සේවක හදිසි අනතුරු වන්දි රුපියල් ලක්ෂ විස්ස (20) දක්වා ඉහළට

සේවක හදිසි අනතුරු වන්දි රුපියල් ලක්ෂ විස්ස (20) දක්වා ඉහළට

*********************************************

සේවක හදිසි අනතුරු වන්දි රුපියල් ලක්ෂ විස්ස (20) දක්වා ඉහළට

(25.02.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

සේවයේ යෙදී සිටිය දී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පළ වී ඇති බව සඳහන්.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට මරණයක දී හෝ පූර්ණ බෙලහීනතාවයක දී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය රුපියල් 5,50,000 ක්. එම මුදලයි රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා ඇත්තේ ෴

***************************************

මිශ්‍ර ඡන්ද ක්‍රමයක්

(25.02.2022 – 09:02 +0530 – hirunews.lk/sinhala)

සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාස ක්‍රමයට 60% ක් සහ අනුපාතික ක්‍රමයට 40% ක් වන මිශ්‍ර ඡන්ද ක්‍රමයක් විය යුතු බවත්, නව ඡන්ද ක්‍රමයක් ඇති කරනතුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී එකඟ වී ඇති බව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීයි.

නව ඡන්ද ක්‍රමයක් ඇති කරනතුරු පැරණි ක්‍රමයට පළාත් සභා පැවැත්විය යුතු බවට ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී තීරණය වී ඇත්තේ.

අදාළ විශේෂ කාරක සභාව මාර්තු මුල් සතියේ යළි රැස්වීමටද තීරණය වී තිබෙනවා.

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 25% ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එහිදී එකඟතාවය ලැබූ තවත් යෝජනාවක් ෴

***************************************

මතුගම කාන්තා ඝාතනයට සැකකාරියක් අත්අඩංගුවට

(25.02.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

මතුගම – බාලිකා පාර ප්‍රදේශයේ දී තුන්දරු (3) මවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක් (1) නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේයි.

මේ ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ද අදහස් පළ කළා ෴

***************************************

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් අයෙකු මරුට

(25.02.2022 – 10:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා (22) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 83 වැනි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වී යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ අට (8) දෙනෙකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක් වුණා.

ඒ ඊයේ (24) රාත්‍රියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 29, දොඩංගොඩ ප්‍රදේශයේ දී යි.

සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී සිදු වූ මෙම අනතුරෙන් එම පවුලේ පියා ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් කුඩා දරුවන් තිදෙනකු (3) ඇතුළු සිව්දෙනෙකු (4) තුවාල ලබා රෝහල්ගත කළ බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පොලීසිය පැවසුවේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අක්මීමන – කපුගේවල ගමගේ වත්ත පදිංචි 67 හැවිරිදි වියෙහි පසුවන ගමගේ රත්නසේන නමැත්තෙක්.

තුවාල ලැබූ සෙසු පිරිස නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, උපාධි ලැබූ දියණිය සිය වෛද්‍ය උපාධිය ලබා ගත්, 29 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

***************************************

සමගි ජනබලවේගයේ විදුලි පන්දම් ගැන කථානායකගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(25.02.2022 – 12:43 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඊයේ (24) විදුලි පන්දම් සහ තවත් පාර්සලයක් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දෙන බව කථානායකවරයා අද (25) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අද යළිත් මතු කළ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුද එහිදී ඇතිවූ සංවාදයට මැදිහත් වුණා.

***************************************

මිල්කෝ නිරීක්ෂණය කළ ජනපති – ගොවීන්ටත් සහනයක්

(25.02.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (25) රජයට අයත් මිල්කෝ සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

පෙරවරු 11 ට පමණ නාරාහේන්පිට පිහිටි එම සමාගමට පැමිණි ජනාධිපතිවරයා දහවල් වනතුරුම එම පරිශ්‍රයේ රැඳී සිටි බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

මිල්කෝ සමාගම යටතේ නිෂ්පාදනය කරන හයිලන්ඩ් සන්නාමයේ කිරි, යෝගට් සහ අයිස්ක්‍රීම් ඇතුලු නිෂ්පාදන සකසන ආකාරය සහ එහි යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා නිරීක්ෂණයට ලක් කළා.

එමෙන්ම අක්‍රීයව පවතින යන්ත්‍ර සූත්‍ර පිළිබඳව ද එහි සේවකයන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා විසින් ගොවීන්ගෙන් දියර කිරි ලීටරයක් රුපියල් 100 කට මිල දී ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවයි රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් කියා සිටියේ.

මේ අතර ජනාධිපතිවරයා ඊයේ (24) දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ හදිසි නිරීක්ෂණයකට ද එක්වුණා.

***************************************

මාළු ලොරියක් පෙරළීමෙන් අධිවේගයේ වාහන ධාවනයට බාධා

(25.02.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

මාළු තොගයක් පටවා ගෙන යමින් සිටි ලොරියක් ඊයේ (24) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 15 බණ්ඩාරගම ප්‍රදේශයේ දී අනතුරකට ලක් වී තිබෙනවා.

එම අනතුරෙන් ලොරිය පෙරළී මාර්ගය පුරා මාළු විසිරි වාහන ධාවනයට ද තරමක බාධාවක් ඇති වූ බව අධිවේගී රථ වාහන පොලිසිය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් එක් මංතීරුවක මීටර් කීපයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව යි පොලිසිය සඳහන් කළේ.

කෙරවලපිටිය සිට මාළු රැගෙන පයාගලට ධාවනය වෙමින් තිබූ ලොරියේ පිටුපස රෝදයක් පිපිරීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් තොර වූ ලොරි රථය මාර්ගයේ වටයක් පෙරළි වම්පසට ඇදීගොස් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියදුරුට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් එම ස්ථානයේ දී ම ප්‍රතිකාර කර ඇති අතර, අනතුරින් ලොරි රථයට සහ අධිවේගී ආරක්ෂිත වැටට අලාභානි සිදු වී ඇති බව සඳහන්.

අධිවේගී රථවාහන කොට්ඨාස‍යේ ගැලණිගම පොලිසියේ නිලධාරින් විසින් වැසිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

***************************************

දියණිය බේරා ගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි – දියණිය මරුට

(25.02.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානය ආසන්න හරස් මාර්ගයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා.

දුම්රිය පැමිණෙමින් තිබියදී හරස් මාර්ගය හරහා පාපැදියකින් ගමන් කිරීමට උත්සාහ කිරීමේදීය ඇය දුම්රියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දුම්රිය ස්ථානයට මීටර් 100 ක පමණ දුරකදී අනතුර සිදුවී ඇති අතර තරුණිය ගැටී ඇත්තේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේයි.

ඇය පාපැදියෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන අවස්ථාවේ දුම්රිය දැක නොමැති අතර දුම්රිය පැමිණෙන බව දුටු ඇයගේ පියා දිව ගොස් දියණිය බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඔහු දුම්රියේ ගැටී විසිවී ගොස් ඇති අතර තරුණිය දුම්රියට යටවී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ පියා රෝහල්ගත කර ඇති අතර තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණියක්.

කෝපායි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

***************************************

රාජ්‍ය ආයතන 55 ක අලාභ ගැන මන්ත්‍රී විජිතගෙන් චෝදනා

(25.02.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසය පුරා පැවති ආණ්ඩු මූල්‍ය විනයක් නොමැතිව රට පාලනය කිරීම නිසා ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවට ජනතා විමුක්ති
පෙරමුණ චෝදනා කරනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළේ පානදුරේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එමෙන්ම මෙරට රාජ්‍ය ආයතනවල වැඩි වශයෙන්ම සිදුව ඇත්තේ කෝටි ගණනින් සිදු වූ අලාභ බව මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් රටට රුපියල් ට්‍රිලියන 1.2 ක් අලාභවී ඇති බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

***************************************

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට නිකුත් කළ වාරණය දීර්ඝ කෙරේ

(25.02.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති පසුගියදා දියත් කළ දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය මාර්තු මස 11 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 07 වනදා ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතර, ඉන් අනතුරුවයි මේ මස 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එය අත්හිටුවන ලෙස දන්වමින් වාරණ නියෝගයක් නිකුත් කළේ.

කෙසේ වෙතත් පසුව වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බව වර්ජනයේ නිරත වෘත්තිය සමිති ප්‍රකාශ කළා ෴

***************************************

බලධාරී නොසැලකිල්ලෙන් වල් බිහි වූ රාජ්‍ය දේපළ

(25.02.2022 – 14:53 +0530 – hirunews.lk/sinhala)

බලධාරීන්ගේ නොසැලකිල්ල සහ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතින් හේතුවෙන් විනාශ වන රජයේ දේපළ පිළිබඳව අප අවස්ථා ගණනාවක දී වාර්තා කර තිබෙනවා.

එලෙස විනාශ මුඛයට යන කාපට් නිශ්පාදනයට ආරම්භ කරන ලද කර්මාන්ත ශාලා දෙකක් පිළිබඳවයි මේ තොරතුරු.

තිස් වසරක (30) පටන් පැවති කුරිරු යුද්ධය නිමා කිරීමත් සමඟ ඇරඹුනු සංවර්ධනයේ අරුණළු රටේ සෑම ප්‍රදේශයක් කරාම ව්‍යාප්තව ගියේ මාර්ග සංවර්ධනය එහි ප්‍රධානම අංශයක් බවට පත් කරගනිමින්.

ප්‍රාදේශීය මට්ටමින් ඔබ්බට යමින් ග්‍රාමීය පෙදෙස්වලත් සිදු කෙරුණු මාර්ග සංවර්ධනය නිසාම එම ප්‍රදේශවල ජනතාවට නව රැකියා අවස්ථා පවා උදා වී තිබුණා.

2011 වසරේදී පොළොන්නරුව, කළහගල ඉදිකෙරුණු රජයේ කාපට් නිෂ්පාදන කර්මාන්තශාලාව එවකට ගම්මාන රැසක පිරිස් සඳහා ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වුව ද එහි වත්මන් තත්ත්වය මේ වනවිට අර්බුදකාරී වී තිබෙනවා.

යන්ත්‍රසූත්‍ර මෙන්ම ඒවායේ උපාංග දිරා යමින් වල් බිහිවී ඇති මෙම ස්ථානය දැනට වනසතුන්ගේ විවේකාගාරයක් බවට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, වල් බිහිවෙමින් විනාශ වන මෙම කර්මාන්තශාලාව පිළිබඳ කිසිවෙකුගේත් අවධානය මෙතෙක් යොමු නොවූ බවයි.

එවන් පසුබිමක මෙම යන්ත්‍රාගාරයට මීටර් 100 ක පමණ දුරකින් පුද්ගලික හිමිකාරීත්වයක් ඇති ඉඩමක, 2016 වසරේ පැවති රජය විසින් ආරම්භ කළ තවත් කාපට් නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද දිරාපත්වෙමින් විනාශ වීම විමතියට කරුණක්.

අක්කර කිහිපයක් පුරා භූමියක රජයේ මුදල් වැය කරමින් ඉදිකෙරුණු මෙම නව කර්මාන්තශාලාවේ වැඩකටයුතු වසරකට දෙකකට (2) පමණක් සීමා වී තිබුණේ අවට ජනතාවගේ රැකියා පවා අනතුරේ දමමින්.

කර්මාන්තශාලා සේවක පිරිස් භාවිත කළ රජයේ වාහන පවා මේ අයුරින් දිරාපත් වීමට ඉඩ හැරීම, නිසි සැලසුමක් නොමැතිව බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ තවත් ඇතැම් සංවර්ධන ව්‍යාපෘතිවලට කදිම නිදසුනක් වනවා.

මහජන බදු මුදල් වැයකර, කිසිඳු ප්‍රයෝජනයක් ද නොමැතිව දිනෙන් දින විනාශ වන මෙවැනි ව්‍යාපෘති ඵලදායී අරමුණක් සඳහා යෙදවීමට වගබලා ගැනීම වගකිව යුතු බලධාරීන්ගේ වගකීමක් නොවේද..?

***************************************

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධවගේ දේහය නිවසට රැගෙන එයි

(25.02.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකගේ දේහය, තලංගම – කොස්වත්ත රිචඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී හෙට (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *