විදුලිය නොකපා ඉන්න බැසිල් ළඟ වැඩපිළිවෙළක් තිබෙනවා – ඩිලාන් පෙරේරා

විදුලිය නොකපා ඉන්න බැසිල් ළඟ වැඩපිළිවෙළක් තිබෙනවා – ඩිලාන් පෙරේරා

*********************************************

විදුලිය නොකපා ඉන්න බැසිල් ළඟ වැඩපිළිවෙළක් තිබෙනවා – ඩිලාන් පෙරේරා

(03.03.2022 – 08:44 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ පා ඇති ආර්ථික අසීරුතා හමුවේ මාධ්‍ය ඉදිරියේ විසඳුම් ඉදිරිපත් කරමින් වීරයන් වීමට උත්සාහ නොගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීම වඩාත් ඵලදායී බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා අවධාරණය කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහි දී ඩිලාන් පෙරේරා මෙසේ සඳහන් කළා :

“අද රට ඇතුළෙත්, ලෝකයේත් විවිධ ප්‍රශ්න නිසාත් විවිධ දුෂ්කරතා තියාගෙන තමයි ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. රටේ අභ්‍යන්තරයේ පේන්න තිබෙන ප්‍රශ්න තමයි ඩොලර් ප්‍රශ්නය. ඒ නිසා මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සොයනවා විනා එයට වෙන වෙනම Road Map හදන එක හරියනව ද කියලා මට හිතෙනවා.

ආණ්ඩුව හදන්න දරදිය ඇද්ද උදවිය ඔවුන්ගේ ඇමැතිකම් හොඳින් කරමින් ආණ්ඩුව හරි පාරට ගන්න උත්සාහයකුත් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් එන්නත්කරණයේ දී බොහෝ රටවලට වඩා ඉදිරියෙන් වැඩ කළා. වසංගතයෙන් මේ රටේ ජනතාව ගලවා ගන්න ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගත්ත වෑයම අපිට මතකයි. සමහර පිරිස්වලට එය අමතකයි.

මේ රටේ ආනයන වියදම අඩු කරගන්න ඕනෑ. පිටරටින් ගේන අපේ රටේ වවන්න පුළුවන් දේවල් අපේ රටේ වවන්න ගෝඨාභය මැතිතුමා පටන් ගත්තා. අලුත් දේශීය නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු කළා. මේ සියලු කාරණා එක්ක තමයි අපි දැන් ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සොයන්න වෙලා තිබෙන්නේ. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, තේ කර්මාන්තය ඒවා තමයි අපේ රටට ඩොලර් ආපු මාර්ග. නමුත් කොරෝනා නිසා සංචාරක කර්මාන්තය කඩා වැටුණා.

යුක්රේනය සහ රුසියාව අතර ඇතිවෙච්ච යුද තත්ත්වය අපේ රටේ ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑමක් තිබෙනවා. මේ යුදමය තත්ත්වයත් සමඟ ඇමෙරිකාවේ ඊයේ (02) එළිදැක්වුණු අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකාවේ තෙල් මිල 40% කින් වැඩිවුණා. පරණ කාර්වල මිල 45% කින් වැඩි වුණා.

අපි රටක් හැටියට මේ තිබෙන වාතාවරණය තේරුම් අරගෙන අපි හරි මඟක් තෝරා ගන්නවා නම් අපි Voice Cut නොදී අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕන. ලෝකයේම දෙබිඩි ප්‍රතිපත්තියක් බලවත් රටවල් අනුගමනය කරන වෙලාවක අපි තේරුම් ගන්න ඕන අවසානයේ අපිට ඉන්නේ අපි විතරයි කියලා. ලෝකයේ අපිට සිටින මිත්‍රයන්, සතුරන් කවුද කියලා තේරුම් ගනිමින් කිසිම කඳවුරකට බැඳෙන්නේ නැතිව නොබැඳි පිළිවෙතක් අනුගමනය කරමින් රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕන අපි සියලු දෙනා එකතු වෙලා.

බැසිල් රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා මාර්තු මාසයේ 05 දා පසු විදුලිය කැපීම නැවැත්වීමට හැකියි කියලා. ඒ වගේම කෙටිකාලීන විසඳුම් ගනිමින් ඩොලර් ප්‍රශ්නය විසඳගන්නේ නැතිනම් නැවත විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඩොලර් ප්‍රශ්නයත් එක්ක තමයි මේ සියලු දේ රඳා පවතින්නේ.”

++++++++++++

බොරතෙල් මිල ඉහළ ම අගයකට

(03.03.2022 – 08:47 +0530 – hirunews.lk/sinhala)

රුසියානු – යුක්රේන යුද උණුසුම ඉහළ යාමත් සමඟ යලිත් ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සඳහන් වූයේ, ඩොලර් 116 ක් ලෙසයි.

එමෙන්ම, ඇමරිකානු තෙල් බැරලයක මිලද ඩොලර් 113 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++

ලබන සඳුදායින් (07) පසු විදුලි කප්පාදු කරන කාලසීමාවේ වෙනසක්

(03.03.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදායින් (07) පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනි දා මුළු දිවයිනටම සිදු වූ විදුලිය ඇණහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට අද පැමිණි අවස්ථාවේදි යි ෴

++++++++++++

තෙල් අර්බුදයත් උග්‍ර වේ – දිගු පෝලිම් තවදුරටත්

(03.03.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් නොමැති වීම හේතුවෙන් අද (03) දිනයේත් දිවයින පුරා ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

මෙලෙස ඉන්ධන නො මැති ව රැඳී සිටින අතරතුර හාලිඇල ප්‍රදේශයේ පිරවුම්හලකට පැමිණි ඉන්ධන බවුසරයක් ජනතාව විසින් නමස්කාර කොට පිළිගන්නා අයුරු ද දැකගන්නට ලැබුණා.

ඇතැම් ස්ථානවල කිලෝමීටර් 2 ක පමණ රථ වාහන පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

ඒ අතර, බස් රථ විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (02) මුදල් ගෙවා නිදහස් කර ගත් ඩීසල් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් මේ වන විට මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තය වෙත පොම්ප කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ අතර, පිටකොටුව – හෝමාගම 138 බස් මාර්ගයේ ධාවනය වන බස් රථ 75 න් අද ධාවනය කර තිබුණේ බස් රථ 12 ක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.

පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, බස් සංගම් නියෝජිතයින් වෙත අද (03) දහවල් සාකච්ඡාවක් ලබාදී ඇති බව ද ඔහු කියා සිටියා.

මේ අතර, පවතින ඉන්ධන හිඟය සමග ඊයේ (02) රාත්‍රියේ හිඟුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා.

ඔහු සදහන් කළේ රුපියල් 5000 ක ඩීසල් නිකුත් කරන බවට එම ඉන්ධන පිරවුම්හලෙහි ප්‍රදර්ශනය කර තිබූ නමුත් මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ට අයත් සහල් ආයතනයක ලොරි රථයකට රුපියල් 10,000 ක ඩීසල් ඉල්ලා සිටීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි.

ඩීසල් හිඟය හේතුවෙන් ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් බහලුම් බස්නාහිර පළාතෙන් පිටතට රැගෙන යාමට ගැටළුවක් මතු වී ඇති බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියා.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ යාම සහ තවත් ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මීගමුව දිස්ත්‍රික් එකමුතුව කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගය තෙල්වත්ත මං සන්ධියෙන් අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

අදාළ විරෝධතාවට එරෙහිව වාරණ නියෝගයක් ලබාදෙන ලෙස මීගමුව පොලීසිය, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අතර අද (03) දිනයේත් පැය හත හමාරක (7½) විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු වනවා.

කෙසේ වෙතත් ලබන සඳුදායින් (07) පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කර ගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව සදහන් කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 03 වන දා මුළු දිවයිනටම සිදුවූ විදුලිය ඇණහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම, ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට අද (03) පැමිණි අවස්ථාවේදියි.

++++++++++++

හෙටත් (04) පැය හත හමාරක (7½) විදුලිය කප්පාදුවක්

(03.03.2022 – 16:28 +0530 – hirunews.lk/sinhala)

හෙට (04) දිනයේදීත් පැය හත හමාරක (7½) කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පැය 7½ කාලයක් විදුලිය විසන්ධි කිරීම ආරම්භ කෙරුණේ ඊයේ (02) දිනයේ වන අතර අද (03) දිනයේදීත් පැය 7½ විදුලි කප්පාදුවක් සිදු වනවා.

පසුගිය දින කිහිපයේ දී ම රට පුරා දිනකට පැය 7½ ඉක්මවමින් විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

මෙලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට මූලිකව හේතුව වී ඇත්තේ විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය කර ඇති ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන් එම බලාගාරවල ක්‍රියාකාරිත්වය අක්‍රීය වීමයි.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධන ලබා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

මෙවන් පසුබිමක් මත දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කරමින් විදුලි සැපයීමේ ධාරිතාව පාලනය කරගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම ලබන සඳුදායින් (07) පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනි දා මුළු දිවයිනටම සිදු වූ විදුලිය ඇනහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට අද (03) පැමිණි අවස්ථාවේදි යි.

තව ද, අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි නිලධාරීන් පැවසුවේ.

++++++++++++

තවමත් ඉන්ධන පෝලිම් – ගෑස් සමාගම් මිල සංශෝධනයක් ඉල්ලයි

(03.03.2022 – 21:18 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් මෙට්‍රික් ටොන් 28,300 ක් රැගත් නෞකාවක් හෙට (04) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එසේම, මේ වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක ඩීසල් තොග මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයට බෑමේ කටයුතු සිදුවන අතර, ඒ සමඟ දිවයිනේ පවතින ඩීසල් හිඟය නිමාවට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (03) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

එසේම, ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබූ අතර, ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් පිරවුම්හල් අසල වාහන ගාල් කරමින් ජනතාව රැඳී සිටින ආකාරයද දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

පිරවුම්හල් අසල පවතින රථ වාහන තදබදය හා බොහෝ වේලා පෝලිම්වල රැඳීසිටීම හේතුවෙන් විවිධ ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයන් උද්ගතව ඇති අතර ඇතැම් පිරවුම්හල් අසල විරෝධතා ද දක්නට ලැබුණා.

එසේම, ඉන්ධන නොමැතිව රැඳී සිටින අතරතුර හාලිඇල ප්‍රදේශයේ පිරවුම්හලකට පැමිණි ඉන්ධන බවුසරයක් ජනතාව විසින් හරසරින් පිළිගනු ලැබූ අතර, වස්කඩුව ප්‍රදේශයේ අලු‍යම් කාලයේ සිට ඉන්ධන පෝලිමේ සිටි රියදුරන්ට ප්‍රදේශවාසීන් පිරිසක් කිරිබත් හා සිසිල් බීම දන්සැලක් සංවිධාන කර තිබුණා.

එසේම, ඉන්ධන ඉල්ලා අනුරාධපුරය පිරවුම්හලක සේවකයකුට පුද්ගලයින් දෙදෙනෙකු (2) පහර දී තිබූ සිද්ධියක් ද වාර්තා වුණා.

ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

මේ අතර, ගොවි ජනතාව සිය අස්වනු නෙලා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

ඩීසල් හිඟය හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ පතල් කර්මාන්තය ද දැඩි අර්බුදයකට පත්ව ඇතැයි එම කර්මාන්තයේ නිරත පිරිස් පවසනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ පවතින රුසියානු – යුක්රේන අර්බුදය හමුවේයි.

මේ අතර, ඩොලර් අර්බුදය උග්‍රවීමේ ප්‍රතිඵලයක් ලෙස යළිත් වරක් රට තුළ ගෑස් හිඟයක් මතුව තිබෙනවා.

ඒ අනුව, ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් නෞකා තුනක් ගොඩබෑමට නොහැකි වී ඇත්තේ ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන්.

ලාෆ් ගෑස් සමාගමේ බෙදාහැරීමේ කටයුතුද මේ වනවිට මුළුමනින්ම නවතා ඇති අතර එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

එසේම, මිල සංශෝධනයක් සිදුකිරීමට සිදුවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ගෑස් හිඟයත් සමඟ ද පීඩාවට පත්ව සිටින්නේ ප්‍රදේශ රැසක පාරිභෝගික ජනතාවයි.

***************************************

ශ්‍රවණාබාධවලට හේතුව හෙඩ්ෆෝන් බවට හෙළි වෙයි

(03.03.2022 – 22:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට ශ්‍රවණාබාධවලට ලක් වූ පිරිස අතරින් බහුතරය තරුණ ප්‍රජාව බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥයින්ගේ විද්‍යායතනය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට හේතුව නිවැරදි නොවන ලෙස පෞද්ගලික ශ්‍රවණ උපකරණ හෙවත් හෙඩ් ෆෝන් භාවිතය බවයි.

සෑම වසරකම මාර්තු මස 03 වැනිදාට ලෝක ශ්‍රවණ දිනය යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘දිවි ඇති තෙක් හඬ අසන්නට දෙසවන පණ මෙන් සුරකිමු’ යන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්තවලට අනුව පෙනී යන්නේ ලෝකයේ සමස්ත ජනගහනයෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් (1) අයෙකුම ශ්‍රවණාබාධවලින් පෙළෙන බවයි.

මෙම ශ්‍රවණාබාධ කාණ්ඩ 2 කින් සමන්විතයි.

ඒ, ප්‍රතිකාර කළ හැකි ශ්‍රවණාබාධ සහ ප්‍රතිකාර කිරීමෙන් සුව කළ නොහැකි නමුත්, ශ්‍රවණාධාරක මගින් සුව කළ හැකි ශ්‍රවණාබාධයි.

මෙරට ජනගහනයෙන් 9% ක් ශ්‍රවණාබාධවලින් පෙලෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඔවුන් අතරින් බහුතරයක් ශ්‍රවණාබාධවලට ලක්ව ඇත්තේ අධික ශබ්දය ශ්‍රවණය කිරීම හේතුවෙන්.

ශබ්දයේ තීව්‍රතාව, ශබ්දය නිරාවරණය වන කාලසීමාව සහ ශබ්දය ඇසෙන වාර ගණන අනුව ශ්‍රවණාබාධ ඇතිවිය හැකි බවයි වෛද්‍ය මතය වන්නේ.

ඩෙසිබල් අගය 80 ට වඩා වැඩි ශබ්ද ධාරාවන් අනාරක්ෂිත ශබ්ද වන අතර, ඩෙසිබල් අගය 60 ට අඩු ශබ්ද ධාරාවන් ආරක්ෂිත ශබ්ද ධාරාවන් ලෙස සැලකෙනවා.

දෙදෙනෙකු (2) අතර කතාබහක දී ඩෙසිබල් අගය 60 ට අඩුවෙන් පවතින බවත්, පෞද්ගලික ශ්‍රවණ උපකරණ මගින් ශ්‍රවණය කිරීමේදී එහි ඩෙසිබල් අගය 80 ට වඩා වැඩියෙන් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

***************************************

බැංකු කාඩ්පත්වලත් හිඟයක්

(03.03.2022 – 22:15 +0530 – hirunews.lk/sinhala)

බැංකු ATM කාඩ්පත්වල හිඟයක් මතුව තිබෙනවා.

එම කාඩ්පත් සඳහා යොදා ගන්නා මයික්‍රෝ චිප් ලොව පුරා හිඟවීම ඊට ප්‍රධාන හේතුවයි.

එමෙන්ම බැංකු මගින් නිකුත් කරනු ලබන ණයපත් සහ හරපත්වල ද හිඟයක් මතුව තිබෙනවා.

මෙරටට වසරකට අවශ්‍යවන නව කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 40 කට ආසන්නයි.

බැංකු කාඩ්පත් මෙරටට ආනයනය කරනු ලබන ආයතනයක් වන ලේක්හවුස් ටෙක්නොලොජි පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

දේශබන්දු පිස්තෝලය අරන් මේසේ උඩින් තියලා කිව්වා ‍- රතන හිමි මාව පැහැරගත්තේ ජනාධිපති මංධිරයේදී (03.03.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *