බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණයක්

බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණයක්

*********************************************

බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණයක්

(30.03.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුදල් අමාත්‍යවරයා විසින් බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අතිරේක මූල්‍ය හුවමාරු පහසුකමක් ඉල්ලා ඇති බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල් මෝමන් ප්‍රකාශ කළා.

බිම්ස්ටෙක් සමුළුව අතරතුර හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා කළ ඉල්ලීමට සිය රජය ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවයි.

ශ්‍රී ලංකාව මීට පෙරත් බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මූල්‍ය හුවමාරු පහසුකම් ලබා ගත් අතර එය ආපසු ගෙවීමේ කාලය ද දීර්ඝ කෙරුණා.

භාණ්ඩ ණයට ලබාගෙන අවුරුදු තුනකින් (3) ගෙවිම සදහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේද අමරිකානු ඩොලර් බිලියන 01 ක ආධාර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

ඊට අදාල ක්‍රමවේදය සාකච්ජා කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කළේ ෴

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හිගයකින් තොරව සාධාරණ මිලට සැපයීමට සාකච්ජා කරමින් සිටින වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය අංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජීවන වියදමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ද කටයුතු කරන බවයි ෴

***************************************

මහජනයා පෝලිම්වල වේලෙද්දී පාර්ලිමේන්තු භෝජනාගාරය මැති ඇමතිවරුන්ගේ සමීපතමයින්ට විවෘත වෙයි

(30.03.2022 – 11:33 +0530 – hirunews.lk/sinhala)

රටේ සාමාන්‍ය මහජනතාව සිය එදිනෙදා දිවි පෙවෙත සරිකර ගැනීම සඳහා තෙල් පෝලිං, කිරිපිටි පෝලිං, ගෑස් පෝලිං ආදී මෙකී නොකී පෝලිම්වල පෙළගැසී රස්තියාදු වෙමින් සිටිය දී නැවතත් පාර්ලිමේන්තු භෝජනාගාරය මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විවෘත කිරීමට සූදානම්වන බව වාර්තා වනවා.

ඒ අනුව ලබන පළමු (01) වනදා සිට පාර්ලිමේන්තු භෝජනාගාරය නැවතත් පිටස්තර පුද්ගලයින් සඳහා විවෘත කෙරෙනු ඇති.

පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී ආණ්ඩුවේ පක්ෂ නායකයින් විසින් පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයින් පාර්ලිමේන්තු පරිශ්‍රය නැරඹීම සඳහා රැගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එහිදී එම යෝජනාවට පක්ෂ නායක රැස්වීමේ දී අනුමැතිය හිමි වී ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමේ අවස්ථාව හිමිවනු ඇති.

රට තුළ ශීඝ්‍රයෙන් පැතිර ගිය කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ එහි භෝජනාගාරය පිටස්තර පුද්ගලයින් සඳහා වසා දැමුණු අතර මෙම තීරණයත් සමග එම් තීරණය අවලංගු වනවා.

ඊට අමතරව මෙලෙස පැමිණෙන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ සමීපතමයින් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයත් ලබන පළමු (01) වනදා සිට විවෘත කර තබන ලෙසයි උපදෙස් ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් මෙලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයට පිටතින් පැමිණෙනෙන පුද්ගලයින් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම (3) ලබාගත් බවට සහතික ඉදිරිපත් කිරීමද අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම පවතින තත්වය සලකා බලා ඉදිරියේදී පාර්ලිමේන්තු මහජන ගැලරිය ද ඉතා සීමිත පිරිසක් සඳහා නැවත විවෘත කිරීමට අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකු පවසා සිටියා.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දින වල සිකුරාදා දිනයේ දී පමණක් ශෝක යෝජනා විවාදයන් පවතින අවස්ථාවන්හිදී එම විවාද දැක බලාගැනීමට යෝජනාවට පාත්‍රවන මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පවුලේ සමීපතම සාමාජිකයන් පස් (5) දෙනෙකුට පමණක් මෙතෙක් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඉදිරියේදී එම සංඛ්‍යාවත් වැඩි කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ ෴

***************************************

වසර දෙකකට (2) පසු මසක සංචාරක පැමිණිම ලක්ෂය ඉක්මවයි

(30.03.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් වසර දෙකකට (2) පසු මෙරට මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවා තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ මාර්තු පළමුවනදා (01) සිට ඊයේ (29) දිනය දක්වා සංචාරකයින් 1,01,192 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

වසර දෙකකට (2) පසු මසක් තුල මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව ද මෙය වනවා. එහිදී ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ රුසියාව යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබෙනවා.

පසුගිය ජනවාරි පළමුවනදා (01) සිට ඊයේ (29) දක්වා සංචාරකයින් 2,80,026 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 1,94,495 ක් ලෙසටයි ෴

***************************************

වෙළෙඳපොළ රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

(30.03.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට රන් වෙළෙඳපොළෙහි රන් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි, දැඩි රන් හිඟයක් පවතින බව ද වාර්තා වනවා.

අද (30) දිනයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 2,00,000 ක් හා කැරට් 22 රන් පවුමක මිල රු. 1,85,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් රන් ආභරණ වෙළෙඳුන් පවසන්නේ දැඩි රන් හිඟයක් පවතින බැවින් එම මිල ගණන්වලට ද අලෙවියට රත්‍රං නොමැති බවයි.

අවශ්‍ය නම් පාරිභෝගිකයන් අවශ්‍ය රත්‍රං සපයන්නේ නම්, රන් ආභරණ සාදා දීමට පමණක් හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසනවා ෴

***************************************

මෙරට ක්‍රියාත්මක ඇතැම් ජාත්‍යන්තර ටීවී චැනල්වල විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා

(30.03.2022 – 18:39 +0530 – hirunews.lk/sinhala)

අද (30) වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රූපවාහිනි නාළිකා ගණනාවක් ඔවුන්ගේ සේවා සැපයුම නවතා දමා තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ ඔවුන්ගේ සේවා සැපයීම් වෙනුවෙන් ඩොලර්වලින් සිදු කළ යුතු ගෙවීම් කටයුතු මේ වන විට සිදු කර ගැනීමට නොහැකි වීමයි.

මේ හේතුවෙන් මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන රැහැන් රහිත රූපවාහිනි නාළිකා පද්ධති දෙකක් (2) ඔවුන්ගේ ඇතැම් ජාත්‍යන්තර චැනල විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා ෴

***************************************

‘පස් පොඩ්ඩා’ ඝාතනය සඳහා සූදානම් කර තිබූ ගිනි අවිය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(30.03.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala)

‘සමන් රෝහිත පෙරේරා’ හෙවත් ‘පස් පොඩ්ඩා’ ඝාතනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියන ස්වයංක්‍රීය ගිනි අවියක් (1) සමග සැකකරුවෙකු (1) මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටාන – ඉද්දගොඩැල්ල ප්‍රදේශයේදියි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අදාළ ගිනි අවිය සදහා යොදා ගන්නා ජීව උණ්ඩ 10 ක් ද සොයාගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැගව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙම ගිනි අවිය ඔහුට ලබා දී ඇති බවයි දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ – මාතම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴

***************************************

පිටකොටුවේ ‘ගෝල්ඩ් සෙන්ටර්’ ගොඩනැගිල්ල අසල ගින්නක්

(30.03.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිටකොටුවේ රන් වෙළඳපොල හෙවත් ගෝල්ඩ් සෙන්ටර් ගොඩනැගිල්ල ආසන්නයේ ගින්නක් හට ගෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 3 ක් පිටත් කර යැවූ බවයි.

මේ වනවිට එම ගින්න පාලනය කර ඇති බව ද කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවා ෴

(පිටකොටුවේ ගෝල්ඩ් සෙන්ටර් = පිටකොටුව පැරණි මාළු වෙළඳ සංකීර්ණය)

***************************************

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් පත් කෙරේ

(30.03.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා ලෙස ඌව පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන සෙන්දිල් තොණ්ඩමන් පත් කර තිබෙනවා.

හැටන් – කොටගල පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (30) රැස්වූ ජාතික සභාවේදී ඒකමතිකව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ භාණ්ඩාගාරිකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් තෝරා පත් කරගෙන තිබෙනවා ෴

***************************************

පක්ෂ 11 ඉත්තෑපානේ නාහිමියන් හමුවේ

(30.03.2022 – 15:15 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11 හේ නියෝජිතයින් අද (30) කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් බැහැ දුටුවා.

එහිදී පක්ෂ නියෝජිතයින් පවතින දේශපාලන වාතාවරණය සහ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටයි කටයුතු කළේ.

පාර්ලිමේන්තුවේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට එක්වන ලෙස මැති ඇමතිවරුන්ට ජනතාව බල කල යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයින් අද (30) කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

***************************************

කටුගස්තොට දී දියණියගේ පෙම්වතා නිවසට ගිනි තැබූ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මවත් මිය යයි

(30.03.2022 – 15:18 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට – මැණික්කුඹුර වත්ත ප්‍රදේශයේදී දියණියගේ පෙම්වතා විසින් නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි මව ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

පසුගිය 24 වන දා අදාළ පුද්ගලයා විසින් මෙම නිවසට ගිනි තබා ඇති බවට අනාවරණ වූ අතර සිද්ධියෙන් නිවසේ සිටි පියා සහ දියණිය මෙන්ම ඔහු ද ජීවිතක්ෂයට පත්වුණා ෴

***************************************

රුපියල් කෝටි 5 කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු (2) STF දැලේ

(30.03.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක වටරවුම අසල සිදුකළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝ 4 යි ග්‍රෑම් 900 ක් පමණ වන එම අයිස් මත්ද්‍රව්‍ය තොගය බහුදින යාත්‍රා මගින් විදෙස් රටවල සිට මෙරට මන්නාරම වෙරළ තීරයට රැගෙන ආ පසු කොළඹ සහ අවට ප්‍රදේශවල ගැණුම්කරුවන් වෙත බෙදා හරින බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් 41 සහ 43 යන වයස්වල පසුවන මන්නාරම සහ වව්නියාව ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

ප්‍රදේශ කිහිපයක ජනතාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(30.03.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala)

පළාත් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (30) පස්වරු 3.30 ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (31) දිනයට වලංගු වන ආකාරයෙන්.

ඒ අනුව උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙම තත්වය මත අදාළ ප්‍රදේශවල ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව වැඩ බිම් තුල සිටින පුද්ගලයන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.

නිවෙස් තුල වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වනවා.

වාහන තුල කුඩා ළමුන් තනිවම රඳවා නොයන ලෙසටයි උපදෙස් ලබාදෙන්නේ.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳිය යුතු අතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි.

එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසට ද කාලගගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා ෴

***************************************

(තම මානසික රෝගයට නිසි ප්‍රතිකාර නොගත්) පේරාදෙණියේ ඉංජිනේරු සිසුවෙකු සිය දිවි නසා ගනී

(30.03.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala)

පීඩනය දරා ගත නොහැකි බව පවසමින් ලිපියක් ලියා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල – මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙක්.

සිව්වන (4) වසරේ ඉගෙනුම ලබන මොහු මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල විභාග සදහාද පෙනී සිට තිබෙනවා.

පෙරේදා (28) දිනයේ පැවති විභාගයට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබදව ඔහුගේ මිතුරන් සොයා බලා ඇති අතර ඉන් අනතුරුවයි සිසුවා නවාතැන් ගෙන සිටි ස්ථානයේ ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ.

සිසුවා නවාතැන් ගෙන සිටි කාමරය තුල තිබී ‘මට සමාවන්න. මේ පීඩනය තවත් දරාගන්න බෑ’ යනුවෙන් ලියූ ලිපියක්ද සොයා ගෙන තිබෙනවා ෴

+

@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@

තවත් කොරෝනා මරණ 04 ක්

(30.03.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කළ මෙම මරණ 4 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,473 ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 6,61,285 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන සංඛ්‍යාව 7593 ක්.

6,37,223 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++

පොදු ස්ථානවලට එන්නත අනිවාර්ය කළ ගැසට්ටුවට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

(30.03.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුද්ගලයින්ගෙන් බූස්ටර් මාත්‍රාව ලබා ගත් පිරිස සියයට අසූවේ (80%) ප්‍රතිශතය ඉක්මවා යනතුරු මුඛ ආවරණ ඉවත් කිරීමට අවසර ලබා දිය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ අතර, ලබන අප්‍රේල් මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රෝග වැළැක්වීමට අදාළ පූර්ණ එන්නත්කරනයට ලක් නොවූ පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *