ජනාධිපතිවරයා ගේ මිරිහාන නිවස ඉදිරිපිට විරෝධතාවක්

ජනාධිපතිවරයා ගේ මිරිහාන නිවස ඉදිරිපිට විරෝධතාවක්

*********************************************

ජනාධිපතිවරයා ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්

(31.03.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටා ඇති මිරිහාන පැඟිරිවත්ත මාර්ගයේ ඉදිරිපිට යම් කිසි පිරිසක් විසින් විරෝධතාවක් දියත් කරමින් සිටිනවා.

ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවිශ්ට වන මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර මාර්ග බාධක යොදා එම මාර්ගය අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම විරෝධතාව පවත්වනු ලබන පිරිස සම්බන්ධයෙන් හෝ සංවිධානයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර විරෝධතාකරුවන් බහුතරයක් තරුණයින්.

ජනාධිපතිවරයාට සහ පවතින රජයට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් ඔවුන් දැනට පැයක පමණ කාලයක සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

මේ පිරිස ජනාධිපතිවරයා ගේ නිවස අසළට පැමිණීමට පෙර ඒ අසල පිහිටා ඇති ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක ද නිරතවුණා.

මේ හේතුවෙන් මිරිහාන මාර්ගයේ තරමක රථවාහ වාහන තදබදයක් ද ඇති වී ඇති බව වාර්තා වනවා ෴

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට යන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවූ පිරිස විසුරුවාහැරීමට පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා ෴

+++++++

+++++++

+++++++

+++++++

මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති

(31.03.2022 – 23:53 +0530 – lankadeepa.lk)

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා කරයි.

එම පිරිස තවමත් එම ස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට ඇත. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.

මෙම ගැටුමින් තුවාල ලැබූවන් 10 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි ද හය දෙනකු (6) කොළඹ ජාතික රෝහලේ සහ හතර දෙනකු (4) කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආංචි මාර්ග කියයි.

තුවාල ලැබූවන් අතර මෙම සිද්ධිය ආවරණයට ගිය මාධ්‍යවේදීන් කීප දෙනකුට සිටින බව දැන ගන්නට ඇත.

+++++++

https://www.youtube.com/watch?v=8PobYX4dY9U

+++++++

+++++++

මිරිහානේ විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගැස්

(31.03.2022 – 22:47 +0530 – lankadeepa.lk)

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ ප්‍රචණ්ඩත්වය වැඩිවීමත් සමඟ පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය.

ජනතාව ජල ප්‍රහාර මැද ජනාධිපතිවරයා ගේ නිවස දෙසට ගල් ගල් මුල් ප්‍රහාර එල්ල කරන ආකාරය දැකගත හැකි විය.

+++++++

+++++++

+++++++

කළහාකාරී ලෙස හැසිරුණේ අන්තවාදී පිරිසක් – ජනාධිපති මාධ්‍ය අංශය

(01.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසුරුණු පිරිස සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් බව තහවුරු කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඊයේ (31) සවස ජනාධිපතිවරයා ගේ නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ සාමකාමීව ආරම්භ කෙරුණු විරෝධතා ව්‍යාපාරයක් අවසානයේ ප්‍රචණ්ඩකාරී තත්වයක් දක්වා වර්ධනය වුණා.

මෙලෙස ප්‍රචණ්ඩකාරී තත්වයක් දක්වා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙය වන ලද්දේ පොලු මුගුරු අතින් ගත් සංවිධානාත්මක පිරිසක් විසින් බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බොහෝ පිරිසක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම පිරිස ‘අරාබි වසන්තයක් ඇති කරමු’ යනුවෙන් හඬ නගමින් උද්ඝෝෂණයේ නිරත වූවන් කලහාකාරී ක්‍රියාවන්ට පොළඹවා ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඉතා සැලසුම් සහගත ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාව කෝප ගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කලහකාරී තත්ත්වය ඇති කර ඇති බව අත්අඩංගුවේ පසුවන පසු වන පිරිසෙන් අනාවරණය වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඊයේ (31) සවස 06:30 ට පමණ මිරිහාන ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ආරම්භ කෙරුණු සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරය පසුව ජනාධිපතිවරයා ගේ නිවසට පිවිසෙන පැඟිරිවත්ත මාර්ගය අසලට රැගෙන ගියා.

එහිදී එම පිවිසුම් මාර්ගයට මාර්ග බාධක දමා දැඩි ආරක්ෂක රැකවල් යොදා තර කර තිබූ අතර එම ස්ථානයේ රැඳී සිටීමින් මෙම විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුණා.

මෙලෙස පැය ගණනාවක් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අතරින් මතු වූ එක් කොටසක් කලහකාරී ලෙස හැසිරෙමින් එය අසල නවතා තිබූ බස් රථයකට සහ ජීප් රථයක් ඇතුළු තවත් වාහන කීපයකට ගිනි තබා නොසන්සුන්කාරී තත්වයක් ඇතිකළා.

මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකගෙ විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එහිදී විරෝධතාවට පැමිණ සිටි ඇතැම් කොටස් පොලිස් ජල ප්‍රහාරක රථයටත් පහරදෙන අයුරු දක්නට ලැබුණා.

+++++++

මිරිහානේ විරෝධතාවට 45 ක් අත්අඩංගුවට

(01.04.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන විරෝධතාවයේ දී කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් ඇතුලු පුද්ගලයන් 54 දෙනෙකු බස්නාහිර පළාත් අපරාධ දිසාව මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු (5) තුවාල ලබා කොළඹ ජාතික රෝහලටත්, කළුබෝවිල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

කළහකාරී පිරිස පොලිස් බස් රථයක්, ජීප් රථයක්, යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් මෙන්ම, යුද හමුදා බස් රථයක් ගිනි තබා විනාශයට පත් කර ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

කළහකාරී තත්වයේදී තවත් පෞද්ගලික වාහන කිහිපයකටද අලාභහානි සිදුව තිබෙනවා.

ජීවන වියදම ඇතුලු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (31) පස්වරුවේ මිරිහාන – ජුබිලි කණුව මංසන්ධියේදී ජනතාව විරෝධතාවක නිරත වුණා.

පසුව එම පිරිස පා ගමනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස පිහිටි මිරිහාන – පැඟිරිවත්ත මාර්ගය අසළට පැමිණ විරෝධය පළ කළා.

මෙහිදී දැඩි රථවාහන තදබදයක්ද ඇතිවූ අතර, පසුව උණුසුම් තත්වයක්ද හටගත්තා.

තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ කැරළි මර්දන ඒකකය කැඳවා තිබූ අතර, ඔවුන් පිරිස විසුරුවා හැරියේ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියෙන් අනතුරුව කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමටද කටයුතු කෙරුණා.

පසුව එම පොලිස් ඇඳිරි නීතිය අද (01) අලුයම පහට ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.

මේ අතර මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් අද පෙරවරුවේ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වෙත පැමිණ තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

+

***************************************

විරෝධතාවක් නිසා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කැලණිය බුලුගහ හන්දිය ප්‍රදේශයෙන් අවහිර වෙයි

(31.03.2022 – 23:57 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කැලණිය බුලුගහ හන්දිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

විරෝධතාකරුවන් ටයර් පුළුස්සා මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *