බස් ගාස්තු සංශෝධනය ගැන කතාබහ හෙට (14) කැබිනට් මණ්ඩලයට

බස් ගාස්තු සංශෝධනය ගැන කතාබහ හෙට (14) කැබිනට් මණ්ඩලයට

*********************************************

බස් ගාස්තු සංශෝධනය ගැන කතාබහ හෙට (14) කැබිනට් මණ්ඩලයට

(13.03.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමඟ අද (13) පස්වරුවේ සාකච්ඡාවක නිරත වන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ දැමූ අතර, එහි නව මිල වන්නේ රුපියල් 176 ක්.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 254 ක් වනවා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවට බස් සංගම් ඉල්ලීමක් කළා.

ඉන්ධන මිල වැඩිවීම සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (13) දිනයේදී සිය සංගමය තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

මේ අතර, හෙට (14) දිනයේදී බස් සංගම් සමඟ මෙන්ම අමාත්‍ය මණ්ඩල හමුවේදීද ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ගාස්තු සංශෝධනය කිරීම හෝ සහනාධාරයක් ලබාදිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ.

++++++++++++

බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ තීරණය කැබිනට් හමුවෙන් පසු

(13.03.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 2 ත්, 3 ත් අතර අගයකින් ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.

ඒ, පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් හා ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අතර අද (13) පැවති සාකච්ඡාවකදියි.

කෙසේ වෙතත්, ඒ පිළිබද අවසන් තීරණය හෙට (14) රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු දැනුම්දෙන බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවට බස් සංගම් අවස්ථා කිහිපයකදී ම ඉල්ලීම් සිදුකළා.

ඒ අනුව අද (13) ඒ සම්බන්ධයෙන් බස් සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ බස් සංගම්වලින් ඉදිරිපත් වූ ගාස්තු සංශෝධනය පිළිබද යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

මේ අතර, සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සදහන් කළේ පාසැල් වෑන් රථ සහ බස් රථ ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් දෙමව්පියන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ දක්වා කොටස් වශයෙන් පාසල් වෙත ගෙන්වූ සිසුන් සම්පූර්ණ වශයෙන්ම හෙට (14) සිට පාසල් වෙත කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය දා තීරණය කළා.

ඒ අනුව පාසල් ළමයින්ට අවශ්‍ය ප්‍රවාහන සේවා සැපයීමට ලංගම සිසු සැරිය බස් රථ සියල්ල ධාවනයට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

++++++++++++

මිල ඉහළ ගියත් ඉන්ධන සහ ගෑස් සැපයුම තවදුරටත් අඩාලයි

(13.03.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මිල ඉහළ දැමුව ද ඉන්ධන සහ ගෑස් සැපයුම වෙළඳපොල තුළ තවදුරටත් අඩාල වී තිබෙනවා.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ලබාගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටින අයුරු ඊයේත් (12) අදත් නිරීක්ෂණය කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තෙල් සංස්ථාව පවසන්නේ ඩීසල් සැපයුම යථා තත්වයට පත් කිරීමට තවත් දින දෙකක (2) පමණ කාලයක් ගතවනු ඇති බවයි.

මේ අතර ගෑස් බෙදාහැරීම මීට දින දෙකකට (2) ඉහතදී ලිට්රෝ සමාගම විසින් යළි ආරම්භ කළ ද තවමත් වෙළඳපොල තුළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති බවයි පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ.

බොහෝ ගෑස් අලෙවිසැල් තවදුරටත් වසා දමා ඇති ආකාරය නිරීක්ෂණය වනවා.

විවෘත කර ඇති ගෑස් අලෙවිසැල් අසළ දිගු පෝලිම් ඊයේත් (12) අදත් (13) දක්නට ලැබුණා.

එමෙන්ම පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ ගෑස් අලෙවිසැල් හිමියන් වැඩි මුදලක් අය කරමින් ගෑස් අලෙවි කරන බවයි.

ඇතැම් ගෑස් අලෙවිසැල්වල ලිට්රෝ ගෑස් 12.5 සිලින්ඩරයක් රුපියල් 3,400 ක පමණ මිලකට අලෙවි වන අතර, ලාෆ් ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,200 ක පමණ මිලකටයි.

කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

එවන් පසුබිමක ගෑස් හිඟවීම සහ වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය, පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ වනවිටත් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළඳපොල වැටලීම් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, එළඹෙන සතියේ විදුලි කප්පාදුවක් සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිසන් සභාව මගින් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ විදුලි උත්පාදනය සඳහා තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මුදාහැරීම පසුගිය සතියේ සිට ආරම්භ කළ බවයි.

දිවයිනට ළඟාවූ දැවි තෙල් නෞකාවේ අඩංගු දැවිතෙල් ගොඩබෑම අද (13) සිට ආරම්භ කරන බව තෙල් සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා හෙට (14) පෙරවරුවේ බස් සංගම් හමුවන අතර මෙම සාකච්ඡාවලදි එළඹෙන නිගමන කැබිනට් මණ්ඩලයට යොමු කිරීමටද නියමිතව තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ ද, ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ ද යන්න පිළිබඳව තීරණය කෙරෙන්නේ හෙට කැබිනට් මණ්ඩලයේ දී එළඹෙන එකඟතාවට අනුවයි.

++++++++++++

තෙල් මිල අස්සේ තෙල් ප්‍රවාහන මිලත් වැඩිවන ලකුණු

(13.03.2022 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීම හා ඩොලරයේ අගය වැඩිවීම මත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ද සිය මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 55 කින් ඉහළ යාම මත පසුගිය 07 වැනි දින සිට ඩොලරයේ අගය සියයට 30 කින් වැඩිවීම මත සිය සංගමය සේවකයින් ලෙස දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි ඔවුන් නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයට අදාළ ව අනෙකුත් ද්‍රව්‍ය එනම් ටයර්, ටියුබ්,වාහන අමතර කොටස්වල ද මිල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් වහාම සියයට 60 කින් ප්‍රවාහන ගාස්තු මිල සංශෝධනයක් ලබාදෙන ලෙසයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටින්නේ.

දැනට පවතින තත්ත්වය මත ප්‍රවාහනකරුවන් සේවයට යෙදවිය නොහැකි තත්ත්වයක් මත වුව ද, සංගමයේ ඉල්ලීම අනුව දින 02 කට පමණක් සේවයට වාර්තා කිරීමට ද ඔවුන් සිය එකඟත්වය පළ කර ඇති බවත්, තම ඉල්ලීමට නිසි විසඳුම් නොලැබුණහොත්, සේවය අර්බුදකාරී තත්ත්වයකට පත්වන බවත් මෙම සංගමය විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබනවා.

++++++++++++

හෙටත් (14) විදුලි කප්පාදුවක්

(13.03.2022 – 21:10 +0530 – hirunews.lk/sinhala)

හෙට දිනයේදීත් (14) විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව P, Q, R, S, T, U, V, W යන කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය දෙකක් (2) සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැයක් (1) වශයෙන් පැය 3 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

A, B, C, D, E, F, G, H යන කලාපවලට පැය 3 යි මිනිත්තු 45 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය දෙක හමාරක් (2½) වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැයයි (1) මිනිත්තු 15 ක් වශයෙන්.

++++++++++++

සිමෙන්ති මිලත් ඉහළට

(13.03.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ සැලස්සවීමත් සමඟ මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ද්‍රව්‍ය රැසක මිල ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට වෙළදපොළේ අලෙවිවන දේශීයව හා විදේශීයව නිපදවන කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 350 කින් ඉහළ දැමීමටයි සිමෙන්ති සමාගම් කටයුතු කර ඇත්තේ.

මේ අතර, තීන්ත ලීටරයක මිල ද රුපියල් 200 ත්, 300 ත් අතර අගයකින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 30,000 ක්ව පැවති ලීටර් 20 තීන්ත බාල්දියක මිල මේ වනවිට රුපියල් 45,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉදිකිරීම් සදහා යොදා ගන්නා බ්ලොක් ගල් මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි වෙළඳුන් සඳහන් කළේ.

එමෙන්ම රුපියල් 2,54,500 කට අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 2,92,500 ක් ලෙසයි.

එමෙන්ම ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට හැටකින් (60%) ඉහළ දැමීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් අද තීරණය කළා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ වරාය සේවා ඒකාබද්ධ සංගම් අතර අද (13) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බවයි.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සිය ප්‍රවාහනකරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි.

වාහන අමතර කොටස් සහ අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් සිය ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සියයට 60 කින් ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සංගමය පෙන්වා දෙනවා.

මේ අතර, ඉන්ධන සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් සිය කර්මාන්තයෙන් ඉවත් වන බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් ප්‍රකාශ කළා.

ඉන්ධන මිල ඉහළ යාම, පවතින ඉන්ධන හිඟය මෙන්ම වෙළදපොළේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

එමෙන්ම වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන ලෙස ගොවීන් ඉල්ලා සිටිනවා. අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එච්.එම්. උපාලි ඒකනායක කියා සිටියේ රුපියල් 92 සහ 95 වශයෙන් දැනට පවතින වී කිලෝග්‍රෑමයක් සදහා වන සහතික මිල රුපියල් 115 ත්, 120 ත් දක්වා ඉහළ දැමිය යුතු බවයි.

***************************************

යෝජනා ඉටු නොවන්නේ නම් නිදහස් පක්ෂයෙන් දැඩි තීන්දුවක්

(13.03.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පසුපසට ගමන් කරන රටක තනතුරු දරමින් ආණ්ඩුවේ සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් සම්මේලනයට අද (13) එක්වෙමින් ඔහු කියා සිටියේ රට ගොඩනැගීම සදහා ඉදිරිපත් වී ඇති යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් තම පක්ෂයට දැඩි තීන්දුවලට එළඹීමට සිදුවන බවයි.

***************************************

අමු කහ කිලෝව 100 ට බසී

(13.03.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 500 ක්ව පැවති අමු කහ කිලෝවක මිල මේ වන විට රුපියල් 100 දක්වා පහත බැස ඇති බව වෙළදුන් පවසනවා.

මීට පෙර අමු කහ කිලෝවක් රුපියල් 300 ක් දක්වා පහත වැටී තිබුණා.

වෙළෙදුන් පෙන්වා දෙන්නේ අමු කහ අලෙවි කර ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම මෙලෙස මිල පහත වැටීමට හේතු වී ඇති බවයි ෴

***************************************

පාදුක්කට රැයෙහි පෑයූ ‘හිරු’ – අතිසාර්ථක මෙගාබ්ලාස්ට් සැණකෙළිය

(13.03.2022 – 22:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම ‘හිරු මෙගාබ්ලාස්ට්’ ප්‍රසංගය ඊයේ (12) රාත්‍රියේදී පාදුක්ක මහ ජන ක්‍රීඩාංගනයේදී අධික ජනතා සහභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්වුණා.

විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාරවූ අති දැවැන්ත වේදිකාවේ සංගීත ක්ෂේත්‍රයේ තරු රැසක් එහිදි සංගීතවත් වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *