*********************************************
බැංකු පද්ධතිය ස්ථාවර බව මහබැංකුව ජනතාවට දැනුම්දෙයි
(24.03.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 279.90 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 289.99 ක් ලෙසත් සටහන් වුණා.
ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 369 ක් වූ අතර එහි විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 383 ක් ලෙසයි.
යුරෝ එකක ගැණුම් මිල රුපියල් 310 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 321 ක් ලෙසත් සටහන් වුණා.
මේ අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවත්, රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදුවන බවත් මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව ජනතාවට දැනුම් දෙනවා.
ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සහ රාජ්‍ය බැංකුවල කටයුතු සම්බන්ධයෙන් පළ වන ඇතැම් ප්‍රකාශ අනුව නොව, ස්ථාවරව සහ සාමාන්‍ය පරිදි අදාළ කටයුතු සිදුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම ඉහළ පෙළේ රාජ්‍ය බැංකු පද්ධතිය ගැන පාර්ලිමේන්තුවේ දී ද විපක්ෂයෙන් අදහස් මතු වුණා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ අද (24) උදෑසන වන විට රුපියලේ අගය අවප්‍රමාණය වීම මත ඩොලර් අර්බුදය විසඳාගත නොහැකිව මෙරට රාජ්‍ය බැංකුවක් අකර්මන්‍ය වී ඇති බවයි.
මේ අතර, ව්‍යාජ ලේඛන සකස් කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගලයින් 44 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68 ක ණය ලබාගෙන ඇති සිද්ධියක් කෝප් කමිටුවේ දී අවධානයට ලක්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවයි කෝප් කමිටුව හමුවට පැමිණ ඇති බැංකුවේ නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.
***************************************
මෙරට භූ සම්පත් හඳුනා ගැනීමට නව වැඩපිළිවෙලක්
(24.03.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala)
ඉහළ වටිනාකමකින් යුත් මෙරට භූ සම්පත් හඳුනා ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ, ලංකා ඛනිජ වැලි සමාගම සමග ඒකාබද්ධවයි.
ඇතැම් සමාගම් සහ පුද්ගලයන් ඛනිජ සම්පත් ගවේෂණ බලපත්‍ර ලබාගෙන තිබුණ ද එම ගවේෂණ කටයුතු නිසි පරිදි සිදු නොකරන බව පරිසර අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, ඇතැම් ස්ථානවල සමීක්ෂණ භූමි ආවරණය වන සේ ගොඩනැගිලි ඉදිකර ඇති අතර ඒවා නිසි පරිදි අධීක්ෂණය කෙරෙන්නේ ද නැහැ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන භූ සම්පත් නිවැරදිව හඳුනා ගැනීම සඳහා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සැලසුම් කර ඇත්තේ ෴
***************************************
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ – මහින්දානන්ද අලුත්ගමගේ
(24.03.2022 – 11:17 +0530 – hirunews.lk/sinhala)
ආහාර සුරක්ෂිතතාවය පිළිබදව ගැටළුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, භාණ්ඩවල මිල ඉහළ යාම පාලනය කිරීම සදහා කඩිනම් පියවර ගත යුතුව ඇති බවයි විපක්ෂය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ.
මේ අතර, ඖෂධ උපරිම මිල සීමාව උල්ලංගණය කරමින් අලෙවි කරන වෙළදුන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (24) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
***************************************
සජිත්ගෙන් කඩාගෙන රනිල්ට වෙන හේත්තුවක් ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්
(24.03.2022 – 11:40 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තුවේ දි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අද (24) සුවිශේෂ හෙළිදරව්වක් සිදු කළා.
මේ ගෙවෙන්නේ, ලාංකීය දේශපාලනයේ බල තුලනය ගැන පක්ෂ විපක්ෂ මෙන්ම ජනතාව ද ඉතා බරපතළ ලෙස සාකච්ඡා කරන අවදියක්.
එවැනි අවස්ථාවක දී සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් පිළිබඳ අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ කතාව පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.
ඔහු පවසන්නේ, නුදුරේදී ම සජිත් පිල අතහැර රනිල් පිලෙහි ඉඳගැනීම පිණිස සූදානම් වූ නියෝජිතයින් දස (10) දෙනෙකු පමණ සමගි ජන බලවේගයේ සිටිනා බව යි.
එම නම් ලැයිස්තුව ඕනෑ ම වෙලාවක තමන්ට ඉදිරිපත් කළ හැකි බවත් මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා ෴
***************************************
උතුරේ තවත් දස (10) දෙනෙක් තමිල්නාඩුවේ සරණාගතභාවය ඉල්ලයි
(24.03.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)
ඊයේ (23) දිනය තුළ දී උතුරේ තවත් ශ්‍රී ලාංකිකයින් දහදෙනකු (10) කුඩා බෝට්ටුවක් භාවිතා කරමින් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත ගොස් එහි සරණාගතභාවය ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස කුඩා ෆයිබර්ග්ලාස් බෝට්ටුවක් භාවිත කරමින් තමිල්නාඩුව වෙත ගොස් ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක (2) පිරිමි ළමුන් පස් (5) දෙනකු, ගැහැණු ලමුන් තිදෙනකු (3) සහ පිරිමින් දෙදෙනෙකු (2) ඇතුළු දස (10) දෙනෙකු යි.
මේ පිරිස මන්නාරම ප්‍රදේශයෙන් පෙරේදා (22) පෙරවරු 9 ට පමණ පිටත්ව ගොස් ඇත්තේ ඔවුන්ට අයත් ෆයිබර්ග්ලාස් බෝට්ටුවකින්.
තමිල්නාඩු වෙරළාරක්ෂක බලකායේ විසින් මේ පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් පවසා ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම තව දුරටත් දරා ගැනීමට නො හැකි වීම හේතුවෙන් මෙලෙස ඉන්දියාවට පැමිණි බවයි.
තමිල්නාඩුවේ ධනුෂ්කොඩි පොලීසිය භාරයට පත් කෙරුණු මෙම පිරිස සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු නිම කිරීමෙන් අනතුරුව අනවසර ලෙස රටට ඇතුලු වීමේ චෝදනා යටතේ නඩු පැවරීමට ඉඩ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර මීට දින 2 කට පෙර මන්න්නාරම ප්‍රදේශයේ වාසය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු මේ ආකාරයටම කුඩා බෝට්ටුවක් භාවිත කරමින් ඉන්දියාවේ තමිල්නාඩුවේ ධනුෂ්කොඩි ප්‍රදේශයට පැමිණියා.
ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලවල දී පවසා ඇත්තේ, ආර්ථික පීඩනය දරාගත නො හැකි මට්ටමකට වර්ධනය වී තිබීම හේතුවෙන් මෙලෙස තමිල්නාඩුවට පලා ආ බවයි.
මේ අනුව මේ දක්වා උතුරුකරයෙන් තමිල්නාඩුවට පලාගිය සරණාගතයින් සංඛ්‍යාව දාසයක් (16) දක්වා ඉහළ යනවා.
මේ අතර ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට පලායන සරණාගතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක් මතුව ඇති බැවින් එම ප්‍රදේශයේ ඉන්දීය වෙරළාරක්ෂක සහ නාවික හමුදා ආරක්ෂාවන් තර කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴
***************************************
රනිල්ට, සරත් ෆොන්සේකාට චෝදනා භාර දෙයි
(24.03.2022 – 12:08 +0530 – hirunews.lk/sinhala)
හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට සහ සරත් ෆොන්සේකාට දේශපාලන පලිගැනීම් කොමිසමෙන් චෝදනා භාර දී ඇති බව පැවසෙනවා.
අද (24) රැස්වූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව මේ පිළිබදව පැවසූ බව සමගි ජන බලවේගයේ නීතිඥ තුසිත් විජේගුණවර්ධන කියා සිටියා.
අද (24) උදෑසන 10 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් කරන ලද කාර්යයන් පිළිබදව පරීක්ෂාකර තොරතුරු ලබාගෙන පරීක්ෂණ පැවැත්වීම හා විමර්ශනය කර වාර්තා කිරීම සහ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව රැස්වුණා.
මෙම ජනාධිපති කොමිසමේ මූලික කාර්ය භාරය වනුයේ පසුගිය යහපාලන රජය සමයේ මෙම දූෂණ විරෝධී කමිටුව හරහා විවිධ චෝදනා එල්ල කරමින් දේශපාලන පළිගැනීම් සිදු කළ බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව සවිස්තරාත්මකව සොයා බැලීම යි.
මේ සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම කමිටුවේ නියෝජිතයින් ලෙස ක්‍රියා කළ තවත් පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා.
අද (24) කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා මෙලෙස චෝදනා එල්ල කෙරුණු 107 දෙනෙකු කැඳවා තිබූණා.
එහි දී මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් වෙනුවෙන් එහි ලේකම් නිසාම් කාරියප්පර් මෙම කොමිසම් හමුවේ පෙනී සිටියා.
මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිසාම් කාරියප්පර් කියා සිටියේ තමන් සිය පක්ෂයේ නායක රවුෆ් හකීම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙම කොමිසමට පැමිණි බවයි.
එමෙන්ම ඊයේ (23) පැවැති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ පක්ෂයක් ලෙස එම සර්වපාක්ෂික සමුළුව එක් නොවීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම සමුළුවට එක් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බංකොලොත් වූ දේශපාලඥයකු බවින් ඔහුට එම සමුළුවට රැස්වීම සඳහා කිසිම බාධාවක් නොමැති බවයි.
එලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට එම සර්වපාක්ෂික සමුළුවට යෑමේ හැකියාවක් තිබුණ ද පක්ෂයක් ලෙස තමන්ට එවැනි හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මෙම කොමිසම් නැවත අප්‍රේල් මස 07 වන දා කැඳවීම්ට නියමිත යි ෴
***************************************
තාරක බාලසූරියගෙන් තානාපති කාර්යාල ගැන විශේෂ ප්‍රකාශයක්
(24.03.2022 – 12:41 +0530 – hirunews.lk/sinhala)
ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශයන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල 65 න් ඇතැම් තානාපති කාර්යාල තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව ඇති බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙම තානාපති කාර්යාලවල සේවය කරන්නන්ට වැටුප් ගෙවීමේ අර්බුදයක් පවතින බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, ආහාර සුරක්ෂිතතාවය පිළිබදව ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ෴
***************************************
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40% කින් ඉහළට
(24.03.2022 – 12:44 +0530 – hirunews.lk/sinhala)
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතැම් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ පරිප්පු, සීනි, හාල්, වැනි ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
අද (24) දිනයේ ඇතැම් වාණිජ බැංකු ඩොලරයේ අගය 290 ත් 295 ත් අතර අගයකින් ඉහළ දමා තිබුණා.
කෙසේ වෙතත්, ඉන්දියානු ණය පහසුකම මෙරටට ලැබීමත් සමග ඩොලරයට පවතින ඉල්ලුම ඉදිරියේ දී අවම වනු ඇති බවට අපේක්ෂා කරන බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සදහන් කළේ.
ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500 ක් පමණ මේ වන විට වරායේ සිර වී ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් ලද මුදල් උපයෝගී කර ගනිමින් ඒවා නිදහස් කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සදහන් කළා ෴
***************************************
ඇමති ලොකුගේගේ රියදුරු ඝාතනයට, එක ම පවුලේ සිව් (4) දෙනා රිමාන්ඩ්
(24.03.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු එක ම පවුලේ සිව් දෙනා ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, මොවුන් කැස්බෑව මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ හමුවට අද (24) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පිළියන්දල – මාවිත්තර – ගම්මානවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පියා, 46 හැවිරිදි මව, ඔවුන්ගේ අවුරුදු 25 සහ 21 යන වයස්වල පසුවන පුතුන් දෙදෙනා (2) යි.
රිමාන්ඩ් භාරයට පත් එක් සැකකාර පුතෙකු පසුගිය 21 වනදා ගම්මානවත්ත පාර ප්‍රදේශයේ අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු ‘කනිෂ්ක ගයාන්’ නමැති දෙදරු පියා අවවාද කිරීම මුල්කරගනිමින් බහින් බස්වීමක් ඇතිව තිබෙනවා.
එය දුරදිග යාමෙන් යතුරුපැදිකරුගේ පවුලේ සාමාජිකයන් තියුණු ආයුධවලින් සහ පොලුවලින් පහර දී මොහු ඝාතනය කර තිබුණා.
සැකකරුවන් සිවු (4) දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ, දෙහිවල, කළුබෝවිල, ගල්කිස්ස සහ මාවිත්තර ප්රදේශවලදීයි ෴
***************************************
රුපියල් කෝටි ගණනක කුෂ් හා වෙනත් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට
(24.03.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)
තැපැල් දෙපාර්තමේන්තුවේ විදේශීය පාර්සල් එකකයට ලැබුණු පාර්සල අටක් (8) පරීක්ෂා කිරීමේ දී එම පාර්සල් තුළ තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ‘කුෂ්’ නැමති මත්ද්‍රව්‍ය සහ ‘එක්ස්ටසි’ නැමැති මත් පෙති තොගයක් සොයා ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා.
එක්සත් රාජධානියේ සහ කැනඩාවේ සිට මෙරටට එවන ලද මෙම පාර්සල තුළ තිබී සොයා ගත් ‘කුෂ්’ නැමති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 1590.
මීට අමතරව මෙම පාර්සල විවෘත කිරීමේ දී ‘එක්ස්ටසි’ නැමැති මත් පෙති 601 ක් සොයා ගැනීමටත් තැපැල් දෙපාර්තමේන්තුව සහ රේගු පරීක්ෂණ කණ්ඩායම් සමත් වී තිබෙනවා.
මෙලෙස මෙරටට රැගෙන ආ ‘කුෂ්’ නැමැති මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ මෙරට වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 25.44 ක් බවයි වාර්ථා වන්නේ.
මෙහිදී සොයාගත් ‘එක්ස්ටසි’ මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධිකයි.
අදාල මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශයට භාරදුන් බව තැපැල් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළා.
***************************************
දුම්රිය ගාස්තු ඉහළට; නැවත පහළට
(24.03.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)
උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ නගරාන්තර දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
දුම්රිය දොර්තමේන්තුව සඳහන් කළේ දුර අනුව අදාළ සංශෝධන වෙනස් වන බවයි.
ඒ අනුව, කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා පළමුවන (1) පන්තියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 1000 ක්.
මීට අමතරව, දෙවන (2) පන්තියේ ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව, තුන්වන (3) පන්තියේ ගාස්තුව ද රුපියල් 300 දක්වා ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
රට තුළ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් අදාළ දුම්රිය ගාස්තු ඉහළ දැමූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පසුගිය සතියේ දී බස් රථ මගී ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඉහළ දැමුණේ අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළ නංවමින් ෴
දිලුම්ගේ නියමයෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල ඉහළ නැංවීම අත්හිටුවෙයි
(24.03.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala)
පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ උඩරට සහ උතුරු මාර්ගයේ දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු වැඩි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.
නගරාන්තර දුම්රිය ද මීට ඇතුළත් වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ දුම්රිය ස්ථාන වෙත දන්වා තිබුණේ ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු සංශෝධනය බල පැවැත්වෙන බවයි.
ඔවුන් නිවේදනය කර තිබූ නව ගාස්තු සංශෝධනයට අනුව කොළඹ කොටුව – මහනුවර, අතර වෙන් කළ ආසන ගාස්තුව පළමු (1) පන්තිය සඳහා රුපියල් 1000 ක් ලෙස දැක්වුණා. මීට පෙර එම ගාස්තුව රුපියල් 800 ක් ලෙසයි පැවතියේ.
එම දුම්රියේ දෙවන (2) පන්තියේ ගාස්තුව රුපියල් 500 ක් ලෙස දැක්වුණා. මීට පෙර එම ගාස්තුව රුපියල් 350 ක් ලෙසයි පැවතියේ.
එම දුම්රියේ තුන්වන (3) පන්තියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 300 ක් ලෙස දැක්වුණා.
එසේම, බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු ද මෙහිදී ඉහළ දමා තිබුණා. කෙසේ වෙතත්, එම ගාස්තු ඉහළ දැමීම අත්හිටුවීමට තීරණය කළ බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අද (24) පස්වරුවේ ප්‍රකාශ කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴