*********************************************
අදත් (28) පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක්
(28.02.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala)
කලාප 8ක් සඳහා පැය 5 යි මිනිත්තු 15ක කාලයක් අද (28) විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
එමෙන්ම, තවත් කලාප 3 කට පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව P, Q, R, S, T, U, V, සහ W යන කලාපවලට පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් සහ A, B, C කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
මේ අතර, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300 ක් සහිතව මෙරටට ළඟා වූ නෞකාවේ පෙට්‍රල් තොග ගොඩබෑම අද (28) සිදු කෙරෙනවා.
ඉන්ධන සැපයීමේදී පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න රජයෙන් ඉල්ලීමක් කරනවා.
කෙසේ වෙතත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමාණවත් ලෙස ලංගම බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ලංගමයේ ඩිපෝ සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවද ඔහු කියා සිටියා.
+++++++++++
බේකරි කර්මාන්තය දින 5 කට සීමා වෙයි
(28.02.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)
ඉන්ධන අර්බුදය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු තවත් ගැටලු කිහිපයක් හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවට වාර්තා වනවා.
එම තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදන අලෙවි කළ චූන් පාන් කර්මාන්තය ද බිද වැටී ඇති බවයි බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ෴
+++++++++++
ඩීසල් නැව පැමිණීම කල් යයි – බස් ධාවනය අඩු වෙයි
(28.02.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala)
පිරවුම්හල්වල පවතින ඩිසල් හිගය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටි ඇති බව බස් රථ සේවකයින් පවසනවා.
සමස්ථ ලංකා පෞද්ගලික සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පෙන්වා දෙන්නේ බස්රථ සදහා අවශ්‍ය ඩිසල් අද (28) දිනය තුල නොලැබුනහොත් තත්ත්වය බරපතල විය හැකි බවයි.
ප්‍රදේශ රැසක අප වාර්තාකරුවන්ද සදහන් කළේ අද (28) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය යම් තරමකින් පහත වැටි ඇති බවයි.
සිපෙට්කෝ පිරවුම්හල මෙන්ම පසුගිය දා මිල යලි ඉහල දැමු ඇතැම් ලංකා අයි.ඕ.සි. පිරවුම්හල්වල ද ඉන්ධන තොග අවසන් බවට වන පුවරු දැක ගත හැකි වනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින මෙම ඉන්ධන හිගය නිසා ජනතාවද තවදුරටත් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවට යි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ධාවනයට මෙතෙක් බාධා මතුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, ඉන්ධන ලබාදිය නො හැකි බව තෙල් සංස්ථාව මෙතෙක් ප්‍රකාශ කර නැතත්, පවතින ඉන්ධන තොග කළමනාකරණය කර ගනිමින් දුම්රිය ධාවනය සිදු කරන බවයි.
මේ අතර, අද (28) දිනයේ දිවයිනට පැමිණිමට නියමිතව තිබු ඩිසල් අඩංගු නෞකාව පැමිණිම නොවැලක්විය හැකි හේතුවක් මත අනිද්දා (02) දක්වා කල් යන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කළා.
එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි කියා සිටියේ, ලබන සිකුරාදා (04) තවත් ඩිසල් නෞකාවක් මෙරටට පැමිණිමට නියමිත බවයි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300 ක් රැගෙන මෙරටට ලගා වු නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම අද (28) පස්වරුවේ ආරම්භ කළ හැකි බවද ඔහු සදහන් කළා.
+++++++++++
හෙටත් (01) විදුලිය කැපේ
(28.02.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)
හෙට (01) දිනයේ දී ත් දිවයින පුරා පැය තුනක (3) විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව හෙට (01) දිනයේ දී ත් විදුලි කප්පාදුව සිදු වන්නේ පෙර සිදු කරන ලද ක්‍රමවේදයටම ඒ.බී.සී. ආදී වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ යි.
A කලාපයට උදෑසන 08:30 සිට 11:30 දක්වාත්, B කලාපයට 11:30 සිට 14:30 දක්වාත් C කලාපයට 14:30 සිට 17:30 දක්වාත් විදුලි විසන්ධි වීම සිදුවනු ඇති.
තවදුරටත් බලාගාරවලට ඩීසල් සහ නැප්තා නිපදවීමට අවශ්‍ය කරන ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයිනේ විවිධ බලාගාරවල සක්‍රීය කටයුතු අඩපණ වී ඇති අතර, මේ හේතුවෙන් දෛනික විදුලි උත්පාදන ධාරිතාවට දැඩි හානි සිදුව තිබෙනවා.
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල දර්ශකය ද රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් විවිධ රටවල් රුසියාව සමග පැවැත්වෙන සබඳතා සම්බාධක පනවා තාවකාලිකව අත් හිටුවීම සමග බොරතෙල් මිල ද ඉහළ ගියා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන ඉන්ධන නෞකා ද යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.
රට තුළ ඩොලර් හිඟවීමේ අර්බුදය හේතුවෙනුයි ඉන්ධන සපයා ගැනීම නොහැකි පසුබිමක මේ වනවිට සිටින්නේ.
මේ හේතුවෙන් විදුලි බලාගාරවල ධාරිතාව පාලනයට වරින්වර දිගු කාලයක් දින කිහිපයක සිට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවටයි මහජන උපයෝගීතා කොමිසම නිවේදන කළේ.
+++++++++++
ඇපල් මිදි ඇත – තෙල් ටික නැත – තීන්දුවක් ගන්න – ගම්මන්පිළ ආණ්ඩුවට කියයි
(28.02.2022 – 20:11 +0530 – hirunews.lk/sinhala)
ඉන්ධන මිලදී ගැනීම සඳහා අඛණ්ඩව ඩොලර් සපයන බවට මුදල් අමාත්‍යාංශය සහතික වුවද එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (28) ප්‍රකාශ කළා.
මේ අතර, ඩිසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටි ඇති බවයි බස් රථ සේවකයින් පෙන්වා දෙන්නේ.
බස්රථ සදහා අවශ්‍ය ඩීසල් අද (28) දිනය තුල නොලැබුනහොත් තත්ත්වය බරපතල විය හැකි බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියා.
මේ අතර, ඉන්ධන මිල ඉහළ දැමීමට දැනට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, එම අමාත්‍යංශයේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
එමෙන්ම, අත්‍යාවශ්‍ය නොවන ඇපල්, මිදි වැනි දෑ ආනයනය කිරීම සීමා කළ යුතු බවටයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවටයි. එමෙන්ම, ඛනිජ තෙල් අර්බුදයට විසදුම් ඉල්ලා ඛනිජ තෙල් වෘත්තීය සමිති අද කොළොන්නාව – නිමාව ඉදිරිපිටදී විරෝධතාවක ද නිරත වුණා.
කෙසේ වුව ද සිපෙට්කෝ පිරවුම්හල්වල මෙන්ම පසුගියදා මිල යලි ඉහල දැමූ ඇතැම් ලංකා අයි.ඕ.සී. පිරවුම්හල්වල ද ඉන්ධන තොග අවසන් බවට වන පුවරු අදත් (28) දැක ගත හැකි වුණා ෴
***************************************
කුරුවිට දී මනුෂ්‍ය ඝාතනයක්
(28.02.2022 – 07:02 +0530 – hirunews.lk/sinhala)
කුරුවිට පොලිස් වසමේ බටතොට ප්‍රදේශයේ දී සැක සහිත මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
කුණු වළකට වැටී පුද්ගලයා මියගොස් ඇති බවට මරණය පිළිබඳ වාර්තා වී තිබුණත් අදාළ මරණය සැක සහිත බව යි සිද්ධිය පිළිබඳ පැමිණිලි කළ මරණකරුගේ බිරිඳ පවසන්නේ.
ඊයේ (27) වැනි දින පොලිසිය සිදු කළ විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ, මරණකරුගේ පුතා විසින් මෝල්ගසකින් පහර දෙනු ලැබීමෙන් මෙම මරණය සිදු වී ඇති බව යි.
මරණකරු වයස අවුරුදු 57 ක බටතොට – කරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පෞද්ගලික ආරවුලක් මත යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.
සැකකරු වයස අවුරුදු 22 ක තරුණයෙකු වන අතර, ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණ කුරුවිට පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴
***************************************
පුනරින් – සංගුපිඩි ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක්
(28.02.2022 – 07:18 +0530 – hirunews.lk/sinhala)
පුනරින් පොලිස් වසමේ චාවකච්චේරි – පුනරින් මාර්ගයේ සංගුපිඩි ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා.
පුනරින් සිට චාවකච්චේරි දෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නො හැකි ව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙනු යි මෙම අනතුර සිදු වී ඇත්තේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පුනරින් රෝහලට ඇතුළත් කළ පසු මිය ගිය බව වාර්තා වනවා.
මරණකරු වයස අවුරුදු 24 ක කල්මුනේ ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්ත ව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුනරින් පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.
මේ අතර, දික්වැල්ල පොලිස් වසමේ හුන්නදෙණිය හංදිය අසල දී ලොරි රථයක් හා කැබ් රථයක් ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
එහි දී කැබ් රථයේ ගමන් කළ වයස අවුරුදු 78 ක කාන්තාවක් මිය ගිය බව වාර්තා වනවා.
ඇය බෙලි අත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයව යි ෴
***************************************
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න – TNA ඉල්ලයි
(28.02.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala)
රට තුළ ප්රචණ්ඩත්වයක් නොමැති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.
එම පනත අහෝසි කළ යුතු බවට බල කරමින් මහජන පෙත්සමකට අත්සන් තැබීමේ කටයුතු ඊයේ (27) මුලතිව් ප්‍රදේශයේදී සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක්වූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා ෴
***************************************
කොළොන්නේ ගම් බිය වැද්දූ අපරාධ කල්ලියක සාමාජිකයින් අත්අඩංගුවට
(28.02.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)
ඇඹිලිපිටිය – කොළොන්න ප්‍රදේශයේ ගම් කිහිපයක ප්‍රදේශවාසින් බිය වද්දමින් කොල්ලකෑම් ඇතුළු තවත් අපරාධ රැසක් සිදුකළ කල්ලියක සාමාජිකයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කොළොන්න – වව්ල්පෙන, කුඹුරුගමුව, හල්මිල්ල සහ ගොඩකුඹුර යන ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් ඔවුන් මෙලෙස කොල්ලකෑම් සිදුකර ඇති බව හිරු ප්රවෘත්ති ඔස්සේ මීට පෙර අනාවරණ කළා.
මොවුන් නිවෙස්වලට පැන එහි සිටින පුද්ගලයින් බිය ගන්වා මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇති අතර, එක් අවස්ථාවක දී කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා ෴
+
@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@
මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවේ ?
(28.02.2022 – 06:56 +0530 – hirunews.lk/sinhala)
අමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ සියලුම පාසල් දරුවන්ට මුව ආවරණ පැළඳීම පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍යයේ රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් සඳහන් කළේ, නිව් යෝර්ක් ප්‍රාන්තය පාසල් සහ ළමා ආරක්ෂණ පහසුකම් සඳහා වන මුව ආවරණ පැළඳීමේ නීතිය එළඹෙන බදාදා එනම්, මාර්තු 02 වැනි දින සිට ක්‍රියාත්මක පරිදි අත්හිටවන බවයි.
නිව්යෝර්ක් ආණ්ඩුකාර කැතී හොචුල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින්ගේ දැඩි පහත වැටීමක් මේ වනවිට සෞඛ්‍ය අංශ මගින් වාර්තා කර ඇති බැවින්, මෙම තීන්දුව ගෙන ඇති බවයි.
ඇය ප්‍රකාශ කළේ, “මෙවන් තීරණයක් ගැනීම අතිශය අසීරු දෙයක්. ඒත් ශිෂ්‍යයින්, අධ්‍යාපනඥයින් මෙන්ම සියලුම දෙමාපියන් මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට කටයුතු කළා.ඒ නිසා අද වෛරසය මර්දනය කරගෙන නිදහසේ ජීවත් වීමට අපට හැකිවෙලා තියෙනවා. ඒ ඔබ සියලුදෙනාගේම වගකීම්සහගත හැසීරීම හේතුවෙන්. මේක මහන්සි වී වැඩ කිරීම නිසා උද් යෝගීමත් සන්ධිස්ථානයකට අපි සැවොම පැමිණ සිටිනවා..” (“We’ve reached this exciting milestone because of your hard work”) යනුවෙන් ඇය සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා.
ඒ අනුව මුව ආවරණ සම්බන්ධයෙන් ලිහිල්භාවයක් ඇති කෙරුණු අතර, සිකුරාදා (04) දිනයේදී කොවිඩ් වෛරසය තවදුරටත් මර්දනය සඳහා අවශ්‍ය කරන නව වෛරස පාලන මාර්ගෝපදේශ මාලාවක් එක්සත් ජනපදය විසින් නිකුත් කිරීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෴
+++++++++++
එන්නත ගැන ම විශ්වාසය තැබීම තවත් කොවිඩ් රැල්ලකට අත වැනීමක් – උපුල් රෝහණ
(28.02.2022 – 12:33 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරන එන්නත් වැඩපිළිවෙළහි ඉදිරි ගමන් මග සහ වත්මන් එන්නත්කරණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අදහස් පළ කළා.
ඔහු පෙන්වා දෙන්නේ, රට තුළ දැනට කොවිඩ් එන්නත්කරණය මගින් ආවරණය වූ කලාපය සියයට 80 ඉක්මවා පවතින බවයි.
එහෙත් බිම් මට්ටමින් දක්න්ට ඇත්තේ, වෛරසය ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරෙමින් ජනතාව අතරට ගොස් ඇති අතර, එන්නත්කරණය අවසන් වූ විට බොහෝ දෙනා සිතනුයේ තමා හට වෛරසය ආසාදනය නොවන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.
මෙම තත්ත්වයම වෛරසය පැතිරීමට මූල බීජයක් වන බව පෙන්වා දෙන උපුල් රෝහණ කියා සිටියේ, බිම් මට්ටම තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයමින් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමකට මෙරට මේ වනවිට මුහුණ පා ඇති බවයි.
කොවිඩ් එන්නත්කරණය වඩාත් හොඳින් ක්‍රියාත්මක වන රටක මෙලෙස වෛරසය බිම් මට්ටමින් පැතිරීමට ඉඩදීම ඉදිරියේ දී අහිතකර වෛරස ප්‍රභේද නිර්මාණයට තුඩු දිය හැකි බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
මේ හේතුවෙන් එන්නත් ගැනම පූර්ණ විශ්වාසය තබා පදනම් විරහිතව සහ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන්නේ නම්, යළිත් රට පවතින තත්ත්වයට වඩා අඳුරු වසංගත තත්ත්වයකට පරිවර්තනය විය හැකි අතර, එය තවත් කොවිඩ් රැල්ලකට අත වැනීමක් බවයි.
+++++++++++++
කොරෝනා ආසාදිතයින් 205 දෙනෙකු පූර්ණ සුවයට
Monday, 28 February 2022 – 14:48
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 205 දෙනෙකු අද (28) දිනයේ දී පූර්ණ සුවය ලබා තිබෙනවා.
ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 608,924ක් දක්වා ඉහළ යනු ඇති.
මේ වනවිටත් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 19,923ක් වන අතර, වෛරසය ආසාදිතව සිටින මුළු සංඛ්‍යාව ද 645,037ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
සිදුව ඇති මරණ සංඛ්‍යාව 16,190ක්.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴