‘හිරු CIA’ හෙළිදරව්වෙන් දඹදෙණිය පෞරාණික භූමි විනාශය නවතියි

‘හිරු CIA’ හෙළිදරව්වෙන් දඹදෙණිය පෞරාණික භූමි විනාශය නවතියි

*********************************************

‘හිරු CIA’ හෙළිදරව්වෙන් දඹදෙණිය පෞරාණික භූමි විනාශය නවතියි

(24.02.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ ඔස්සේ සිදුකළ අනාවරණයෙන් පසු දඹදෙණිය – වඩුවාකෙටූගලේ කැණීම් බලපත්‍රය වහාම තහනම් කිරීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව තමන් විසින් මෙම බලපත්‍රය තාවකාලිකව තහනම් කරන ලෙසට ප්‍රාදේශීය ඉංජිනේරුවරයාට දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

දඹදෙණිය පෞරාණික උරුමයක් වන වඩුවාකෙටූගල කැඩීම සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ ඔස්සේ මීට පෙර අනාවරණ කළා.

මෙරට තුන්වන (3) රාජධානිය වන ඓතිහාසික දඹදෙණිය රාජධානියේ පෞරාණික උරුමයක් වන වඩුවාකෙටුගල මේ වනවිට මහා පරිමාණ ගල්කොරියක් හේතුවෙන් වැනසෙමින් පවතින බව අප ඊයේ (23) ‘හිරු සී.අයි.ඒ.’ තුළින් අනාවරණ කළා.

එහිදී අප පෙන්වා දුන්නේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහයෝගයෙන් එම විනාශය සිදුවන බවයි.

ඓතිහාසික අනුරාධපුර, පොලොන්නරුව රාජධානි බිඳවැටීමෙන් පසු මෙරට තුන්වන (3) රාජධානිය ලෙස ගොඩනැගෙන්නේ දඹදෙනිය රාජධානියයි.

ඓතිහාසික මුලාශ අනුව තුන්වන (3) විජයබාහු රජතුමාගේ මාලිගාව ඉදිව තිබුණේ මාළිගාගල නම් මෙම ස්ථානය කේන්ද්‍රෙකාට ගෙනයි.

මාළිගාගල සිට බැලූ කළ ඈතින් දිස්වන මෙම ඓතිහාසික ගල් පර්වතය පුරාවෘත්ත වලට අනුව හැදින්වෙන්නේ වඩුවාකෙටුගල ලෙසයි.

එහි දඹදෙණිය රාජධානි සමයේ සිර කඳවුරක් පැවති බවටත් ඊට වරදකරුවන් ගෙන ඒම සදහා මාළිගාගලේ සිට උමං මාර්ගයක් ද තිබූ බව ද ජනප්‍රවාදයේ සඳහන්.

එහි සිරකරුවෙකු වු වඩුවෙකු තමා විසින්ම ගල් පඩිපෙලක් ඉදිකර ගෙන මෙම පර්වතයෙන් පැන යාම හේතුවෙන් මෙම ගල වඩුවා කෙටු ගල ලෙස නම් වු බවයි පැරැන්නන්ගේ මතය වී ඇත්තේ.

එවන් උරුමයකට හිමිකම් කියන මෙම ඓතිහාසික ගල් පර්වතයේ පිටුපසින් ඇති පාදම මේ වනවිට ගල් කොරියක් හේතුවෙන් විනාශ වෙමින් පවතිනවා.

ගල් කොරිය පවත්වාගෙන යන පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් මේ වනවිටත් සැලකිය යුතු අක්කර ප්‍රමාණයක් වනසා අවසන්.

ඓතිහාසික දඹදෙණිය රාජධානියේ වඩුවා කෙටු ගල මෙරට ඉතිහාසයෙන් පමණක් නොව අනාගත පරපුරෙන් ද අතුරුදන් කිරීම සඳහා සිදු කරන මෙම මහා විනාශය සොයා ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ’ සාමාජිකයන් ද එක් වුණා.

අප මෙම විනාශය පිළිබදව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා මෙහි භාරකාරීත්වය දරණ දඹදෙණිය පුරා විද්‍යා කාර්යාලයෙන් සිදුකළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ මෙම ගල් කොරිය පවත්වාගෙන යාම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය හිමි වී ඇති බවයි.

‘හිරු සී.අයි.ඒ.’ මෙම අනාවරණයෙන් පසුව හෝ ඓතිහාසික දඹදෙණිය රාජධානියේ වඩුවාකෙටුගලට සිදුවන මෙම මහා විනාශය නවතා දැමීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

***************************************

රජයේ වෛද්‍ය නිලධාරීන් අද (24) ජනපති හමුවෙයි

(24.02.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (24) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදී පස්වරු 03:30 ටයි.

මෙහිදී ජාතික වැටුප් ප්‍රතිපත්තිය මෙන්ම වෛද්‍යවරුන්ගේ දෙවන භාෂා ප්‍රවීණතා පුහුණු පාඨමාලාව අඩපණවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

++++++

***************************************

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් ගැසට් නිවේදනයක්

(24.02.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

මීට අමතරව අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුවද සංශෝධනය කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනාධිපති කාර්යාලයේ ආයතනික හා නෛතික රාමුව යටතට අලුතින් එක්කර තිබෙනවා.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන් කිහිපයක් ද සංශෝධනය කර තිබුණා ෴

***************************************

ආණ්ඩුවේ හවුල් පක්ෂ මෛත්‍රී හමුවෙයි

(24.02.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් අතර හමුවක් ඊයේ (23) රාත්‍රියේ සිදු වුණා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදීයි.

එම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද එක්ව සිටි අතර, ඊට සහභාගි වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.

මෙම සාකච්ඡාවේ දී පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වුණේ.

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලිය ලබන මස 02 වනදා ආණ්ඩුවට භාරදීමට නියමිතයි.

පවතින ඩොලර් අර්බුදය, විදුලි සහ ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් මෙන්ම ඉහළ යන ජීවන වියදම මගහරවා ගැනීමට අදාළ කරුණු ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙම යෝජනාවලියට ඇතුළත් බවයි වාර්තා වන්නේ ෴

***************************************

බැඳුම්කර නිකුතුවක් හෙට (25)

(24.02.2022 – 10:31 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 45,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් හෙට (25) සිදුකෙරෙන බව මහබැංකුව ප්‍රකාශ කළා.

එහිදී කාණ්ඩ 02 ක් යටතේ බැඳුම්කර වෙන්දේසි කිරීමට නියමිතයි.

2025 වසරේ අගෝස්තු 01 දිනට කල් පිරෙන ලෙස වෙන්දේසි කෙරෙන බැඳුම්කරවල වටිනාකම රුපියල් මිලියන 15,000 ක් වන අතර, තවත් රුපියල් මිලියන 30,000 ක බැඳුම්කර වෙන්දේසි කෙරෙන්නේ 2033 වසරේ ජනවාරි 15 වැනිදා කල් පිරෙන ලෙසයි ෴

***************************************

ඉන්දීය ධීවරයින් විසිදෙදෙනෙකු (20) අත්අඩංගුවට

(24.02.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 22 නෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී අද (24) අලුයම මොවුන් සමඟ ධීවර බෝට්ටු තුනක් (3) ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ බෝට්ටු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කන්කසන්තුරේ ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි ෴

***************************************

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හදිසි ආගමනය

(24.02.2022 – 12:16 +0530 – hirunews.lk/sinhala)

උතුර – නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවක නිරත වනවා.

ඒ, එම පළාත්වල දෙමළ ජනතාවගේ ඉඩම් ගැටලුවක් මුල් කර ගනිමින්.

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් ද එම විරෝධතාවට එක්ව සිටියා.

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර අවස්ථා කිහිපයක දී රජයට ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන්න ද ඊට ප්‍රතිචාරයක් නොමැති හෙයින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි බවයි.

පුවරු අතැතිව දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ යෙදී සිටියා.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට පෙර දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (24) දිනයට යොදා ගත් වැඩසටහන් කිහිපයක් සඳහා පිටත්ව ගොස් ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

උතුර – නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබා දී තිබුණත් ඔවුන් එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ බවටයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

එමෙන්ම, ජනාධිපතිවරයා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබාදීමට සැලසුම්සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව ද එහි සඳහන් ෴

***************************************

සජබෙ පාර්ලිමේන්තුවේ විදුලි පන්දම් දල්වයි – සභාවත් උණුසුම්

(24.02.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

අඳුරෙන් එළියට යනුවෙන් සදහන් කළ ස්ටිකරයක් පැළඳ විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ සිදු කළ විරෝධයක් හේතුවෙන් අද (24) පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තා.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙන ඒම හේතුවෙන් සභාවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

පාර්ලිමේන්තුවේ අනුමත ලැයිස්තුවෙන් තොර අනාරක්ෂිත උපකරණයක් පාර්ලිමේන්තුවට ගෙන ආ බවට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සඳහන් කරමින් ඊට විරෝධය පළ කළා.

මේ අතර, සේවක අර්ථසාධක අරමුදල මත අධිභාර බද්ද පැනවීමට ඉදිරිපත්ව තිබූ යෝජනාව සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වුණා ෴

***************************************

සනත් නිශාන්ත ගෙන් නිමල් ලන්සාට පිළිතුරු

(24.02.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

තමන්ට චෝදනා එල්ල වූ ඔක්සිජන් සිද්ධිය නිර්මාණය කළේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව එල්ල කළේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) සිදුකළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

***************************************

කහවත්තෙන් හමු වූ මැණික් පොකුර ගිනස් වාර්තාවක් තබයි

(24.02.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

නිල් ආරනූල් කොරන්ඩම් ස්ඵටික වර්ගයට අයත්, රත්නපුර – කහවත්ත ප්‍රදේශයෙන් ලොව මෙතෙක් හමුවූ විශාලතම ස්වභාවික මැණික් පොකුර ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිවේදනය කළා.

ඊට අදාළ සහතික පත්‍රය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වෙත ලබා දී තිබෙනවා.

බරින් කිලෝග්‍රෑම් 510 ක ප්‍රමාණයකින් යුත් මෙම මැණික් පොකුර ස්විට්සර්ලන්තයේ ගබ්ලින් ජෙම් ලැබ් නැමති විද්‍යාගාරය තුළ පර්යේෂණයට බදුන් කෙරුණු අතර එහි තක්සේරු වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන දෙදහසක් (2000) පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

***************************************

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වේ

(24.02.2022 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් නිසා, ඔහු කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි පසුවූයේ.

80 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ කුමරි, අරලිය, සරසි, සත්සර, රැජිණ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා මෙන්ම ‘ලක්බිම’ සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයා ද ඔහු යි.

එමෙන්ම, ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කලක් ඔහු කටයුතු කළා.

වකුගඩු ආබාධයකින් දීර්ඝ කාලයක සිට පීඩා විඳි ඔහු මියයනවිට 71 හැවිරිදි වියේ පසුවුණා.

+++++

මේ අතර, ඊයේ (23) අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා සිදුකෙරෙනවා.

ඔහුගේ දේහය අද (24) පස්වරුවේ තලංගම පිහිටි ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතයි ෴

12-01-2020

***************************************

එළියක් නොවැටුණු ගම්මානය

(24.02.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුව හේතුවෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත්ව ඇති පසුබිමක විදුලිය නොමැති ගම්මාන පිළිබඳව ද තවමත් වාර්තා වනවා.

මේ තවත් එවන් එක් ගම්මානයක් වන අතර විශේෂත්වය වන්නේ එය කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීමයි.

හංවැල්ල වැලිකන්න ජපමාල මාවතේ ගල්පොත්තලන්ද ගම්මානයේ ජනතාව, මිනිසාගේ මූලික අව‍ශ්‍යතාවයක් වන විදුලිය නොමැතිකමින් දිගු කලක් තිස්සේ පීඩා විඳින බවට අප හිරු ප්‍රවෘත්ති තුළින් මීට පෙර වාර්තා කළා.

මෙම ප්‍රදේශයේ ඉඩම් හිමියන් 50 දෙනෙකු පමණ සිටියද ඔවුන්ට නිවසක් ඉදිකරගැනීම සිහිනයක් පමණක් වී ඇත්තේ තවමත් එම ප්‍රදේශයට විදුලිය
නොමැති බැවින්.

මේ වනවිට මෙම ගම්මානයේ නිවාස 15 ක් පමණ ඉදිවෙමින් පවතින අතර පවුල් 10 කට පමණ අයත් පිරිසක් පදිංචිව සිටිනවා.

සිය ගම්මානයට විදුලිය ලබාගැනීම සඳහා ගම්වාසීන් 2019.12.30 වන දින රුපියල් ලක්ෂ 39 ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවා තිබෙනවා.

මෙම ගැටළුව පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති තුළින් 2021.07.03 වන දින අනාවරණය කරන තුරුත් අවම වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබාදීම සඳහා රැහැන් ඇදීමක් පවා සිදු නොකිරීම කනගාටුවට කරුණක්.

හිරු ප්‍රවෘත්ති අණාවරණයෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පැමිණ අදාළ මැණීම් කටයුතු සිදුකළ නමුත් විදුලිය ලබාදීම වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 19 ක් ගෙවන ලෙසයි දන්වා තිබුණේ.

ගම්වාසීන් විසින් එම මුදල ද ගෙවීමෙන් පසු මේ වන විට විදුලිය ලබාදීම සඳහා රැහැන් ඇදීම සිදුකර තිබුණද විදුලිබල මණ්ඩලය තවමත් ගල්පොත්තලන්ද ගම්වාසීන්හට විදුලිය ලබාදීමට ක්‍රියාකර නැහැ.

රුපියල් ලක්ෂ 60 කට වැඩි මුදලක් මේ වනවිටත් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවා තිබුණ ද විදුලිය නොමැතිවීම හේතුවෙන් තමන් විසින් මිලදී ගත් විදුලි උපකරණ ද විනාශ වෙමින් පවතින බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ගම්මානයක් වන හංවැල්ල ගල්පොත්තලන්ද ගම්මානයට මූලික අවශ්‍යතාවයක් වන විදුලිය ලබාදීමට කඩිනම් පියවරක් ගන්නා ලෙසයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *