අද (27) විදුලිය කැපීම දිවා කාලයේ පමණයි

අද (27) විදුලිය කැපීම දිවා කාලයේ පමණයි

*********************************************

අද (27) විදුලිය කැපීම දිවා කාලයේ පමණයි

(27.02.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala)

අදත් (27) රාත්‍රී කාලයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, අද (27) දිනයේදී ඒ, බී, සී කලාපවලට පමණක් දිවා කාලයේ පැය 2 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් හෙට (28) සිට යළි විදුලි කප්පාදු කාල සටහන යටතේ ඒ ඒ ප්‍රදේශවලට පසුගිය සතියේ මෙන් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන්නේ ඉන්ධන සීමිත වීමත් සමග බලාගාර කිහිපයක් අක්‍රීයවීම හේතුවෙන්.

ඒ අනුව ඊයේ (26) දිනයේත් ඒ, බී, සී කලාප සහ සෙසු කලාප 8 සඳහා විදුලිය කප්පාදු කෙරුණා.

මේ අතර බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, අදත් (27) ඩීසල් නෞකාවක් පැමිණීමට නියමිත බවයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300 ක් අඩංගු නෞකාවක් ඊයේ (26) දිවයිනට ළඟා වූ බව එම අමාත්‍යංශය සඳහන් කළා.

මේ අතර විදුලිය ජනනය සඳහා විදුලි බලාගාර වෙත වැඩි වශයෙන් ඉන්ධන ලබාදීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරෙන ඉන්ධන ප්‍රමාණය අඩු වී ඇති බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය ප්‍රකාශ කළේ, දිවයින පුරා පිරවුම්හල් රැසක විශාල බඳුන්වලට ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බවයි.

ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, තොග ගබඩා පර්යන්තයේ සිට සිදු කෙරෙන බෙදාහැරීමේ ගැටලු හේතුවෙන් මෙම ඉන්ධන හිඟය හටගෙන ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ ඊයේ (26) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් නිරීක්ෂණය වූ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

ඊයේ (26) සිට ලංකා අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ නැංවීම සමග පාරිභෝගිකයන් වැඩි වශයෙන් සිපෙට්කෝ පිරවුම්හල් වෙත පැමිණීමක් දක්නට ලැබුණා.

මේ අතර, දුම්රිය ධාවනයට මෙතෙක් ඉන්ධන අර්බුදයෙන් බලපෑමක් එල්ල වී නො මැති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් ඍජුව ම දුම්රිය දෙපාර්තමේන්තුව ඩීසල් ලබා ගන්නා බවයි.

දුම්රිය ධාවනය කිරීම සඳහා දෛනිකව ඩීසල් ලීටර් ලක්ෂයක් පමණ වැය වන අතර, ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදිය හැකි බවයි එහි උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ.

++++++++++++

ඉදිරි සතියේත් විදුලි කප්පාදුව අඛණ්ඩ ව

(27.02.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තවදුරටත් නොලැබීම හේතුවෙන් හෙටින් (28) ආරම්භ වන සතිය තුළ ද විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව විදුලි කප්පාදු කරන කාලසීමාවන් පිළිබඳ නිවේදනය අද (27) පස්වරුවේ නිකුත් කරන බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.

වර්තමානය වනවිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සිදු කිරීමට නොහැකි වී ඇත්තේ ඉන්ධන නොලැබීම හේතුවෙන් බවයි කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.

ඩීසල් සහ නැප්තා ප්‍රමාණවත් පරිදි බලාගාර වෙත ලබාදෙන්නේ නම් කප්පාදුවකින් තොරව මේ අවස්ථාවේ වුවද විදුලිය ලබාදිය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඊයේ (26) දිනයේත් මෙට්‍රික් ටොන් 33,500 ක් අඩංගු පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළඟා වූ අතර, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද (27) ආරම්භ වන බව තෙල් සංස්ථාව සඳහන් කළා.

එමෙන්ම අද (27) දිනයේ දී ඩීසල් නෞකාවක් මෙරටට ළඟාවීමටද නියමිතව තිබෙනවා.

පසුගිය සතියේ ඩීසල් මෙට්‍රික් ටොන් 35,300 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ අතර, ඉන් මෙට්‍රික් ටොන් 6,500 ක් විදුලි බලාගාර වෙත ලබාදීමට තෙල් සංස්ථාව පියවර ගත්තා.

කෙසේ වෙතත් දිවයින පුරා මීට සති දෙකකට (2) පමණ ඉහත දී ඇතිවූ ඩීසල් හිඟය තවදුරටත් බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කළේ විදුලි ජනනය සඳහා ඉන්ධන ලබාදීමත් සමඟ පිරවුම්හල් වෙත බෙදාහරින ඉන්ධන ප්‍රමාණය අවම වී ඇති බවයි.

එමෙන්ම පාරිභෝගිකයන් ඉන්ධන හිඟය හේතුවෙන් ලද පළමු අවස්ථාවේම ඉන්ධන තොග රැස් කිරීමට කටයුතු කිරීම මෙම තත්වයට හේතු වී ඇති බවයි එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

කෙසේ වෙතත් පෙරේදා (25) රාත්‍රියේ සිට අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මෙවැනි පසුබිමක් තුළ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු ලොරි පැමිණීමේ විශාල අඩුවක් අද (27) දිනයේ නිරීක්ෂණය වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එළවළු මිල දී ගැනීමට පැමිණෙන ලොරි සංඛ්‍යාවද අඛන්ඩව අවම මට්ටමක පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

දුම්රිය ධාවනයට ඉන්ධන අර්බුදය බලපා ඇති බවට සති අන්ත ජාතික පුවත්පත් ප්‍රවෘත්ති වාර්තා කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඍජුව ඉන්ධන ලබාගැනීම හේතුවෙන් දුම්රිය ධාවනය පිළිබඳ අර්බුදයක් මේ දක්වා උද්ගත වී නොමැති බවයි.

එමෙන්ම දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල ගෑස් හිඟයක් පවතින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ එවැනි හිඟයක් ඇතිවීමට ඉඩකඩක් නොමැති බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ ෴

++++++++++++

හෙට (28) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(27.02.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) දිනයේ විදුලි කප්පාදු සිදු කරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පැය 05 යි මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

A, B, C යන කාණ්ඩ සඳහා පැය 04 යි මිනිත්තු 40 ක් විදුලිය කපා හැරෙන බව කොමිසම සඳහන් කලා.

ඉන්ධන නොමැතිවීම හමුවේයි විදුලිබල මණ්ඩලය විසින් මෙම කාලසීමා සඳහා අවසර ඉල්ලා ඇත්තේ.

++++++++++++

හෙටත් (28) පැය 5 කට අධික විදුලි කප්පාදුවක්

(27.02.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කලාප 8 ක් සඳහා හෙට (28) පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් සහ කලාප 3 ක් සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.

P, Q, R, S, T, U, V, සහ W යන කලාපවලට පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් සහ A, B, C කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබූ බවයි එම කොමිසම සඳහන් කළේ.

මේ අතර ගුවන් යානා ඉන්ධන, ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 74,600 කින් සමන්විත නෞකා දෙකක් (2) එළඹෙන සතියේදී මෙරටට ළඟාවීමට නියමිතයි.

එමෙන්ම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300 ක් සහිතව මෙරටට ළඟා වූ නෞකාවේ පෙට්‍රල් තොග ගොඩබෑම හෙට (28) සිදු කෙරෙනවා.

කෙසේ වෙතත්, අදත් (27) ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබුණා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඩීසල් නොමැතිවීම නිසා බස් ධාවනය සීමා කිරීමට සිදුව ඇති බවයි.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

රට තවදුරටත් සාමාන්‍යකරණයට

(27.02.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හමුවේ හමුවේ දෛනික කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යාම සඳහා රට තුල තවදුරටත් නව සාමාන්‍යකරන තත්ත්වයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

පසුගිය ජනවාරි 29 වැනිදායින් අනතුරුව කොරෝනා ආසාදිතයින් දහසකට (1000) අඩු සංඛ්‍යාවක් ඊයේ (26) දිනයේ වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 988 ක්.

එම ආසාදිතයින් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 6,44,060 ක් ලෙසයි.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,166 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (26) වාර්තා වූ කොරෝනා මරණ 24 ත් සමගයි.

මේ අතර වරක් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට ඉන් පසුව විවිධ රෝගාබාධ හටගැනීමේ දී තමන් ඊට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු බවට වෛද්‍යවරයා දැනුවත් කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් ජනතාවට දැනුම් දෙනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට යාමේ දී කොරෝනා පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

+++++++++++

සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ නීතිය ලිහිල් කෙරෙයි

(27.02.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ එන්නත්කරණය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මාර්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ව කොරෝනා පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පූර්ණ එන්නත්කරණය ලැබූවන්ට මෙලෙස පූර්ව කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නොවන බවයි එහි සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.

එහිදී එන්නත් මාත්‍රා දෙකක් (2) ලබාගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සළකන අතර, වයස අවුරුදු 18 ට අඩු ළමයින් සඳහා එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටීම පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙනු ඇති.

එමෙන්ම අවසන් මාස හය (6) තුළ කොරෝනා ආසාදිතව සිටි බවට ලිඛිත සාක්ෂි සහිත පුද්ගලයන් එක් (1) එන්නත් මාත්‍රාවක් ලබා සිටීම ප්‍රමාණවත් වන අතර, මාස හයකට (6) පෙර ආසාදිතව එක් (1) එන්නත් මාත්‍රාවක් ලබා සිටින්නේ නම් කොරෝනා පරීක්ෂාවට ලක්විය යුතුයි.

පූර්ණ එන්නත්කරණය නොලැබූ අනෙකුත් සියලුම සංචාරකයන්ද ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර එලෙස කොරෝනා පරීක්ෂාවට ලක්විය යුතු වනවා.

මේ අතර ඊයේ (26) දිනයේදී ද තවත් පුද්ගලයන් 52,778 දෙනෙකුටද කොරෝනා එන්නත් තුන්වන (3) මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලබාදී ඇති බව වංසගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වනවිට වර්ධක එන්නත් මාත්‍රාව ලබා ඇති සංඛ්‍යාව 71,39,133 ක් ෴

++++++++++

කොරෝනා ආසාදිතයින් 244 ක් සුවය ලබයි

(27.02.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 244 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,08,719 ක්. නිවාසගතව සහ රෝහල්ගතව මේ වන විට 19,175 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

තවත් කොරෝනා මරණ 24 ක් මෙරටින් වාර්තා වී තිබෙන්වා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 16,190 ක් දක්වා ඉහළ යනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *