විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි

විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි

*********************************************

විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි

(05.03.2022 – 14:09 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුර අහිමි වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡාව ඊයේ (04) නොපැවැත්වුණු අතර, එය ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා අඛන්ඩව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් මේ වනවිට කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එම රැස්වීම ආරම්භවීමට පෙර නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවතින තත්වය පිළිබඳව අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ ඇමති මාරුවෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බවයි.

+++++++

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 විසින් 04.03.2022 දින පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුව

***************************************

නිදහස් පක්ෂය විමල්, ගම්මන්පිල, වාසු හමුවී ජනපති හමුවීමටත් සූදානම්

(05.03.2022 – 19:33 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් හමුවී කොළඹදී සාකච්ඡාවක නිරත වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එහි මහ ලේකම් දයාසිරි ජයසේකර එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ඉදිරි ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර, අමාත්‍ය ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර ඊයේ (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, එය නොපැවැත්වුණු අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර කොළඹදී අද (05) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ අගමැතිවරයා සමග සාකච්ඡාව නොපැවැත්වුණේ ඒ සඳහා තවත් කාලය අවශ්‍ය බවට තීරණය කිරීම හේතුවෙන් බවයි.

ඒ අනුව ඉදිරියේදී එම සාකච්ඡාව පවත්වන බවත් අග්‍රාමාත්‍යවරයා හමුවීමේ අරමුණ අර්බුද මධ්‍යයේ වුව ද අග්‍රාමාත්‍යවරයාට හොඳ හිත ප්‍රකාශ කිරීම බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර එහිදී කියා සිටියා ෴

නිදහස් පක්ෂය, සංවිධායකවරුන් කොළඹට කැඳවයි

(05.03.2022 – 09:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා.

අද (05) පෙරවරු 10 ට ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් ලෙසින්.

මෙහිදී වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර නිදහස් පක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ද සංවිධායකවරුන් දැනුවත් කෙරෙනු ඇති.

පොහොට්ටුව සමග යළි තරඟ නොකරන ලෙස නිදහස් පක්ෂයට සංවිධායකවරුන්ගෙන් යෝජනාවක්

(05.03.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මින් ඉදිරියට කිසිදු මැතිවරණයකට තරග නොකරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක හමුවේදී යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

අද (05) පෙරවරුවේ නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් කොළඹට කැදවා තිබුණේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිදු මැතිවරණයකට තරග නොකරන ලෙස දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් එම හමුවේදී යෝජනා කළ බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.

ඒ අනුව ඒ පිළිබඳ පක්ෂයේ ස්ථාවරය ඉදිරියේදී පවත්වනු ලබන විධායක සභාවට සහ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා ෴

අද (05) කොළඹට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක මණ්ඩලය මෙම යෝජනාවට පිවිසියේ පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය ජනාධිපතිවරයා විසින් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කිරීමත් සමගයි.

එහිදී ආණ්ඩු පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය පක්ෂ එම ක්‍රියාවලිය විවේචනය කරමින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, ආණ්ඩුවට පක්ෂපාතී වුව ද රටේ පවතින සැබෑ අර්බුදකාරී තත්ත්වය ජනතාවට පැවසීමෙහි වරද කුමක්ද යන්න පිළිබඳවයි ෴

***************************************

කෝට්ටේ නගර සභා සේවක විරෝධය අවසන්

(05.03.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගර සභාවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් නගර සභා සේවකයන් රාජගිරිය ගුවන් පාලම පහළ ක්‍රියාත්මක කල විරෝධතාවය අද (05) පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ අදාල පහරදීම සිදුකළ බව කියන පුද්ගලයා විසින් පහර කෑමට ලක්ව කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින නගර සභා සේවකයා හමුවී සමාව ගෙන ගැටළුව සමථයකට පත්කර ගැනීමත් සමගයි.

කෝට්ටේ – අලකේශ්වර මාවතේදී එම පහරදීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වුණේ මහේස්ත්‍රාත්වරයෙකුගේ පුත්‍රයෙකුටයි.

කසල පැටවීමට නගර සභා ලොරි රථය මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් තම රථයට ගමන් කිරීමට බාධා වන බව පවසමින් ඔහු අදාළ පහරදීම සිදුකල බවයි නගර සභා සේවකයන් සඳහන් කළේ.

ඉන් අනතුරුව ඊට අදාළ පැමිණිල්ල සිදු කිරීමට නගර සභා සේවකයින් විසින් වැලිකඩ පොලීසියට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පොලීසියට කල බලපෑමක් හේතුවෙන් පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු නොකල බව නගර සභා සේවකයන් සඳහන් කළා.

ඊට එරෙහිව නගර සභා සේවකයන් අද (05) පෙරවරුවේ සිට කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ කසල ඉවත් කිරීමේ රාජකාරී වලින් ඉවත් වූ අතර වැලිකඩ පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුනේ රාජගිරිය ගුවන් පාලම පහල සියලු මාර්ග අවහිර වන ලෙස නගර සභා රථ හරස් කර නතරකර තබමින්.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වූණා.

පසුව පහරකෑමට ලක්වූ නගර සභා සේවකයාගෙන් පහරදුන් පුද්ගලයා සමාව ගෙන තත්වය සමථයකට පත්වීමත් සමග විරෝධතාවය අවසන් කරමින් නගර සභා සේවකයන් විසිර ගිය බව අප වාර්තාකරු සඳහන් කළා ෴

***************************************

භාණ්ඩාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 09

(05.03.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 60,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 09 වනදා පැවැත්වෙනවා.

මෙහිදී දින 91 කින්, දින 182 කින් මෙන්ම දින 364 කින් කල් පිරෙන බිල්පත් වෙන්දේසි වෙන්නේ එක් කාණ්ඩයකට රුපියල් මිලියන 20,000 බැගින් ෴

***************************************

බහලුම් රථ ධාවනය අවම වීමෙන් ආනයන – අපනයන භාණ්ඩ ප්‍රවාහනයට බාධා

(05.03.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අර්බුදය හේතුවෙන් ආනයන අපනයන බහාලුම් බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවලට ප්‍රවාහනය කිරිම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඉන්ධන නොමැතිකමින් දැනටමත් ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන රථ සියයට 75 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.

ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන රථ 6000 ක් අතරින් දෛනිකව අපනයන බහාලුම් රථ 1000 ට ආසන්න සංඛ්‍යාවක් වරාය වෙත ගමන් කෙරෙන අතර වරායෙන් පිටතට ගමන් කරන ආනයනික බහාලුම් රථ සංඛ්‍යාව 2000 ක්.

++++++++++++

බලශක්ති අර්බුදය ගැන කල්තැබීමේ විවාදයක් 10 වැනිදා

(05.03.2022 – 09:19 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර, 08 වැනිදා බුද්ධිමය දේපළ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම විවාදයට ගැනෙනවා.

මාර්තු 10 වැනිදා කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගන්නා අතර, එදින සවස් කාලයේ බලශක්ති අර්බුදය පිළිබඳ කල්තැබීමේ විවාදයක් පැවැත්වෙන බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

++++++++++++

තෙල් නැතිව ඇනහිටි බස් යළි ධාවනයට සැරසෙයි ?

(05.03.2022 – 10:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ වෙත ඩීසල් නිකුත් කිරීම ලංගම ඩිපෝ 45 කින් අද (05) සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෞද්ගලික බස් රථවලට අමතරව සංචාරක ක්‍ෂේත්‍රයේ නිරත බස් රථවලට ද මෙලෙස ලංගම ඩිපෝ හරහා ඩීසල් ලබාගත හැකි බවයි.

පස්වරුව වනවිට පිරවුම්හල් වෙත ලැබීමට නියමිත තෙල් තොගයන්ගෙන් මෙම කටයුත්ත සිදු කෙරුණු ඇති.

ඒ අනුව පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන ඉන්ධන පිරවුම්හල් පිළිබඳ නිවේදනයක් ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා.

++++++

++++++++++++

ඉන්ධන හිඟය නිම වන ලකුණු – හේතුව අගමැති පහදයි

(05.03.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් ප්‍රකාශ නිසා ජනතාව කලබලයට පත්වීම හේතුවෙන් ඉන්ධන සම්බන්ධ ගැටලුව මතුවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නාරම්මල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (05) එක්වෙමින්.

මේ අතර ආනයනය සඳහා සැලසුම් කර තිබූ ඉන්ධන නෞකා එකවර පැමිණීම නිසා ඇති වූ අර්බුදය මේ වනවිට සමනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ ඉදිරියේදී තවත් ඩීසල් ඇතුළු ඉන්ධන නෞකා කිහිපයක් පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඉන්ධන සංචිතවල කිසිදු අඩුවක් සිදුනොවන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අද (05) දිනයේදීත් දිගු පෝලිම් පැවති ආකාරයක් දක්නට ලැබුණා.

මේ අතර, ජා-ඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන රැගෙන ඒමත් සමග එහි පෝලිම්වල සිටි ජනතාව රතිඤ්ඤා දල්වා සිය සතුට පළ කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, ඉන්ධන රැගෙන යාමට පැමිණි ජනතාව කිරිබත්ගොඩ පිරවුම්හලක් අසල විරෝධයේ නිරත වීමත් සමග නුවරපාරේ රථවාහන තදබදයක් ද හට ගත්තා.

පවතින තත්ත්වයත් සමග බහාලුම් ප්‍රවාහනයට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

තෝරා ගත් ඉන්ධන පිරවුම්හල් හරහා බහාලුම් ප්‍රවාහන රථවලට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුනහොත් ලබන සතියේ සිට දැඩි අර්බුදයක් ඇතිවිය හැකි බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියා.

ඉන්ධන සම්බන්ධයෙන් දැනට ගැටලුවක් වාර්තා වී නැතත් කසල එකතු කිරීම සඳහා යොදා ගන්නා වාහනවලට ඉන්ධන ලබා ගැනීමේදී යම් ප්‍රමුඛතාවක් ලබාදීම සුදුසු බව බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම පැවසුවා.

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට ගෑස් මිලදී ගැනීම සඳහා ද ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනවා.

කොළඹ අද (05) පැවති වැඩසටහනකින් අනතුරුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ භාණ්ඩ මිල ඇතුළු වර්තමානයේ ඇති වී ඇති තත්ත්වයන් පිළිබඳව ලබන අඟහරුවාදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර, විදුලිබල නිෂ්පාදනය සඳහා දැනට ඩීසල් ලබාදීම සිදුකෙරෙන අතර කැළණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබාදීම හෙට (06) සිට ක්‍රියාත්මක කළ හැකි බවයි සංස්ථාව සඳහන් කළේ.

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබෙනවා.

විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් හා ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට සඳුදා (07) සිට කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 142 ක් සුවය ලබයි

(05.03.2022 – 17:29 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 142 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 6,09,822 ක් ලෙසයි ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 14 ක්

(05.03.2022 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝන ආසාදිත මරණ 14 ක් ඊයේ (04) දිනයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 16,321 ක්.

මේ අතර අද (05) දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 639 ක් වනවා. ඒ අනුව මෙරට මුලු කොරෝන ආසාදිතයින් ගණන 6,09,822 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *