රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව

රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව

*********************************************

රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව

(28.02.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට රමණීය පරිසර පද්ධතීන්ට මරණීය ඛේදාන්තයන් උරුම වූ අවස්ථා ඕනෑ තරම් අප දැක තිබෙනවා.

එලෙස, පස්කැපීම් හේතුවෙන් ජල උල්පත් සිඳීයාම් පුවතක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කඳුකර ප්‍රදේශයකින් වට වී ඇති මේ සුන්දර පරිසර පද්ධතිය පිහිටා ඇත්තේ කන්තලේ – උල්පත්වැව ප්‍රදේශයේයි.

කෙසේවෙතත් මේ ප්‍රදේශයේ මේ දිනවල දිගින් දිගටම පස් කැපීම් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ගම්මානයේ ඇති ස්වභාවික ජල උල්පත් සීඳී යමින් ඇති බවයි.

දිගින් දිගටම සිදුකෙරෙන පස් කැපීම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් බලධාරීන් දැනුවත් කර ඇතත් ඊට නිසි පිළිතුරක් ලැබී නැහැ.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කර මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර දෙන ලෙසයි.

***************************************

ජර්මනියට පැන යාමට පැමිණි විදේශිකයෙකු මෙරටින් පිටුවහල් කෙරේ

(28.02.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට රැඳී සිටින යුක්රේන ජාතිකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (28) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඊට අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

මේ අතර යුක්රේනයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින ඉරාන ජාතික තරුණයෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව හරහා ජර්මනියට පලායාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට පැමිණි 20 හැවිරිදි මෙම ඉරාන ජාතික තරුණයා කටුනායක ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් යළි තුර්කිය වෙත පිටුවහල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊයේ (27) උදෑසන තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපලට පැමිණි මොහු මෙරටට ඇතුලු වීම සඳහා තම වීසා බලපත්‍රය අනුමැතිය සඳහා පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගුවන් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ අත්අඩංගුවට ගැනීමට නියමිත ලේඛනයේ සඳහන් ග්‍රීක ගුවන් ගමන් බලපත්‍රයක් බවයි.

පසුව කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, යුක්රේනයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හමුවේ මෙම ඉරාන ජාතිකයා තුර්කිය වෙත ගොස් එහි සිට ශ්‍රී ලංකාව හරහා ජර්මනිය වෙත පලා යාමට මෙම ව්‍යාජ ගුවන් බලපත්‍රය සකස් කරගෙන ඇති බවයි.

මේ අතර යුක්රේනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනා අතරින් සිසුන් අටදෙනෙකු (8) මේ වනවිට දිවයිනට රැගෙන විත් ඇති බව කලාපීය සහයෝගීතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (27) දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර රුසියානු අක්‍රමණයට එරෙහි ව යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (28), කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුණා ෴

***************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොල් ලොරි අනතුර

(28.02.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර දියගම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබු පොල් ලොරියක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරට හේතු වී ඇත්තේ, අදාළ ලොරියේ පිටුපස රෝද දෙකේ ටයර් පිපිරී, ලොරිය මාර්ගය හරහා පෙරළි යාමයි.

එම අනතුරෙන් පසුව වාහන තදබදයක් ද ඇති වූ බවයි වාර්තා වන්නේ.

***************************************

බොරැල්ල දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

(28.02.2022 – 14:21 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල, සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය කොළඹ අපරාධ කොට්ඨාශයට 2022-01-25 දින නියෝග කළා.

මීට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ සිද්ධියට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරනු ලබසැකකරුවන් පිළිබඳව වන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන මස 02 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

පැමිණිල්ල අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේ එලෙස රඳවාගෙන සිටින දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තුන් දෙනෙකු (3) වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න චෝදනා කළේ සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරන ආකාරය නිවැරදි නොවන බවයි.

සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන අධිකරණ භාරයට පත්කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එබැවින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලබන පරීක්ෂණ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි හෙයින් මෙම පරීක්ෂණය එම කොට්ඨාශයෙන් ඉවත්කොට වෙනත් අංශයක් වෙත භාර දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළයි.

එහිදි ඔහු සඳහන් කළේ සිය සේවාදායකයා දිස්ත්‍රික් වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට 2006 වසරේ විශ්‍රාම ගොස් ඇති බවත්, 75 පස් වන වියේ පසුවන ඔහු රෝගාබාධ කීපයකින් පෙලෙන බවයි.

ඉන් අනතුරුව අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු‍ සාන්තුවරුන්ගේ දේවස්ථාන මිසම භාර පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය බරපතල සිද්ධියක් බව සඳහන් කර සිටියා.

විත්තියේ නීතිඥවරුන් අද (28) දින අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා දැඩි සේ කණගාටු වන බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ප්‍රකාශ කළේ.

කොළඹ අපරාධ කොට්ඨාශය කිසිවක් නොසඟවා පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අධිකරණය දැනුවත් කළ බවත්, පුවත්පත්වල පලවන ප්‍රවෘත්ති සිය විමර්ශන වලට අදාළ නොවන බවත් ඔහු කියා සිටියා.

ඉදිරිපත්වූ සියලු‍ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති වාර්තා අනුව යම් විමර්ශනයක් සිදු වෙන බව තමන්ට ද පෙනී යන බවයි.

එම පරීක්ෂණය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පැවැත්වෙන බැවින් ජාතික ආරක්ෂාවට අමතරව පුද්ගලයින්ගේ නිදහස ආරක්ෂා වීමත් වැදගත් බව ද මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව, පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් විය යුතු බවයි ඇය සඳහන් කළේ ෴

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ඇතුළු දෙදෙනෙකු මාර්තු 14 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා ෴

***************************************

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ සම්මාන රැසකට මෙවරත් හිරු ටී.වී. නිර්දේශ වෙයි

(28.02.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

ලබන මස පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණා.

ඒ, පසුගිය දා කොළඹ පැවති උත්සවයකදියි.

කොරෝනා වසංගතය හේතුවෙන් පැවැත්වීමට නොහැකිවූ 2020 සහ 2021 වසරවල සම්මාන ප්‍රදානයන් එකම උළෙලක දී පිරිනැමීමට නියමිතයි.

මාධ්‍ය විශිෂ්ටතා සහ ටෙලිනාට්‍ය විශිෂ්ඨතා ලෙස කාණ්ඩ දෙක සඳහාම මෙවරත් ‘හිරු ටී.වී.’ නිර්දේශ වී තිබෙනවා.

ඒ අනුව වසරේ විශිෂ්ඨතම රූපවාහිනී පුවත් විශේෂාංගය, වසරේ විශිෂ්ඨතම නිර්මානාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන, වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සහ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක, නිවේදිකා ඇතුලු සම්මාන රැසකට නම් නිර්දේශ වී තිබෙනවා.

මෙහිදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය සඳහා හිරු ප්‍රවෘත්ති 2020 සහ 2021 යන වර්ෂ දෙක සඳහාම නිර්දේශ වීම විශේෂත්වයක්.

දෙවසරක රස තේමාව කර ගනිමින් විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් වෙනුවෙන් තම දායකත්වය ලබාදෙන නිර්මාණකරුවන් ඇගයීම වෙනුවෙන් සංවිධාන කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටයි ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

වසර 40 කට පසු ජගත් මහා මණ්ඩලයේ විශේෂ සැසියක්

(28.02.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

රුසියා – යුක්රේන ගැටුම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් විශේෂ ජගත් මහා මණ්ඩල රැස්වීමක් අද (28) පැවැත්වීම සඳහා යෝජනා සම්මත කරගෙන තිබෙනවා.

ජිනීවා හිදී පැවැත්වෙන මෙම හදිසි මහා මණ්ඩල රැස්වීම කැඳවා ඇත්තේ රුසියානු – යුක්රේන තත්ත්වය මැඩ පවත්වා, සාමය සඳහා එක්සත් වීම යන අරමුණ ඇතිවයි.

බෙලරූස් දේශසීමාවේදී රුසියාව සහ යුක්රේනය අතර අද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

යුක්රේන ජනාධිපති වොලඩමීර් සෙලෙන්ස්කි ඊයේ (27) එකඟ වුණේ බෙලරූස් රාජ්‍යයෙන් පිට එහි දේශසීමාවේදී සාකච්ඡා පැවැත්වීමටයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වී අදට දින 5 ක් ගත වනවා.

යුක්රේන සිවිල් වැසියන් 352 කු මේ දක්වා ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අතර ළමයින් 16 දෙනෙකු ද වනවා.

එමෙන්ම තවත් 1,684 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

කීව් අගනුවර අත්පත් කර ගැනීම සඳහා මේ වන විට දරුණු ගැටුම් පවතින අතර, ඊයේ (27) එරට දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට ද රුසියානු භටයින් ඇතුළු වුණා.

මේ අතර යුක්රේනයේ නාවික කඳවුරක් ආසන්නයේ පිහිටි ලක්ෂයක පමණ ජනතාවක් වෙසෙන කුඩා නගරයක් රුසියාව සිය පාලනයට ගෙන තිබෙනවා.

මේ අතර යුක්රේනය නිපදවූ ලොව විශාලතම ගුවන් යානය වන ‘ඇන්ටනොව් ඒ එන් 225’ යානය රුසියානු ප්‍රහාරවලින් විනාශ වූ බව යුක්රේන රජය ප්‍රකාශ කළා.

විදෙස් වාර්තා සඳහන් කළේ කීව් අගනුවර හොස්ටමෙල් ගුවන් තොටුපලේ නවතා තිබියදියි, එය රුසියානු ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.

ගැටුම් සමයේ හොස්ටමෙල් ගුවන් තොටුපළේ ගාල් කර තිබූ මෙම යානය විවිධ අවස්ථාවල දී ලොව ඕනෑම රටකට පියාසර කර ඕනෑම බරක් ඔසවා දී තම කාර්ය මැනවින් ඉටු කරනු ලැබූවා.

එමෙන්ම රුසියාවේ ලියාපදිංචි හෝ රුසියාව මගින් පාලනය වන හා රුසියානු හිමිකාරීත්වයක් සහිත සියලු ගුවන් යානාවලට යුරෝපා ගුවන තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුසියාවේ පෞද්ගලික ජෙට් යානාවලට පවා යුරෝපා ගුවනේ පියාසර කිරීම තහනම් වනු ඇති.

ඒ අනුව රුසියාවේ විශාලතම ගුවන් සමාගම එරෝෆ්ලොට් සමාගම නැවත දැනුම් දෙන තෙක් සිය යුරෝපා ගමනාන්ත අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් න්‍යෂ්ටික අවි ඇතුළු විශේෂ බලකාය සූදානමින් තබා ගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් එරට හමුදාවට දැනුම් දී තිබෙනවා.

එහෙත් ඇමරිකාව එය හෙළා දැක ඇති අතර ජනපති පුටින් පසුගිය සතියේ අනතුරු අඟවා සිටියේ ඔවුන්ට බාධා කිරීමට උත්සාහ දරන කිසිවෙකුටවත් ඉතිහාසයේ මෙතෙක් අත්දැක නැති ප්‍රතිවිපාක විදින්නට සිදුවනු ඇති බවයි.

මේ අතර වසර 40 කට පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සුවිශේෂී සැසිවාරයක් අද පැවැත්වෙන්නේ ජගත් ආරක්ෂක කවුන්සිලය සම්මත කරගත් යෝජනාවක් අනුවයි.

මෙවැනි විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් සඳහා මීට පෙර යෝජනාවක් ඉදිරිපත්ව තිබුණේ 1982 වසරේදියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට රුසියාව ද ඇතුලුව ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ චීනය ඇතුළත් වනවා.

+++++++

ඩොලරයට සාපේක්ෂව රුසියාවේ රූබලය සියයට තිහකින් පහළට

(28.02.2022 – 08:08 +0530 – hirunews.lk/sinhala)

රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමත් සමඟ පළමු වරට එරට කොටස් වෙළඳපොලේ රුසියානු මුදල් ඒකකය වන රූබල් හි අගය ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පහත වැටී තිබෙනවා.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ යන අතරතුර යුරෝ මුදල් ඒකකය ද සියයට එකකින් (1%) පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ මෙම සති අන්තයේදී රුසියාවේ සහ යුක්රේනයේ මූල්‍ය හා සමාජ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

තම බැංකු කාඩ්පත් අක්‍රිය කරනු ඇති බවට හෝ මුදල් ලබාගැනීමට සීමාවන් පනවනු ඇතැයි බියෙන් රුසියානු ජාතිකයන් මුදල් ලබාගැනීම සඳහා එරට බැංකු අසළ දිගු පෝලිම්වල රැඳී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම රුසියාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ස්බර්බෑන්ක් හි යුරෝපා මෙහෙයුම් දැනටමත් අකර්මන්‍ය වී ඇති අතර, රුසියානු මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 630 ක් වන එරට විදේශ සංචිත භාවිතය වළක්වාලමින් නව තහනමක් ද පනවා තිබෙනවා.

ඒ, එරට රූබල් මුදල් ඒකකය ආරක්ෂා කරගැනීම සඳහායි.

++++++

අපි වැටෙන්නේ නැහැ – යුක්රේන විදේශ අමාත්‍ය

(28.02.2022 – 08:26 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා විසින් පවතින යුක්රේන – රුසියා අර්බුදය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබ තිබෙනවා.

දිමිත්‍රෝ කුලේබා පවසන්නේ, රුසියාවේ ඉලක්කය යුක්රේනය රාජ්‍යයක් ලෙස විනාශ කිරීම බව යි.

“නමුත් අපි වැටෙන්නේ නැහැ. අපි අපේ භූමියෙන් එක අඟලක් වත් අත් නො හරින්නෙමු.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා.

මේ අතර, රුසියා – යුක්රේන ගැටුම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් විශේෂ ජගත් මහා මණ්ඩල රැස්වීමක් අද (27) පැවැත්වීම සඳහා යෝජනා සම්මත කරගෙන තිබෙනවා.

ජිනීවාහි දී පැවැත්වෙන මෙම හදිසි මහා මණ්ඩල රැස්වීම කැඳවා ඇත්තේ රුසියානු – යුක්රේන තත්ත්වය මැඩ පවත්වා, සාමය සඳහා එක්සත් වීම යන අරමුණ ඇතිවයි.

බෙලරූස් දේශසීමාවේදී රුසියාව සහ යුක්රේනය අතර අද (28) සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

යුක්රේන ජනාධිපති වොලඩමීර් සෙලෙන්ස්කි ඊයේ (27) එකඟ වුණේ බෙලරූස් රාජ්‍යයෙන් පිට එහි දේශසීමාවේදී සාකච්ඡා පැවැත්වීමටයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වී අදට (28) දින 5 ක් ගත වනවා.

යුක්රේන සිවිල් වැසියන් 352 කු මේ දක්වා ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අතර ළමයින් 16 දෙනෙකු ද වනවා.

එමෙන්ම තවත් 1,684 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

කීව් අගනුවර අත්පත් කර ගැනීම සඳහා මේ වන විට දරුණු ගැටුම් පවතින අතර, ඊයේ (27) එරට දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට ද රුසියානු භටයින් ඇතුළු වුණා.

මේ අතර යුක්රේනයේ නාවික කඳවුරක් ආසන්නයේ පිහිටි ලක්ෂයක පමණ ජනතාවක් වෙසෙන කුඩා නගරයක් රුසියාව සිය පාලනයට ගෙන තිබෙනවා.

මේ අතර වසර 40 කට පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සුවිශේෂී සැසිවාරයක් අද පැවැත්වෙන්නේ ජගත් ආරක්ෂක කවුන්සිලය සම්මත කරගත් යෝජනාවක් අනුවයි.

මෙවැනි විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් සඳහා මීට පෙර යෝජනාවක් ඉදිරිපත් ව තිබුණේ 1982 වසරේදියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට රුසියාව ද ඇතුලුව ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ චීනය ඇතුළත් වනවා.

+++++

රුසියාවේ යුද විරෝධීන් දෙදහසක් (2000) අත්අඩංගුවට

(28.02.2022 – 09:26 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයට එරෙහිව සිදු කරන ආක්‍රමණ නතර කරන ලෙස රුසියාව තුළ විරෝධතාවල නිරත වූ 2000 ක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්වාධීන මානව හිමිකම් නිරීක්ෂකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ආක්‍රමණය ආරම්භ කළ පසුගිය බ්‍රහස්පතින්දා සිට මේ දක්වා රුසියාවේ යුද විරෝධීන් 5,250 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රුසියානු සහ යුක්රේන භාෂාවෙන් යුක්රේනයට සාමය ඉල්ලන විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන ජනතාව මොස්කව් හි දී විරෝධතාවල නිරත වන අතර, රුසියානු රූපවාහිනී නාලිකාවක වාර්තාකරුවෙකු ද එම විරෝධතා අතරතුර පොලිසිය අත්අඩංගුවට ගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

+++++

කැනඩාවේ ගුවන් සීමාවට ඇතුළු වූ රුසියානු යානය ගැන විමර්ශනයක්

(28.02.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala)

පනවා ඇති තහනම නොතකා රුසියානු වානිජ ගුවන් යානයක් කැනඩාවේ ගුවන් සීමාවට ඇතුලුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියාවේ එරොෆ්ලොට් සමාගමට අයත් මෙම යානය පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි කැනේඩියානු ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සමඟ පසුගියදා රුසියානු ගුවන් යානාවලට සිය ගුවන් තලයට ඇතුලුවීම කැනඩාව විසින් තහනම් කරනු ලැබුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *