ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ

ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ

*********************************************

ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ

(24.03.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබා දෙන තවත් ඉන්ධන නෞකාවක් අද (24) මෙරටට ළගා වීමට නියමිත යි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ අනුව හෙට (25) දිනෙන් පසුව රට තුළ පවතින ඉන්ධන හිඟය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.

දිවයින පුරා ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අදත් අඛණ්ඩව සිදු කෙරෙන බව එම සංස්ථාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඊයේත් (23) දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද දිවයිනේ පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉන්ධන අර්බුදයට විසඳුම් ඉල්ලා මින්නේරිය – හිඟුරක්ගොඩ, කවුඩුල්ල ප්‍රදේශයේ ගොවීන් මින්නේරිය මහසෙන් ප්‍රතිමාව ඉදිරිපිට ඊයේ (23) දේව කන්නලව්වක් සිදු කළා.

මේ අතර විදුලිබලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නො මැති වීම හේතුවෙන් අදත් (24) පැය 6 කට වැඩි විදුලි කප්පාදුවක් සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එමෙන්ම මේ වනවිට දිවයිනට ලඟා වී ඇති නෞකාවෙන් ගොඩබා ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,500 දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු අද (25) ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ, එම ගෑස් තොගයේ ගොඩබෑමේ කටයුතු මේ වනවිට සම්පපූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි.

අදාළ ගෑස් තොගය ඉදිරි දින 3 සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ද එම සමාගම සඳහන් කළා.

මේ අතර, ප්‍රමාණවත් තරම් ගෑස් තොග කෙරවලපිටියේ අංගනයේ පවතින බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ, ඉදිරි දින දහයේ (10) දී ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බවයි.

එසේම, ඉදිරි දින දහයේ (10) දී මෙට්‍රික් ටොන් 12,000 ක ගෑස් තොගයක් දිවයිනට ලැබීමට නියමිතව ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ඉන්ධන මිළදි ගැනිම සඳහා දිවා රාත්‍රි නොබලා දිගු පෝලිම්වල තවදුරටත් රැදී සිටිනවා.

මේ අතර ගෑස් හිඟය හේතුවෙන් ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් සිලින්ඩර විකිණීම සහ ඒවා ලඟ තබා ගැනීමේ සිද්ධි බදුල්ල සහ අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

අලුත්ගම – දර්ගා නගරයේ තැපැල් කාර්යාලය අසල ගෑස් මිලදී ගැනීමට පැමිණි පිරිස් ගෑස් සිලින්ඩර අගුලු දමා දිගු පෝලිම්වල තබා රාත්‍රී කාලය පුරා එහි රැදී සිටියා. එම ස්ථානයේ සිටි පිරිස් චෝදනා කරන්නේ පිට පළාත්වලින් පුද්ගලයින් පැමිණ පෝලිම්වල සිටීම නිසා ප්‍රදේශවාසීන්ට ගෑස් මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම, දින ගණනකට පසු හැටන් ප්‍රදේශයට ලිට්රෝ ගෑස් රැගත් ලොරි රථයක් පැමිණීමත් සමඟ ගෑස් බෙදා හැරීමේදී පාරිභෝගිකයින් සහ අලෙවි නියෝජිතයා අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

+++++++++++++

ඉදිරි දින දහය (10) තුළ ගෑස් පෝලිං නැත්තට ම නැති කරනවා – ලිට්‍රෝ සභාපති

(24.03.2022 – 10:54 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට සිය සමාගමට අඛණ්ඩව ගෑස් සැපයුම් සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

හෙට (25) දිනයේ සහ සඳුදා (28) දිනයේ ගෑස් තොග රැගත් තවත් නෞකා දෙකක් (2) දිවයිනට පැමිණීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එම ගෑස් තොග ලැබීමත් සමග ඉදිරි දින 10 ක කාලය තුළ දී ගෑස් සිලින්ඩර මිලියනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටියේ.

ඒ අනුව මේ වන විට වෙළෙඳපොළ තුළ මතු ව ඇති ගෑස් හිඟය පහව යනු ඇති බවත් ගෑස් පෝලිං නැති වී යනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළා.

සාමාන්‍යයෙන් මෙරට දෛනික අවශ්‍යතාව සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර අසූ දහසත් – ලක්ෂයත් අතර (80,000 – 1,00,000) ප්‍රමාණයක් නිකුත් කළ යුතු ව තිබෙනවා.

නමුත් වරින් වර ලිට්රෝ සමාගමට අවශ්‍ය ගෑස් තොග නො ලැබීම හේතුවෙන් මෙම සැපයීම් අඛණ්ඩ ව සිදු කිරීමට නොහැකි වූ අතර ඒ නිසාවෙන් වෙළෙඳපොළ තුළ විශාල ගෑස් හිගයක් නිර්මාණය වුණේ බරපතළ ආර්ථික පීඩාවන්ට ලක් ව සිටින ජනතාව තව තවත් පීඩනයට ලක් කරමින්.

මීට අමතර ව මෙරට ගෑස් වෙළෙඳපොළේ 20% ක පමණ භාරයක් දරන ලාෆ් ගෑස් සමාගම ද පසුගිය මාස 4 ක පමණ කාලය තුළ වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමෙන් වැලකී සිටියේ ඔවුන්ට ගෑස් මිල දී ගැනීම සඳහා අවශ්‍ය කරන ඩොලර් නො මැතිවීම හේතුවෙන් ෴

+++++++++++++

ලෝක වෙළදපොළේ බොරතෙල් තෙල් මිල යළි නඟී

(24.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 122 සීමාව ඉක්මවා ගියා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (23) සටහන් වූයේ ඩොලර් 122.6 ක් ලෙසයි.

එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල අඩොලර් 115.68 ක් දක්වා ඊයේ ඉහළ ගියා.

යුක්රේන – රුසියානු සටන් විරාමය පිළිබද තිබූ බලාපොරොත්තු බිද වැටීමත් සමග මෙලෙස යළිත් ඉන්ධන මිල ඉහළ යමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ෴

+++++++++++++

සොබාදනව් ස්වභාවික වායු බලාගාරයෙන් මෙගාවොට් 350 ක් ජාතික පද්ධතියට

(24.03.2022 – 14:52 +0530 – hirunews.lk/sinhala)

ඉදිකෙරෙමින් පවතින සොබාදනව් එල්.එන්.ජී විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 350 ක් ලබන වසර තුළ දී එක් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

මෙරට ප්‍රථම ස්වභාවික වායු බලාගාරය වන මෙම සොබාදනව් විදුලි බලාගාරයෙන් මේ වසර තුළ දී ජාතික පද්ධතියට එක් කෙරෙන ධාරිතාව මෙගාවොට් 200 ක්.

අදියර දෙකක් (2) යටතේ ඉදිකෙරෙමින් පවතින මෙම විදුලි බලාගාරය සියලුම සැලසුම් සහ ඉදිකිරීම් මෙරට ඉංජිනේරුවන් විසින් සිදු කිරීම විශේෂත්වයක්.

+++++++++++++

ඉන්ධන නිවෙස්වල ගබඩා කිරීම නිසා සිදුවන අනතුරුවල ඉහළ යාමක්

(24.03.2022 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අර්බුදය හේතුවෙන් නිවෙස්වල සහ විවිධ ස්ථානවල පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගබඩා කිරීමට පියවර ගැනීමත් සමඟ ඒ ආශ්‍රිත සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

දිනකට පුද්ගලයින් 4 දෙනෙකු පමණ පෙට්‍රල් ආශ්‍රිත ඇතිවන විවිධ පිලිස්සුම් හේතුවෙන් රෝහල්ගත වන බවයි කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගයාන් ඒකනායක සඳහන් කළේ.

මේ අතර, විදුලි අර්බුදයත් සමග වෙළඳපොලේ භූමිතෙල් භාවිතයෙන් දල්වන චිමිනි ලාම්පු සහ පොල්කටු අඟුරු භාවිත කරන ඉස්ත්‍රික්ක අලෙවිය ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ඒවා මේ වනවිට වෙළඳපොලේ හිඟ වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට අමතරව වෙළඳපොලේ කිලෝග්‍රෑමයක් රුපියල් 200 කට අලෙවි වූ පොල්කටු අඟුරු මිල ද රුපියල් 800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

+++++++++++++

හෙටත් (25) පැය 04 කට අධික විදුලි කප්පාදුවක්

(24.03.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala)

හෙට (25) දින දිවයිනේ P, Q, R, S, T, U, V සහ W යන ප්‍රදේශවලට පැය 04 යි මිනිත්තු 30 ක් සහ සවස පැයයි (1) මිනිත්තු 50 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවලට විදුලිය කැපෙන්නේ පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා සහ සවස 5:30 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ යි.

එමෙන්ම A, B, C, D, E, F, G, H, I, J, K සහ L යන ප්‍රදේශවල උදේ 8 සිට සවස 6 දක්වා පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 40 ක කාලයක් ද විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

රට තුළ පවතින දැඩි තෙල් අර්බුදය සහ තෙල් ලබාගැනීමට මහ භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් ඩොලර් අවම වීම මෙම අර්බුදයට හේතුව වී තිබෙනවා.

+++++

+++++++++++++

ඉන්දීය ණය ආධාර යටතේ දෙවන (2) ඩීසල් නැවත් දිවයිනට

(24.03.2022 – 19:16 +0530 – hirunews.lk/sinhala)

පිරවුම්හල්වල ඉන්ධන අතිරික්තයක් පැවතීම හේතුවෙන් ඇතැම් ඉන්ධන බවුසර් නැවත හරවා එවා ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් රැගත් දෙවන (2) නෞකාව ද අද (24) මෙරටට පැමිණි අතර එහි බෙදා හැරීම් අද (24) සිට ආරම්භ කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කලේ.

මේ අතර, ඉන්ධන හිඟයට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා බෙදා හැරීමේ කටයුතු දිවා සහ රාත්‍රී කාලයේත් අඛන්ඩව සිදුකරන බව බවුසර් රථ හිමියන්ගේ සංගමයේ විධායක නිලධාරි අනූපම ප්‍රදීප් ප්‍රකාශ කළා.

අප මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ බෙදාහැරීම් කළමනාකරු සඳහන් කළේ ඉන්ධන පිරවුම්හල් වෙත යොමුකළ පෙට්‍රල් බවුසර කිහිපයක් එලෙස නැවත හරවා එවා ඇති බවයි.

කෙසේ වෙතත්, අදත් (24) දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව පවසමින් ඒවා වසා දමා ඇති අයුරු දක්නට ලැබුණා.

ඊයේ (23) රාත්‍රියේ මෙන්ම අද (24) දිවා කාලයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, දිවයිනට ළගා වී ඇති නෞකාවෙන් ගොඩබා ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3500 බෙදා හැරීමේ කටයුතු අද (24) ආරම්භ කළ අතර, මේ වනවිට එම ගෑස් තොගය ගොඩබා අවසන් බව ලිට්රෝ සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඉදිරි දින 3 ක කාලය සඳහා මෙම ගෑස් තොග ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.

මේ අතර, දිවා සහ රාත්‍රී කාලවල දිගු ගෑස් පෝලිම්වල රැදී සිටිමින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ සිද්ධීන් තවමත් වාර්තා වනවා.

දින ගණනාවකට පසු හැටන් ප්‍රදේශයට ලිට්රෝ සමාගම විසින් සීමිත ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීම හේතුවෙන් පාරිභෝගිකයින් සහ අලෙවි නියෝජිතයා අතර උණුසුම් තත්ත්වයක් මතුවුණා.

ඒ මීට පෙර මුදල් ගෙවා තිබූ ආපනශාලාවලට සහ වෙනත් පුද්ගලයින්ට එම ගෑස් සිලින්ඩර ලබාදිය යුතු බව ඔහු පැවසීමත් සමඟයි.

මේ අතර, හබරණ – පොලොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මින්නේරිය – ලිට්රෝ ගෑස් බෙදා හරින මධ්‍යස්ථානය ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා.

පවතින ගෑස් හිඟය හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිතයට හුරු වීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක දිගු භූමිතෙල් පෝලිම් ද දක්නට ලැබුණා.

***************************************

නාවල ඉන්ධන පිරවුම්හල කොල්ල කෑ දෙදෙනෙක් (2) අත්අඩංගුවට – සොත්ති උපාලිගේ පුත්‍රයකුත් ඒ අතර

(24.03.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත් වී තිබෙනවා.

මෙම මංකොල්ල සිදු වුණේ ඉකුත් 18 වන දින නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක යි.

නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු (5) පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා පහර දි මුදල් මංකොල්ල කා තිබුණා.

සිද්ධියට අදාළ ව බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු මිරිහාන පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.

තවදුරටත් තොරතුරු සොයා බැලීමේ දී මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැති පුද්ගලයාගේ පුතෙකු වන බවට යි කරුණු අනාවරණය වී ඇත්තේ ෴

***************************************

ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා භාරයට

(24.03.2022 – 09:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අද (24) අලුයම නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කිලිනොච්චි – ඉරණතිව් සහ යාපනය – නෙඩන්තීව් මුහුදු තීරයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් ධීවරයින් සමඟ යාත්‍රා දෙකක් (2) ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මොවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඒ ඒ දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දී තිබෙනවා ෴

***************************************

‘Daraz’ ට නඩු…

(25.03.2022 – 08:40 +0530 – lankacnews.com)

2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත ට අනුව සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවියේදී අවම මාස 6 කට නොඅඩු වගකීම් කාලසීමාවක් ලබාදිය යුතුය.

නමුත් මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ ප්‍රමුඛ සහ ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමක් වන Daraz ආයතනය විසින් වගකීම් කාලසීමාවක් ලබා දීමකින් තොරව සහ මාස හයකට (6) අඩු කාලසීමාවක් සඳහා වගකීම් ලබාදෙමින් විවිධ විදුලි උපකරණ අලෙවි කරනු ලැබ ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය මාර්තු මස 23 වන අද දින Daraz සමාගමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩු පැවරීමට නියමිතව ඇත.

මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

විපුල ඒකනායක

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *