අතිසාර්ථකව නෞකා මතට ගොඩබැස්වූ මාර්ක්-03 හෙලිකොප්ටරය

අතිසාර්ථකව නෞකා මතට ගොඩබැස්වූ මාර්ක්-03 හෙලිකොප්ටරය

*********************************************

අතිසාර්ථකව නෞකා මතට ගොඩබැස්වූ මාර්ක්-03 හෙලිකොප්ටරය

(27.03.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව ඊයේ (26) සුවිශේෂී පුහුණු අභ්‍යාසයක් ආරම්භ කළා.

මෙම පුහුණු අභ්‍යාසයේ දී සිදු කරනුයේ මෙරට ඇති දැවැන්තම නාවික හමුදා යාත්‍රා දෙකක් (2) වන සයුරළ සහ සිඳුරළ එක්ව එම නෞකා දෙකේ (2) ඇති හෙලිකොප්ටර් ගොඩ බෑමේ අංගනයට හෙලිකොප්ටර් යානා ගොඩ බස්වන ආකාරය පුහුණු කිරීමයි.

ඉන්දීය නාවික හමුදාවට අයත් Mark-3 නමැති අති නවීන හෙලිකොප්ටර යානාව භාවිත කරමින් මේ පුහුණුවීම් කටයුතු සිදු කෙරෙනවා.

මෙම මාර්ක්-3 හෙලිකොප්ටර් යානාව මෙවැනි නෞකාවකට ගොඩබස්වන පළමු (1) අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

මීට පෙර ඉන්දීය නාවික හමුදාවට අයත් මාක්-1 සහ මාක්-2 යන හෙලිකොප්ටර් යානා මෙම යාත්‍රාව මත සාර්ථක ගොඩ බැසීම් සිදු කර තිබුණා.

එම හෙලිකොප්ටර් යානා දෙකටම (2) වඩා ප්‍රමාණයෙන් විශාල සහ අතිනවීන මෙම යානාව එවැනි ගොඩබෑමක යෙදුණු පළමු (1) අවස්ථාව මෙයයි.

මෙම පුහුණුව සඳහා එක්වූ සයුරළ නෞකාව ඊයේ (26) උදෑසන හතයි තිහට (07:30) පමණ කොළඹ රංගල නාවික හමුදා මූලස්ථානයෙන් දියඹ බලා පිටත් වූයේ මෙරට නාවික ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

මෙම නාවික හමුදා අභ්‍යාසය සඳහා එක්වන ඉන්දීය නාවික හමුදාවට අයත් මාර්ක්-3 හෙලිකොප්ටර යානාව ඊට දින දෙකකට (2) පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටියේ හෙලිකොප්ටර යානා පැදවීමේ පුහුණු උපදේශකයින් ද සමගයි.

මෙම විශේෂ පුහුණුව සිදුවන ආකාරය එහි ගොස් දැක බලා ගැනීමේ අවස්ථාව ‘හිරු ටීවි’ ප්‍රවෘත්ති කණ්ඩායමකට විශේෂයෙන් හිමි වී තිබුණා.

මෙම ඉන්දීය පුහුණු උපදේශකයන් සමග කටයුතු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නියමුවන් පිරිසක් තෝරාගෙන තිබුණා.

ඔවුන් ඊයේ (26) සිට සිව්දිනක් (4) පුරා මෙම පුහුණු අභ්‍යාසයේ නිරත වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම පුහුණුව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් ඉන්දීය පුහුණු උපදේශකයින්ගේ අධික්ෂණය යටතේ රංගල නාවික හමුදා කඳවුරේ සිට නාවික සැතපුම් තිහක් (30) පමණ දුරින් වූ දියඹ මුහුදේ දී එක් වුණා.

ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ එය අවට සිදුවන ඕනෑම නාවික මෙහෙයුමක් අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව ටයි.

‘රට වට බැඳි රන්වැට’ ලෙස සැලකෙන ශ්‍රී ලංකා නාවික හමුදාව මෑත ඉතිහාසය තුළ ඔවුන්ගේ නාවික හමුදා මෙහෙයුම් වල කැපී පෙනෙන සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් සිටිනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය හරහා අති සූක්ෂම ලෙස ප්‍රවාහනය කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ හුවමාරුවන් බිඳ දමන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනුයේ සුවිශේෂී කාර්යභාරයක්.

මෙම පුහුණුවත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ නිරීක්ෂණ ජාලයන් තවත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න අප සමඟ පවසා සිටියේ.

විශේෂයෙන්ම සයුරළ සහ සිඳුරළ අතිනවීන නෞකා දෙකේ (2) ඇති උපකරණ මගින් නාවික සැතපුම් 60 ක පමණ අරයකින් යුත් ප්‍රදේශයක නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට හැකියාව ඇති අතර මෙම දැවැන්ත නෞකා දෙකේ (2) රඳවාගෙන යනු ලබන හෙලිකොප්ටර් යානාවන් ඔස්සේ එම නිරීක්ෂණ මෙහෙයුම් තව තවත් පුළුල් කිරීමේ හැකියාව ලැබෙන බවයි නාවික හමුදාපතිවරයා අප සමග අදහස් දක්වමින් කියා සිටියේ.

මෙම පුහුණුව හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර නියමුවන්ට ද සුවිශේෂී අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වන අතරම ඔවුන්ගේ කාර්යභාරය ද වඩාත් පුළුල් වන බව නාවික හමුදාපතිවරයා කියා සිටියා.

එමෙන්ම මෙරට ගුවන් සහ නාවික හමුදා ඒකාබද්ධව සිදු කෙරෙන මෙවන් ක්‍රියාකාරකම් තුළින් රටේ ආරක්ෂාව, යුද ශක්තිය සහ අපගේ හමුදාවන් සතු විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දක්වන හැකියාව පිළිබඳව වඩාත් හොඳ ජාත්‍යන්තර කීර්තියක් හිමි වන බවක් බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් විසින් එක් (1) දිනක් තුළ අවස්ථා තුනක දී (3) හෝ හතරක දී (4) පුහුණුවීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර එම පුහුණුවීම් කටයුතු අතරතුර සිදුරල නෞකාවේ විවිධ වේග සීමාවන් යටතේ මෙම පුහුණුවීම් කටයුතු අත්හදා බැලුවා.

පළමු (1) ගොඩබෑම පැයට නාවික සැතපුම් පහළොවකට (15) ආසන්න වේගයකින් නෞකාව ගමන් කරද්දී සිදුකෙරුණු අතර හෙලිකොප්ටර් යානා වේ දෙවැනි (2) ගොඩබෑම සිදු කරන අවස්ථාවේ සිදුරළ නෞකාව ගමන් කරමින් සිටියේය නාවික සැතපුම් 20 ක පමණ වේගයකින්.

හෙලිකොප්ටර යානාව තුන්වෙනි (3) ගොඩබෑම සිදු කෙරෙන අවස්ථාවේ දී සිදුරළ නෞකාව එහි උපරිම වේගය වන පැයට නාවික සැතපුම් 25 ක පමණ වේගයකට පැමිණ සිටි අතර එම ගොඩබෑම අතිශයින් සූක්ෂ්ම සහ අවදානම් ගොඩබෑමක් වුණා.

නමුත් මේ සෑම ගොඩබෑමක් ම ඉතාමත්ම ඉහළින් සාර්ථකව සිදු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නියමුවන් සමත්වීම විශේෂ සිදුවීමක්.

ඔවුන් ඉන්දීය පුහුණු උපදේශකගේ අධික්ෂණය යටතේ අතිශය පළපුරුදු වෘත්තීමය හැකියාවන් විදහා දක්වමින් මෙම කටයුත්තට එක්ව සිටි ආකාරය වෙසෙසින්ම අගය කළ යුතුයි.

ඉදිරියේදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව මෙරට සාගර කලාපයේ අපසතු නාවික සහ ගුවන් හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් මෙය එහි පළමු පියවර බවත් නාවික හමුදාපතිවරයා අප සමග අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සතු හෙලිකොප්ටර් යානා රැගෙන යාමේ නෞකා සංඛ්‍යාව තවත් වැඩිකර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් එමෙන්ම එම නෞකාවන් සඳහා ස්ථිර හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සොයා බලමින් සිටින බවක් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා නාවික සහ ගුවන් ක්ෂේත්‍රයේ නවමානයන් සොයමින් සිදුකරන මෙම ගමන මෙරට නාවික සහ ගුවන් ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බව නොඅනුමානයි ෴

***************************************

විදේශ කටයුතු ඇමති, දකුණු අප්‍රිකානු තානාපති හමුවෙයි

(27.03.2022 – 14:27 +0530 – hirunews.lk/sinhala)

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් හමු වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ස්ථාපිත සත්‍ය හා ප්‍රතිසන්ධානය නැමති කොමිසන් සභාව සතු අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණයන්ට ගැළපෙන පරිදි අදාළ අත්දැකීම් නිර්මාණාත්මකව සකස් කරගැනීමට වගබලා ගන්නා අතර, අනෙකුත් රටවල් සතු ධනාත්මක අත්දැකීම් අධ්‍යයනය කිරීම අපේක්ෂාව බවයි විදේශ අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ෴

***************************************

ජර්මනියේ සිට ජාන කොල්ලයට ආ අයිය මලෝ

(27.03.2022 – 14:32 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ රක්ෂිතයේ දුර්ලභ සත්ව සහ ශාක කොටස් සහ වෙරළ තීරයේ ජීවත්වන බෙල්ලන්, කකුළුවන් වැනි සතුන් තම රටට රැගෙන යාම සඳහා එක්රැස් කළ ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙණියාය – සිංහරාජ කුරුලුගල ප්‍රදේශයේ සංචාරය කිරීමට ඊයේ (26) පැමිණි ඔවුන්ගේ සහයට වන සංරක්ෂණ මාර්ගෝපදේශකයෙකු ද එක්ව ඇති බව සඳහන්.

සංචාරය අතරතුර එක් ජර්මන් ජාතිකයෙකු විසින් හොර රහසේ ගසක සිටින කටුස්සෙකු අල්ලාගෙන බෑගයකට දමා ගන්නා අයුරු නිරීක්ෂණය කළ මාර්ගෝපදේශකයා ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධානයක් දැනුවත් කර තිබෙනවා.

ඒ පිළිබඳ වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවයි ජර්මන් ජාතිකයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනතුරුව ඔවුන් නවාතැන් ගෙන සිටි දෙණියායේ සංචාරක නිකේතනය පරීක්ෂා කිරීමේදී සූක්ෂ්ම ලෙස ගබඩා කර තිබූ සත්ව ශාක කොටස්, මුහුදු කකුළුවන්, දිමියන්, ශ්‍රී ලංකාවට පමණක් ආවේනික මැඩි විශේෂ සහ බීජ සහ තවත් සත්ව වර්ග සොයාගෙන තිබෙනවා.

අවුරුදු 47 සහ 52 වයස්වල පසුවන ජර්මන් ජාතිකයන් දෙදෙනා (2) මීට සතියකට පෙර දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

සැෂේ ක්‍රමයට ගන්න වෙන හාල්

(27.03.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නය අසාර්ථක වුවහොත් පාරිභෝගිකයන්ට අගෝස්තු මාසයෙන් පසුව මිල දී ගැනීමට සිදුවන්නේ සහල් සැෂේ පැකට් බව එක්සත්
සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

පොළොන්නරුවේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ, මෙලෙස අධික ලෙස සහල් මිල ඉහළ යාමට වෙළෙඳපොළේ පවතින
සහල් මාෆියාව හේතු වී ඇති බවයි.

සහල් පෝළිම් ඇතිවීමේ අවදානමක්

(27.03.2022 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ගෑස්, ඉන්ධන පෝලිම් මෙන්ම ඉදිරියේදී සහල් පෝලිම් ද ඇති විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යා හැකි බවයි.

මේ අතර, ගොවීන් තවදුරටත් චෝදනා කළේ මෙවර සිය වී අස්වැන්න සියයට 50 කින් පමණ අඩු වී ඇති බවයි.

***************************************

නිර්මාණශීලීත්වයෙන් ඔද වැඩුණු විශ්මිත නිමැවුම්

(27.03.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථීකය දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින වත්මන් කාලසීමාවේ, ඉන් ගොඩ ඒමට ඇති විසඳුම් අතර, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

සංචාරකයින් හරහා රටේ ආර්ථීකයට ඩොලර් ගලා ඒමට නම් සංචාරකයින් ඉලක්ක කර ගත් ව්‍යාපාර රට තුළ නිර්මාණය කිරීමත් ඉතා වැදගත්.

එලෙස විදෙස් සංචාරකයින් ඉලක්ක කරගත් විවිධ අපූරු නිර්මාණයන් බිහි කරන්නට දේශීය කලාකරුවන්ට ඇති හැකියාව විස්මිත වුවත් ඊට නිසි
අනුග්‍රාහකත්වයක් නොමැතිවීම කණගාටුවට කරුණක්.

ඔබ මේ දකින්නේ සිතුවම් කිහිපයක ඡායා පිටපත්ද? නෑ…

මේ සිතුවම් කලාවට විශේෂ ප්‍රාගුණ්‍යයක් දක්වන අපේ රටේ තවත් දක්ෂයෙකුගේ අපූරු නිර්මාණ එකතුවක්.

බදුල්ල කියන්නේ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ නිබඳ ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක්.

එම ප්‍රදේශයේ ජීවත්වෙන බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග සැකසී ඇත්තේ ද සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කරගනිමින්.

චන්දන සිරිමාන්න මහතා ද සංචාරක ව්‍යාපාරය සිය ජීවනෝපාය කරගත් පුද්ගලයෙක්.

මේ, සංචාරකයින්ට අලෙවි කිරීම වෙනුවෙන් සිරිමාන්න මහතාගේ දෑතින් ලී මත සැකසෙන සිතුවම්.

නමුත් අද වනවිට ඔහුගේ නිර්මාණ එළි දැක්වීමට ඉඩකඩ ඇහිරී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන්.

අජීවි ලී කැබැල්ලකට ප්‍රාණය දෙමින් තම ජීවන ගමන සවිමත් කරගන්නට වෙර දරණ මෙවැනි ශිල්පීන්ට අත්වැලක් ලබාදීමෙන් එය රටේ හෙට දවස ශක්තිමත් කරනු නොඅනුමානයි.

***************************************

‘වැලේ වැල් නැති වූ’ මීගහකිවුල පාලම

(27.03.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

එදිනෙදා කටයුතුවලදී ගමනාගමන පහසුකම් ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් වුවත් එම පහසුකම් නිසියාකාරය සපයාගත නොහැකිව අපහසුතාවට පත්ව සිටින්නන් පිළිබඳව අප අවස්ථා ගණනාවකදී වාර්තා කළා.

මේ එලෙස පීඩාවට පත් වූ මීගහකිවුල ප්‍රදේශයේ පිරිසක් ගැන තොරතුරු.

මීගහකිවුල ලොග්ගල්ලාඔය හරහා ගමන් කිරීම සඳහා ඉඳි කර ඇති වැල් පාලමයි මේ.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැටවත්ත ඌරුපිටියථ මොරහෙල, සියඹලා ගස්ලන්ද වත්තේගෙදර ආදී ගම්මාන රැසක ජනතාවට සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති පහසුම මාර්ගය මෙම පාලමයි.

වසර 10 කට පමණ පෙර ඉඳිකර ඇති මේ වැල් පාලමේ කිසිදු ප්‍රතිසංස්කරණයක් මේ වන තෙක් සිදු කර නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගම්වාසීන්ගේ ජීවනෝපායන් මෙන්ම දෛනකි අවශ්‍යතා ඉටු කර ගැනීමට පවා බාධා එල්ල වී ඇත්තේ ගමනාගමන පහසුකම් නොමැතිවීමෙනුයි.

කිසිදු නඩත්තුවක් සිදු නොවීම හේතුවෙන් පාලම් ලෑලි දිරාපත්ව ඇති අතර වැසි කාලවලදී මෙම පාලම භාවිතයට ගැනීම අවදානම් බව ගම්වාසීන් පවසනවා.

ජනතා මුදල් නිරපරාදේ යොදා ගනිමින් ඉදිකෙරෙන ව්‍යාපෘති වෙනුවට ජනතාවට සහනයක් සැළසිය හැකි මෙවැනි පාලමක් ප්‍රතිසංස්කරණයට ඒ අරමුදල් වෙන් කිරීම බලධාරීන්ගේ යුතුකමක් නොවේද?

***************************************

කොහුවල පාලමෙහි ඉදිකිරීම් කඩිනම් කරන්නැයි මහාමාර්ග ඇමතිගෙන් උපදෙස්

(27.03.2022 – 15:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදයට පිළියම් ලෙස ඉදිකරමින් පවතින කොහුවල ගුවන් පාලමේ කටයුතු ලබන වසරේ ජූලි වනවිට අවසන් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සියයට 46 ක් පමණ සිදුකර අවසන් බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

හංගේරියානු මූල්‍යාධාර මත මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ ජනවාරි මස 12 වනදායි.

අදාළ පාලම දිගින් මීටර 297 ක් වන අතර, පළල මීටර 9.4 ක්. කොහුවල මංසන්ධියේ සිට කොළඹ – හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකෙරෙන අතර, එම ගුවන් පාලම පහළින් නුගේගොඩ – කළුබෝවිල මාර්ගය වෙත ද ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

පාලම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 2,648 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *