යුක්රේන ආක්‍රමණයෙන් සිදු වූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි
*********************************************
යුක්රේන ආක්‍රමණයෙන් සිදු වූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි
(03.03.2022 – 06:36 +0530 – hirunews.lk/sinhala)
යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයන් 498 දෙනෙකු මිය ගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
හමුදා මෙහෙයුම ආරම්භයේ සිට තවත් 1,597 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රුසියාවේ ප්‍රවෘත්ති වාර්තා කළේ.
පසුගිය බ්‍රහස්පතින්දා යුක්රේනයේ ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියාව තමන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් තොරතුරු හෙළි පළමු අවස්ථාව මෙයයි.
රුසියානු පුවත් සේවාවන්ට අනුව යුක්රේන හමුදා භටයන් 2,870 කට වැඩි පිරිසක් මියගොස් 3,700 ක් පමණ තුවාල ලබා ඇති බවයි හෙළිකර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම තොරතුරු නිශ්චිතව තහවුරු කර නො මැති අතර යුක්රේනයෙන් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ.
මේ අතර අද (03) උදෑසන දෙවන (2) වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා යුක්‍රේන නිලධාරීන් බෙලරුස් වෙත පැමිණෙනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බවයි රුසියානු පුවත් ඒජන්සි වාර්තා කළේ.
නමුත් යුක්‍රේන ජනාධිපති ප්‍රකාශකයෙකු කියා සිටියේ, මෙම සැලැස්ම පිළිබඳව සැක මතුවන බවයි.
සාකච්ඡා පැවැත්වෙන නිශ්චිත වේලාවක් මෙතෙක් තීරණය කර නො මැති බව යුක්රේන ජනාධිපති උපදේශක ‘මිකායිලෝ පොඩොල්‍යැක්’ ප්‍රකාශ කළා. යුක්රේන ජනාධිපති ‘වොලොදමීර් සෙලෙන්ස්කි’ මීට පෙර අවධාරණය කළේ, රුසියාවට තමන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් බෝම්බ හෙලීම නතර කළ යුතු බවයි.
පෙර පැවති සාම සාකච්ඡාවන්වලදී කිසිඳු පාර්ශ්වයක් එකඟතාවන්ට නොපැමිණි අතර, ඉහළ පෙළේ උපදෙස් ලබා ගැනීමටයි තීරණය කෙරුණේ.
යුක්රේන ආක්‍රමණය ආරම්භ කර සතියක පමණ කාලයක් ගතවී ඇතත්, රුසියාවට තවමත් යුක්රේන රජය පෙරලා දැමීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබී නැහැ.
කෙසේවෙතත් රුසියානු ආරක්ෂක හමුදා සිවිල් වැසියන් 2,000 කට වඩා ඝාතනය කර රෝහල්, ළදරු පාසල් සහ නිවාස විනාශ කර ඇති බවයි යුක්රේන ආරක්ෂක වාර්තා පෙන්වා දෙන්නේ.
එහෙත් රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කිරීම ප්‍රතික්ෂේප කරන අතර මිලියන 44 කට අධික ජනගහනයක් සිටින යුක්රේනය විශේෂ හමුදා මෙහෙයුමකින් නිරායුධ කිරීම අරමුණ බවයි පවසන්නේ.
මේ අතර බදාදා සවස කිව් දුම්රිය ස්ථානයක පිපිරීමක් සිදු වූ බව යුක්රේනයේ රාජ්‍ය දුම්රිය සමාගම ප්‍රකාශ කළා.
යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශකයෙකු පැවසුවේ පිපිරීම සිදු වී ඇත්තේ, රුසියානු කෲස් මිසයිලයක සුන්බුන් වලින් මිස සෘජු රොකට් ප්‍රහාරයකින් නොවන බවයි.
තුවාල ලැබූවන් පිළිබඳ තොරතුරු නොමැති අතර දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලට සුළු හානි සිදු වී තිබෙනවා.
දුම්රිය ධාවනය ද අඛණ්ඩව සිදු වන බවයි වාර්තා වන්නේ.
යුක්රේනයේ දෙවන (2) විශාලතම නගරය වන Kharkiv ද ඊයේ (02) දිනයේ බෝම්බ ප්‍රහාරයකට ලක් වුණා.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1997 වසරෙන් පසු එහි පළමු හදිසි රැස්වීම කැඳවා ඇත්තේ, රුසියාවේ ආක්‍රමණය හෙළා දැකීම වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට යි.
මේ අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධතාව දක්වමින් රුසියානු තරුණියක් තම රුසියානු විදේශ ගමන් බලපත්‍රයට ගිනි තබා තිබෙනවා.
ඇනා ජකුබෝවා නම් ඇය එඩින්බරෝ නුවර රැස්ව සිටි සිය ගණනක් ජනතාව ඉදිරියේ සිය ගමන් බලපත්‍රය පුළුස්සා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහි ව විරෝධතාවක් පැවති අතර ඊට එක් වූ මොස්කව්හි පදිංචි 26 හැවිරිදි තරුණිය පැවසුවේ සිවිල් වැසියන් ඝාතනය කිරීම නිසා තමා භීතියට පත් වූ බවයි.
එමෙන්ම තමා රුසියානු ජාතිකයෙකු වීම පිළිබඳ ලැජ්ජා වන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර අන්තර්ජාල සන්නිවේදන චන්ද්‍රිකා ගුවන්ගත කරනු ලබන සමාගමක් වන OneWeb හි කොටස් විකිණීමට රුසියාව කළ ඉල්ලීම් එක්සත් රාජධානිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
OneWeb චන්ද්‍රිකා 36 ක් රැගත් Soyuz රොකට්ටුවක් Kazakhstan හි Baikonur Cosmodrome හි දියත් කිරීමට සැලසුම් කර තිබුණා.
එම මෙහෙයුම හමුදා මෙහෙයුම් සඳහා භාවිතා නොකරන බවට සහතික වන ලෙසටයි රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය ඉල්ලා ඇත්තේ.
කෙසේ වෙතත් එක්සත් රාජධානිය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.
මේ අතර යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ රුසියාවට පනවන ලද නවතම සම්බාධකවලට අනුව, SWIFT පද්ධතියෙන් රුසියානු බැංකු හතක් (7) ඉවත් කරන බව යුරෝපා සංගමය ඊයේ (02) ප්‍රකාශ කළා.
රුසියාවේ දෙවන විශාලතම බැංකුව වන VTB (VTBR.MM), Bank Otrkitie, Novikombank, Promsvyazbank (PSKBI.MM), Bank Rossiya, Sovcombank සහ VEB වෙත ඔවුන්ගේ SWIFT මෙහෙයුම් අවසන් කිරීමට දින 10 ක් ලබා දෙන බවයි යුරෝපා සංගමය සිය නිල නිවේදනයෙන් සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රධාන පෙළේ මෝටර් රථ සමාගම් කිහිපයක් රුසියාවේ නිෂ්පාදනය නතර කිරීමට තීරණය කර තිබෙනවා.
Toyota Motor Corp සිකුරාදා සිට සිය රුසියානු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය නතර කරන අතර සම්බාධක හමුවේ පවතින බාධා හේතුවෙන් රට තුළට වාහන ආනයනය ද දින නියමයක් නොමැතිව නතර වී ඇති බවයි එම සමාගම පැවසුවේ.
Toyota අමතර කොටස් සහ අනෙකුත් අවශ්‍යතා ලබා ගැනීමේ දුෂ්කරතාවයන් ද සඳහන් කරමින් ඔවුන් මෙම පියවරට එළඹ තිබෙනවා.
තවත් ජපන් මෝටර් රථ නිෂ්පාදක සමාගම් කිහිපයක් මෙම පියවර අනුගමනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බටහිර රටවල සමාගම් රුසියාවේ ආයෝජන ප්‍රතික්ෂේප කර ඇති අතර ඇතැමුන් එහි ආයෝජනවලින් ඉවත් වන බව ද පවසනවා.
කෙසේ වෙතත් බොහෝ ජපන් සමාගම් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.
ලොව පුරා රටවල් රැසක ජනතාව මෙන්ම, ටොයෝටා සමාගම ද යුක්රේනයේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වමින් සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බලා සිටින අතර හැකි ඉක්මනින් ඔවුන් සාමය උදා කරගනු ඇති බවටයි බලාපොරොත්තු වනවා.
Toyota සමාගම නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටියේ.
ටොයෝටා යනු රුසියාවේ භාවිතා වන මෝටර් රථ අතර ඉහළම සන්නාමය ද වනවා.
අනෙකුත් ජපන් සන්නාම අතර, පසුගිය වසරේ රුසියාවේ මෝටර් රථ 30,000 ක් අලෙවි කළ Mazda Motor මෙන්ම Vladivostok කම්හල් වෙත කොටස් අපනයනය කිරීම ඉක්මනින් අවසන් වන බවයි පැවසුවේ.
Mitsubishi Motor සමාගම ද, රුසියාවට සම්බාධක පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස සැපයුම් බිඳ වැටී ඇතැයි සඳහන් කරමින් රුසියාවේ නිෂ්පාදනය සහ විකුණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
Honda Motor සමාගම පැවසුවේ වාහන නැව්ගත කිරීමේ සහ ගෙවීම් කිරීමේ දුෂ්කරතාවය හමුවේ රුසියාවට මෝටර් රථ සහ යතුරුපැදි අපනයනය අත්හිටුවා ඇති බවයි.
කෙසේවෙතත් 2021 වසරේදී රුසියාව තුල වාහන 53,000 ක් අලෙවි කළ Nissan සමාගම කියාසිටියේ, රුසියාවේ පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් දැනට එහි මෙහෙයුම් අඛණ්ඩ ව සිදු කරන බවයි.
මේ අතර රුසියාවේ කෲස් මිසයිලයකින් නැගෙනහිර කාර්කිව් නගරයේ ප්‍රාදේශීය නගර සභා ගොඩනැගිල්ලකට හානි සිදුවී ඇති බව එම කලාපයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා පවසනවා.
කාර්කිව් නගරය රුසියානු දේශසීමාවේ සිට සැතපුම් 30 ක් පමණ දුරින් පිහිටා ඇති අතර පසුගිය දින දෙක (2) තුළ ද ඊට දැඩි ලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වුණා.
රුසියානු පැරෂුට් භටයින් විශාල සංඛ්‍යාවක් ද කාර්කිව් නුවරට මේ වනවිට ගොඩබැස තිබෙනවා.
මේ අතර ගත වූ ගෙවුණු පැය 24 තුළත් යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර රුසියාව අඛණ්ඩව 07 වැනි දිනටත් ගුවන් ප්‍රහාර එල්ල කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගෙවුණු දිනය තුළ එල්ල වු ප්‍රහාරවලින් විදේශිකයින් ඇතුලු 25 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ වනවිට යුක්රේනයේ චාර්නෝවිල්, සූමි, කාර්කිව්, ලුහන්ස්ක්, ඩොනෙට්ස්ක්, මරියුපෝල්, කේසෝන්හි රුසියානු භටපිරිස් ස්ථාපිතව සිටිනවා.
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සැපරෝෂියාහි පාලන බලය අත්පත් කර ගැනීම මේ වනවිට රුසියානු හමුදාවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් විශාල භට පිරිසක් ප්‍රධාන නගර ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ යුද තත්ත්වයේ නිමාවක් නො මැති වුව හොත් යුක්රේනයේ මිලියන 7 කට අධික පිරිසක් එරට හැර යනු ඇති බවයි.
මේ අතර විවේචනාත්මක පුවත් සහ තොරතුරු වාර්තා කළ රුසියානු ගුවන් විදුලි සේවාවක විකාශනය අත්හිටුවීමට රුසියානු බලධාරීන් පියවර ගත්තා.
මෙම ගුවන් විදුලි සේවාවේ බලධාරීන් පවසන්නේ රුසියානු ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ පෙළේ පුද්ගලයින් ගෙන් තමන්ට දිගින් දිගටම දැඩි බලපෑම් සහ තර්ජන එල්ල වු බවයි.
මේ අතර රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන කිහිපයක් යුද අභ්‍යාසයක් සඳහා රුසියානු ආක්ටික් සාගර කලාපයට පිටත්ව හෝ ඇති බවට වාර්තා වනවා.
මෙම යුද අභ්‍යාස සදහා රුසියාව සතු විශාලතම න්‍යෂ්ටික සබ්මැරීන එක්වී ඇති බවටයි වාර්තා වන්නේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, බැරන්ට් මුහුදු කලාපය හරහා ඔවුන් මෙම නාවික හමුදා අභ්‍යාසයට එක්වන බවයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ න්‍යෂ්ටික විශේෂ බලකාය සීරුවෙන් තැබීමට පියවර ගත්තේ මීට දින කිහිපයකට පෙරාතුවයි.
මේ අතර යුක්රේන ආරංචි මාර්ග සදහන් කරන්නේ බොහෝ විට ඉදිරි දින දෙක තුළදී යුක්රේන අගනුවර වන කිව්හි පාලනය රුසියානු හමුදා අත්පත් කර ගනු ඇති බවට යි.
මේ අතර, යුක්රේනයට අරමුදල් සැපයීමේ අරමුණින් තායිවාන ජනාධිපති තායි ඉන් වෙන් සිය මාසික වැටුප පරිත්‍යාග කර තිබෙනවා.
මේ අතර රුසියානු ගුවන් යානා සඳහා ඇමෙරිකාව සිය ගුවන් කලාපය තහනම් කරන බව ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළා.
ඇමෙරිකානු මන්ත්‍රණ සභාව අමතමින් ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා, යුක්රේනයට ඇමෙරිකානු සහය පළ කරද්දී මන්ත්‍රණ සභාවේ සියලු දෙනා නැගි සිටිමින් ඊට සිය ප්‍රසාදය පළ කළා.
එහිදි ජනපති ආර්යා ජිල් බයිඩ්න් ඇමෙරිකාවේ යුක්රේන තානාපතිවරිය වන ඔක්සාර්නා මාර්කෝවා වැළඳ ගනිමින් සිය සංවේදීභාවය ප්‍රකාශ කළා.
ජනාධිපති ආර්යාව එහි දී ඇඳ සිටියේ, යුක්රේන ධජයේ පැහැය වන නිල් පැහැති ඇඳුමක් වන අතර යුක්රේන ජාතික පුෂ්පය වන සූර්යකාන්ත මලක් ද එහි දැක්වුණා ෴
+++++++++++++
යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් මහා මණ්ඩල යෝජනාව සම්මත් වෙයි
(03.03.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතිමහත් බහුතරයකින් යෝජනාවක් සම්මත කර ගත්තා.
යෝජනාවට පක්ෂව රටවල් 141 ක් ඡන්දය ප්‍රකාශ කළා.
ආරක්ෂක කවුන්සිලයේ දී යෝජනාවට ඡන්දය නොදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මහා මණ්ඩලයට ගෙනා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.
රටවල් පහක් (5) යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
ඒ රුසියාව, බෙලරුසය, එරිත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාව යි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ චීනය ඇතුළු රටවල් 35 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.
ඒ අතුරින් බහුතරයක් ආසියානු රටවල් වීම කැපී පෙනුණා.
රුසියාව සිය ආක්‍රමණය වහා ම නතර කළ යුතු බවත්, තම හමුදා ඉවත් කළ ගත යුතු බවත් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල ව කටයුතු කළ යුතු බවට මෙම යෝජනාව ගෙන එනු ලැබුවා.
ඡන්ද ප්‍රතිඵලය තිරය මත සටහන් වීමත් සමඟ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ නියෝජිතයන් සිය අසුන්වලින් නැගිට අත්පොලොසන් ගසමින් යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළා.
නීත්‍යානුකූල බැඳීමක් නො මැති වුව ද එම ප්‍රතිඵලයට ගෝලීය වශයෙන් යම් දේශපාලන අගයක් තිබෙනවා.
නමුත් එය මොස්කව්හි මිලිටරි ආක්‍රමණය වෙනස් කිරීමකට හේතුවනු ඇත් ද යන්න සැක සහිත යි.
යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් කැඳවනු ලැබුවේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවයි.
1997 වසරෙන් පසු විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් කැඳවනු ලැබූ පළමු (1) අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක් ෴
+++++++++++++
ලෝක බැංකුවෙනුත් රුසියාවට සහ බෙලරූසයට තහංචි
(03.03.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala)
ලෝක බැංකුව, රුසියාව සහ බෙලරූස් රාජ්‍යය සමග සිදු කිරීමට නියමිත ව්‍යාපෘති සියල්ල අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව එම රාජ්‍යයන් වෙත ණය මුදල් ලබාදීම හෝ මූල්‍යමය වශයෙන් ව්‍යාපෘති සඳහා සහයෝගය ලබාදීම නවතා දැමීමටයි තීරණය කර ඇත්තේ.
විශේෂයෙන් මෙම තත්ත්වය බෙලරූස් රාජ්‍යයට බලපානු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ ෴
+++++++++++++
රුසියානු භටයින් 7000 ක් මරා දමා තිබෙන බව යුක්රේනය කියයි
(03.03.2022 – 11:45 +0530 – hirunews.lk/sinhala)
රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට රුසියානු භටයින් හත් දහසකට (7000) ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව යුක්රේන ජනාධිපති උපදේශක මිකයිලො පොඩොල්යැක් පවසනවා.
ඊට අමතර ව ජ්‍යෙෂ්ඨ රුසියානු යුද හමුදා නිලධාරීන් ඇතුළු යුද සිරකරුවන් ද සිය ගණනක් ඔවුන්ගේ අත්අඩංගුවේ ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
යුක්රේන ජනාධිපති උපදේශක මිකයිලො පොඩොල්යැක් මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ, යුද්ධය ඇරඹී දින හතකට (7) පසු රුසියාව විසින් ඔවුන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින්.
රුසියානු රතු හමුදාවේ මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් ප්‍රකාශ කළේ, මේ දක්වා ඇති වූ ගැටුම්වලින් රුසියානු සෙබළුන් 498 දෙනෙකු මියගොස් තවත් 1597 දෙනකු තුවාල ලබා ඇති බවයි.
මෙම සංඛ්‍යා ලේඛන ප්‍රතික්ෂේප කරන යුක්‍රේන බලධාරීන් පවසන්නේ රුසියානු හමුදාවන්ට සිදු වී ඇති හානිය ඊට වඩා බොහෝ වැඩි සහ බරපතළ බවයි.
මෙම රුසියානු සංඛ්‍යාලේඛන සහ දත්ත පිළිගත් නො හැකි සාවද්‍ය වාර්තා බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ, මෙතෙක් පැවති සටන්වල දී යුක්රේන සොල්දාදුවන් සහ ‘ජාතිකවාදීන්’ 2,870 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 3,700 ක් පමණ තුවාල ලබා ඇති බවයි.
මේ අතර යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවයට අනුව රුසියාව සමඟ පැවති සතියක යුධ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 2,000 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් තිබෙනවා.
ඊයේ (02) දිනය තුළත් යුක්‍රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් වෙත අඛණ්ඩ ව රුසියානු ෂෙල් වෙඩි සහ මිසයිල් ප්‍රහාර එල්ල කෙරුණු බව වාර්තා වනවා.
මෙහි දී කාර්කිව් නගරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළූ බව යුක්‍රේන හමුදා නිලධාරියකු පවසා සිටිය ද එළෙස වෙඩි තබා බිම හෙළු මුළු යානා ප්‍රමාණය කෙතරම්ද යන්න හෙළිකර කර තිබුණේ නැහැ.
මෙලෙස අඛණ්ඩව එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් කාර්කිව් නගරයේ පාසලක් සහ පරිපාලන සභා ගොඩනැඟිල්ලකට වැඩි අලාභානි සිදු වී තිබෙනවා.
ගත වූ පැය විසි 24 තුළ එල්ල කෙරුණු ප්‍රහාරවල දී නගරයේ පුද්ගලයින් විසි එක් (21) දෙනෙකු මියගොස් තවත් 116 දෙනෙකු හට තුවාල සිදු වී ඇති බවයි කාර්කිව් නගරාධිපති වරයා සඳහන් කළේ.
මේ අතර යුක්‍රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන රුසියානු ජනාධිපතිවරයා අඛණ්ඩ ව සිදු කරන ප්‍රහාර එංගලන්ත අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ දැඩි විවේචනයට ලක් වුණා.
ඔහු මෙම ප්‍රහාර සම්බන්ධයෙන්යෙන් අදහස් දක්වමින් කියා සිටියේ, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් මනුෂ්‍යත්වයට එරෙහි පිළිකුල් සහගත ප්‍රහාරයක් යුක්රේන් ජනතාවට එරෙහි ව එල්ල කරන බවයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊයේ (02) පෙරවරුවේ යුක්රේන ජනාධිපතිවරයා අමතමින් ඔහුට සහතික වී ඇත්තේ, ඔවුන්ට තවදුරටත් යුද ආධාර ලබාදීමට සිය රජය කැපවීමෙන් කටයුතු කරන බවයි.
මේ අතර තහවුරු නොකරන ලද වාර්තා සඳහන් කරන්නේ, මේ වන විට රුසියාව යුද්ධයක දී භාවිතයට තහනම්කර ඇති අධි තාප ජනන බෝම්බ සහ පොකුරු බෝම්බ භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
යුක්‍රේනය මීට දින දෙකකට (2) පෙර දී ද රුසියාවට එරෙහි ව මෙම චෝදනාව එල්ල කළා.
යුක්‍රේන බලධාරීන් පවසන්නේ, රුසියානු හමුදා විශේෂයෙන්ම කාර්කිව් නගරයට ප්‍රහාර එල්ල කිරීමේ දී මෙම විනාශකාරී පොකුරු බෝම්බ භාවිත කළ බවයි.
යුක්රේනය සහ රුසියාව අතර දෙවන (2) වටයේ සාම සාකච්ඡා බෙලරූස්හී දී අද (03) පැවැත්වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුක්රේන ජනාධිපති උපදේශක මිකයිලො පොඩොල්යැක් එම සාකච්ඡා සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නැහැ.
ඔහු පවසන්නේ, මෙම සාකච්ඡා කාලය ලබා ගැනීම සඳහා අනවශ්‍ය ලෙස දිග් ගසමින් තිබෙන බවයි.
එමෙන්ම මෙම සාකච්ඡා ඔවුන්ගේ යුධ උපායේ තවත් කොටසක් විය හැකි බවත් ඔහු අවධාරණය කරනවා.
කෙසේ වෙතත් මෙලෙස සාකච්ඡා සඳහා පැමිණෙන යුක්රේන බලධාරීන්ට අවශ්‍ය ආරක්ෂක කොරිඩෝවක් සැපයීමට රුසියානු හමුදා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් යුක්‍රේනයේ ප්‍රමුඛතම ඉල්ලීම වන ‘සාකච්ඡා මේසයට පැමිණීමට නම් ප්‍රහාර නැවැත්විය යුතුයි’ යන්නට මෙතෙක් රුසියාවෙන් කිසිදු සාර්ථක ප්‍රතිචාරයක් හිමි වී නැහැ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴