පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් ….

පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් ….

*********************************************

පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් ….

(14.03.2022 – facebook.com/UdayaGammanpilaFanPage)

ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩි කිරිම පසුගිය සිකුරාදා සිදු වෙද්දී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස් විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද දින (2022.03.14) පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදරටත් මෙසේ අදහස් දැක්වීය :

පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් ….

“ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩි කිරිම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා අද ජීවතුන් අතර සිටියා නම් එතුමා අනිවාර්යෙන්ම මා හිතමිත්‍ර ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස් විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. මම බලශක්ති ඇමති ධූරය දරන කාලෙ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නිර්දේශය මත රුපියල් 7 කින් ඩීසල් වැඩි කළහම මට වහාම ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා දැනුම් දුන්නා නම්, රුපියල් 55 කින් මිල වැඩි කරද්දී එතුමා ‘ජීවතුන් අතර සිටියා නම්’ මොන ජංජාලයක් නටයි ද කියලා කාටවත්ම හිතාගන්න බෑ.

ඒ වගේම මෙවර සිදු වුණු දැවැන්ත ඉන්ධන මිල වැඩි කිරීමෙන් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි දැවැන්ත කම්පනයක් ඇති කරලා තියෙනවා. ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩිකිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළඳ පොළේ මිල වැඩි කිරීම නෙමෙයි. තවත් හේතු ගණනාවක් බලපෑවා.

එක් ප්‍රධාන හේතුවක් තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතීමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කරන්න සිදුවීම. රුපියල අවප්‍රමාණය උනේ එක පැත්තකින් විදේශ විනිමය සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම, රටේ උද්ධමනයට සරිලන පොලී අනුපාතයක් පවත්වා නොගැනීම ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ සීමා නොකිරීම වැනි කාරණා ගණනාවක් නිසා.

ඒ වගේම ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යන විට එහි බර සම්පූර්ණයෙන්ම ජනතාව මත පටවන්නේ නැතිව එහි කොටසක් දරාගැනීමට හැකි යාන්ත්‍රණයක් නොතිබීමත් ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස ඉහළ යෑමට බලපෑවා.

සැබෑ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කිරීමට යෝජනා කරමින් විතරක් නෙමෙයි ඊට අදාළ යාන්ත්‍රණය දැවැන්ත පර්යේෂණයක් සිදු කරලා 2021 මාර්තු මාසේ 15 වැනිදා මම අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කලා. මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍යංශයෙන් බලවත් විරෝධයක් ආවා. අවසානයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවට මේක යොමු කළා. අනුකමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒ අනුව අපි අදාළ නීති සම්පාදනයට අවශ්‍ය පනත් කෙටුම්පතක් හදලා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළාම මුදල් අමාත්‍යංශයේ අධ්‍යයනය කරනවා යැයි කියමින් තවමත් ඒකට එකඟතාවය ලබා දුන්නේ නෑ. සැබෑ මිල ස්ථායිකරණ අරමුදලක් බිහිව තිබුණා නම් මේ බර ජනතාවට දරන්න වෙන්නේ නෑ.

ඒ විතරක් නෙමෙයි ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස ඉහළ දමනවා වෙනුවට ආණ්ඩුව විසින් ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරල ඉන්ධන මිල මෙතරම් ඉහළ නංවන්නැතුව ඉන්න තිබුණ. මේ වන විට ආණ්ඩුව ඉන්ධන මත අයකරන බදු වලින් එක දවසකට රුපියල් මිලියන 750 කට වැඩි මුදලක් උපයා ගන්නවා. ජනතාව මතම මේ බර පටවන්නේ නැතිව ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් මේ බරෙන් කොටසක් ආණ්ඩුවට දැරීමේ හැකියාව තිබුණා. බරෙන් කොටසක් දරනවා නෙමෙයි; බද්ද පොඩ්ඩක් අඩු කළා නම් ඒ සහනය ජනතාවට ලබා ගැනීමට හැකියාව තිබුන.

‘වැඩ බැරි බැසිල්’ගේ බැරිකම සඟවා ගන්න අපට චෝදනා කරන්න එපා

ඊළඟට ඩීසල් හිඟයක් ඇති වුණේ ඩීසල් හිඟයක් ඇති වන බවට විෂය භාර අමාත්‍යවරයා ලෙස මම කලින් දැනුම්දීමක් කළ නිසා යැයි ආණ්ඩුවේ සමහර ඇමතිවරු මට චෝදනා නගනවා. ඇත්තටම ඩීසල් හිඟයක් ඇති වුණේ මගේ ප්‍රකාශයක් නිසා කියලා කියමුකො. එහෙම නම් බෙහෙත් හිඟයක් ඇති වුණේ කොහොමද ? සිමෙන්ති යකඩ හිඟයක් ඇති වුණේ කොහොමද ? ගෑස් හිඟයක් ඇති වුණේ කොහොමද ? කිරිපිටි තිරිඟු පිටි හිඟයක් ඇතිවුණේ කොහොමද ? ඒ තර්කය අනුව නම් ගෑස් හිඟයක් ඇති වෙන බව මුදල් ඇමැතිතුමා කලින් කියන්න ඕන. යකඩ සිමෙන්ති හිඟයක් ඇතිවෙන්න නම් ඉදිකිරීම් ඇමති විදිහට ගරු අගමැතිතුමා භාණ්ඩ හිඟයක් ඇති වෙන බව කලින් කියන්න ඕන. ඒ වගේ ම ඖෂධ හිඟයක් ඇති වෙන්න නම් සෞඛ්‍ය ඇමැතිතුමා ඒ බව කලින් කියන්න ඕනෙ. තිරිඟු පිටි කිරි පිටි හිඟයක් ඇතිවෙන්න නම් වෙළෙඳ ඇමැතිතුමා කලින් කියන්න ඕන. එහෙම උනේ නෑනෙ. එහෙනම් මේ භාණ්ඩ හිඟයක් ඇති වුණේ කොහොමද ? ඉන්ධන ද අනෙකුත් භාණ්ඩ ද සියල්ලම හිඟ වීමට බලපෑවේ එකම එක හේතුවක් පමණයි. ඒ තමයි ඩොලර් හිඟය. ඩොලර් හිඟය ඇතිවුණේ විදේශ විනිමය අනුපාතයන්, සීමිත විදේශ විනිමය ප්‍රමාණයක් නිසි ලෙස කළමනාකරණය කිරීමට මුදල් ඇමතිවරයා අසමත් වුන නිසා. ඒ නිසා ‘වැඩ බැරි බැසිල්’ගේ බැරිකම සඟවා ගන්න අපට චෝදනා කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.”

මාධ්‍යවේදියා : “විමල් වීරවංශ මැතිතුමාට එහෙම එරෙහිව පැරණි නඩු යළි එළියට එනවා නේද ?”

පිළිතුර : “නඩු දමාවි, හිරේ දමාවි, සමහර විට මරා දමාවි. අපව මරා දැමුවත් අපේ සටන නම් මරා දමන්නට අප ඉඩ තබන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ කියන ‘අවලස්සන ඇමරිකානුවා’ යලි ඇමරිකාවට යන තුරුම අපේ සටන නවත්වන්නේ නැහැ. යන්නේ නැත්නම් අපි එලවනවා.

මේ පටන් ගත්තා විතරයි. අපි අභ්‍යන්තර සටනක් කළා. එය සාර්ථක වුණේ නැහැ. අපි ජනතාව සමග එකතුවෙලා ජනතාව පෙළගස්වනවා. ජනතාව පෝලිම් වල දුක් විඳින්නේ අවශ්‍ය හේතුවක් මත නෙවෙයි. හිතාමතා ආර්ථිකය කඩා වැට්ටවීමේ උපායන් නිසා. මේ ‘ඇතිවුණු’ තත්වයක් නොවෙයි ‘ඇතිකළ’ තත්වයක්.”

මාධ්‍යවේදියා : “ජනාධිපතිතුමා කිව්වා පස් වෙනිදායින් (05) පස්සේ විදුලි කැපීම නවතිනවා කියලා. ඒ වගේම වර්තමානයෙත් බලශක්ති ඇමැති වශයෙන් ඉන්න ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කියනවා පෝලිම් තියන්නෙ නෑ කියලා. නමුත් මේ දෙකම සිද්ධ වෙලා නෑ.”

පිළිතුර : “මම ඉවත් වුනාම ප්‍රශ්නය විසඳෙනවා නම් මම ඉතා සතුටින් තනතුරෙන් ඉවත් වෙනවා. පස් වැනිදා (05) සිට විදුලිය කපන්නේ නැතැයි කියලා මුලින්ම කිව්වෙ මුදල් ඇමතිතුමා. ඒ වගේම ජනවාරි තිස් වැනිදායින් (30) පසු තෙල් සංස්ථාවේ තෙල් විදුලියට අවශ්‍ය නැත; ඉන්දියානු තෙල් සමාගමෙන් තෙල් අරගෙන අඛණ්ඩව විදුලිය සපයනවා කියලා කිව්වෙත් මුදල් ඇමතිතුමා. ජනවාරි 30 වැනි දා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් කරනවයි කියපු මුදල් ඇමතිතුමාගේ ඒ බොරුව කවුරුහරි විශ්වාස කළා නම් විතරයි මාර්තු 05 වැනිදා සිට විදුලිය කපන්නෑ කියන බොරුවට කලබල වෙන්නේ. එතුමා දිවේ කටේ ගෑවෙන්නේ නැතුව බොරු කියන බව දන්න නිසා කවුරුවත් ඒ දින වකවානු ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉදිරියේදී ‘අපායේ ඉන්ටවල්’ වගේ පොඩි සහන කාලයක් උදා වෙනවා.”

මාධ්‍යවේදියා : “මේ යන ක්‍රමවේදයට මොකක්ද ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් වැඩපිළිවෙල ?”

පිළිතුර : “අපි ඉවත් කරලා වේගයෙන් අපි කිව්ව දේවල් කරගෙන යනවා. ලිඛිතව සහ වාචිකව අමාත්‍ය මණ්ඩලයට මම කියලා තියෙනවා ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න, රුපියල අවප්‍රමාණය කරන්න, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කරන්න. සියල්ල නැතත් යම් ප්‍රමාණයකට සීමා කරන්න. ඒ වගේම අපි තවදුරටත් කිව්වා වීඩියෝ තාක්ෂණය භාවිතා කරලා ආණ්ඩුවේ රැස්වීම් සිදුකරමින් කොළඹට නිලධාරීන් ගෙන් වීම වැළැක්වීමේ චක්‍රලේඛනයක් නිකුත් කරන්න’ කියලා. ඒක නිකුත් කළා. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි කිව්වා. අපි එදා කිව්ව සියල්ලම ආණ්ඩුව අද කරමින් ඉන්නවා අපි ඉවත් කිරීමෙන් පස්සේ හරි.

මොනව වුණත් අද අපි කියූ දේවල් කරමින් ඉන්නවා. හැබැයි ආණ්ඩුව මතක තියාගන්න ඕන දේ තමයි පැනඩෝල් පෙත්තෙන් හොඳ කරගන්න තියන අමාරුව කල්මරලා මරණාසන්න උනාම පැනඩෝල් පෙති පොවල හරියන්නේ නෑ කියලා. ඒ නිසා සමහර වෙලාවට ලෙඩාව දොස්තර ගාවට අරන් ගියා ම දොස්තර කියනවා ‘එදා මං කිව්ව බෙහෙත් දැන් දීල වැඩක් නෑ; දැන් ලෙඩා මැරෙනවා; අපිට කරන්න විකල්පයක් නෑ’ කියලා. නමුත් ප්‍රමාද වී හෝ අපේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා.”

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝණාර මහතාද එක්විය.

+++++

***************************************

නව නිපැයුම්කරුවන්ගේ වටිනාම සම්මානය මුදලට විකුණලා.. සීතා අරඹෙපොලටත් චෝදනා…

(14.03.2022 – 15:50 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳ ජාත්‍යන්තර සම්මානලාභී නව නිපැයුම්කරුවෙකු වන සමන් හෙට්ටිආරච්චි මහතා චෝදනා කරයි.

නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන සහසක් නිපැයුම් තරගාවලියේ දී ලබා දෙන වටිනා ම සම්මානය වන ‘දසිස්’ සම්මානය මෙවර සම්මාන උලෙළේ දී කෝටිපති ව්‍යාපාරිකයෙකු සඳහා මුදලට විකුණා ඇති බවද ඔහු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් සීතා අරඹෙපොළ අමාත්‍යවරියගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කරමින් අදහස් දක්වන ඒ මහතා හොර රහසේ දේශපාලනඥයෙකුගේ කාමරයේ දී අදාළ ව්‍යාපාරිකයා වෙත සම්මානය ප්‍රදානය කර ඇති බවද පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ කරුණු හෙලි කර ඇත.

***************************************

විමල් – ගම්මන්පිල එලවීමෙන් පසුව බැසිල් රට විකිණීම අරඹයි – ජාතික සංවිධාන කියයි

(14.03.2022 – 22:03 +0530 – lankaleadnews.com)

විමල් වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යයවරුන් ආණ්ඩුවෙන් එලවා දැමීමෙන් පසුව දැන් රට විකිණීම ආරම්භ කර ඇති බව ජාතික සංවිධාන කියයි. සාම්පූර් සහ මන්නාරම බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියානු සමාගම් වලට විශාල වශයෙන් ඉඩම් ලබා දීම පිළිබඳව විමසූ අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර ඒ බව පැවසුවේය.

මේ ඔහුගේ ප්‍රකාශය ඔහුගේම වචනයෙන් :

“ඩොලර් මිලියන 1000 ක කෙටි කාලීන ණයක් නැමැති කැරට් අලය පෙන්වා බැසිල් රාජපක්ෂ මහතා බූරුවාට අන්දවා දැන් රට විකිණීම සඳහා දක්කාගෙන යනවා. ඒ තුළ උපාය මාර්ගික වශයෙන් ඉතා වටිනා භූමි ප්‍රමාණයක් ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගනිමින් සිටිනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව අක්කර 20,000 ක් මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය සහ සාම්පූර් වල සූර්ය බල ව්‍යාපෘතිය සඳහා තවත් අක්කර දහස් ගණනක් ඉන්දියාව අත්පත් කර ගන්නවා. සාම්පූර් කියන්නේ ත්‍රිකුණාමල වරායේ ජනේලය කියල කියනවා. දැනටමත් වරායේ තෙල් ව්‍යාපාරය ඉන්දියාව අත්පත් කරගෙන තියෙන්නේ.

යුක්‍රේනයේ විකට නළු ජනාධිපති මේ වගේ වැඩක් කරලා තමයි ඒ රටේ ජනතාව මහා බලවතුන්ගේ යුද්ධයකට ගොදුරු කළේ.”

***************************************

Hiru TV Salakuna Live – Wimal Weerawansa – EP 328 – 2022-03-14

***************************************

බැසිල් ඉවත් විය යුතුයි.. මිනිස්සු හෙන ඉල්ලනවා.. – කොළඹ සරසවියේ කුලපති මුරුත්තෙට්ටුවේ හිමි

(14.03.2022 – 22:22 +0530 – lankacnews.com)

ආණ්ඩුව නිවැරදි මගට ගැනීමට හෝ ආණ්ඩුව ගෙදර යැවීමට මහා සංඝරත්නය සූදානම් බවත් ඒ අනුව ආණ්ඩුවට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක ජනතාවට මහා සංඝරත්නය සමග එකතු වන ලෙස ආරාධනා කරන බවත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසීහ.

කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

මේ අතර රටේ ජනතාව මෙතරම් පීඩාවට පත්වූයේ බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් අමතිවීමෙන් පසු බට ජනතාව අතර මතයක් තිබෙන බවත් එම මතය සත්‍ය නම් මාස 06 ට හෝ ආණ්ඩුවෙන් ඉවත්ව සිටින ලෙස බැසිල් රාජපක්ෂ මහතාට පවසන බවත් සඳහන් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,

“වර්තමාන රජය බලයට පත් කරනකොට මේ රටේ ජනතාවට තිබුණු සතුට අසීමිතයි. දෙවුන්දර තුඩුවේ ඉදලා පේදුරු තුඩුව දක්වා ජනතාව ඔල්වරසන් දුන්නා, රබන් ගැහුවා, මහපාරේ කිරිබත් උය උයා මොනතරම් සතුටක් ජනතාවගේ තිබුණද? රටේ තරුණ තරුණියන් රටේ හැමතැනම තිබුණු තාප්ප වල චිත්‍ර අදිමින් අසීමිත සතුටක් පෙන්නුවා. මහ සංඝරත්නය ඉදිරියට ඇවිත් මේ රට ගොඩගන්නට හොඳ නායකයෙක් පත් කරා කියලා තමයි සෑම කෙනාගෙම සතුට තිබුණේ.

නමුත් අද කණගාටුයි කියන්න. ඒ සතුට අද මුලුමනින්ම ඉවර වෙලා. මිනිස්සු අද කියන්නේ ‘මේ ආණ්ඩුව ගේන්න උදව් කරපු අයටත් හෙන ගහපිය කියලා. ආණ්ඩුවේ උන්ටත් ගහපන් හෙන’ කියලා. අපිට උදේ ඉදන් අහන්න තිබෙන්නේ මේ වචන. මේකේ කොතනක හෝ සාපයක්, අඩුවක් තිබෙනවා. අපි සෑහෙන්න මහන්සි ගත්තා මේ ආණ්ඩුව හදන්නට. අපි අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළා පාලකයන්ට. නමුත් දවසෙන් දවස අඩුපාඩු වැඩිවෙනවා මිසක් ජනතාවට එන්න එන්න කිසිදු කාලයක නැති විදිහේ, කිසිදු යුගයක නැති විදිහේ මහා දරුණු ඉරණමකට පත්වෙලා තිබෙන්නේ.

අපි බලාපොරොත්තු වුනේ නෑ කොරෝනා ව්‍යසනය, ඩොලර් හිඟය. අපි බලාපොරොත්තු වුනේ නෑ ගොවියෝ පාරට බහියි කියලා. නමුත් අද මේ සියල්ල එකවිට සිදුවෙලා අවසානයි. වෙන දවස්වල බඩු මිල වැඩි කරන්නේ රුපියල් 5-10 න්. අද දහස් ගණනින් බඩු මිල වැඩි වෙන්නේ.

අද වෙලා තිබෙන්නේ තියෙන මිනිහාට කන්න විදිහක් නෑ, නැති මිනහාට කොමත් බෑ. පෙට්‍රල්, ඩීසල් නැතිවෙලා තිබෙනවා. ගෑස්, කරන්ට් නැතිවෙලා තිබෙනවා. ආණ්ඩුව දැන් ගෙදර යවන්න ඕනි කියලා ගොඩක් අය කියන්නේ. ආණ්ඩුව ගෙදර යැව්වා කියලා මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් කමක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුව ගෙදරයවන්න කියලා කියන්නේ ආණ්ඩුව වැඩ හරියට නොකරන නිසයි. අපි නිරන්තරම අඩුපාඩු පෙන්වන්නේ ආණ්ඩුවට ඒවා හදාගන්න. නමුත් දැන් ඒ සීමාව ඉක්මවලා ගිහින් තිබෙන්නේ.

අපි දැක්කා සමහර පක්ෂ 15 වැනිදා කොළඹට ඇවිත් වලන්න හදනවා. 15 වැනිදා කොළඹට ඇවිත් පවත්නා බඩු මිල අඩු කරන්න පුලුවන් නම් හොඳයි ඒක. අද අපිට චෝදනා කරනවා යම් යම් දෙනා මේ රටේ මේ මහා සංඝරත්නය කියන්නෙත් නෑ මේවා කියලා. මේ ආණ්ඩුව ගෙනාවේ චීවරදාරීන් කියනවා. දැන් කතා කරන්නේ නෑ කියලා කියනවා.

අපි කියනවා 69 ලක්ෂයටම එකතු වෙන්න මහා සංඝරත්නය සමග. අපි ලෑස්තියි ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩු ගෙදර යවන්න. ඒ නිසා 69 ලක්ෂයට අපි කියනවා ඔබ ආණ්ඩුව දිනෙව්වා, අපේ සහයෝගය ගත්තා. අපි අද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපිට පුලුවන් ආණ්ඩුවේ අඩුපාඩු පිළිගන්නේ නැතිනම් ආණ්ඩුව ගෙදර යවන්න. පැවිදි හඬ පෙරමුණ ගන්න ලෑස්තියි. එන්න අපිත් එක්ක ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩුව ගෙදර යවන්න.

අද මට අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා බොහෝ දෙනෙක් කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ඇමති වුනාට පස්සේ තිබුණු දේත් නැති වුනා කියනවා. අපි දන්නේ නෑ ඒක ඇත්තද බොරුද කියලා. නමුත් එහෙම දෙයක් තිබෙනවා නම් බැසිල් මහත්මයෝ ඔබතුමාවත් මිනිස්සුන්ගේ චෝදනා වලින් නිදහස් වෙන්න පුලුවන් කමක් තිබෙනවා නම් 6 මාසයක්වත් ඈත් වෙලා ඉන්න. මේ මිනිස්සු කියන එක ඇත්ත නම්. අද ඔබතුමා තමයි ලොකුම අපලයක් කියලා ජනතාව කියන්නේ.” යනුවෙන් සඳහන් කළහ.

අද

++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *