‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල

‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල

*********************************************

‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල

(23.02.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුන්වන (3) රාජධානිය වන ඓතිහාසික දඹදෙණිය රාජධානියේ පෞරාණික උරුමයක් වන වඩුවාකෙටූගල මේ වනවිට මහා පරිමාන ගල්කොරියක් හේතුවෙන් වැනසෙමින් පවතිනවා.

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහයෝගයෙන් වඩුවාකෙටූගලට වින කරන එම ක්‍රියාදාමය පිළිබඳවයි අද (23) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

ඓතිහාසික අනුරාධපුර, පොලොන්නරුව රාජධානි බිඳවැටීමෙන් පසු මෙරට තුන්වන රාජධානිය ලෙස ගොඩනැගෙන්නේ දඹදෙනිය රාජධානියයි.

ඓතිහාසික මුලාශ අනුව තුන්වන විජයබාහු රජතුමාගේ මාලිගාව ඉදිව තිබුනේ මාළිගා ගල නම් මෙම ස්ථානය කේන්ද්‍රෙකාට ගෙනයි.

මාළිගා ගල සිට බැලු කළ ඈතින් දිස්වන මෙම ඓතිහාසික ගල් පර්වතය පුරා වෘත්තවලට අනුව හැදින්වෙන්නේ වඩුවාකෙටූගල ලෙසයි.

එහි දඹදෙණිය රාජධානි සමයේ සිර කඳවුරක් පැවති බවටත් ඊට වරදකරුවන් ගෙන ඒම සදහා මාළිගා ගලේ සිට උමං මාර්ගයක් ද තිබූ බව ද ජනප්‍රවාදයේ සඳහන්.

එහි සිරකරුවෙකු වු වඩුවෙකු තමා විසින්ම ගල් පඩිපෙලක් ඉදිකර ගෙන මෙම පර්වතයෙන් පැන යාම හේතුවෙන් මෙම ගල වඩුවාකෙටූගල ලෙස නම් වු බවයි පැරැන්නන්ගේ මතය වී ඇත්තේ.

එවන් උරුමයකට හිමිකම් කියන මෙම ඓතිහාසික ගල් පර්වතයේ පිටුපසින් ඇති පාදම මේ වනවිට ගල් කොරියක් හේතුවෙන් විනාශ වෙමින් පවතිනවා.

ගල් කොරිය පවත්වාගෙන යන පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් මේ වනවිටත් සැලකිය යුතු අක්කර ප්‍රමාණයක් වනසා අවසන්.

ඓතිහාසික දඹදෙනිය රාජධානියේ වඩුවා කෙටු ගල මෙරට ඉතිහාසයෙන් පමණක් නොව අනාගත පරපුරෙන් ද අතුරුදන් කිරීම සඳහා සිදුකරන මෙම මහා විනාශය සොයා ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ’ සාමාජිකයන් ද එක් වුණා.

අප මෙම විනාශය පිළිබදව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා මෙහි භාරකාරීත්වය දරන දඹදෙණිය පුරා විද්‍යා කාර්යාලයෙන් සිදුකළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ මෙම ගල් කොරිය පවත්වාගෙන යාම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය හිමි වී ඇති බවයි.

‘හිරු සී.අයි.ඒ.’ මෙම අනාවරණයෙන් පසුව හෝ ඓතිහාසික දඹදෙණිය රාජධානියේ වඩුවාකෙටු ගලට සිදුවන මෙම මහා විනාශය නවතා දැමීමට මෙරට වගකිව යුතු බලධාරීන්ගේ දෑස් විවර වේද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.

***************************************

රුසියාව ඉදිරි පැය 24 තුළ පූර්ණ වශයෙන් යුක්රේනය ආක්‍රමණය කරනවා – ස්කොට් මොරිසන්

(23.02.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

රුසියාව ඉදිරි පැය 24 තුළ පූර්ණ වශයෙන් යුක්රේනය ආක්‍රමණය කිරීමේ දැඩි අවදානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අනතුරු අඟවනවා.

එවන් පසුබිමක යුක්රේන රජය නිවේදනය කරන්නේ රුසියාවේ වෙසෙන තම පුරවැසියන්ට හැකි ඉක්මනින් එරටින් ඉවත් වන ලෙසයි.

මේ අතර, බටහිර රාජ්‍යයන් රුසියාවට පනවා ඇති සම්බාධක සඳහා ඔස්ට්‍රේලියාව සහ ජපානයත් සිය සහයෝගය පළ කර තිබෙනවා.

මේ අතර, ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය සිය
අනුමැතිය ලබා දී තිබෙනවා.

යුක්රේනය, යුරෝපා සංගමය ඇතුළු බටහිර රාජ්‍යයන් මෙන්ම නේටෝ හමුදාවන් සමඟ සමීපව කටයුතු කිරීම නිසා රුසියාව සිය දේශසීමාවේ පිහිටි එම රාජ්‍ය ආක්‍රමණය කිරීමේ අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා.

සති කිහිපයක් මුළුල්ලේ රුසියාව සිය යුද බලය විදහා දක්වමින් යුක්රේන දේශසීමා හි මෙන්ම බෝල්ටික්ස් සාගර කලාපයේ යුද අභ්‍යාසවල නිරත වූණා.

කෙසේවෙතත්, රුසියාව, දිගින් දිගටම කියා සිටියේ ආක්‍රමණයක් පිළිබඳව බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනාවන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

කෙසේවෙතත්, ඊයේ (22) නැගෙනහිර යුක්රේන දේශසීමාවන්ට යොදවා ඇති භට පිරිස් වැඩි කිරීමට රුසියාව පියවර ගනු ලැබූ අතර, යුක්රේනයේ කලාප දෙකක් ස්වාධීන රාජ්‍ය ලෙස නම් කිරීමට ද කටයුතු කළා.

මේ හේතුවෙන් ජර්මනිය, අමෙරිකාව සහ කැනඩාව , රුසියාවට සම්බාධක පැනවීමටයි පියවර ගත්තේ.

ඒ අනුව රුසියාවේ සිට යුරේපා කලාපයට බෝල්ටික්ස් සාගරය හරහා ස්වභාවික වායූන් ප්‍රවාහනය කරන නෝඩ්ස් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවන්ට අනුමැතිය ලබාදීම අත්හිටුවන බවත් ජර්මානු චාන්සලර් ඕලැෆ් ස්කොල් ඊයේ (22) බර්ලින් නුවර දී නිවේදනය කළා.

බ්‍රිතාන්‍යයේ වත්කම් හිමි රුසියානු වාණිජ ආයතන 6 කට සම්බාධක පනවන බව බ්‍රිතාන්‍යය ද ඊයේ (22) නිවේදනය කළා.

ඒ අනුව, එම ආයතනවල වත්කම් රඳවා ගනිමින් රුසියානු බිලියනපතියන් 5 දෙනෙකුටත් බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රවාහනය, බලශක්ති, විදුලි සංදේශන, ඛනිජ සම්පත් යන අංශ සඳහා ඔස්ට්‍රේලියාවත් අද (23) රුසියාවට සම්බාධක පැනවූවා.

ඒ අනුව, රුසියානු ආරක්ෂක කවුන්සලයේ නිලධාරීන් 8 දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ සංචාරය තහනම් වනවා.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පෙන්වා දෙන්නේ ඉදිරි පැය 24 තුළ රුසියාව, පූර්ණ වශයෙන් යුක්රේනය, ආක්‍රමණය කරනු ඇති බවයි.

එවන් පසුබිමක රුසියානු ප්‍රකට වාණිජ ආයතන දෙකකට (2) සම්බාධක පනවමින් බෝල්ටික්ස් සාගර කලාපයේ නේටෝ හමුදාවන්ට අයත් අමෙරිකානු භට පිරිස් වැඩි කිරීමටත් බයිඩ්න් පරිපාලනය ඊයේ (22) පියවර ගත්තා.

රුසියානු – යුක්රේන අර්බුදය යුද ගැටුමක් දක්වා වර්ධනයවීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගතහැකි බවත්, අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත්
පෙන්වා දෙනවා ෴

***************************************

මිලියන 120 ක කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(23.02.2022 – 20:13 +0530 – hirunews.lk/sinhala)

හැඳල තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 400 කට ආසන්න තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි අද (23) සවස මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී ධීවර යාත්‍රාවක් තුළ සගවා නීති විරෝධී ලෙසට මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා තොගය සොයා ගැනුණා.

උර 10 ක පාර්සල් 185 ක් වශයෙන් අසුරා තිබූ මෙම ගංජා තොගයෙහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 120 කට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.

කේරළ ගංජා තොගය සමග ධීවර යාත්‍රාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු (1) සහ තවත් ඩිංගි යාත්‍රාවක් ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හැඳල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්.

ඉදිරි විමර්ශන සඳහා සැකකරු යාත්‍රා දෙක (2) සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.

ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

***************************************

ජනපති අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක්

(23.02.2022 – 21:49 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මගින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නැවත පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මගින් ආයතන සහ නෛතික රාමු පිළිබඳව කරුණු දක්වා තිබෙනවා.

***************************************

රුපියල් 45,000 ඉක්මවූ කොස් ගෙඩිය

(23.02.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala)

ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස් ගෙඩියක් පවුම් 160කට එනම් ලංකා මුදලින් රුපියල් 45,000කට පමණ මිලකට විකිණීමට තබා ඇති අයුරු විදෙස් මාධ්‍යවේදියෙකු සිය ට්විටර් ගිණුමකට එක්කර තිබුණා.

***************************************

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

(23.02.2022 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ දේහය මේවන විට තලංගම රෝහලේයි තැන්පත් කර ඇත්තේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 77 ක්.

සුනිල් මාධව ප්‍රේමතිලකයන් ප්‍රවීණ ගත් කතුවර ලේඛක මීමන ප්‍රේමතිලකයන්ගේ දෙටු පුත්‍රයා යි.

පුවත්පත් කලාවේදියෙක් මෙන්ම කතෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර පරිවර්තන කෘති කිහිපයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙරට මාධ්‍ය කලාවේ කැපී පෙනෙන නැම්මක් ඇති කළ ‍ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් කලක් රෝගාතුරව පසු වුණා.

වමේ ධාරාවේ රැඩිකල් මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලාංකේය සලකුණ ලෙස සැලකෙන සුනිල් මාධවයන් විසින් රචනා කළ සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දශකයේ මෙරට පුවත්පත් මාධ්‍ය කලාවේ තීරු ලිපි රචනාවේ නව මානයක් ඇති කළ ලියමනක්.

ප්‍රධාන ධාරාවේ පුවත්පත් ගණනාවක සේවය කළ අතිශය විප්ලවවාදී අදහස්වලින් සුපෝෂිත මෙම මානව හිතවාදී ලේඛකයා ගේ පෑන් තුඩින් පරිවර්තනය කෙරුණු ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ගණයේ කෘතීන් ගණනාවක් මෙරට පාඨකයින් වැළඳ ගත්තේ මහත් අභිරුචියකින්.

ඔහුගේ පරිවර්තන අතර ඉදිරියෙන්ම ඇති පරිවර්තනයක් වන්නේ Cry Freedam හෙවත් ‘හඬනු මැන නිදහස’ නමින් පරිවර්තන‍ය වූ කෘතියයි.

ඒ හැරුණු විට ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’, ‘අන්ධකාරයේ දරුවා’, ‘ශ්‍රේෂ්ඨයා මොහොමඩ් අලිගේ කතාව’ ආදි කෘතීන් මෙරට පාඨකයින් ආදරයෙන් වැළඳ ගත් ඒවායි.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා ෴

***************************************

කුලී වැඩට ආ අයෙක් නිවෙස් හිමි කාන්තාව මල් පොච්චියකින් පහරදී ඝාතනය කොට කනකර කොල්ලකා පලා ගිහින්…

(24.02.2022 – 02:16 +0530 – lankacnews.com)

යාපනය කෝපායි පොලිස් වසමේ රාසාවින් ප්‍රදේශයේ පිහිටි නිවෙසක වයෝවෘද්ද කාන්තාවක් ඝාතනය කොට තිබියදී මළ සිරුර සොයාගත් බවට පොලීසිය පවසයි.

අදාල කාන්තාවගේ නිවසේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කුලී පදනම මත නැවතී සිටින අතර සිසුන් විශ්වවිද්‍යාලයට ගොස් ආපසු නිවසට පැමිණීමේදී නිවෙස් හිමි කාන්තාව පුටුවක් මත ඝාතනය කොට සිටිනු දැක ඒ පිළිබඳ සිසුන් විසින් කෝපායි පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පොලිසිය නිවෙසට පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ කාන්තාවගේ හිසට පහරදීමක් සිදුකොට ඇති බවටත් අසල බිම මල් පෝච්චියක් වැටී තිබූ හෙයින් මල් පෝච්චියෙන් හිසට සිදුකල පහරදීමකින් අදාල කාන්තාව මිය ගොස් ඇති බවට සැකකරන බවටත්ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මරයිනායගම් ජෙයසීලි නැමති 72 හැවිරිදි වයොවෘද්ද කාන්තාවකි.

මිය ගිය කානත්වගේ ගෙවත්තේ එදින කුලීවැඩට පුද්ගලයෙකු පැමිණ ඇති බවටත් මිය ගිය කාන්තාව පැළඳි සියලු රන්ආභරණ නොතිබූ අතරම කුලී වැඩට පැමිණි පුද්ගලයාද අතුරුදහන්ව සිටි හෙයින් එම පුද්ගලයා විසින් අදාල කාන්තාවට පහරදී රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇති බවට සැක පල කරන අතරම එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇතැයිද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධුෂංඛ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *