ශ්‍රී ලංකා රේගුවේ නව පිම්මක්

ශ්‍රී ලංකා රේගුවේ නව පිම්මක්

*********************************************

ශ්‍රී ලංකා රේගුවේ නව පිම්මක්

(27.02.2022 – 21:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ඇතුළුවන බහාලුම් පරීක්ෂණය සිදු වන්නේ ශ්‍රී ලංකා රේගුව හරහායි.

මෙම බහාලුම් පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙළ නව මානයකට ගෙන ඒමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබෙනවා.

රේගුව හරහා රට තුළට ඇතුළු වන සෑම බහාලුමක්ම සියුම් පරීක්ෂණයට ලක් කිරීමත්, අනවසර භාණ්ඩ රට තුළට ඇතුළුවීම හඳුනාගැනීමටත් රේගුව යොදන වෑයම තවතවත් පුළුල් කිරීමට මේවන විට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව බහලුම් පරීක්ෂා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයන් දියුණු කිරීමේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් ලෙස ඒකකයක් මෙරටට අමෙරිකාවේ නිෂ්පාදිත නවීණ තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍රයක් ගෙන්වා තිබෙනවා.

මෙවැනි අධි තාක්ෂණයෙන් යුත් බහලුම් පරීක්ෂණ ඒකකයක් ශ්‍රී ලංකා රේගුව තුළ ස්ථාපනය කිරීමේදී එයට සරිලන ලෙස නවීණ තාක්ෂණික පාලන මැදිරියක්ද අදාළ ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා රේගුවට වෙත එන බහාලුම් තාක්ෂණික ක්‍රියාවලියක් හරහා පරීක්ෂා කිරීම සිදු වන්නේ මේ ආකාරයෙන්.

නියෝජ්‍ය රේගු අධයක්ෂවරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ, රේගු අධිකාරීවරුන් පස් දෙනෙකු (5), සහකාර රේගු අධිකාරීවරුන් 11 දෙනෙකු හා රේගු පරීක්ෂකවරුන් 12 දෙනෙකු යටතේ නවීණ තාක්ෂණික බහලුම් පරීක්ෂණ ඒකකයේ කටයුතු දින 365 පුරා පැය 24 දීම අඛණ්ඩව සිදුවනවා.

ඒ අනුව මෙරටට ඇතුළු වන නීතිවිරෝධී භාණ්ඩ සහ බහාලුම් පරීක්ෂා කිරීම් වඩාත් පුළුල් කිරීම හරහා රටට වැඩි ආදායමක් ලබාදීම ශ්‍රී ලංකා රේගුවේ අපේක්ෂාවයි.

***************************************

තංගල්ලේ රිය අනතුරක්

(27.02.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුර අද (27) පස්වරුවේ සිදුව ඇති අතර, අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

අනතුර සිදු වීමේ දී ටිපර් රථය සහ කැබ් රථය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැමිණ ඇති අතර, එකිනෙකට ගැටීමෙනුයි අදාළ අනතුර සිදුව ඇත්තේ.

කැබ් රථයේ ගමන් කළ පිරිස තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ දික්වැල්ල – හුන්නදෙණිය ප්‍රදේශයේ දී යි.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

***************************************

ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු පැකිලීමක් නැහැ. – ශ්‍රී.ල.නි.ප. මහලේකම්

(27.02.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍ය කාලය පැමිණි විට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් ඉවත්වීමට තම පක්ෂයේ කිසිදු පැකිලීමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අද (27) පැවති නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් මහා සම්මේලනයට එක්වෙමින්.

එම අවස්ථාවට පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රී සිරිසේන ද එක්වුණා.

එහිදී ඔහු චෝදනා කළේ පොළොන්නරුවේ ඉදිකළ වකුගඩු රෝහල සුදු අලියෙකු බවට පත් කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කටයුතු කරන බවටයි.

***************************************

සතොසින් සහ කුළු බඩු සංස්ථාවෙන් අනිද්දා (01) සිට කහ සහන මිලට

(27.02.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (01) සිට සතොස සහ රාජ්‍ය කුළු බඩු සංස්ථාවේ අලෙවිසැල් හරහා කහ කිලෝග්‍රෑම් එකේ (1) පැකට්ටුවක් රුපියල් 2400 ක සහන මිලකට ලබාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

පාරිභෝගිකයින්ට අඩු මිලට කහ ලබාදීමේ අරමුණින් මෙලෙස තොග වශයෙන් කහ සහන මිලට නිකුත් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෙළදපොලේ කහ කිලෝග්‍රෑමයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 4000 ක මිලකටයි.

මේ වන විට අමු කහ කිලෝ ලක්ෂ 4 කට වඩා ගොවීන්ගෙන් මිලදි ගෙන ඇත්තේ කිලෝග්‍රෑමයක් රුපියල් 165 කට බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කළා ෴

***************************************

පාලනයේ දොසින් දුක් විඳින ජනතාව ගැන අනුර හඬ අවදි කරයි

(27.02.2022 – 20:45 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පෙරළියක් සිදු කිරීම සිය න්‍යාය පත්‍රයට ඇතුළත් වුවත් විකල්පය කුමක්ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයක් යො මුකළ යුතුව ඇතැයි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක පවසනවා.

‘විසඳුමට පෙළ ගැසෙන ජන බල රැළිය’ නමින් තංගල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

මෙම හමුවේ දී මේ වනවිට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුද සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර අදහස් පළ කර අතර, එය දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් වීම ද දක්නට ලැබුණා.

***************************************

මන්ත්‍රී විජිතට ප්‍රදේශවාසියෙකුගෙන් විරෝධයක්

(27.02.2022 – 21:15 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පිහිටුවීම පස්යාලේදී අද (27) සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවේදී විජිත හේරත් මහතා සභාව අමතමින් සිටියදී පුද්ගලයෙක් ඊට බාධා කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී පැමිණ සිටි එම ප්‍රදේශයේ තරුණයෙකු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් ප්‍රශ්න කරමින් ඔහුගේ කතාවට බාධා කිරීම මත මන්ත්‍රී හේරත් පොලීසියට ප්‍රකාශ කළේ, අදාළ පුද්ගලයාව වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

***************************************

ගුවන් හමුදාවෙන් කාබනික පොහොර තොගයක් ලක් පොහොර සමාගම වෙත

(27.02.2022 – 22:16 +0530 – hirunews.lk/sinhala)

වන්නි ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් රජයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා පසුගිය 22 වැනි දින කාබනික පොහොර තොගයක් භාරදෙනු ලැබුවා.

මෙම පොහොර තොගය සීමාසහිත ලංකා පොහොර සමාගමට (Lak Pohora) භාරදුන් අතර, එයට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 15 ක් ඇතුළත්.

කාබනික පොහොර වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

මෙම කාබනික පොහොර ව්‍යාපෘතියේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිලධාරී, ගෲප් කපිතාන් රජිව් කොඩිප්පිලි විසින් අධීක්ෂණය කරනු ලබන අතර, අමාත්‍යාංශය විසින් නියම කර ඇති ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය සහතික කරනු ලබනවා.

වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් නිශාන්ත ප්‍රියදර්ශන විසින් එම කාබනික පොහොර තොගය ගොවි ප්‍රජාව අතර බෙදා හැරීම සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වවුනියාව දිස්ත්‍රික්කයේ අලෙවි විධායක වෙත භාර දුන්නා.

***************************************

රයිගම් ටෙලි සම්මානයට ඉහළින් ම නිර්දේශිත රට ම බබළවන ‘හිරු’ තවත් පෙරමුණට

(27.02.2022 – 23:46 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත 2020/2021 දෙවසර සඳහා වන රයිගම් ටෙලි සම්මාන උළලේ සම්මාන සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීම පසුගියදා සිදු කෙරුණා.

කොවිඩ් වසංගතය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2020 වසරේ රයිගම් ප්‍රදානයත්, 2021 සඳහා වන සම්මාන ප්‍රදානයත් එකම උළෙලක දී පිරිනැමීමට නියමිතයි.

මාධ්‍ය විශිෂ්ටතා සහ ටෙලිනාට්‍ය විශිෂ්ටතා යන කාණ්ඩ දෙක සඳහා මෙවරත් ‘හිරු ටී.වී.’ නිර්දේශ වුණා.

ඒ අනුව වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විකාශය, වසරේ විශිෂ්ටතම නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන, වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සහ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සහ නිවේදිකා ඇතුළු සම්මාන රැසකට ‘හිරු ටී.වී.’ නිර්දේශ වුණා.

මෙහිදී ‘හිරු ටී.වී.’ ප්‍රවෘත්ති විකාශය 2020 සහ 2021 යන දෙවසර (2) සඳහා ම නිර්දේශ වීම ද කැපී පෙනෙන විශේෂත්වයක්.

දෙවසරක (2) රස තේමාව කරගනිමින් විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් වෙනුවෙන් දායකත්වය ලබාදෙන විශිෂ්ටතමයින් ඇගයීම වස් මෙම රයිගම් ටෙලි සම්මාන උළෙල පැවැත්වෙන අතර, මෙවර එය පැවැත්වෙන්නේ 17 වැනි වරටයි.

+

***************************************

සංගීතයක් අතරතුර ගැටුමක් – පොලිස් නිලධාරියා ට පිහි පහරක්

(07.02.2022 – 16:06 +0530 – sinhala.adaderana.lk)

පාදුක්ක මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සංගීතයක් අතරතුරදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ පපුවට පිහියකින් ඇන බරපතළ තුවාල කර ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි.

ඊයේ (26) රාත්‍රියේ මෙලෙස තුවාල ලබා ඇත්තේ පාදුක්ක පොලීසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන (92513) මධුසංඛ නැමති පොලිස් කොස්තාපල්වරයෙකි.

බරපතළ තුවාල ලැබු කොස්තාපල්වරයා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) උල් පිහියක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මහජන ක්‍රීඩාංගනයට මඳක් දුරින් පිහිටි රථගාල තුළදී සංගීතය නරඹා පිටවී යමින් සිටි කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරීම හේතුවෙන් දෙපාර්ශවයක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

පසුව එය සමතයකට පත්කිරීම සඳහා එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් අතර සිටි කොස්තාපල්වරයෙකු එම ස්ථානයේ සිටි අයෙක් පිහියකින් ඇන ඇතැයි පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

පිහි ප්‍රහාරය කොස්තාපල්වරයාගේ පපුවේ දකුණු පසට එල්ල වී ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබු කොස්තාපල්වරයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක බෝපේ සහ අරකාවිල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ ෴

***************************************

***************************************

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *