‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක්

‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක්

*********************************************

‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක්

(24.02.2022 – 21:57 +0530 – hirunews.lk/sinhala)

දඹදෙණිය රාජධානියට අයත් වඩුවාකෙටූගලේ පාදම සුනු විසුනු කරමින් පවත්වාගෙන ගිය ගල්කොරියට ලබා දී තිබු බලපත්‍රය ‘හිරු සී.අයි.ඒ.’ හරහා කළ අනාවරණයෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබෙනවා.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ කළා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (23) අප හෙළි කලේ මෙරට තුන්වැනි (3) රාජධානිය ලෙස බිහි වු දඹදෙනිය රාජධානියට අයත් පෞරාණික වටිනාකම් සහිත වඩුවා කෙටු ගල වනසමින් ගල් කොරියක් පවත්වා ගෙනයාමට අවසර ලබා දී තිබු අයුරුයි.

ජනප්‍රවාදය හා බැදුනු ඓතිහාසික වටිනාකමක් සහිත වඩුවා කෙටු ගලේ පාදමේ විශාල වපසරියක් මේ වන විටත් පෞද්ගලික සමාගමක් විසින් වනසන අයුරු අප දර්ශන සහිතව හෙළි කළා.

එපමණක් ද නොව නිදන් වස්තු සොයමින් අදාල පර්වතයේ ස්ථාන දෙකක (2) කැණීම් කර ඇති බව ද අප කළ ගවේෂණයේදී දක්නට ලැබුණා.

ඓතිහාසික දඹදෙනිය රාජධානියේ වඩුවාකෙටූගල මෙරට ඉතිහාසයෙන් පමණක් නොව අනාගත පරපුරෙන් ද අතුගා දැමීම සඳහා සිදුකරන මෙම මහා විනාශය ගැන අප කළ අනාවරණයත් සමග පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය ඒ සඳහා යොමුවුණා.

මේ අතර, ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ’ භික්ෂුන්වහන්සේ ඇතුළු සාමාජිකයන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවීමට එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එහි නිලධාරිනියක අධ්‍යක්ෂ ජනරාල්වරයා නොමැති බව පැවසීමත් සමග භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස සත්‍යග්‍රහක් සඳහා දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමේ දොරටුව අසලට රැස්වුණා.

පැයකට (1) පමණ පසු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ස්ථානයට පැමිණියා.

විදුලි කප්පාදුව හේතුවෙන් ඊයේ (23) දිනයේ හිරු ප්‍රවෘත්ති නැරඹීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කිරීම නිසා ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ජංගම දුරකථනයෙන් අප පෙන්වීමට කටයුතු කළා.

මෙම පැහැදිලි කිරීම්වලින් පසු පැමිණ සිටි භික්ෂුන්වහන්සේ සමග සාකච්ඡාවක් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලයේදී පැවැත්වුවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද පරීක්ෂණ පවත්වා අවසන් කරන තෙක් වඩුවාකෙටූගල වනසන ගල් කොරියේ කැණීම් තාවකාලිකව නවතා දැමීමට ලිපියක් නිකුත් කෙරුණා.

++++++++

***************************************

ඉන්දීය ධීවරයන් 22 ක් නාවික හමුදා අත්අඩංගුවට

(24.02.2022 – 22:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතුවල නිරතවී සිටි ඉන්දීය ධීවරයන් 22 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) රාත්‍රී සිදු කළ මෙහෙයුමකදී මෙම ධීවරයන් සමග ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් (2) ද තම භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන තර්ජන මැඩපැවැත්වීමේ අරමුණින්, නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් විසින් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදීයි නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා දෙකක් (02) සමඟ එම යාත්‍රාවන්හි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 22 ක් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔවුන් විසින් නීති විරෝධී ලෙස අල්ලනු ලැබූ මත්ස්‍යයින් තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයටගත් මෙම ටෝලර් යාත්‍රා 02 ද සමඟ 2022 පෙබරවාරි මාසයේ ගත වූ කාල සීමාව තුලදී පමණක්, මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 8 ක් සමඟ ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

15 හැවිරිදි සිසුවා විසින් 14 හැවිරිදි පාසල් මිතුරිය ගැබිනියක වෙයි

(24.02.2022 – 15:25 +0530 – sinhala.adaderana.lk)

14 හැවිරිදි දැරියක් හත් (7) මසක ගැබිනියක් කළ 15 හැවිරිදි පාසල් සිසුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට පත්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නවගමුව පොලීසිය සඳහන් කළේ දැරිය රෝහල්ගත කර ඇති බවය.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් විසින් මිලදීගෙන අදාළ සිසුවා වෙත ලබාදුන් ජංගම දුරකථනයෙන් ඔහු අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන නැරඹීමට හුරුවී මේ සඳහා පෙළඹී ඇති බවය.

දැරිය විසින් තමාට නිතර උදරාබාධයක් ඇතිවන බවට ඇයගේ මවට පැවසීමෙන් අනතුරුව ඇයව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙකු වෙත පෙන්වා තිබේ.

එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂාවේදී දැරිය ගැබිනියක් බවට අනාවරණය වී ඇත.

අදාළ දැරිය සහ සිසුවා එකම පාසලක 10 වන වසරේ සහ 11 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර දෙදෙනාම (2) නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ සැකකාර සිසුවාගේ දෙමව්පියන් විසින් මීට මාස කිහිපයකට පෙර රුපියල් 27,000 ක මුදලකට මිලදී ගත් ජංගම දුරකථනයක් එම දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාදී ඇති බවය.

සැකකාර සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම දුරකථනයෙන් අන්තර්ජාලය වෙත පිවිස අසභ්‍ය දර්ශන නැරඹූ බවත් අදාළ සිසුවිය සමග එලෙස හැසිරුණු බවය.

දැරියගේ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක තමා එම නිවසට පැමිණි බවද සැකකාර සිසුවා පොලීසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනාටම (2) ඔවුන් සිදුකළ ක්‍රියාවේ බරපතළකම පිළිබඳව අවබෝධයක් නොමැති බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී සහ විමර්ශනවලදී අනාවරණය වූ බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරිනියක පැවසුවාය.

විමර්ශන සිදුකළ පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කළේ දැරිය සහ සිසුවා එලෙස හැසිරී තිබුණ ද ඔවුන් දෙදෙනා (2) අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බවට ද අනාවරණය නොවූ බවය.

රෝහල් ගතකළ දැරියගේ කුස තුල සිටින දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සිසුවා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

***************************************

අදත් (24) පැය 05 කට ආසන්න විදුලි කප්පාදුවක් – තෙල් දෙන්න සූදානම් සංස්ථාව

(24.02.2022 – 09:11 +0530 – hirunews.lk/sinhala)

අදත් (24) පැය 5 කට ආසන්න කාලයක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා.

මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නේ ඒ අනුව පෙරවරු 08:30 සිට රාත්‍රී 10:30 දක්වා දෙවරක් (2) විදුලිය කප්පාදු කෙරෙන බවයි.

කලාප 3 කට පැය 4 මිනිත්තු 40 ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4 යි මිනිත්තු 30 ක කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර, විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා ප්‍රකාශ කළා.

එමෙන්ම, ඇය සඳහන් කළේ තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,400 ක් රැගත් නෞකාවක් හෙට (25) දිවයිනට ළඟා වන බවයි ෴

+++++++++++++

විදුලි කප්පාදුවෙන් ඔන්ලයින් අධ්‍යාපනයටත් බාධා

(24.02.2022 – 10:05 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

ලංකා ගුරු සංගමය සඳහන් කළේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා භාවිතයට ගැනෙන තාක්ෂණික උපකරණ ක්‍රියාකරවීම සඳහා විදුලිය අවශ්‍යවීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවයි.

එමෙන්ම එක් එක් ප්‍රදේශවලට එකිනෙකට වෙනස් වේලාවන් වලදී විදුලිය කප්පාදු කිරීමත් සමග දුරස්ථ ප්‍රදේශ වල සිටින ගුරුවරුන්ට සහ සිසුන්ට එකම වේලාවකදී ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීමට බාධා ඇතිව තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී සිටින සිසුන්ද මෙම විදුලි කප්පාදුව සමග දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි ලංකා ගුරු සංගමය ඊයේ (23) සඳහන් කළේ.

+++++++++++++

ඩීසල් බෙදා හැරීම ඇරඹේ

(24.02.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කළ ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 ක් දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු ඊයේ (23) පස්වරුවේ සිට ආරම්භ කළ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගියදා මෙරටට රැගෙන එන ලැබූ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් තොග ද මේ වනවිට බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

මෙරට දෛනික ඩීසල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 5000 ක් වන අතර පෙට්‍රල් අවශ්‍යතාව ද මෙට්‍රික් ටොන් 4000 ක්.

මේ අතර අද (24) දිනයේත් දිවයින පුරා ඉන්ධනහල්වල ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඩීසල් නොමැතිවීම හේතුවෙන් ඊයේ (23) දිනයේ දී බස් ධාවනය වූයේ සියයට 20 ක් පමණක් බවයි.

අදත් (24) පැය 5 කට ආසන්න කාලයක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුව ආරම්භ කෙරුණා.

මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නේ පෙරවරු 08:30 සිට රාත්‍රී 10:30 දක්වා දෙවරක් විදුලිය කප්පාදුව සිදුකරන බවයි.

කලාප 3 කට පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4 යි මිනිත්තු 30 ක කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටුවනු ඇති.

+++++++++++++

හෙට (25) ප්‍රදේශ කිහිපයකට පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක්

(24.02.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

හෙට (25) ඒ, බී, සී කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අතර, ඉන්ධන සැපයීමේදී සෞඛ්‍ය සේවයට ද ප්‍රමුඛතාව ලබා දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලීමක් කරනවා.

විදුලි කප්පාදු සිදුකෙරෙන අවස්ථාවලදී විදුලි ජනන යන්ත්‍ර හරහා රෝහල් වල කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සිදුකළ ද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන අඛන්ඩව සපයා ගැනීම අභියෝගයක් වී ඇති බවයි ඔහු පැවසුවේ.

අදත් (24) පැය 5 කට ආසන්න කාලයක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුව ආරම්භ කෙරුණ අතර, එය පෙරවරු 08:30 ත් රාත්‍රී 10:30 ත් අතර, අදියර දෙකක් (2) යටතේ සිදුකරනවා.

කලාප 3 කට පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4 යි මිනිත්තු 30 ක කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටුවනු ඇති. මේ

අතර, විදුලි කප්පාදුවත් සමග සංචාරක ක්ෂේත්‍රයට ද මුහුණදීමට සිදුව ඇති අර්බුදකාරි තත්ත්වයක්.

+++++++++++++

පෞද්ගලික බස් අඩුවේ – ලංගම දිගටම දුවයි

(24.02.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

රට තුල දැනට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවාහන කටයුතු වලට ද බාධා එල්ල වී තිබෙනවා.

මගී බස් රථ සේවාව, භාණ්ඩ ප්‍රවාහනය ඇතුලු තවත් ක්ෂේත්‍ර කිහිපයකට එම ගැටලු මතුව ඇති බවටයි වාර්තා වන්නේ.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් ද ප්‍රකාශ කළේ දැනට මගී බස් රථ සියයට 50 කට වැඩි ප්‍රමාණයක් ධාවන කටයුතු වලින් ඉවත් වී ඇති බවයි.

හෙට සිට බස් ධාවනය සම්පූර්ණයෙන් අඩාල වීමේ අවදානමක් පවතින බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

කෙසේ වෙතත් ලංගා ගමනාගමන මණ්ඩලයේ සභාපති කීංස්ලි රණවක මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ලංකා ගමනා ගමන මණ්ඩලය සතු සියලුම ඩිපෝ වල ඉන්ධන පිරවුම්හල්වල අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ගබඩා කර ඇති බවයි.

එම නිසා ලංගම බස් රථ නිසි පරිදි ධාවනය වන බව ඔහු සඳහන් කළා.

ඉන්ධන අර්බුදයෙන්, නුවර එළියේ එළවලු ප්‍රවාහනයටද බාධා එල්ල වී ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මේ අතර, අදත් (24) දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

***************************************

25-02-2022

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් 329 දෙනෙකු සුවය ලබයි

(24.02.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 329 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,07,912 ක් ලෙසටයි.

තවත් 16,580 ක් රෝහල්වල හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,40,578 ක්.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 16,086 ක් ද වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++

තවත් කොරෝනා මරණ 30 ක්

(24.02.2022 – 18:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 30 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,116 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 9 ක් සහ පිරිමින් 21 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) මරණයක් වාර්තා වී ඇති අතර ඒ පිරිමියෙක්.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 7 ක් වාර්තාවී ඇති අතර ඒ එක් කාන්තාවක් සහ පිරිමින් 6 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 8 ක් සහ පිරිමි 14 ක් වශයෙන් මරණ 22 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර අද (24) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 329 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,07,912 ක් ලෙසටයි.

තවත් 16,580 ක් රෝහල්වල හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,40,578 ක්.

+++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1208 ක්

(24.02.2022 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1208 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,41,786 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 17,758 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අද (24) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 329 දෙනා ද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,07,912 ක් ලෙසටයි.

මෙරටින් කොරෝනා මරණ 16,116 ක් වාර්තාවී තිබෙනවා. ඒ අද (24) වාර්තා කළ මරණ 30 ත් සමගින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *