අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර සීනි පරීක්ෂණ කට්ටල ඇතුළු, වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට

අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර සීනි පරීක්ෂණ කට්ටල ඇතුළු, වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට

*********************************************

අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර සීනි පරීක්ෂණ කට්ටල ඇතුළු, වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට

(29.03.2022 – 06:19 +0530 – hirunews.lk/sinhala)

අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (28) නිකුත් කරනු ලැබූ මෙම ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර්, රුධිර ග්ලූකෝස් මාපක සහ රුධිර නාල අවහිරවීමේ දී යොදන ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක ම මිල ඉහළ යනවා.

අවසන්වරට අක්ෂි කාච මිල උපරිම සිල්ලර මිල සඳහන් කරමින් 2021 අගෝස්තු මස 19 වනදා නිකුත් කළ අංක 2241/43 දරණ ගැසට් නිවේදනය හා සැසදීමේදී සියලුම අක්ෂි කාච මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම රුධිර නාලවල සිදුවන අවහිරතා මඟහැරවීම සඳහා යොදන ලෝහමය වටනේරුවල මිල රුපියල් 11,000 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඖෂධ මුදා හරින වටනේරුවල මිල රුපියල් 49,000 කට ආසන්න මුදලකින් ඉහළ ගියා.

ඊට අමතරව පල්ස් ඔක්සිමීටර්වල උපරිම සිල්ලර මිල රුපියල් 3870 ක් ලෙස දැක්වෙනවා.

රුධිරයේ සීනි මට්ටම මැන බලන ග්ලුකෝස් මාපක ඒකකයක මිල රුපියල් 1300 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

රුධිර ග්ලුකෝස් මාපකවලට භාවිත කරන එක් පරීක්ෂණ තීරුවක මිල රුපියල් 23 කින් පමණ ඉහල ගොස් තිබුණා.

***************************************

හිටපු ජනපතිනි චන්ද්‍රිකා ඝාතන සැලසුමේ චෝදනා ලැබූ කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙකු අත්අඩංගුවට

(29.03.2022 – 06:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ ‘කිඹුලාඇලේ ගුණා’ගේ ප්‍රධානතම ගෝලයෙකු විවිධ වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය රැසක් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) පස්වරුවේ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මල්ලිකා කඩේ, ඉබිබගෙ වත්ත, රෙඩිබානා ඇළ, කොළඹ 15 යන ප්‍රදේශයේ දී යි අදාළ වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී අත්අඩංගුවට ගත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වන හෙරොයින් ග්‍රෑම් 13 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 ක්,කේරළ ගංජා ග්‍රෑම් 22 ක්, Prega Tablets 160 ක් සැකකරු සන්තකයේ තිබී සොයාගැනුණා.

අලුත් මාවත – කොළඹ 15 හි පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 1,05,200 ක මුදලක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට යොදා ගැනුණ ජංගම දූරකථන 03 ක් ද පොලිස් භාරයට ගත්තා.

1999 වසරේ කොළඹ නගර සභා පිටියේ දී පැවති මහජන රැස්වීමක දී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ‘කිඹුලාඇලේ ගුණා’ නමැත්තාට චෝදනා එල්ල වී තිබෙනවා.

***************************************

පෙරදිග ධාන්‍යාගාරය වූ ශ්‍රී ලංකාවට බිලියන ගණනින් ආනයනය කළ සහල් – වැඩිම ආනයනයක් ඉන්දියාවෙන්

(29.03.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක වසරේ මුල් මාස දෙක (2) තුළ දී සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11 කට අධික මුදලක් වැය කර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එලෙස ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,22,217 ක්.

පසුගිය වසරේදී රුපියල් බිලියන 7.5 ක් සහල් ආනයනය සඳහා වැය කර තිබූ අතර ඒ අනුව එම වසරට ම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වසරේ මුල් මාස දෙක (2) තුළ දී පමණක් මෙරටට ගෙන්වා ඇති බවයි වෙළෙඳපොළ දත්ත පිරික්සීමේ දී තහවුරු වන්නේ.

සහල් මෙලෙස ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවේ රසායනික පොහොර තහනමත් සමග මහ කන්නයේ වී අස්වනු අඩුවීම හේතුවෙන්.

ඒ අනුව මෙම වසරේ මුල් මාස දෙක (2) තුළ දී වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන්.

එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,17,471 ක් වනවා.

එමෙන්ම, පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490 ක් ද, මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1125 ක් ද ආනයනය කර තිබෙනවා.

ඊට අමතර ව චීනය, ඉතාලිය, වියට්නාමය, තායිවානය, ජපානය සහ සිංගප්පූරුවෙන් ද මුල් මාස දෙක (2) තුළ දී සහල් ආනයනය කර ඇති බව රේගු දත්ත පරීක්ෂා කිරීමේදී තහවුරු වන කරුණක්.

සහල් ආනයනය කළ ද මේ වන විට වෙළදපළේ දේශීය සහල්වලට අමතරව ආනයනික සහල් මිල පවතින්නේ ඉහළ අගයකයි ෴

***************************************

රිදීගම සෆාරි උද්‍යානයේ වෛද්‍යවරයාට පහරදුන් රියදුරන් දෙදෙනාට (2) ඇප

(29.03.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

රිදීගම සෆාරි උද්‍යායනයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණට සිදු කළ පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් එම උද්‍යානයේම රියදුරන් දෙදෙනා (2) රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, අදාළ රියදුරන් දෙදෙනා (2) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

රියදුරන් දෙදෙනා (2) පසුගිය 25 වන දා සහ 26 වන දා අත්අඩංකුවට ගෙන තිබුණා.

වෛද්‍යවරයාට පහරදීමට එරෙහි ව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (28) කොළඹ දී විරෝධතාවක ද නිරත වුණා ෴

***************************************

සෞඛ්‍ය සේවයේ අතිකාල දීමනා ලබා නොදෙන බවට චෝදනා

(29.03.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවයේ අතිකාල ඇතුළු අනෙකුත් දීමනා හැර මූලික වැටුප පමණක් ගෙවීමට කටයුතු කිරීමත් සමග රෝහල් රැසක සේවකයින් මේ වන විට අපහසුතාවට පත්ව ඇති බවට වාර්තා වනවා.

රෝහල් රැසකම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සදහා අත්‍යවශ්‍ය වැටුප් පමණක් ගෙවීමට කටයුතු කර ඇති බවටයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ෴

***************************************

ඉන්දියාව, උතුරේ දූපත්වල විදුලි ව්‍යාපෘති ඇතුළු, අවබෝධතා ගිවිසුම් 6 කට එළඹෙයි

(29.03.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක (3) දෙමුහුන් විදුලි ව්‍යාපෘති ඇතුළු අවබෝධතා ගිවිසුම් 6 කට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (28) අත්සන් තැබුවා.

ඒ, මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අතර ඊයේ (28) සන්ධ්‍යාවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

එම සාකච්ඡා ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් පැවති බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදීමට ද මෙහිදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුවා.

මෙරට සාමුද්‍රික ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ මෙරට ධීවර වරාය සංවර්ධනය කිරීම සදහා සහාය ලබාදීමට ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 ක් සදහා නවීන පරිගණක, පරීක්ෂණාගාර හා විශේෂයෙන් සැකසූ විෂය මාලා මෘදුකාංග රැගත් සුහුරු – පුවරු ලබාදීමට ද ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට එළඹුණා.

සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුමක් ඊයේ (28) අත්සන් තැබුණේ ඉන්දු – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ යි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේ දී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක පමණ ආර්ථික සහාය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ස්තුතිය පළ කළ බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සදහා ඉන්දියාවේ සහය අඛණ්ඩව හිමි වන බවට ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

රජය සහ දෙමළ සන්ධානය අතර පසුගිය දා පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රසාදය පළ කළා.

එමෙන්ම, ආරක්ෂක හා බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ ධීවරයන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පිළිබදව ද ඔහු මෙහිදී සිහිපත් කර තිබෙනවා.

මෙරට ඉන්දීය ආයෝජන පිළිබද විශේෂ අවධානය යොමු කරමින් ආර්ථික හා වාණිජ සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වූ බවයි කොළඹ ඉන්දීය මහකොමාසරිස් කාර්යාලය අවධාරණය කළේ ෴

***************************************

පාසල්වල පෝෂණ වේල ගැන හිරු අනාවරණයෙන් පසු, බලධාරීන්ගේ ඇස් ඇරේ

(29.03.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පාසල් 7000 ක දරුවන් වෙනුවෙන් ලබා දෙන පෝෂණ ආහාර සැපයුම නතරවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ (28) සිදු කළ අනාවරණයත් සමග ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හමුවේ රුපියල් 30 ක මුදලකට අදාළ ආහාර වේල සැපයීමට නොහැකි බවයි ආහාර සැපයුම්කරුවන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

හිරු ප්‍රවෘත්ති ඔස්සේ මේ පිළිබඳ ව සිදු කළ අනාවරණයත් සමග ලංකා ගුරු සංගමය ද ඊයේ (28) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා.

මේ එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් දැක්වූ අදහස්.

පෝෂණ ආහාර සැපයීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ (28) සිදු කළ අනාවරණයත් සමග ඒ පිළිබදව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සඳහන් කළේ මේ පිළිබඳව අද (29) දින කරුණු සොයාබලා කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බවයි ෴

***************************************

ද්විත්ව පුරවැසිභාවය ගැන හිටපු ඇමති ගම්මන්පිළගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

(29.03.2022 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ද්විත්ව පුරවැසිභාවය ඉවත්කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික යෝජනාවක් ලෙස ලබන මාසයේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ‘හිරු ටී.වී’ ඔස්සේ ඊයේ (28) රාත්‍රීයේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදයට එක්වෙමින්.

***************************************

කළුකඩ මිලට විදෙස් මුදල් ගනුදෙනු කරන්නන්ගේ බලපත්‍ර අහෝසියි

(29.03.2022 – 08:37 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතවලට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අවලංගු කරන බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කළා.

නිවේදනයක් නිකුත් කරමින් එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවක දී ඉහළ විනිමය අනුපාත ලබාදෙන අවස්ථා පිළිබදව දැනුම්දෙන ලෙසට යි.

ඒ සඳහා 011 239 8523 හා 011 239 8827, 011 247 7375, 011 239 8568 යන දූරකථන අංක ඔස්සේ ඇමතුම් ලබාදිය හැකි අතර, dfem@cbsl.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ ද තොරතුරු යොමු කළ හැකියි ෴

***************************************

පුරාවිද්‍යා ස්ථානයක අනවසරයෙන් කැණීම් කටයුතු කළ සිව්දෙනෙකු (4) පොලිස් දැලේ

(29.03.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථානයකට ඇතුළු වී, පුරාවස්තු සොයා කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් (4) දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව පෙරේදා (27) එරගම පොලිස් වසමේ 08 කණුව, ඉලුච්චේන පුරාවිද්‍යාත්මක ස්ථානයේ දී යි මෙම වැටලීම සිදු කෙරුණේ.

එහි දී අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථානයට ඇතුළු වී පුරාවස්තු සොයා කැණීම් කටයුතු සිදු කරමින් සිටි බුත්තල, හිඟුරාන, බූස්ස, අම්පාර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 37, 38, 40, 41 වයස්වල පසුවන පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එරගම පොලිස් ස්ථානය වෙත භාර දුන්නා.

සැකකරුවන් සතුව තිබී කැණීම් කටයුතු සඳහා යොදා ගැනුණු සුදු නූල් පන්දුවක්, යකඩ අඩුවක්, යකඩ ගිරයක්, පහන්තිර පැකට්ටුවක්, ලියර් වර්ගයේ හිස් හදුන්කූරු පෙට්ටි‍යක් ආදී උපකරණ රැසක් ද සොයා ගත්තා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *