අදත් (25) පැය 05 කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් (25) පැය 05 කට වැඩි විදුලි කප්පාදුවක්

*********************************************

අදත් (25) පැය 05 කට වැඩි විදුලි කප්පාදුවක්

(25.02.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

අද (25) දිනයේදී දිවයිනේ ඒ.බී.සී. කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බවයි.

හෙට (26) දිනයේ පස්වරුවේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක් සහ රාත්‍රි කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ක් වනු ඇති බවටයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන්නේ.

මේ අතර, ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (25) සිට බස් ධාවනය සම්පූර්ණයෙන් අඩාල වීමේ අවදානමක් පවතින බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (24) සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව බස් රථයට අතරමග දී ඉන්ධන ලබා ගැනීමට තාවකාලිකව අවසර ලබාදෙන බවයි.

+++++++++

විදුලි කප්පාදුවෙන් ජල සැපයුමටත් බාධා

(25.02.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන සේවක සංගමය පවසනවා.

එහි සම ලේකම් උපාලි රත්නායක කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පවතින තත්වය හමුවේ ප්‍රාදේශීය ජල සැපයුම්වලදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත්, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය සැපයෙන අඹතලේ ජල පිරිපහදුවට මෙම විදුලි කප්පාදුවෙන් මෙතෙක් බලපෑමක් සිදුව නැහැ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පිරිපහදුවට වෙනත් අතිරේක සැපයුමක් මගින් විදුලිය සැපයෙන බවයි.

එමෙන්ම එම ජල පිරිපහදුවට විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

එහෙත් සෙසු ප්‍රදේශවල ජල සැපයුම් ක්‍රියාවලිය ඍජුවම ජාතික විදුලි බල පද්ධතිය හා සම්බන්ධව සිදුවීමත් ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුළ ප්‍රමාණවත් පරිදි විදුලි ජනන යන්ත්‍ර නොමැතිවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් හටගත හැකි බවටයි වාර්තා වන්නේ.

+++++++++

විදුලි කප්පාදුවෙන් එන්නත් ගබඩාකරණයටත් බලපෑම්

(25.02.2022 – 08:19 +0530 – hirunews.lk/sinhala)

​දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන සේවක සංගමය පවසනවා.

එවන් පසුබිමක අදත් කලාප වශයෙන් පැය පහක (5) පමණ විදුලි කප්පාදුවක් දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මකයි.

මේ අතර එළඹෙන සති අන්තයේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව සිදු නොකිරීම හෝ අවම වශයෙන් සිදු කිරීමට කටයුතු යොදන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

විදුලි පාරිභෝගිකයන් මෑත කාලීනව සිදු වූ විදුලි කප්පාදුවෙන් දැඩි අපහසුතාවට පත්වීම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකළ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

පවතින තත්ත්වය මත A, B සහ C කලාපවලට පෙරවරු 08:30 සිට සවස 04:30 දක්වා පැය 2 යි මිනිත්තු 40 ක් විදුලිය විසන්ධි කර යළිත් එම කලාපවලටම සවස 04:30 සිට රාත්‍රී 10:30 දක්වා තවත් පැය දෙකක (2) කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.

සෙසු කලාප 8 සඳහා පෙරවරු 08:30 ට ඇරඹෙන විදුලි කප්පාදුව සවස 04:45 දක්වා පැය දෙකයි 2 මිනිත්තු 45 බැගින් සිදු කෙරන අතර යළිත් එම කලාපවලට සවස 04:45 සිට රාත්‍රී 09:45 දක්වා තවත් පැය 2 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.

ඒ අනුව එම කලාප අට (8) සඳහා පමණක් පැය 5 මිනිත්තු 15 ක කාලයක් අද (25) දිනය පුරා විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බවයි ජාතික ජල සම්පාදන සේවක සංගමය පවසන්නේ.

පවතින විදුලි කප්පාදුවත් සමග කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් ගබඩා කර ඇති ශීතාගාර පවත්වාගැනීම සඳහා විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට අඛණ්ඩව ඉන්ධන අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

එවන් පසුබිමක ශීතාගාරවලට අතිරේක විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබාදීමටයි සිදුව ඇත්තේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රට තුළ පවතින කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බවයි.

දෛනිකව සිදුකෙරෙන විදුලි කප්පාදුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩී පීඩාවකටයි.

මේ අතර බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ තවමත් දැකගත හැක්කේ අර්බුදකාරී තත්ත්වයක්.

+++++++++

සති අන්තයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස කොමිසම – මණ්ඩලයට දන්වයි

(25.02.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර කිහිපයක් තවදුරටත් අක්‍රීය ව පවතිනවා.

කොළඹ වරායේ බත්තල බලාගාරය අද (25) දහවල් 12 න් පසු දැවි තෙල් නොමැතිවීමෙන් අක්‍රීය වන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි කියා සිටියේ.

මේ වනවිට මෙගාවොට් 165 ක් උත්පාදනය කෙරෙන කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය, මෙගාවොට් 115 ක් උත්පාදනය කෙරෙන කැළණිතිස්ස විදුලි බලාගාරය, මතුගම බලාගාරය, තුල්හිරිය බලාගාරය සහ කෙලවරපිටිය – වෙස්ට් කෝස්ට් බලාගාරය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අක්‍රීයව පවතිනවා.

ඒ අනුව අද (25) දහවල් බත්තල බලාගාරය අක්‍රීය වීමෙන් පසු විදුලිය සැපයීමට දැඩි බාධා එල්ලවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදෙන බවට ඇතැම් නිලධාරීන් ප්‍රකාශ නිකුත් කළත් මේ වනවිටත් අවශ්‍ය ඉන්ධන ලැබී නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි කියා සිටියේ.

අද (25) දිනයේදීත් දිවයිනේ ඒ.බී.සී. කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් සහ අනෙකුත් කලාපවලට පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

මේ අතර එළඹෙන සති අන්තයේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

පසුගිය දිනවල විදුලි කප්පාදුව නිසා ජනතාව අපහසුතාවට පත්වීම සැළකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ.

+++++++++

විදුලි කප්පාදුවෙන් විදුලි වැට අක්‍රීයයි – වනඅලින් ද ගම් වදියි

(25.02.2022 – 14:29 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුව හේතුවෙන් විදුලි වැට අක්‍රීය වීම නිසා නිදහසේ පැමිණෙන වනඅලින්, සිය වගාවන් විනාශ කරන බවට ගොවීන් මැසිවිලි නගනවා.

වසර ගණනාවක් පුරා වනඅලින් ගම්වැදීම නිසා පීඩාවට ලක්ව සිටින ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ යක්කල, උල්පත්පාර, උඩකල්ලාගම, පුබුදුගම්මානය ඇතුළු ගම්මානවල ජනතාව, සිය පෞද්ගලික මුදලින් විදුලි වැටක් ඉදි කර ගෙන ඇත්තේ ඒ සඳහා රජයෙන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්.

එහෙත් මේ දිනවල රට පුරා සිදු කෙරෙන විදුලිය කප්පාදුව නිසා ගලෙන්බිදුනුවැව ප්‍රදේශයට රාත්‍රී කාලයේ පැය 4 ට ආසන්න කාලයක් විදුලිය ඇණහිටින අතර, එම කාලය තුළ විදුලි අලි වැට ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඒ හේතුවෙන් වනඅලින් සිය වගාවන් පහසුවෙන් විනාශ කරන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ අතර පොළොන්නරුව – වැලිකන්ද – සින්හපුර ගමමානයට එල්ල වී ඇති වනඅලි තර්ජන හේතුවෙන් එම ගම්වැසියන් ද පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

එම ගම්මානයේ මේ වන විට ගොවි පවුල් 220 ක් පමණ ජීවත් වන අතර අක්කර 300 කට ආසන්න බිම් ප්‍රමාණයක් යල මහ දෙකන්නයේ වගා කරනු ලබනවා.

නමුත් එම වගාවන් වන අලි විනාශ කිරීම හේතුවෙන් ඔවුන් ද මේ වන විට ලක්ව සිටින්නේ දැඩි අපහසුතාවකටයි.

මේ අතර, ගත වූ 2021 වසරේ දී පමණක් අලි 375 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතරින් වනඅලි 185 දෙනෙකු මිය ගොස් ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++

හෙට (26) සහ අනිද්දා (27) රාත්‍රීයේ විදුලි කප්පාදුවක් නැහැ

(25.02.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සති අන්තයේ රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

හෙට (26) දිනයේ දිවා කාලයේ සිදුකරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ අනුව ඒ, බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

සෙසු කලාප සඳහා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැය දෙකහමාරක (2½) කාලයක් සඳහා පමණයි.

ඉරිදා දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදුකෙරෙන අතර, ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙකහමාරක (2½) කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදුකෙරෙනු ඇති.

විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබුණා.

පසුගිය දිනවල විදුලි කප්පාදුව නිසා ජනතාව අපහසුතාවට පත්වීම සැළකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, අද (25) දිනයේත් ඒ, බී, සී කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් සහ සෙසු කලාපවලට පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් විදුලිය කප්පාදුව ක්‍රියාත්මකයි.

මේ අතර, ඉන්ධන නොමැතිකමින් කොළඹ වරායේ බත්තල බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය තත්ත්වයේ පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

මෙවන් පසුබිමක් තුල විදුලිය බිඳ වැටීම නිසා ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මේ අතර, විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නෞකාව ණයවර ලිපි විවෘත කිරීමෙන් පසු ලබන සති අන්තයේ මෙරටට පැමිණෙනු ඇති බවයි අමාත්‍යාංශය පැවසුවේ.

අද (25) දිනයේ මෙරටට පැමිණීමට සැළසුම් කර තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,400 ක් අඩංගු නෞකාව දිවයිනට පැමිණ නැහැ.

ණයවර ලිපි අද (25) දිනයේ විවෘත කිරීමෙන් පසු අදාළ නෞකාව හෙට (26) දිවයිනට ගෙන්වා ගැනීමටයි බලශක්ති අමාත්‍යාංශය කටයුතු සංවිධාන කර ඇත්තේ.

ඒ අනුව සිංගප්පූරුවේ සිට පැමිණි අදාළ නෞකාව මේ වනවිට ජාත්‍යන්තර මුහුදේ පවතිනවා.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමටද බාධා එල්ල වී ඇති බවයි ජාතික ජල සම්පාදන සේවක සංගමය පවසන්නේ.

පවතින විදුලි කප්පාදුවත් සමග කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් ගබඩා කර ඇති ශීතාගාර පවත්වාගැනීම සඳහා විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට අඛණ්ඩව ඉන්ධන අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

එවන් පසුබිමක ශීතාගාරවලට අතිරේක විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබා දිමටයි සිදුව ඇත්තේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රට තුළ පවතින කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බවයි.

දෛනිකව සිදුකෙරෙන විදුලි කප්පාදුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩී පීඩාවකටයි.

+++++++++

IOC ඉන්ධන මිල යළි ඉහළට

(25.02.2022 – 23:39 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගවල ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 15 කින්.

එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 20 කින් ඉහළ නැංවීමටයි IOC සමාගම පියවර ගෙන ඇත්තේ.

නව මිල ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව, ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 ක්.

IOC සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල ​​රුපියල් 139 ක් වනු ඇති.

ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා ෴

***************************************

විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

(25.02.2022 – 22:37 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පූකුඩු කන්නා’ සමග සබඳතා පවත්වන පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 1.268 ක් සහ රුපියල් 7,93,350 ක මුදල් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනුනේ කෙරවලපිටිය ප්‍රදේශයේදීයි.

මෙම 45 හැවිරිදි සැකකරු කෙරවලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (26) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *