ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල වර්ධනයක්

ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල වර්ධනයක්

*********************************************

ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල වර්ධනයක්

(26.02.2022 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශයේ සිදු වන අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, මේ වනවිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දිනකට පැමිණිලි 15 – 20 අතර සංඛ්‍යාවක් වාර්තාවන බවයි ෴

***************************************

ශ්‍රී ලංකාවට ආවේණික දිවියෙකු මියයාම ගැන විමර්ශනයක්

(26.02.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

නෝර්ටන් බ්‍රිජ්, විමලසුරේන්ද්‍රගම, විදුලිපුර ප්‍රදේශයේ තේ වත්තක දී ශ්‍රී ලංකාවට ආවේණික ‘පැන්තරා පාඩුස්’ වර්ගයේ දිවියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, මියගිය දිවියාගේ පිට ප්‍රදේශයේ ස්ථාන දෙකක (2) මෙන්ම, ඉදිරි දකුණු පාදය අසලින් සිදුරු වූ තුවාලයක් ද තිබූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව, පොලීසිය නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

එහි දී ඔවුන් හඳුනාගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවට ආවේණික මෙම දිවියා වයස අවුරුදු 6 ක පමණ වන සත්ත්වයෙකු බවයි.

දිවියාගේ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා රන්ටැඹේ වනජිවි පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙනවා ෴

***************************************

කොරෝනා එන්නත්කරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

(26.02.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවීමට ගිය විනාශකාරි තත්ත්වය එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරිමට හැකි වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල කේන්ද්‍රගනිමින් විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (25) පැවැති සර්ව එන්නත්කරණය කඩිනම් කිරිම සම්බන්ධයෙන් වු ඉහළ පෙළේ විවාදය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

++++++++

රට පාලනයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර වන්නේ නැහැ – ලැබෙන නිදහස වැරදි ලෙස ගන්න එපා – ජනපති කියයි

(26.02.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන ලෙසටයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

‘මහවැලි රන්බිම’ ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්වුණා.

රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසායි රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදාදීමට සැලසුම් කර තිබෙනවා.

පළමු (1) අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000 ක් මහවැලි කලාප 10 ක ගොවි ජනතාවට ප්‍රදානය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලුම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදාවනවා.

රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් ඔප්පු ප්‍රදානය කෙරුණා.

විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක්.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවක් වී තිබෙනවා.

පෙර රජයන් ගත් ණය පොළී සමග ගෙවීමට සිදුව ඇති අතර මෙම ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩකළ යුතු බව පෙන්වා දෙමින් ඔහු කියාසිටියේ කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බවයි.

වසර 20 කට වඩා භුක්ති විඳි ඉඩමක නීත්‍යානුකූල හිමිකමක් නොමැතිව සිටි මහවැලි ජනතාව එම හිමිකම ලැබීමෙන් ලබන සතුට රජයට ද දැනෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කළා.

රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ අතර වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට කළ ඒවා බවයි අගමැතිවරයා කියාසිටියේ.

හිමිකම් ඔප්පු ලබාදීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු නොවිසඳෙන අතර ජාතික අවශ්‍යතාවය දෙස බලා සෑම බිම් අගලක්ම වගා කිරීමට කටයුතු කිරීමේ යුතුකම ද ගොවි ජනතාව සතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

මහවැලි කලාපයේ තුන්වැනි (3) පරම්පරාව ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වගකීම වෙනුවෙන් රජය පෙනී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියා.

***************************************

ගාල්ලේ රිය අනතුරකින් 3 කට තුවාල – රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

(26.02.2022 – 17:41 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බස්නැවතුම්පොල අසල අද (26) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකට රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියේ ගමන්ගත් තුන් දෙනෙකු (3) අනතුරින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, රුසියානු ජාතිකයා විසින් මෝටර් රථය පදවා ඇති බව සඳහන්.

පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදිය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම, අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ 3 දෙනෙකු ගමන් කිරීම සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අනතුරට අදාළව මේ වනවිට රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන සිටිනවා ෴

***************************************

රට වෙනුවෙන් යුක්‍රේන කතක් දළදා වහන්සේ ඉදිරිපිට විරෝධයක

(26.02.2022 – 18:55 +0530 – hirunews.lk/sinhala)

දළඳා මාලිගා පරිශ්‍රය සහ ගාලුකොටුවේ ඕලන්ද දේවස්ථානය ඉදිරිපිට යුක්රේන සංචාරකයන් නිහඬ විරෝධයක

දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතිකයින් පිරිසක් අද (26) පස්වරුවේ ගාල්ල කොටුව ඕලන්ද රෙපරමාදු දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඒ, රුසියාව සිය රටට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් සහ සාමය ප්‍රාර්ථනා කරමින්.

මේ අතර මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික තරුණියක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

“කරුණාකර යුක්රේනය තුළ යුද්ධය එපා” යනුවෙන් පුවරුවක් ද රැගෙන සිටි ඇය ඉල්ලා සිටියේ යුක්රේනයට එරෙහි යුද්ධය නවතා දමන ලෙස ලෝකයට ප්‍රචාරය කරන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

රුසියානු – යුක්රේන යුද්ධය වර්ධනය වීමත් සමඟ මෙරටට පැමිණ සිටින යුක්රේන සංචාරකයින් යළි මව් රටට යාමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

එම සංචාරකයින් පවසන්නේ තමන් රැඳී සිටින හෝටල්වලට මුදල් ගෙවීමේ ගැටලුවකට පවා මේ වනවිට තමන් මුහුණ දී සිටින බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය පසුගිය වසර දෙක තුළ දැඩි කඩාවැටීමට ලක් වූ අතර මෙම වසර තුළ එහි යම් වර්ධනයක් දක්නට ලැබෙනවා.

ඒ අනුව මෙම වසරේදී මේ දක්වා මෙරටට සංචාරකයින් 160,000 ක් පමණ පැමිණ ඇති අතර ඒ අතරින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන්.

ඒ, 25,304 ක්.

ඉන්දියාව සහ එක්සත් රාජධානියට පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ යුක්රේනයෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 12,609 ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට යුක්රේනයේ වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරට සිටින යුක්රේන ජාතිකයින් සිටින්නේ දැඩි වික්ශිප්ත භාවයකින්.

මේ අතර මෙරටට පැමිණ සිටින යුක්රේන සංචාරකයින්ට යළි සිය මව්රටට යාමට නොහැකි වීමත් සමඟ ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ එම රටවලින් මුදල් ගෙන්වා ගැනීමේ ගැටළුවකට ද මුහුණ දී සිටීම හේතුවෙන්.

ඒ හේතුවෙන් ඔවුන් මෙරට රැඳී සිටින හෝටල් සඳහා මුදල් ගෙවීමේ ගැටලු‍වක්ද පවතින බවයි සංචාරක හෝටල් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මෙරට සංචාරක කර්මාන්තය දිගු කලකට පසු යළි ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමඟ යළි ඊට බාධාවක් ඇති විය හැකි බවයි එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද බෙන්තොට ප්‍රදේශයේ යුක්රේන සංචාරකයින් රැදී සිටින හෝටල්වලට ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලුවා.

***************************************

මාර්තු මුල සිට සංචාරකයින්ට සුබ පණිවිඩයක්

(26.02.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ එන්නත්කරණය ලබා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සංචාරකයින්ට මාර්තු 01 වැනි දින සිට පී.සී.ආර්. පරීක්ෂණයකට පෙනී සිටීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පවසනවා ෴

***************************************

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500 ක් වරායේ සිරවෙයි

(26.02.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500 ක් තවදුරටත් වරාය තුල සිර ව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, පරිප්පු, සීනි, වියළි මිරිස් ඇතුලු ආහාර ද්‍රව්‍ය මෙලෙස වරාය තුල සිරව ඇත්තේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් බවයි ෴

***************************************

අඹන්පොල ග්‍රාම නිලධාරි ඝාතන සිද්ධියේ සියලු සැකකරුවන් යළි රිමාන්ඩ්

(26.02.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

අඹන්පොල – දකුණ ග්‍රාම නිලධාරිවරයා තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු සහ ඔහුගේ ඥාතියෙකු ඇතුළු සියලු සැකකරුවන් මාර්තු 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (25) යළි කැඳවූ අවස්ථාවේ දී මහව මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී පසුගිය 2001 වසරේ ඔක්තෝම්බර් 04 වැනි දා පෙරවරුවේ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණේ අඹන්පොල – උඩංගාව ප්‍රදේශයේදී යි ෴

***************************************

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් – ජගත් මානව හිමිකම් කොමසාරිස්

(26.02.2022 – 12:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේගේ ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වැනි සැසිවාරය වෙත ඊයේ (25) ඉදිරිපත් කර තිබෙනවා.

එමඟින් පසුගිය වසරක කාලය තුළ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකර ඇති අතර, එහිදී මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ ලක් රජය විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිසංස්කරණ පියවර පිළිගන්නා නමුදු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබෙන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ ඵලදායී ලෙස එක්ව කටයුතු කිරීමට ලක් රජය දක්වන අභිලාෂය කොමසාරිස්වරියගේ ප්‍රසාදයට ලක්වූ අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් සාක්ෂාත් කරලීම සඳහා නීතිමය ආයතනික සහ ආරක්ෂක ක්‍ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ තවදුරටත් අවශ්‍ය බවයි ඇය කියා සිටියේ.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත පිළිබඳව විශේෂ සඳහනක් කළ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එය, වැදගත් ආරම්භක පියවරක් ලෙස හඳුන්වා තිබෙනවා.

එහිදී රැඳවියන් සිටින ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත්‍රාත් බලතල ඉහළ නැංවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවූන්ගේ නඩු විභාග කඩිනම් කිරීම ආදී පියවර වැදගත් වන බවත් ඇය පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොමිෂන් සභාවේ වාර්තා සම්බන්ධයෙන්ද අවධානය යොමුකරන මානව හිමිකම් මහකොමසාරිස්වරිය එවන් පසුබිමක බොරැල්ලේ දේවස්ථානයක තිබී හමුවූ අත්බෝම්බ සිදුවීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබෙනවා.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙන් නිර්දේශ පෙළක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මානව හිමිකම් කොමිසම් සභාව ඇතුලු ආයතනවල මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවත්, ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ අවධාරණය කළා.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙසත් ඇය නිර්දේශ කරනවා.

මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තවදුරටත් මූලික ප්‍රතිසංස්කරණ එක්කොට ජාත්‍යන්තර නීතියට අනුගත වන පරිදි එය සංශෝධනය කරන ලෙසයි මිචෙල් බැච්ලේ මහත්මිය නිර්දේශ කරන්නේ.

එලෙස එම සංශෝදිත කරුණු නීතිගත කෙරෙනතුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාකිරීම කල් දමන ලෙසත් ඇය ලක් රජයට යෝජනා කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *