ජනාධිපති ගෝඨාභය රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

*********************************************

ජනාධිපති ගෝඨාභය රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(24.02.2022 – 11:23 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන දුම්රිය මැදිරි අංගන පරිශ්‍රයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (24) මීට ටික වේලාවකට පෙර එහි හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.

ඒ මේ දින දිනවල මතුවී ඇති ඉන්දීය දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි සම්බන්ධ කතාබහක් කරලියට පැමිණීමත් සමගයි.

රත්මලාන දුම්රිය මැදිරි අංගන පරිශ්‍රයේ ඉන්දියාවෙන් ගෙන එන ලද දුම්රිය මැදිරි අඩුපාඩු සකස් කරමින් නවීකරණය කරනු ලබන අතර ඒ සම්බන්ධ වාර්තා පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය හරහා එළි දැක්වුණා.

මෙම දුම්රිය මැදිරි සහ දුම්රිය එන්ජින් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් නිර්මාණය වූ අතර එහිදී එල්ල කෙරුණු ප්‍රමුඛ චෝදනාව වූයේ එම දුම්රිය මැදිරි සහ දුම්රිය එන්ජින් මෙරට මාර්ග පද්ධතියට නිසි ලෙස ගැලපෙන ඒවා නොවන බවයි.

කෙසේ වෙතත් වරින් වර මතු වූ මෙම චෝදනා හමුවේ එම දුම්රිය මැදිරි වල සුළු වෙනස්කම් කිහිපයක් සිදු කර ඒවා භාවිතය සඳහා යොදා යොදා ගැනීමට හැකි බවයි දුම්රිය බලධාරීන් පවසා සිටියේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුම්රිය මැදිරි නවීකරණය වන රත්මලාන දුම්රිය අංගනයේ හදිසි චාරිකාවක නිරත වන්නේ එවන් පසුබිමක් යටතේ යි ෴

***************************************

දුම්රිය සේවක ගැටලු විසඳන්න කමිටුවක්

(24.02.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා සේවක ගැටලු විමසා බැලීමෙන් පසුවයි මෙම තීරණය ගනු ලැබුවේ.

සේවක බඳවා ගැනීම, උසස්වීම් හා සම්පත් කළමනාකරණය ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් (2) ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.

දුම්රිය එන්ජින්, මැදිරි, ගැල් ඇතුළු යන්ත්‍රසූත්‍ර අලුත්වැඩියා හා නඩත්තු කිරීමෙන් විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම මෙහෙවර කරගනිමින් 1933 වර්ෂයේ දී යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය හා කර්මාන්තශාලා පරිශ්‍රය ආරම්භ කර තිබෙනවා.

Locomotive Group, Carriage & Wagon Group, Production Group, Electrical Group ලෙස අංශ 04 කින් සමන්විත කර්මාන්තශාලාව අක්කර 32 කින් යුත් භූමියක පිහිටා තිබෙනවා.

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් ඉංජිනේරු කාර්ය මණ්ඩලයක්, 2,301 දෙනෙකුගෙන් යුත් තාක්ෂණික හා තාක්ෂණික නොවන කාර්ය මණ්ඩලයක් රත්මලාන කර්මාන්තශාලා 30 ක සහ කොළඹ කර්මාන්තශාලා 06 ක සේවයේ යෙදෙනවා.

ජපානය, දකුණු කොරියාව, චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවලින් ආනයනය කළ දුම්රිය එන්ජින් 142 ක්, බලවේග කට්ටල 129 ක් හා මැදිරි 1,110 ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුයි.

වසරක දී දුම්රිය මැදිරි 110 ක් පමණ රත්මලාන කර්මාන්තශාලාවට අලුත්වැඩියාව සඳහා යොමු කෙරෙන අතර පවතින සේවක ගැටලු හේතුවෙන් අලුත්වැඩියා කළ හැක්කේ මැදිරි 70 ක් පමණ බවත් පසුගිය දෙවසර (2) තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් එම සංඛ්‍යාව ද 50% කින් අඩු වූ බවයි සේවකයන් පවසන්නේ.

පුහුණු සේවකයින් බඳවා ගැනීමේදී පවතින ගැටලු ඉවත් කර ශ්‍රී ලංකා – ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණුව ලැබූ පිරිස් බඳවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

දුම්රිය අලුත්වැඩියාවේ දී හඳුනාගත් අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන ඉංජිනේරු කීර්ති හේවාවිතාන මහතාට උපදෙස් දී තිබෙනවා.

කර්මාන්තශාලා පරිශ්‍රය තුළ භාවිතයට නොගෙන ගොඩ ගසා තිබූ ටොන් 6,700 ක් පමණ වන අබලි ද්‍රව්‍ය දිරා යාමට ලක් වෙමින් තිබූ අතර ඒවා වහාම වෙන්දේසි කර ඉන් ලැබෙන මිලියන 600 ක පමණ ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සේවක අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙසටයි ඔහු උපදෙස් දී ඇත්තේ.

කර්මාන්තශාලාවේ සේවයේ නියුතු පිරිසෙන් 80% ක් පමණ කම්කරු සේවයට අයත් වන අතර ඉන් බොහෝ දෙනෙක් කම්කරුවෙකු ලෙස සේවයට පැමිණ එම ශ්‍රේණියේම විශ්‍රාම යන බව සේවකයන් ජනාධිපතිවරයා සමග පවසා තිබෙනවා.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකර සේවා පළපුරුද්ද හා පුහුණු වීම් සැලකිල්ලට ගෙන කම්කරුවන් ලෙස සේවයට එක්වන පිරිසට ද උසස්වීම් පටිපාටියක් සැකසීමේ අවශ්‍යතාවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

කර්මාන්තශාලා පරිශ්‍රය තුළ වූ බොහෝ අංශ වෙත ගිය ජනාධිපතිතුමා සේවකයන් සමග කතාබහ කරමින් ඔවුන් දිරිගන්වා තිබෙනවා.

වර්තමානයේ සේවයේ නිරත පිරිසට කර්මාන්තශාලාව තුළදී හෝ පිටත දී පුහුණුවීම් ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

සේවකයින්ට අපහසුවකින් තොරව සේවා කටයුතුවල නිරත වීමට කර්මාන්තශාලා පරිශ්‍රය තුළ අවශ්‍ය පහසුකම් සංවර්ධනය කළ යුතුව තිබෙනවා.

එහිදී නගර සංවර්ධන ක්‍රමවේද වෙත අවධානය යොමු කර ආකර්ෂණීය සේවා පරිසරයක් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පරිගණක තාක්ෂණය යොදාගැනීමෙන් වට්ටෝරු භාණ්ඩ ලේඛනගත කිරීම හා භාණ්ඩ ගබඩා කිරීම විධිමත් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා.

***************************************

සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

(24.02.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඇතුළු රට පුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන මෙන්ම, කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහය ව්‍යාපෘති සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති ප්‍රගති සමාලෝචන හමුවේදීයි.

2024 වනවිට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000 ක් සාදා නිම කිරීමට අපේක්ෂා කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේ ෴

***************************************

දෙව්මිණී සහ වස්තු මුදා හරින්නැයි අධිකරණයෙන් නියෝග

(24.02.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැති බව පවසමින් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි දෙව්මිණී සහ වස්තු නැමැති අලි පැටවුන් දෙදෙනා, හිමිකරුවන් වෙත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.

ඒ ඊට අදාළ ප්‍රතිශෝධන පෙත්සම්වල තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් ප්‍රකාශයට පත් කල අවස්ථාවේදීයි.

බලපත්‍ර නොමැති බව පවසමින් අදාළ අලි පැටවුන් දෙදෙනා (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබීමටයි අධිකරණය නියෝග කර තිබුණේ.

ඉන් අනතුරුව අලි පැටවුන් දෙදෙනා (2) මුදා හරින ලෙස හිමිකරුවන් විසින් කල ඉල්ලීමද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේක කළා.

කෙසේවෙතත් එම නියෝගය අවලංගු කර අදාළ අලි පැටවුන් දෙදෙනා (2) මුදා හරින ලෙසයි කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරමින් හිමිකරුවන් ඉල්ලා සිටියේ.

අදාළ පෙත්සම සලකා බලමින් විනිසුරුවරයා සඳහන් කළේ අලි පැටවුන් දෙදෙනා (2) ගේ හිමිකරු සම්බන්ධයෙන් අපරාධ චෝදනා ඉදිරිපත් වී නොමැති බැවින් අලි පැටවුන් දෙදෙනා (2) මුදාහැරීමට බාධාවක් නොමැති බවයි.

***************************************

හික්කඩුව මැර කල්ලියේ 4 ක් අල්ලයි

(24.02.2022 – 18:18 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව නාරිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකට අයුතු ලෙස ඇතුලුවී දේපළ හානි කළ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අපරාධවලට ද සම්බන්ධ අය බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 20 වනදා අවන්හලක පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් අතරතුර පිරිසක් පැමිණ අයුතු ලෙස ඇතුලුවී එහි සිටි විදේශීය ජාතිකයන් පළවා හැර අවන්හලේ දේපළවලට කඩු සහ පොලුවලින් පහරදී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ දෙකකට (2) ද අලාභ හානි කර පළාගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදීයි සැකකරුවන් 4 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිදු කළ විමර්ශනවලදී පසුගිය 20, 21 සහ 22 දිනවල ගෝනපීනුවල සහ හික්කඩුව ප්‍රදේශවලදී සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනුනා.

එමෙන්ම 21 වනදා මීටියාගොඩ පොලිසිය විසින් ද මෙම සිද්ධියට අදාළව සැකකරුවෙකු (1) ජීව අත්බෝම්බයක් (1) සහ කඩු දෙකක් (2) සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 31, 37 සහ 45 වයස්වල පසුවන සැකකරුවන් ගෝනපීනුවල දොඩන්දූව සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

එක් (1) සැකකරුවෙකු මීටියාගොඩ ප්‍රදේශයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් (1) සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේ සහ හික්කඩුවේ සිදු කළ මනුෂ්‍ය ඝාතන 2 කට අදාළව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේත් විභාග වෙමින් පවතින නඩුවල ප්‍රධාන සැකකරු වනවා.

තවත් අයෙකු මීටියාගොඩ පොලිස් වසමේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමට අදාළව බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක ප්‍රධාන සැකකරු ද වන බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සැකකරුවන්ගෙන් තුන් දෙනෙකු (3) හික්කඩුව පොලිසිය මගින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අනෙක් සැකකරු (1) මීටියාගොඩ පොලිසිය විසින් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම අපරාධ සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන සංචාරක කර්මාන්තයත් සමග මෙතෙක් වසා දමා තිබුණු සංචාරක අවන්හල්, හෝටල්, අළු දූවිලි පිස දමා පැමිණෙන විදේශීය සංචාරකයින් හට සේවා සැපයීම සඳහා නැවතත් පෙළ ගැසුණා.

හික්කඩු වෙරළ තීරයේ ඉදිකර ඇති කුඩා ප්‍රමාණයේ සංචාරක අවන්හල් ද විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන්ගේ සියළු වෙර වීරිය යොදා කටයුතු කරමින් සිටිනා සමයක මීට දින කිහිපයකට පෙර සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නැවතත් ලෝකයට මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ ගෙන යන්නේ එතරම් හොඳ පණිවිඩයක් නොවෙයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සැරිසරන, විදේශිකයකු විසින් සිය ජංගම දුරකතනයෙන් රූගත කරන ලද වීඩියෝවෙන් පෙන්නුම් කෙරුණේ මෙරට අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක සිදුවන සිදුවීමක්.

හික්කඩු වෙරළ තීරයේ සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රිය අවන්හලක සිදුකෙරෙන පහරදීමක් මෙම වීඩියෝව ඔස්සේ දර්ශනය වනවා.

මෙම භීෂණකාරී තත්ත්වය හේතුවෙන් එම අවන්හලේ ඒ මොහොතේ රැඳී සිටිනා විදෙස් සංචාරකයින් හිස් ලූ ලූ අත දිව යන ආකාරයයත් මෙම වීඩියෝවේ පැහැදිළිව දකින්නට පුළුවන්.

සංචාරකයින් දොහොත් මුදුන් තබා පිළිගත යුතු සමයක රෝබිය පසෙකලා මෙහි පැමිණෙන සංචාරකයින්ට සැලකිය යුත්තේ මෙසේ ද ?

මෙවැනි සිදුවීම් හරහා ඔවුන්ගේ සිත් තුළ ඇති කරනා තැති ගැන්ම සහ ඒ හරහා ලොවට ගෙන යන පණිවිඩය කිසිසේත් සුබදායක නැහැ.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයින් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ වෙනුවෙන් නීතිය හරියාකාරව ක්‍රියාත්මක වීම යම් තරමකට සුබදායී තත්ත්වයක්.

නමුත් එම සිදුවීමට මුහුණ දුන් සංචාරකයින් ලොවට ගෙනි යන පණිවිඩය හරහා අප සංචාරක කර්මාන්තයට ඇතිවන කළු පැල්ලම ඉන් මකා දැමිය හැකි ද ?

මේ අතර 2022 වසරේ මේ දක්වා දිවයිනට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,50,000 ඉක්මවා ගිය බව වාර්තා වනවා.

මෙලෙස පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියානු කලාපයේ රටවලින්.

මේ වසරේ ජනවාරි මාසය තුළදී මෙරටට විදේශීය සංචාරකයින් 82,327 ක් පැමිණ ඇති අතර 2021 වසරේ කොවිඩ්-19 වෛරස වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් 1,682 ට සාපේක්ෂව මෙය ඉතා ඉහළ අගයක්.

රට තුළට විදෙස් සංචාරකයින් බහුල වශයෙන් පැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රට තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලයි.

මේ සමගම ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් යන පණිවුඩය ලොවපුරා සංචාරකයින් හට ලැබුණා.

එම තත්වයක් සමගින් සංචාරක කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශයින් බරපතල ඩොලර් අර්බුදයටත් යම්කිසි අස්වැසිල්ලක් සලසමින්.

මෙලෙස පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ අතිශය ප්‍රියමනාප ගමනාන්තයන් වන්නේ මෙරට දැකුම්කළු වෙරළ තීරයන් ආශ්‍රිත සංචාරක නිකේතනයි.

ඒ අතරිනුත් හික්කඩුව සංචාරක පාරාදීසය මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙක් ම අමතක නොකරන ගමනාන්තයක්.

++++++

***************************************

අධිවේගය නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම්

(24.02.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුවට එරෙහිව විදුලි පන්දම් දල්වමින් සමගි ජන බලවේගය සිදුකළ විරෝධතාවක් හේතුවෙන් අද (24) පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීමට කථානායකවරයා කටයුතු කළා.

‘අඳුරෙන් එළියට’ යනුවෙන් සඳහන් කළ ස්ටිකරයක් සිය කමිසයේ පැළඳ සමගි ජනබලවේගය සභා ගර්භයේ විරෝධතාවයේ නිරත වුණා.

අනතුරුව, සභාවේ කටයුතු ආරම්භ වූ අතර, එහිදී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක සංශෝධන පනත් කෙටුම්පත සඳහා වූ විවාදය අද (24) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී දෙමළ පක්ෂ අද (24) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් ලබාදීම සම්බන්ධයෙන් ද උණුසුම් අදහස් පළ වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *