බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සදහා යොදවා මුදල් ඉපයූ සැකකරුට ඇප

බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සදහා යොදවා මුදල් ඉපයූ සැකකරුට ඇප

*********************************************

බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සදහා යොදවා මුදල් ඉපයූ සැකකරුට ඇප

(31.03.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වෙමින් රුපියල් කෝටි ගණනාවක් වටිනා වත්කම් නීතිවිරෝධි ලෙස උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කළ සැකකරුවෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි, අද (31) ඔහුව රුපියල් ලක්ෂ 100 බැගින් වු ශරීර ඇප තුනක් (3) මත මුදා හැරීමට නියෝග කරනු ලැබුවේ.

ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් ඉපයීමේ අංශය වැඩිදුර විමර්ශන සිදුකර තිබුණා.

එහිදී සැකකරු මුදල් හා දේපල නීති විරෝධි අන්දමින් උපයාගෙන ඇති බවට අනාවරණ වී තිබේ.

නඩුව ලබන ජුනි 30 වනදා යළි කැඳවීමට නියමිතයි ෴

***************************************

අකුරැස්සේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් දරුවෙකු මරුට

(31.03.2022 – 13:57 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස – නිල්මැණික්ගම ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටී 8 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ නිවැසියන්ට විදෙස් රටක සේවය කරන පුද්ගලයෙකු විසින් නව නිවසක් සාදා දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ අනුව නිවසේ දරුවන් සිය පියා සමග එක්ව නිවස කඩා දැමීමට කටයුතු කරනු ලැබුවා.

මැටි උපයෝගී කර ගනිමින් ගොඩනගා ඇති කුඩා නිවසක් වන එහි බිත්තියක් එකවරම නිවසේ සිටි දරුවන් දෙදෙනාගේ (2) ඇග මතට වැටීමෙන් එක් (1) දරුවෙකු මිය ගොස් තවත් දරුවෙකු (1) තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අකුරැස්ස පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙක් දරුවා 5 හැවිරිදි වියේ පසුවනවා ෴

***************************************

ඇපල් ගෙඩියක මිල රුපියල් 180 ක් වෙයි

(31.03.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ආනයනික බදු ඉහළ දැමීමත් සමඟ ඇපල් ගෙඩියක මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ආනයනික දොඩම් ගෙඩියක මිල රුපියල් 90 ත්, 100 ත් අතර අගයක පවතින බවයි ආනයනික පළතුරු අලෙවිකරුවන් ප්‍රකාශ කළේ.

පවතින තත්ත්වය හමුවේ ආනයනික පළතුරුවල මිල තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා ෴

***************************************

ලොකුලූණු මිල ඉහළට

(31.03.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ආනයනික ලොකුලූණු කිලෝවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් කටයුතු කර තිබෙනවා.

රුපියල් 110 ක්ව පැවති ආනයනික ලොකුලූණු කිලෝවක තොග මිල ඊයේ (30) රුපියල් 210 ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ආනයනික ලොකුලූණු හිගයක් මතු කරමින් මෙලෙස හදිසියේ මිල ඉහල දැමීම අසාධාරණ බවයි තොග වෙළන්දන් සඳහන් කළේ ෴

***************************************

ගල්කිරියාගමදී මව් කෙනෙරකට වෙඩි තබා ඝාතනය කෙරේ

(31.03.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ගල්කිරියාගම – වම්බටුවැව ප්‍රදේශයේ දී මියගොස් සිටි කෙනරගේ (ගැහැණු අලියා) මරණය ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ කෙනරට කිරි බොන වයසේ පැටවෙකු සිටින බවටයි සිදු කළ මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.

මියගිය කෙනරගේ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරකට අනුව වම්බටුවැව ‍ප්‍රදේශයේ වෙල් යායක තිබීයදීයි, ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් 29 වැනි දින සොයා ගැනුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ කහල්ල – පල්ලේකැලේ අභ්‍යභූමියේ සිටි වයස අවුරුදු 20 ක් පමණ වන මව් කෙනෙරක්.

මිය ගිය කෙනරගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා වූ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (30) වයඹ – නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ විසින් සිදු කරනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව එම කෙනරගේ මරණය වෙඩි තැබීමකින් සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

රත්‍රන් කිලෝ එක-හමාරක් (1½) හොර රහසේ රැගෙන ආ පුද්ගලයෙක් රේගුවට කොටුවෙයි

(31.03.2022 – 16:32 +0530 – hirunews.lk/sinhala)

තීරු බදු නොගෙවා රත්‍රන් කිලෝ එකයි (1) ග්‍රෑම් 427 ක් රට තුළට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගුවන්තොටුපල පරිශ්‍රයෙහි වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කිලෝ එකයි (1) ග්‍රෑම් 427ක් බර රන් දම්වැලක්, පෙන්ඩනයක් හා අත් පළඳනාවක් ශරීරයේ සඟවාගෙන ගුවන් මගින් ප්‍රංශ සිට දිවයිනට පැමිණි පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සම්බන්ධයෙන් රේගුව හා එක්ව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා ෴

***************************************

37 වැනි කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

(31.03.2022 – 16:44 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ කලාකරුවන් රැසක් ඇගයීමට ලක් වූ 37 වන කලා භුෂණ රාජ්‍ය සම්මාන උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

සාහිත්‍ය, චිත්‍ර, නර්තන, නාට්‍ය සහ සාම්ප්‍රදායික කලාවන් වෙනුවෙන් අනුපමේය සේවාවක් කළ කලාකරුවන් 200 ක් වෙනුවෙන් මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණා.

මෙවර කලා භුෂණ රාජ්‍ය සම්මාන උලෙළට අදාළ සමරු කලාපය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

නර්තනවේදී ජී. විමලාවතී, සාහිත්‍යවේදී එස්. තිරාණගම, සාහිත්‍යවේදී යූ.ජී.එස්.ආර්. අමරසූරිය, නාට්‍යවේදී පී.ඒ.ඩී.සී.ඒ. ප්‍රසාද් කල්දේරා, දේශීය වෛද්‍ය එම්.එස්. ජයරත්න, සාහිත්‍යවේදී කේ.ඩී.එස්. සුදුසිංහ, සාහිත්‍යවේදී සෝමා ටී. පෙරේරා, සාහිත්‍යවේදී ලෙස්ලි ශාන්ත ද සිල්වා, කලාවේදී ත්‍යාගරාසා, සාහිත්‍යවේදී පොන්නදොරෙයි මහත්ම මහත්මීහු මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වෙතින් කලා භුෂණ රාජ්‍ය සම්මාන ලැබුවා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ සහ සම්මානයට පාත්‍ර වූ කලාකරුවෝ රැසක් එක්ව සිටියා ෴

***************************************

‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට’ ගොදුරු වන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ

(31.03.2022 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ (11) විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි තම පෙරමුණ බලවත් සේ සවිඥාණික නිසා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කොට නව ගමන් මඟකට මුලපිරීමට මේ පිළිබඳ සවිඥාණක දේශපාලඥයන් සියල්ලටම අප ඇරයුම් කොට ඇත්තේ ද ‘මුළු රටම හරි මගට’ ගැනීමට මිස පටු දේශපාලන වාසි ලබා ගැනීමට නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට එම අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධය පෑමේ අයිතියට තම පෙරමුණ ගරු කරන අතර, නමුත්, වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි තම පෙරමුණේ බලවත් අවධානය යොමුවී තිබෙනවා.

‘අප්‍රේල් 03 දා සවස 03 ට පාරට බහින්න’ නම් විරෝධතාව ද එවැන්නෙක් බවයි ඔවුන් හුවා දක්වන්නේ.

එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවතිය හැකි බැවින්, එම විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවසිය යුත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ද එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදු කෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව යි.

එසේ ම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11 හේ එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බව ද ඉතා වගකීමෙන් දැනුම්දෙනු ලබන අතර, රට අද පවතින තත්ත්වයට – ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන ‘සජබ විරෝධතාවන්ට’ තම පෙරමුණ කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින් :

***************************************

රුපියල් මිලියන 100 ක කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

(31.03.2022 – 17:23 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ලැඟුම්හලක ඉතා සූක්ෂ්ම අයුරින් සඟවා තිබිය දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 250 ක් සමග පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 100 කට අධිකයි.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔවුන් සතුව තිබි අධි සුඛෝපභෝගී වෑන් රියක් ද සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ෴

***************************************

රුපියල් කෝටි 02 කට අධික කේරළ ගංජා තොගයක් යාපනයෙන් සොයා ගැනේ

(31.03.2022 – 17:35 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙකකට (2,00,00,000) වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව යාපනය කොවිලන් ප්‍රදීපාගාරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද (31) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි සැකකරුවන් සහ කේරළ ගංජා තොගය සොයා ගැනුණේ.

වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් සිදු කළ මෙහෙයුමේ දී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර එහි ගෝනි දෙකක් (2) තුළ පාර්සල් 30 ක් වශයෙන් අසුරා මෙරටට රැගෙන ඒමට උත්සාහ කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 66 යි ග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී සොයා ගැණුනා.

මෙම ගංජාවල වීදි වටිනාකම රුපියල් මිලියන 20 කට ආසන්න වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් සහ මාදගල් ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 24 වයස්වල පසුවන දෙදෙනෙක් (2).

ඔවුන් අදාළ කේරළ ගංජා තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

සෞඛ්‍ය සේවකයෝ සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පොල්පිත්ත ට අන්දයි

(31.03.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala)

අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පොල්පිති දෙකකට සමාන කරන්නට කටයුතු කර තිබුණා.

ඒ අමාත්‍ය මණ්ඩලය අනුමත කල වසර 5/7 උසස්වීම් චක්‍රලේඛය නිකුත් කිරීමට බිය වෙමින් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දුන් විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය නිළධාරීනියකගේ පත්වීමක් අහෝසි කිරීමට විරෝධය පාමින්.

මෙහිදී සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය රජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් කටයුතු කරමින් සිටින බියගුලු ස්වභාවයට විරෝධය පළ කෙරුණා ෴

***************************************

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ නඩුව කල් යයි

(31.03.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල බුදුපිලිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවතින නඩුව අද (31) දින විභාගයට ගැණුනා.

එහිදී මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ යළිත් නඩු විභාගය මැයි මස 18 වන දිනට කැඳවන ලෙසටයි.

චෝදනා එල්ල වී ඇති 7 වන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම හා විත්තියේ ඉල්ලීම මත අධි චෝදනා සංශෝධනය කිරීම පිළිබඳ කර ඇති ඉල්ලීම සලකා බැලීම නඩු විභාගය යළි කැඳවීමට හේතු වී තිබෙනවා ෴

+

@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@

තවත් කොවිඩ් මරණ 4 ක්

(31.03.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (30) තහවුරු කළ මෙම මරණ 4 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,477 ක් ලෙසටයි.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,37,240 ක් වාර්තා වී ඇති අතර, ඉන් 7740 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,37,240 ක් ෴

+++++++++++

නව ආසාදිතයින් 178 ක්

(31.03.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 178 දෙනෙකු අද (31) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,61,631 ක් දක්වා ඉහළ යනු ඇති.

වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7,740 ක් වන අතර අද (31) දිනයේ දී සිදු වූ මරණ සංඛ්‍යාව 04 ක්.

මෙරටින් වාර්තා ව ඇති සමස්ත කොරෝනා වෛරසය ආසාදනය ව ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 16,477 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *