සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි

සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි

*********************************************

සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි

(26.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින දත්ත අනුව සඳුදා (28) සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද (26) සහ හෙට (27) රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

අද (26) දිනයේ දිවා කාලයේ සිදු කරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ, බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 3 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

සෙසු කලාප සඳහා අද (26) දිනයේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය දෙකහමාරක (2½) කාලයක් සඳහා පමණයි.

හෙට (27) දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර, ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙක හමාරක (2½) කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදු කෙරෙනු ඇති.

විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට සිදු කළ දැනුම්දීම අනුවයි මෙලෙස සති අන්තයේ සිදු කෙරෙන විදුලිය කප්පාදුව සීමාකර ඇත්තේ.

මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,400 ක් අඩංගු නෞකාව අද (26) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

එසේම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක්ද ලබන සති අන්තයේ දී මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ ෴

++++++++

සිපෙට්කෝ තෙල් මිල වැඩි වීමක් නෑ – බලශක්ති අමාත්‍යාංශය

(26.02.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට දැනට තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මේ බව කියා සිටියේ, ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට ප්‍රතිචාර දක්වමින්.

ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ නංවනු ලැබුවා.

අයි.ඕ.සී. සමාගමේ සියලුම ඩීසල් වර්ගවල මිල රුපියල් 15 කින් ඉහළ යන අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 139 ක්.

අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් විස්සකින් (20) ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 ක් වනු ඇති.

එමෙන්ම ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 233 ක්.

ලංකා අයි.ඕ.සී. සමාගම පසුගිය 06 වන දා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර ලංකා අයි.ඕ.සී. සමාගම එහි බෙදුම්කරුවන් සාකච්ඡාවකට කැඳවා තිබුණා.

මේ අතර දැනට පවතින දත්ත අනුව සඳුදා (28) සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදු වනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද (26) සහ හෙට (27) රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බව යි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

++++++++

තෙල් සංස්ථාවට දරාගත නොහැකි පාඩුවක්

(26.02.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දරාගත නොහැකි පාඩුවක් ලබමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යළිත්වරක් ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී. සමාගම කටයුතු කළා.

එහිදී ලංකා අයි.ඕ.සී. පෙට්‍රල් මිල රුපියල් 20 කින් ඉහළ දැමූණු අතර ඩීසල් මිල ඉහළ දැමුණේ රුපියල් 15 කින්.

නව අයි.ඕ.සී. මිල ඉහළ නැංවීමට අනුව ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 ක් වන අතර ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 233 ක්.

අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් ඉහළ ගිය පසුබිමක දිවයිනේ බොහෝ අයි.ඕ.සී. පිරවුම්හල් ආශ්‍රිතව හුදකලා ස්වභාවයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එම ඉන්ධන පිරවුම්හල් වල සේවකයන් ද පැවසුවේ ජනතාව සිය පිරවුම්හල් වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත්, සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳව මෙතෙක් තීරණයකට එළඹ නැහැ.

බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි කියා සිටියේ ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියේ දී දරාගත නොහැකි පාඩුවක් ලබන බවයි.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික බස් රථ ගමන්වාර සියයට 50 කින් අඩු කර ධාවනය කිරීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300 ක් අඩංගු නෞකාවක් අද (26) දිනයේ දිවයිනට පැමිණ ඇති අතර හෙට (27) ඩීසල් නෞකාවක් ද පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය පැවසුවා.

මේ අතර ඇතැම් සංස්ථා ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීමේදී තවදුරටත් සීමා පනවා ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එය තාවකාලික බෙදාහැරීමේ ගැටලුවක් නිසා ඇති වූ තත්වයක් බැවින් එම තත්ත්වය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි.

එසේම සංස්ථා පිරවුම්හල් ඉන්ධන තොග සැඟවීමේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

මේ අතර, ඉන්ධන නොමැතිව බලාගාර කිහිපයක් අක්‍රීයවීමෙන් ආරම්භ කෙරුණු දෛනික විදුලි කප්පාදු කාල සටහන මෙම සති අන්තය සඳහා සංශෝධනය කරනු ලැබූවා.

ඒ අනුව අද (26) සහ හෙට (27) රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කලේ.

අද (26) දිනයේ ඒ, බී, සී කලාප සහ සෙසු කලාප 8 සඳහා විදුලිය කප්පාදු කෙරුණද හෙට (27) දිනයේ ඒ, බී, සී කලාපවලට පමණක් දිවා කාලයේ පැය 2 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත ෴

***************************************

මුහුදු බත් වී ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ ගොඩගැනීම ඇරඹෙයි

(26.02.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala)

මුහුදු බත් වී ඇති ‘එක්ප්‍රස් පර්ල්’ නෞකාව ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එය ‘ශැන්හායි සැල්වේජ්’ නැමැති චීන සමාගම විසින් සිදු කරනු ලබන අතර එය මෙහෙයවනු ලබන්නේ, නෞකාව හිමිකාර සමාගම හා රක්ෂණ සමාගම විසිනි.

එම නෞකාව යකඩ රැහැන් 63 න් යොදා ගනිමින් මුහුදු පතුලෙන් ඉහළට එසවීමට සැලසුම් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

මේ වන විට අදාළ යකඩ රැහැන් 63 න් 35 ක් මුහුදු බත් වූ නෞකාවට සවිකර කර තිබෙනවා.

යකඩ රැහැන් සවි කිරීම සඳහා දින 150 ක් ගත වන අතර, ඉන් පසු මුහුදු බත් වූ නෞකාව මුහුදු මට්ටමට ගෙන ඉන්දියාව ආසන්නයේ පිහිටි නෞකා කැබලි කරන ස්ථානයක් වෙත රැගෙන යාමට නියමිත යි.

පසුගිය වසරේ මැයි 20 වන දින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මුහුදු බත් වූයේ එහි බහාලුමක ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන්.

***************************************

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකගේ අවසන් කටයුතු අද (26)

(26.02.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදු කෙරෙනවා.

1944 වසරේ මෙලොව එළිය දුටු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් මහා කැපකිරීමක් කළ මීමන ප්‍රේමතිලකයන්ගේ වැඩිමහල් පුතු වූ නිසාවෙන්ම ඔහුට පුවත්පත නුහුරු නුපුරුදු දෙයක් වූයේ නැහැ.

අපූරු ලේඛන ශෛලයකින් අව්‍යාජ හැඟීම් තම ලිපි තුළ එන්නත් කළ ඔහු වඩාත් ජනාදරයට පත් වුනේ ‘සුනිල් අයියා’ නමින්.

ලේක් හවුස් පුවත්පතක කවි පිටුව සංස්කරණය කළ ඔහු දිවයින පුවත්පත පැරණි ආකෘතියෙන් වෙනස් කිරීමට 8 වැනි පිටුවෙන් සමත් වුණා.

පුවත්පත් කලාවේ අපූර්ව සටහන් තබමින් ඔහු සමාජ සාධාරණය උදෙසා කළ අරගලය ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’ මනාව ප්‍රකට කළා.

ලක්මිණ, ලක්දිව, හිරු වැනි පුවත්පත්වලින් ප්‍රකට කළා.

ඔහු පුවත්පත් කලාවේ වෙනස් කළ කලාවන් එමට යි.

තමන් විශ්වාස කළ පුවත්පත් කලාව තුළ ජීවත් වුණු සුනිල් මාධව ප්‍රේමතිලක පසුකාලීන ව පරිවර්තන කාර්යයේ නියැලුණා.

‘හඬනු මැන නිදහස’, ‘අන්ධකාරයේ දරුවා’ වැනි ග්‍රන්ථ ලාංකීය සාහිත්‍ය වෙනුවෙන් පුද කළ ඔහු අද එම සත්‍යවාදියෙකුගේ දිනපොතෙහි අවසන් සටහන තබනවා ෴

***************************************

සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවාට විශේෂ ආරක්ෂාවක්

(26.02.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය භාර සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

ඒ ඔහුට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ලද බුද්ධි වාර්තා අනුවයි.

සිදු කරන විමර්ශනවලට අදාළ ව පාතාල සාමාජිකයන්ගෙන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්ද ඔහුට තර්ජන එල්ල වී ඇති අතර, පසු ව ඔහු ඒ පිළිබඳ පොලිස්පතිවරයාට මෙන්ම අංශ කිහිපයකට පැමිණිලි කර තිබුණා ෴

***************************************

අභියාචනාධිකරණයෙන් නීතිපතිට දැනුම් දීමක්

(26.02.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර ඇති නියෝගයක් අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මාර්තු මස 02 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව යි නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (25) මෙම නියෝගය කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහි ව සිදු කළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තම සේවාදායකයා දැනටමත් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කර තිබෙනවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයා අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති අවස්ථාවක එම කරුණ සම්බන්ධ තවත් ජනාධිපති කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දීම යුක්ති සහගත නොවන බවයි ජනාධිපති නීතිඥ මුස්තාපා පෙන්වා දී ඇත්තේ.

එබැවින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තම සේවාදායකයා වෙත නිකුත් කර ඇති දැනුම් දීම අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මාර්තු මස 02 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා ෴

***************************************

අධ්‍යාපන සමුපකාර සේවක වර්ජනය අඛණ්ඩ ව

(26.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සමුපකාර කොමිෂන් සභාවේ ලේකම්වරිය සමඟ ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්.

ඒ අනුව වර්ජනය අද (26) සිව්වන (4) දිනටත් ක්‍රියාත්මක වනවා.

සමූපකාර සේවකයන් මෙම වර්ජනයේ නිරත වන්නේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පත් කළ කමිටුවක් මගින් නිර්දේශ කළ රුපියල් 10,000 ක දීමනාව සහ රජය මඟින් පසුගිය දා ලබාදීමට අනුමත කළ රුපියල් 5000 දීමනාව ලබා නො දීමට විරෝධය පළ කරමින්.

ඒ අනුව අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයකට අයත් සමූපකාර සේවකයන් 600 ක් පමණ ඊයේ (25) පස්වරුවේ විරෝධතාවයේ නිරත වෙමින් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සමූපකාර කොමිෂන් සභාව වෙත පිවිසුණා.

විරෝධතාකරුවන් සිය ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා කොමිෂන් සභාවේ ලේකම්වරිය සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ලේකම්වරිය පැමිණෙන තෙක් 600 ක් පමණ වූ සමූපකාර සේවකයන් පැය 4 කට අධික කාලයක් කොමිෂන් සභාව තුල රැඳී සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් පස්වරු 5 ට පමණ විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට කොමිෂන් සභාවේ ලේකම්වරිය පැමිණියා ෴

***************************************

පූකුඩු කන්නාගේ ගෝලයෙකු අත්අඩංගුවට

(26.02.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට (1,00,00,000) අධික හෙරොයින් සහ රුපියල් 7,93,350 ක මුදලක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බාලචන්ද්‍රන් පුෂ්පරාජ්’ හෙවත් ‘පූකුඩුකන්නා’ගේ ගෝලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කෙරවලපිටිය ප්‍රදේශයේදී යි.

විදේශගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පූකුඩුකන්නා’ විසින් ලබා දෙන උපදෙස් මත මොහු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බව සඳහන්.

‘පූකුඩුකන්නා’ විසින් දැනුම් දෙන ස්ථානයට ගොස් එහි සිටින කාන්තාවක් විසින් ලබා දෙන මත්ද්‍රව්‍ය සැකකරු විසින් ලබා ගන්නා බවටයි වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

පසුව සැකකරු විසින් ඔහු සතුව ඇති මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයන් වෙත ලබා දෙන බවත් ඉන් ලැබෙන මුදල් අදාල කාන්තාව වෙත ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ නම හෝ පදිංචි ස්ථානය මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත යි.

මේ අතර රුපියල් ලක්ෂ විස්සක (20,00,000) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ කාන්තාවක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ‘මයිකල් එලිසබෙත් මේරි’ හෙවත් ‘කුඩු මේරි’ නැමති කාන්තාවක්.

දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තුළ සිටිය දී ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 75 ක් සමඟයි.

සැකකාරිය මීට පෙර ද කිහිප වතාවක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවට යි අනාවරණ වී ඇත්තේ.

40 හැවිරිදි ඇය අද (26) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *