වොෂින්ටන් චාරිකාවේ දී එම සාකච්ඡා අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම්වලට සහභාගිවීම සඳහා මුදල් අමාත්‍යවරයා මෙලෙස ඇමරිකාව බලා පිටත්වීමට නියමිත යි.

ශ්‍රී ලංකාව මෙලෙස මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලට එළඹෙන්නේ මෙරට විදෙස් සංචිතය 2020 ජනවාරියෙන් පසු සියයට 70 කින් පමණ පහත වැටීමෙන් අනතුරුව යි.

ඒ තුළින් ඉන්ධන ඇතුළු මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙනවා.

මූල්‍ය අරමුදලේ සහාය ලබන මූල්‍ය වැඩසටහනක් කරා යාම පිළිබඳව ලක් රජය සිය අභිලාෂය පළ කර ඇති බවයි අයි.එම්.එෆ්. ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ලෝක ආර්ථිකය පිළිබඳ සිය නවතම වාර්තාව මේ මස ඉදිරිපත් කරන අතර, එහි දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පුරෝකථනයක් ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.

මේ වසර තුළ ඩොලර් බිලියන 4 ක ණය පියවීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහය ලබාගැනීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රොයිටර් වාර්තා කළා ෴

***************************************

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළට

(01.04.2022 – 10:00 +0530 – hirunews.lk/sinhala)

දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,850 ක්ව පැවති කිලෝග්‍රෑම් පණහේ (50) සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,350 ක් දක්වා ඉහළ යනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මිල වැඩි කිරීමට හේතුව යි.

පසුගිය වසරේ නොවැම්බර් හයවනදා (06) රුපියල් 1,098 ක්ව පැවති කිලෝග්‍රෑම් පණහේ (50) සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,275 දක්වා රුපියල් 177 කින් ඉහළ නංවනු ලැබුවා.

ඉන්පසු පසුගිය ජනවාරි 01 වනදා එම මිල තවත් රුපියල් 100 කින් ඉහළ නැංවීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,375 දක්වා ඉහළ ගියා.

පසුගිය මාර්තු 13 වනදා නැවතත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,850 දක්වා රුපියල් 475 කින් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වා සිමෙන්ති කොට්ටයක මිල සියයට 114 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා ලක්ෂ 6 ක් පමණ ලබන මාසය වනවිට අහිමිවී යාමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

කොළඹ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උපසභාපති බැරින්ටන් පෝල් කියා සිටියේ, මේ වනවිට ඉදිකිරීම් කර්මාන්තකරුවන් සේවකයින්ට වැටුප් ගෙවීමේ ගැටලුවකටද මුහුණ දී සිටින බවයි ෴

***************************************

මරදාන ඩීන්ස් පාර අවහිර වෙයි

(01.04.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය අසළ උපවාසයේ නිරත රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ වනවිට මරදාන – ඩීන්ස් පාර අවහිර කරමින් විරෝධතාවක නිරතවනවා.

උපවාසයට සමගාමීව ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට (01) දින දෙකක් (2) ගතවන අතර, එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ උපවාසයේ නිරත කිහිපදෙනෙකුගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට අයහපත් වී ඇති බවයි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඊයේ (31) මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව පවසමින් ෴

***************************************

නීතිඥ සංගමයේ පෙත්සම් සලකා බැලීම ලබන සඳුදා (04)

(01.04.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන සඳුදා (04) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින් කියා සිටියේ ගෑස්, විදුලිය, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සේවාවන් සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රටේ මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි ෴

***************************************

මිරිහානේ සිද්ධියේ වාහන සහ දේපල හානිය මිලියන 39 ක්

(01.04.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ආසන්නයේ ඊයේ (31) සිදු වූ කලහකාරි සිද්ධියේ දී වාහන සහ දේපලවලට සිදු වූ හානිය රුපියල් මිලියන 39 කට ආසන්න බවට ඇස්තමේන්තු කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ සිද්ධියට මේ වනවිට පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *