පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි

පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි

*********************************************

පිළිගත නොහැකි චෝදනා වාර්තාවට ඇතුළත් – විදේශ ඇමති ජී.එල්. කියයි

(05.03.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ 49 වන සැසිවාරය වෙත ඊයේ (04) ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඇය සඳහන් කළේ සංහිඳියාව සහ වගවීම උදෙසා සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකාව විශ්වසනීය මාර්ග සිතියමක් මෙතෙක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

කෙසේ නමුත් මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට ලක් රජය මෑතක සිට දක්වන නැඹුරුව සහ ඇතැම් ප්‍රතිසංස්කරණ පියවර ද ඇගේ අවධානයට යොමුවුණා.

විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති සංශෝධනය සඳහා ගෙන ඇති මූලික පියවර මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප්‍රසාදයට ලක්වුණා.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ඇතිවී තිබෙන මූලික ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ලක් රජය දිරිගන්වන බවයි ඇය සඳහන් කළේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යළි ඇතිවීම වැළැක්වීම සඳහා නීතිමය ආයතනික සහ ආරක්ෂක ක්‍ෂේත්‍රයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන බව මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ අවධාරණය කළා.

එමෙන්ම පසුගිය වසරක කාලය මෙරට මානව හිමිකම් තත්වයෙහි පසුබෑමක් දක්නට ලැබුණු අතර, වගවීම් ක්‍රියාවලිය සඳහා බාධා පැවති බවයි මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කළේ.

වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් වෙත සත්‍ය සහ යුක්තිය ඉටුකිරීම පමාවී තිබෙනවා.

විශේෂයෙන් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම ඇතුලු විවේචනය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය අවහිර කර ඇති බවයි ඇය කියා සිටියේ.

කෙසේ නමුත් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ලිඛිත ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ මතුපිටින් පමණක් පෙනෙන තහවුරු නොකළ චෝදනා රැසක් එම වාර්තාවට ඇතුළත් කර ඇති බවයි.

විශේෂයෙන් සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ අනෙකුත් සාමාජික රටවල් විරුද්ධත්වය පළ කරනු ලබනවා.

දෝෂ සහිත ක්‍රියාදාමයන් තුළින් පිළිගත නොහැකි කරුණු අදාළ වාර්තාවට ඇතුළත් කර ඇති බැවින් ඊට එකඟ විය නොහැකි බවයි ලක් රජය අවධාරණය කළේ.

***************************************

කඩා වැටුණු මාතර පරෙවි දූපතේ පාලමට මාස 06 කින් අලුත් පාලමක්

(05.03.2022 – 09:21 +0530 – hirunews.lk/sinhala)

මාතර වෙරළ උද්‍යානයට යාබදව පිහිටා ඇති පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එය ඊයේ (04) පෙරවරුවේ කඩා වැටුණු අතර, දිගු කාලයක් පුරා අබලන්ව පැවතුණා.

සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ උපෝසථාගාරය පිහිටා ඇත්තේ ද මෙම දූපත තුළයි.

පාලමේ ඉදිකිරීම් සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද (05) එම ස්ථානයට පැමිණෙන අතර, ඉදිකිරීම් මාස 06 ක් තුළ නිම කිරීමට අපේක්ෂිතයි ෴

***************************************

අමරිකානු ඩොලරයට රුපියල් 240 ක් ඉල්ලයි

(05.03.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala)

විදේශගත ශ්‍රමිකයින් දිවයිනට එවන මුදල් සඳහා අවම වශයෙන් අමෙරිකානු ඩොලරයට රුපියල් 240 ක් ගෙවන ලෙස ඉල්ලා යෝජනාවක් මීලඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව දැනට ඩොලරයකට ගෙවන රුපියල් දහයේ (10) දිරි දීමනාවට අමතරව රුපියල් 30 ක් වැඩි කිරීමට යෝජනා කෙරෙන අතර, එමඟින් විදෙස් ශ්‍රමිකයින් මෙරට බැංකු හරහා මුදල් එවීම වැඩිවනු ඇතැයි අපේක්ෂිතයි ෴

***************************************

මුතුරාජවෙල මායිම් ලකුණු කිරීමට බාධා – නීතිපති අධිකරණයට දන්වයි

(05.03.2022 – 09:48 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමේදී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන බව නීතිපතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, මුතුරාජවෙල සංරක්ෂිත කලාපයේ පරිසර දූෂණ වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදීයි.

මෙම සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය මීට පෙර වගඋත්තරකරුවන්ට නියෝග කර තිබුණේ.

කෙසේ වෙතත්, ඊට විරෝධතා එල්ල වන බව දැනුම් දුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පොලිසියේ සහය ලබාගෙන එම කටයුතු සිදු කරන බව ප්‍රකාශ කළා ෴

***************************************

කොළඹට පැය 14 ක ජල කප්පාදුවක්

(05.03.2022 – 09:56 +0530 – hirunews.lk/sinhala)

ජල නල ප්‍රවාහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (05) රාත්‍රියේ සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 7, 8, 10, 12, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට (06) පෙරවරු 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම කොළඹ 2, 3, සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

මිනිස් සිරුරක අස්ථි කොටස් කිහිපයක් බිංගිරියෙන් හමුවෙයි

(05.03.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

බිංගිරිය – බෝවත්ත – කොළමුණඔය බෝක්කුව යට තිබී යතුරුපැදියක් සහ අස්ථි කොටස් කිහිපයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඊයේ (04) ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදියි, මෙම යතුරුපැදිය අදාළ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත්තේ.

මෙම යතුරුපැදියේ හිමිකරු පසුගිය වසරේ දෙසැම්බර් 01 වනදා සිට අතුරුදන්වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව අදාළ යතුරුපැදිය තිබූ ස්ථානයේ සිදුකළ සොයාබැලීමේදී මෙලෙස මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම පැමිණිල්ල සිදුකළ කාන්තාව විසින් අදාළ යතුරුපැදිය තම පුත්‍රයාගේ බවට හඳුනාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

(05.03.2022 – 10:16 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන ‘තංගවේලු නිමලන්’ නැමති සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මොහු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ හිටපු නායකයෙකු වන ‘මුත්තප්පන්’ යටතේ කටයුතු කළ අයෙකු වන අතර, ඔහු ඇතුලු කිහිපදෙනෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ‘තංගවේලු නිමලන්’ නමැති මෙම සැකකරුට අධිකරණ කිහිපයක නඩු පවරා තිබූ බවයි.

ඒ අතරින් 2011 වසරේදී කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු කරන ලද නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2 ක් පමණ ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් මොහුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා ෴

***************************************

අනිද්දා (07) සිට පාසල් වෙත සිසුන් කාණ්ඩ වශයෙන් ගෙන්වීමට තීරණයක් ?

(05.03.2022 – 14:13 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (07) සිට පාසල් නැවත ආරම්භ කිරීමේ දී යළිත් වරක් සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සිසුන් 20 දක්වා සිටින පන්ති සෑම දිනකම පැවැත්වීය යුතු අතර සිසුන් 21 ත් 40 ත් අතර සංඛ්‍යාවක් සිටින පන්ති කණ්ඩායම් 2 කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

එසේම සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති, සිසුන් සමාන කොටස් 3 කට වෙන් කර පැවැත්විය යුතු වනවා. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇති.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අප කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර, මෙවර පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සකස් කිරීමේ මේ වනවිට කටුයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය දා සඳහන් කර තිබුණේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති 2 ඇතුලත ලබා දෙන බවයි ෴

සඳුදා (07) සිට පාසල් යළි ආරම්භ කෙරේ

(05.03.2022 – 19:59 +0530 – hirunews.lk/sinhala)

සඳුදා (07) සිට පාසල් යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ නිවේදනයක් නිකුත් කරමින්. එම නිවේදනය පහතින් :

***************************************

මාතර නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකරයි

(05.03.2022 – 14:31 +0530 – hirunews.lk/sinhala)

මාතර – නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමට ජලසම්පාදන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මාතර ජලසම්පාදන ක්‍රමයේ සිව්වන අදියර සඳහා රුපියල් මිලියන 18,208 ක් වෙන් කර ඇති අතර, එහි එක් අංගයක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.

ඉදිකරමින් පවතින ලවණ බාධකය නිසා වගා බිම්වලට හානි සිදුවේද යන්න පිළිබඳ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වුණා.

ලවණ බාධකයේ ඉදිකිරීම් නිසා ගොවි ජනතාවට දැනට සිදුවී ඇති සහ ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු ඇතිවිය හැකි බලපෑම් ඇතුලු කරුණු පිළිබඳව එහිදී දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ගොවි ජනතාවගේ ඉල්ලීම් සහ යෝජනා පිළිබඳව අවධානය යොමුකර ලබන බදාදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සියලු පාර්ශ්ව එක්ව නැවත සාකච්ඡා කිරීමට නියමිතයි.

ලවණ මිශ්‍ර ජලයෙන් ගොවිතැන් කිරීම සහ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීමට සිදුවීම නිසා මාතර ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක සිට පීඩාවට පත්ව සිටිනවා. ෴

***************************************

විනාශ මුඛයට ඇද දැමුණු වඩුවාකෙටූගල ගැන ඇමති විදුරගේ අවධානය

(05.03.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දඹදෙණිය වඩුවාකෙටු ගලේ පාදම විනාශ කරමින් පවත්වාගෙන යන ගල්කොරියට එල්ල වන ජනතා විරෝධය වළක්වා ගැනීම සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර ඇති බව ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළි වුණා.

මේ අතර, වඩුවාකෙටූගලේ විනාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ද අවධානය යොමු වී තිබෙනවා.

මෙරට තුන්වැනි (3) රාජධානිය වන දඹදෙණියට අයත් ඓතිහාසික වඩුවා කෙටු ගලේ පාදම සුනු විසුණු කරමින් ගල් කොරියක් පවත්වාගෙන යන බව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප මුල්වරට හෙළිකළේ පසුගිය පෙබරවාරි 23 වැනිදායි.

මෙම ගල්කොරිය ඇරඹීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තු අවසරය ලබාගැනීමට අසීරු වූ බවත් ගම්වාසීන්ගෙන් මේ වෙත එල්ල වන විරෝධය වලක්වා ගැනීමට සඳහා රුපියල් කෝටි 1½ ක මුදලක් මේ වනවිටත් වියදම් කර ඇති බව එහි හිමිකරු ප්‍රකාශ කළා.

මේ අතර ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළිවුයේ වඩුවාකෙටූගල ගල් පර්වතයේ ස්ථාපිත කර තිබු පැරණි මායිම් කණු ඉවත් කර නව මායිම් කණු ද මේ වනවිට ස්ථාපිත කර ඇති බවයි.

‘හිරු සි.අයි.ඒ.’ හරහා අප වඩුවාකෙටූගලට සිදුවන විනාශය හෙළි කිරිමත් සමග පාර්ලිමේන්තුවේ ද ඒ පිළිබද වාද විවාද ඇති වුණා.

ඒ අනුවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ පිළිබද සොයා වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබුණේ.

කෙසේ වෙතත්, මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ ගල් කොරිය සඳහා අවසර ලබාදුන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය , පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටම වඩුවාකෙටූගලට සිදුව ඇති විනාශය සෙවීමට අවස්ථාව සලසා දීමයි.

මෙවන් වාතාවරණයක් යටතේ වඩුවා කෙටු ගල නිරීක්ෂණය කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක එම ගල් කොරිය පවතින ස්ථානයට පැමිණියා ෴

***************************************

රුපියල් ලක්ෂ 33 කට අධික මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(05.03.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව – හිබුටාන පටුමග ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 33 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථනයක්, විදෙස් මුදල් නෝට්ටු 104 ක් සහ යතුරුපැදියක් සහ ජාවාරමෙන් උපයා ගත් රුපියල් 1,02,500 ක මුදල් ද සිය භාරයට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු 25 හැවිරිදි අයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමග 58 හැවිරිදි අයෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රැඳවුම්භාරයේ පසුවන සැකකරුවෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මතයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

***************************************

ඉඟිනියාගල ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගැනීම කඩාකප්පල්කාරි ක්‍රියාවක්දැයි සැක

(05.03.2022 – 17:24 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – ඉඟිනියාගල – පොල්වත්ත මහා විද්‍යාලයට දිවෙන මාර්ගයේ පෙරපාසලක් අසල ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විදුලි කප්පාදුව අතරතුර කිසියම් පිරිසක් විසින් සිදුකළ කඩා කප්පල්කාරි ක්‍රියාවකින් මෙම ට්‍රාන්ස්ෆෝමරය ගිනිගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් සැක මතුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ (04) ප්‍රදේශයේ විදුලි ඉංජිනේරුවරයා ඉඟිනියාගල පොලීසියට මේ පිළිබඳ පැමිණිල්ලක් සිදුකර තිබුණේ ට්‍රාන්ස්ෆෝමරයට ගිනි තබා අනර්ථයක් සිදුකර ඇති බව පවසමින්.

මේ වනවිට ඉඟිනියාගල පොලීසියේ අපරාධ අංශයේ නිලධාරින්, ඇඟිලි සලකුණු අංශය සහ පොලිස් නිල සුනඛ අංශය එක්ව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ට්‍රාන්ස්ෆෝමරයට හානි සිදුවීම නිසා එම ප්‍රදේශයේ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී නොමැති බවයි වාර්තා වුණේ.

මේ අතර, අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය ලබාදුන් ප්‍රතිඥාව මත කලින් ප්‍රකාශ කළ ආකාරයේ විදුලි කප්පාදුවක් අද (05) දිනයේ සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

කෙසේ නමුත් බලාගාර සඳහා පවතින ඉන්ධන තොග මත පදනම්ව අවම මට්ටමේ විදුලි කප්පාදුවක් ඇතැම් විට සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මහජන උපයෝගීතා කොමිසම මීට පෙර විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබුණේ කලාප අනුව අද (05) දිනයේ පැය හතක (7) සහ පැය හතරක (4) විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමටයි.

කෙසේ වෙතත්, පවතින තත්වය මත ජනතාව තවදුරටත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *