ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ

ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ

*********************************************

ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ

(24.03.2022 – 15:50 +0530 – lankacnews.com)

මෙවැනි උද්දච්ච – අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් තමන් ඇතුළු පක්ෂ 11 ක එකමුතුව ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113 ක බහුතරය නැතිකර, මේ උද්දච්ච පාලනය අවසන් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

අද (24) දින මහනුවර මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් වෙත ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා :

“පවතින ආර්ථික අර්බුදයෙන් එළියට ඒමේ මාවතක් ‘මුළු රටම හරි මගට’ නමින් අපි ආණ්ඩුවට පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා. අපි එය සතුටින් භාරගත්තා. පක්ෂ 11 ක එකමුතුව විදිහට ඉහත කී ‘මුළු රටම හරි මගට’ ජාතික වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට පිළිගැන්වීමටයි අද (24) දින මහනුවරට පැමිණියේ. එමගින් අපේ ඉදිරි වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට අපි ඉදිරිපත් කරනු ලැබුවා.”

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා :

“ආණ්ඩුව පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොදාගන්නා බවක් ඊයේ (23) සර්ව පාක්ෂික සමුළුවේදී දැකගත හැකි වුණා …

පිළිතුර :- රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාවිච්චි කරනවාද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද, කියන එක මෙතැන වැදගත් නැහැ. කොහොම නමුත් එම සර්ව පාක්ෂික සමුළුවේදීත් මුදල් අමාත්‍යවරයාගේ හැසිරීමෙන් පෙන්වූ දෙයයි වැදගත්. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. එකතු වෙලා, සමගි වෙලා වැඩ කිරීම කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයකුට ‘ඔයා’ කියා කතා කරන්න තරම් තමන් උද්දච්ච මිනිහෙක් බව මුදල් අමාත්‍යවරයා එහිදී පෙන්වූවා. එතැනදීත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය සමගිය නොවෙයි ගැටුම. මෙහෙම අවලස්සන, උද්දච්ච ඇමරිකානුවකු තියාගෙන අපේ රටට ඉදිරියට යන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113 ක බහුතරය නැති කරනවා, ඔය උද්දච්ච පාලනය අවසන් කිරීමට.

විපක්ෂයේ ඇතැමුන් ඔබතුමන්ලාට චෝදනා කරනවා, ‘එයාලා කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේ. බැසිල් රාජපක්ෂට ගහලා 2025 දී නාමල් රාජපක්ෂව ගෙන එන්නයි හදන්නේ’ කියා…

පිළිතුර :- අනේ මේ ඔය මොන රාජපක්ෂ කෙනෙක්වත් මේ රටේ පාලනතන්ත්‍රයට ගෙනඒමට අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මෙහෙම ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා විපක්ෂයේ ඇතැමුන් තමන්ට තිබෙන ‘මාකට් ෂෙයා’ එකට පහර වදීවි කියා බිය වී සිටින නිසයි එහෙම බොරු පද හදන්නේ. අපි මේ රටට ආදරේ නිසයි දේශපාලනය කරන්නේ, අපේ තනතුරු ගැන අපි වද නොවෙන්නේ, තනතුරු අත්හරින මානසිකත්වයක් අපට තිබෙන්නේ.

මේ රට වෙනත් රටක කොලනියක් වෙන්න – මේ රටේ සම්පත් ටික විජාතිකයන්ට බිලි දෙන්න ඉඩ දී අපට නිහඩව සිටීමට බැහැ. ඒ නිසයි අපි මේ අවංක ක්‍රියාමාර්ග ගන්නේ. එහෙම ක්‍රියාමාර්ග ගනිද්දිත් කවුරුහරි ඔය වගේ ගොන් කතා කියනවා නම් ඒ අයගෙන් ඇසිය යුතුයි, ‘ඇයි ඔයාලා ඔය තරම් ගොන්?’ කියා.

2019 ජනාධිපතිවරණ වේදිකාවේදී කියූ දේවල්වලට ඔබතුමන්ලා ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ නේද?

පිළිතුර :- ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ මේ වැරැද්ද දැක-දැක ඔහේ සිටියා නම්. ඒ වැරැද්දට එරෙහිව නැගිටපු අපට සමාව ඉල්ලන්න අවශ්‍යතාවක් නැහැ. අපි එදත් කිව්වා ‘අපි පත් කරන ආණ්ඩුව වැරැද්දක් කළොත් ඊට එරෙහිව හිටගන්නවා’ කියා. එහෙම කියලා ඒක නොකර හිටියොත් තමයි සමාව ගත යුත්තේ. සජිත් ප්‍රේමදාස හදන්න ගිය ‘සුරංගනා ලෝකයට’ වඩා මේ හැදිච්ච සුරංගනා ලෝකය භයානකකමින් අඩුයි. එයා හදන්න ගිය සුරංගනා ලෝකය හැදුණා නම් මෙහෙමවත් රට ඉතිරි වෙන්නේ නැහැ.”

ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ, එක්සත් මහජන පක්ෂය වෙනුවෙන් ටිරාන් අලස්, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඇතුළු ‘පක්ෂ 11 ක එකමුතුවේ’ (11 Parties Alliance) නායකත්වය එම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+++++++

++++++

+++++++

***************************************

නාමල්ට සහය දෙන්න මගේ කිසිම අදහසක් නෑ – උදය ගම්මන්පිල – Direct Politics – The Leader TV (23.03.2022)

***************************************

ඇල්පිටියේ දී මනුෂ්‍ය ඝාතනයක්

(24.03.2022 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය පොලිස් වසමේ පිටුවල ප්‍රදේශයේ දි පිහියෙන් ඇන සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.

කොස් ගසකින් කොස් ගෙඩියක් කැඩීමට යාමේ දී දෙදෙනෙකු (2) අතර ඇති වූ ආරවුලක් මත යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.

බරපතළ තුවාල ලැබූ තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගිය බව පොලිසිය වාර්තා කරනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 34 ක ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 80 ක ඇල්පිටිය – පිටුවල ප්‍රදේශයේ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඇල්පිටිය පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

උතුරේ සංවර්ධනයට, ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

(24.03.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවුණා.

ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු සහ එහි ප්‍රගතිය මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමඟ හෙට (25) පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයා විසින් උපලේකම්වරිය දැනුවත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ ඇය කැනඩාව, ඇමරිකාව සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම ද පෙන්වා දී ඇති බව සඳහන්.

එමෙන්ම, ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත්තේ තමන්ද ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

උතුරු පළාතේ සංවර්ධනය සඳහා ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වාදීමටත්, සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහය ලබාදීමටත් ඇය මෙහි දී එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා ඇයගෙන් ඉල්ලා ඇත්තේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලිය උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙසට යි.

***************************************

වැට් සංශෝධන පාර්ලිමේන්තුවට

(24.03.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත යි.

එම පනතේ සංශෝධන සඳහා පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ද හිමිව තිබුණා.

ඒ අනුව 2022 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම වෙනුවෙන් එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවෙනු ඇති.

මීට අමතර ව, ඕනෑම වසංගත සහ මහජන හදිසි තත්ත්වයක දී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර තිබෙනවා.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 14 වන දා රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දුන්නා.

එසේම, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා මෙරට ආණ්ඩුව හා තුර්කිය අතර පසුගිය ජනවාරි 28 වන දා ඇති කර ගන්නා ලද ගිවිසුම දේශීය ආදායම් පනතට අනුව අනුමත කර ගැනීම ද අද (24) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

මේ අතර, පෝලිම් යුගය අවසන් කර ජනතාවට කඩිනමින් සහන ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙම සංවාදයට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය ද මැදිහත් වුණා ෴

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

මෙමගින් 2022 ජනවාරි පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවීමට යෝජනා කළා ෴

***************************************

නව අයවැය යෝජනා

(24.03.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ අත්‍යාවශ්‍ය ජීවන වියදම් හා අවශ්‍යතා සපුරාලීමේ ක්‍රමවේදයක් නව අයවැයකින් සිදුවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන ලබාදීමටත්, නව අයවැයක් ඉදිරිපත් කිරීමටත් එකඟතාවය පළ කරන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේ.

මේ මොහොතේ ඉදිරිපත් කෙරෙන නව අයවැයක් තුළ කුමන කරුණු අන්තර්ගත විය යුත්තේ දැයි අප ආර්ථික විශ්ලේෂක ආචාර්ය නිශාන් ද මෙල් ගෙන් විමසීමක් කළා.

එහි දී ඔහු කියා සිටියේ, අයවැය ශේෂය අවම කර ගැනීම නව අයවැයේ විශේෂ අංගයක් විය යුතු බවයි.

එසේම, රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම ඉතා වැදගත් වන බැවින් ඒ සඳහා දුම්වැටි බදු ඉහළ නැංවිය යුතු බවද ආචාර්ය නිශාන් ද මෙල් සඳහන් කළා ෴

***************************************

ලෝක ක්ෂය රෝග දිනය අදයි (24)

(24.03.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ලෝක ක්ෂය රෝග දිනය අදට (24) යෙදී තිබෙනවා.

පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 6671 ක් හඳුනා ගත් අතර, වාර්තා නොවූ රෝගීන් 6000 ක් පමණ සිටිනු ඇතැයි අපේක්ෂිතයි.

දියවැඩියාව, වකුගඩු ආබාධ වැනි රෝග තත්ත්වයන් පවතින පිරිස්වලට මෙන්ම, මත්පැන්, දුම්වැටි භාවිතයට ඇබ්බැහි වූවන්ට ද රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා.

දැනට දිවයින පුරා ලය සායන 26 ක්, සෙම්පටල පරීක්ෂා කරන ස්ථාන 160 කට වැඩි සංඛ්‍යාවක් සහ ශාඛා සායන 108 ක් මගින් ක්ෂය රෝගීන් පරීක්ෂා කර නොමිලේ ප්‍රතිකාර ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

කටුගස්තොට ගින්නකින් තිදෙනෙකු (3) මරුට

(24.03.2022 – 08:23 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට – මැණික්කුඹුර වත්ත ප්‍රදේශයේ නිවසක අද (24) අලුයම ඇති වූ ගින්නකින් එකම පවුලේ පියා, දියණිය සහ ඇයගේ පෙම්වතා ජීවිතක්ෂයට පත්වුණා.

ගින්නෙන් බරපතල තුවාල ලැබූ මව මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මහනුවර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ, මෙම ගින්න මියගිය දියණියගේ පෙම්වතා විසින් සිදු කරන්නට ඇති බවට සැක මතුව ඇති බවයි.

සිද්ධියෙන් මියගිය පියාගේ වයස අවුරුදු 73 ක් වන අතර දියණිය 31 වන වියේ පසුවනවා.

දියණියගේ පෙම්වතාගේ අනන්‍යතාවය මෙතෙක් සොයාගෙන නැහැ.

දියණිය සහ පෙම්වතා අතර යම් ආරවුලක් පැවති බවට තොරතුරු වාර්තා වන බවයි පොලීසිය සදහන් කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රෝහල් ගතකර සිටින මවගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව මහනුවර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා කියා සිටියා.

මේ අතර, හොරණ – කුඹුක ප්‍රදේශයේ කුඩා නිවසක් ගිනි ගැනීමට ලක්ව එම නිවසේ බඩු බාහිරාදිය මෙන්ම පොත්පත් ආදිය ද පිළිස්සී විනාශ වී තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ විදුලිය විසන්ධි වී යළි පැමිණීමත් සමග මෙම නිවසේ ගිනි ගැනීමක් හටගෙන ඇති බවටයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ගින්න හට ගත් අවස්ථාවේ එහි කිසිවෙකු සිට නැහැ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *