වත්මන් අර්බුදය හමුවේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ‘භයානක දේශපාලන උගුලක්’ අටවමින් සිටිනවා. එයට පය තබා ඒකීය ශ්‍රී ලංකාව පාවා දීමට සැරසෙන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ ජනපතිට කියයි

වත්මන් අර්බුදය හමුවේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ‘භයානක දේශපාලන උගුලක්’ අටවමින් සිටිනවා. එයට පය තබා ඒකීය ශ්‍රී ලංකාව පාවා දීමට සැරසෙන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ ජනපතිට කියයි

*********************************************

වත්මන් අර්බුදය හමුවේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ‘භයානක දේශපාලන උගුලක්’ අටවමින් සිටිනවා. එයට පය තබා ඒකීය ශ්‍රී ලංකාව පාවා දීමට සැරසෙන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ ජනපතිට කියයි

(27.03.2022 – 19:04 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිතා කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උකුලක් අටවමින් සිටින බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණ, එම දේශපාලන උගුලට පය තබා, ඔහු ඇතුළු රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත් ඒකීය ශ්‍රී ලංකාව පාවාදීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවා සිටී.

අද (27) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ එහි ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ අනතුරු අඟවා සිටියේ ය.

පසුගිය 25 වැනිදා දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව ද පදනම් කරගනිමින් අදහස් දැක්වූ ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේ ‘යුද විරුවා’ ‘පාවා දෙන්නකු’ බවට පත්කර ගැනීමේ අභිලාෂයෙන් එම සාකච්ඡාව පැවති බව ය. එම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්’ සෞභාග්‍ය කරා රැගෙන යාමේ යෝජනා පහක් (5) ඉදිරිපත් කර ඇති බවත් ඔහු පවසන්නේ ‘දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව’ යන දෙකෙන් (2) එක්සත් වූ ශ්‍රී ලංකාවක් පිළිබඳව බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘එක්සත් ශ්‍රී ලංකාවක්’ යන්න ප්‍රතික්ෂේප කර නැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය ද ඒ සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්’ යන වචන ඒ ආකාරයෙන්ම යොදා ඇති බවත් සඳහන් කළ ජයන්ත සමරවීර මහතා, ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්’ පිළිබඳව පූර්ව එකඟතාවක් සහිතව මෙම සාකච්ඡාව සිදුකළා ද යන සැකය මතුවීම, වැළැක්විය නොහැකි බවත් කීය.

ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා සමග පැවති ඉහත සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ප්‍රධානතම යෝජනාව වූයේ උතුරු නැගෙනහිර දෙපළාත සංවර්ධනය සඳහා වෙනම අරමුදලක් පිහිටුවීම බවද කී ජයන්ත සමරවීර මහතා, එම්.ඒ. සුමන්තිරන් මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ඩයස්පෝරාවේ මුදල් උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා යොදාගැනීමට නම් ‘13 න් එහා ගිය’ බලයක් අවශ්‍ය බවට මාධ්‍ය වෙත පළ කළ අදහස් ද මෙරට භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය අගය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් අවධානයට යොමු විය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සැරසෙන්නේ කුඩු ජාවාරම්, ආයුධ ජාවාරම්, මිනිස් ජාවාරම් සිදුකර දෙමළ ඩයස්පෝරාව රැස් කරගෙන ඇති කළු සල්ලි උතුරු නැගෙනහිර දෙපළාතට රැගෙන ඒමට බවත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ලබා දී ඇති බලතලවලට වඩා වැඩි බලතල ඉල්ලන්නේ ඒ සඳහා බවත් ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය. ‘මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය’ සම්මත කරගනිමින් ‘මහ ඇමති අරමුදල’ පිහිටුවා, දෙමළ ඩයස්පෝරාවේ මුදල් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයේ කිසිදු අධීක්ෂණයකින් තොරව, එම අරමුදලට බැර කොට දෙමළ බෙදුම්වාදී වුවමනාවන් වෙනුවෙන් භාවිත කිරීම, ඉහත දුෂ්ට යෝජනාවේ අභිලාශය බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ තවත් යෝජනාවක් වන ‘අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමට සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සැකසීම’ට එකඟ වුවහොත් රණවිරුවන්ට එරෙහිව යළිත් චෝදනා ෆැක්ටරියක් නිර්මාණය වනු ඇති බවත් එමගින් දෙමළ ජාතික සන්ධානයේ, ‘රණවිරුවන් දංගෙඩියට යැවීමේ’ අරමුණු ඉටු වනු ඇති බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. එසේම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බිහිසුණු කොටි ත්‍රස්තවාදීන් පිරිස විමර්ශන අවසන් වීමට ප්‍රථම මුදා ගැනීම ද මෙම සාකච්ඡාවේ අරමුණක් වී ඇති බව ජානිපෙ ජාතික සංවිධායකවරයා මෙහිදී කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි 40/1 යෝජනාව අනුව මෙරට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ බවත් එම කවුන්සිලයේ විමර්ශන යාන්ත්‍රණයකින් පසුව 2022 සැප්තැම්බර් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවට එරෙහි 50/1 යෝජනාව මගින් එම රණවිරුවන්ට නිල චෝදනා පත්‍ර භාරදීමට නියමිත බවත් එම තත්ත්වය ද දඩමීමා කරගනිමින් දෙමළ බෙදුම්වාදීන් මෙවැනි සාකච්ඡා පණගන්වා ඇති බවත් ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ, කැස්බෑව නගර සභා මන්ත්‍රී අතුල සේනාරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2022/03/27

++++++

***************************************

කළු මුදල් වෙළඳපොළට නිදහසේ වැඩෙන්න ඉඩ දී රුපියල පා කළාම නතරවන ඉම පිළිබඳව කිසිවකුටත් අනාවැකි කීමට බැහැ – හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

(25.03.2022 – facebook.com/WimalWeerawansa.sl)

‘උන්ඩියල්’ කළු මුදල් වෙළඳපොළට නිදහසේ වැඩෙන්නට ඉඩ දී රුපියල පා කළාම නතරවන ඉම පිළිබඳව කිසිවකුටත් අනාවැකි කීමට බැරි බවත් රුපියල පා කිරීමේ තීරණය ගතයුත්තේ එම කළු මුදල් වෙළෙඳපොළ නිෂ්ක්‍රිය කිරීමෙන් අනතුරුව බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ අද (25) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී ඇරැඹී ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්පෝ 2022’ ඉදිකිරීම් හා වාස්තුවිද්‍යා වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත දෙසුම සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා :

“අසුබවාදී කරුණු අසන්න, දකින්න, විඳින්න සිදුව ඇති මේ වෙලාවේ ඒ අසුබවාදයට සම්පූර්ණයෙන්ම යටත් වෙන්නේ නැතුව, සුබවාදීව මේ රටේ අනාගතය පිළිබඳ චිත්‍රයක් මවන්න මේ ‘කැදැල්ල ඉදිකිරීම් හා වාස්තු විද්‍යා වෙළෙඳ ප්‍රදර්ශනයට’ හැකි වේවා’යි මා පළමුකොටම ප්‍රාර්ථනා කරනවා. මේ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා මට ඇරයුම ලැබුණේ මා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදීයි. මා හිතුවා, අමාත්‍ය ධුරය අහිමි වන විට එම ඇරයුම ද අවලංගු වේවි, කියා. නමුත් සංවිධායකයන් එසේ නොකොට එම ඇරයුම එලෙසම පවතින බව මා හට දැනුම් දුන්නා. ඒ අනුව තමයි මා මෙම අවස්ථාවට සහභාගී වන්නේ.

ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම

මා හිතනවා ‘අපේ රට මේ වැටී තිබෙන ඉරණමෙන් ගොඩගැනීම අමාරු නැහැ’ කියා. සමහර ප්‍රතිපත්තිමය තීරණ තිබෙනවා මීට පෙර ගත යුතුව තිබූ. උදාහරණයක් ලෙස අපේ රටේ ප්‍රාග්ධන ගිණුම පිළිබඳ විමසා බලමු. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල ‘ප්‍රාග්ධන ගිණුම’ විවෘත කොට නැහැ. ‘ප්‍රාග්ධන ගිණුම’ විවෘත කොට නැති නිසා එම රටවල් කුමන හෝ ආකාරයකින් අපනයනයෙන් උපයන විදේශ විනිමය එම රටවලටම නිශ්චිත කාලයක් තුළ එනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ඉල්ලීම පරිදි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ අපේ රටේ මේ ප්‍රාග්ධන ගිණුම විවෘත කළා. එතැන් සිට ‘අපේ රටේ අපනයන ආදායම මෙපමණ ගණනකින් ඉහළ ගිහිල්ලා’ කියා අප කීවත් ඒ පවසන ගණන ශ්‍රී ලංකාව තුළට එන්නේ නැහැ. ඒ අපනයන ආදායම වෙනත් රටවල තබන්න ඒ අයට පුළුවන්. එම ආදායම වෙන කටයුතු වෙනුවෙන් යොදවන්න පුළුවන්. නමුත් තම රටවල ප්‍රාග්ධන ගිණුම විවෘත කොට නැති ඉන්දියාව බංග්ලාදේශය වැනි බොහෝ රටවල එහෙම කරන්න බැහැ. අඩුම තරමින් විදේශ විනිමය අර්බුදයකට අපේ රට මුහුණ පා සිටින මේ වෙලාවේවත් මොළේ පහළ වන්නේ නැහැ. මේ රටේ ප්‍රාග්ධන ගිණුම විවෘත කරපු එක වෙනස් කරලා, එය පෙර තිබූ තත්ත්වයට පත් කරන්න. එහෙම කළොත් විතරයි යම්කිසි කෙනෙක් විදේශ විනිමය උපයන ලැබුවහොත් නිශ්චිත කාලයක් තුළ එය මේ රට තුළට එන්නේ.

කළු මුදල් වෙළෙඳපොළ

ඒ අතරේ අපි රුපියල පා කරනවා, කළු මුදල් වෙළඳපළට වැඩෙන්න ඉඩදීලා. ‘උන්ඩියල්’ කළු මුදල් වෙළඳපොළ නිදහසේ වැඩෙන්න ඉඩදීලා රුපියල පාකරපුවාම කෙළවර වන තැනක් නැහැ. ඩොලර් එක ස්වාභාවිකව රුපියල් 300 ක නතර වුණත් කළු මුදල් වෙළෙඳපොළ එය රුපියල් 310 කරනවා. එවිට ඩොලරය රුපියල් 320 ටත් එහා යනවා. එම කළු මුදල් වෙළෙඳපොළ නිෂ්ක්‍රීය කරලයි ‘රුපියල පා කරනවාද, නැද්ද?’ කියන තීරණය ගත යුත්තේ. කළු මුදල් ආර්ථිකයට නිදහසේ වැඩෙන්නට දීලා දේශීය මුදල් ඒකකය පා කළාම එය නතර වන ඉම ගැන කාටවත් අනාවැකි පළ කිරීමට බැහැ. රටවැසියන්ගේ හදවත් තුළ තිබෙන ප්‍රශ්න තමයි, ‘මේ උදවියට මේ පුංචි දේවල්වත් තේරෙන්නේ නැද්ද? තේරුණත් මේක මෙහෙම වීමට ඉඩ දී බලා සිටිනවාද?’ යන ඒවා.

‘ප්‍රමාද වෙලා හරි, අපේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය එඩිතර තීරණ ගන්න ඥානය මේ උදවියට පහළ වේවා’යි කියා මා ප්‍රාර්ථනා කරනවා. එසේම අසුබවාදී කරුණු පිළිබඳව අසන්න ලැබෙන මේ වෙලාවේ එයින් වෙනස්ව අපේ රටේ පොදු ජනතාවගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිබෙන සිහින සැබෑ කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව ප්‍රදර්ශන සංවිධායකයන් වෙත ස්තූතිය පුද කර සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2022/03/25

***************************************

සර්ව පාක්ෂික සමුළුව ජාතික ආණ්ඩු මර උගුලක්ද? සභ්‍යත්ව සංකථන – 36 (26.03.2022)

+

@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@

කොරෝනා මරණ 02 ක්

(26.03.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් දෙදෙනකුගේ මරණ අද (26) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සිදු වූ වෛරස ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 16,454 ක්.

ඊයේ (25) දිනය වනවිට වාර්තා වූ නව ආසාදිතයින් සමග මෙරට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන ද 6,60,633 ක් වන අතර, තවදුරටත් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7093 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

++++++++++

කොරෝනා ආසාදිතයින් 32 ක් පූර්ණ සුවයට

(26.03.2022 – 16:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 32 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,37,088 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ අතර තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (25) දිනයට අදාළව වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,454 ක් ලෙසයි ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

යුක්රේන යුද්ධයේ පළමු අදියර අවසන් බව රුසියාව කියයි

(26.03.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන යුද්ධයේ පළමු (1) අදියර අවසන් වී ඇති අතර, නැගෙනහිර ඩොන්බාස් කලාපය මුළුමනින්ම නිදහස් කරගැනීම පිළිබඳව දැන් අවධානය යොමු කරන බව රුසියාව පවසනවා.

ඩොන්බාස් පිහිටා ඇත්තේ යුක්රේනයෙන් වෙන්වූ රුසියානු හිතවාදී කලාප දෙක (2) අතරතුරයි.

කෙසේ නමුත් බටහිර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශයෙන් යුක්රේනයේ රුසියානු යුද ක්‍රමෝපාය අසාර්ථක වී ඇතැයි තහවුරු වන බවයි.

කීව් අගනුවර තදාසන්නයේ රැඳී සිටි රුසියානු හමුදා යම් පසුබෑමකට ලක්ව ඇති බවද යුක්රේනය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ඔවුන් නගර මධ්‍යය වෙත ගොඩබිම් ප්‍රහාරයක් කඩිනමින් ආරම්භ කිරීමට සූදානමක් නොමැති බවයි ඇමරිකානු ඔත්තු සේවා සඳහන් කළේ.

මේ අතර දකුණුදිග මරියුපොල් නුවර ජනයා රැකවරණ ලැබූ රඟහලකට පසුගිය සතියේ එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් 300 දෙනෙකු පමණ මියගොස් ඇතැයි සැළකෙන බව නගර බලධාරීන් ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@

දුඹුරු සීනි ආනයනකරුවන් ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලබාගෙන නොමැති බව හෙළි වේ

(27.03.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ ජනවාරි සිට 2021 ජූනි දක්වා ආයතන 89 කින් අවස්ථා 1014 ක දී දුඹුරු සීනි ආනයනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම කිසිදු ආනයනකරුවෙකු ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී අනුකූලතා සහතිකයක් ලබාගෙන නොමැති බවයි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්ය භාරය පිළිබඳව සිදුකළ විගණනයේ දී අනාවරණ වී ඇත්තේ.

ප්‍රමිති ආයතනය විසින් ආනයනික භාණ්ඩ සඳහා ක්‍රියාත්මක කරනු ලබන තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණ ක්‍රමය යටතේ අනිවාර්යයෙන් පරීක්ෂා කර අනුමත කළ යුතු ආනයන භාණ්ඩ පිළිබඳ නිර්දේශ ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රමිති ආයතනය විසින් ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් පිළියෙල කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව යම් නිෂ්පාදන ආයතනයක් යම් තොගයක් ආනයනය කිරීමේදී ඊට අදාළව අනුකූලතා සහතික ලබා ගන්නා ආයතනය මගින් නියැදි පරීක්ෂාවක් සිදුකළ යුතු වනවා.

කෙසේ වෙතත්, 2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා දුඹුරු සීනි ආනයනයේදී විස්තරාත්මක නියැදි පරීක්ෂාවන් සිදුකර ඇත්තේ අවස්ථාව 49 ක දී පමණක් බවයි ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේ දී අනාවරණ වී ඇත්තේ.

එහිදී මාර්ගෝපදේශයේ සඳහන් තොගය පරීක්ෂා කිරීමකින් තොරව විකිණීමට හෝ භාවිතයට ඉඩදෙනු ලබන අවස්ථා 04 ට ම අනුකූල නොවී දුඹුරු සීනි තොග ගෙන්වා තිබූ අවස්ථා 31 ක දී අමෙරිකානු ඩොලර් 23,91,388 ක් වටිනා මෙට්‍රික් ටොන් 6323.3 ක දුඹුරු සීනි නියැදි පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබෙනවා.

එසේම, ආනයනික භාණ්ඩ වෙළඳපොලට නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය මතවන බැවින් එහි පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ වෙළඳපොලට නිකුත් නොවන බවට තහවුරු කර ගැනීම අධීක්ෂණය කිරීමට සුදුසු මාර්ගෝපදේශයක් හෝ ක්‍රමවේදයක් ආයතනය සතුව නොමැති බවද මෙහිදී නිරීක්ෂණය වී තවත් කරුණක්.

මෙම විගණනයේදී අනාවරණ වී ඇති තවත් කරුණක් වන්නේ ප්‍රමිති ආයතනය සඳහා 393 ක කාර්ය මණ්ඩලයක් අනුමත කර ඇතත්, එහි කාර්යයන් ඉටු කිරීමෙහිලා ඍජුව දායක වන තනතුරු 106 ක් 2021 ජූලි 31 වැනිදා වනවිටත් පුරප්පාඩුව පවතින බවයි.

මේ හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ කඩිනමින් සිදුකර වාර්තා ලබාදීම, ප්‍රමිති සකස් කිරීම, වෙළඳපොල පරීක්ෂාවන් යනාදී ආයතනික අරමුණු ඉටු කිරීම ප්‍රමාදවීම් හා අවම වීම් නිරීක්ෂණය වී ඇති බව ද ජාතික විගණන කාර්යාල වාර්තාවේ දැක්වෙනවා ෴

***************************************

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට (28) දිවයිනට

(27.03.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් හෙට (28) තුන්දින (3) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම සංචාරයේ නිරතවන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම එය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ඉන්දීය සංචාරයන්හි පසු විපරම් චාරිකාවක් ලෙසයි එමඟින් හඳුන්වා ඇත්තේ.

ආචාර්ය එස්. ජායිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී සිදු කෙරෙන ද්විපාර්ශවික සාකච්ඡා සහ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් අපේක්ෂා කරන ප්‍රමුඛ කරුණු පිළිබඳව අවධානය යොමුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලබන 29 වනදා කොළඹ දී පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල හමුවට ද සහභාගිවනු ඇති ෴

***************************************

රටඉඳි නොමැතිව මුස්ලිම් බැතිමතුන් අපහසුතාවයට

(27.03.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

උපවාස සමය සඳහා ප්‍රමාණවත් රටඉඳි නොමැති වීමෙන් මුස්ලිම් ජනතාව ඉස්ලාම් චාරිත්‍ර සිදු කිරීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව දවටගහ මුස්ලිම් මහ පල්ලිය ප්‍රකාශ කළා.

එහි සභාපති රියාස් සාලි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රජය මගින් පසුගියදා ආනයන සීමා පැනවූ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය අතරට රටඉඳි ද අයත් වීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇති බවයි.

ඒ අනුව මේ වනවිට රටඉඳි ආනයනය සීමා වීම හේතුවෙන් රට තුළ රටඉඳි හිඟයක් හටගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

නබිනායක තුමන්ගේ සමයේ සිට පැවත එන ඉස්ලාම් චාරිත්‍රයන්ට අනුව නෝම්බි ඇල්ලීම හෙවත් උපවාස ආරම්භයේ දී ඉස්ලාම් බැතිමතුන් රටඉඳි කැබලි 3 ක් ආහාරයට ගත යුතු බව සඳහන්.

මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කලේ මුස්ලිම් ජනතාවට බෙදා දීම සඳහා මේ වන විට රටඉඳි මෙට්‍රික් ටොන් 40 ක තොගයක් ආනයනය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙරට මුස්ලිම්වරුන්ගේ උපවාස සමය සඳහා එම රටඉඳි තොගය ප්‍රමාණවත් නොවන බව මුස්ලිම් මහ පල්ලිය පවසනවා.

එහි සභාපති රියාස් සාලි හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ උපවාස සමයේ මෙරට මුස්ලිම් ජනතාව සඳහා රටඉඳි මෙට්‍රික් ටොන් 350 ක පමණ අවශ්‍යතාවයක් පවතින බවයි.

මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස සමය ලබන අප්‍රේල් 03 වනදා සිට ආරම්භ වීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *