ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

*********************************************

ජනපති ගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

(23.02.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala)

සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රාජ්‍ය සේවය ඉතා විශාල බැවින් ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමත්තෙන් පසුවන අතර අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබාගැනීම බව ඔහු ප්‍රකාශ කළා.

ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වය දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට අද (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දීයි ඔහු මේ බව සඳහන් කළේ.

තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළා.

“අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමටයි. ඊට පරිසරය සැකසිය යුතුයි. එහිදී නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ද ඉතා වැදගත්” බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සේවා ඉටු කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

හරිත කෘෂිකර්මාන්තය රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් වන අතර 75% කට වඩා වූ ග්‍රාමීය ජනතාවගෙන් 90% ක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්‍රිත ජීවිකාවක නිරත වනවා.

කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් වන අතර ඒ බව ඔවුන් දැනුවත් හා දිරිමත් කර, විශ්වාසය ගොඩනැගිය යුතුයි.

නිසි වේලාවට ප්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළා.

වැඩිවන විදුලි අවශ්‍යතාව සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කරගත හැකි බව පෙන්වා දුන් ඔහු ඉල්ලා සිටියේ ඒ සඳහා වූ කෙටි හා දිගුකාලීන රජයේ ඉලක්ක සපුරා ගැනීමට සහාය වන ලෙසටයි.

දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙළක් මගින් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා.

කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබඳ සතුට විය හැකි බවත් විධිමත් අයුරින් ගොවීන් දැනුවත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකි බව ද ආණ්ඩුකාරවරු මෙහිදී සඳහන් කර තිබෙනවා.

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී මහ කන්නයෙන් ඉගෙන ගත් පාඩම් අධ්‍යයනය කර යල කන්නය සාර්ථක කරගැනීමට ගෙන ඇති ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් පෙන්වා දෙනු ලැබුවා.

දිස්ත්‍රික් 25 ට ආවේණිකව යෙදිය යුතු පොහොර හඳුනාගනිමින් ගොවීන් දැනුවත් කිරීම මේ වන විට අරඹා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි පස පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිඳු හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියාසිටියේ ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තොරතුරු ලබාගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බවයි ෴

***************************************

තමන්ගේ පෞද්ගලික ගැටලු වලට වඩා රටේ ප්‍රශ්ණ වැදගත් – නිමල් ලන්සා

(23.02.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලසීමාවේදී තමන් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පිළිබද සවිස්තර වාර්තාවක් අද (23) දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමු කල බව ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේදී එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කලා.

තමන් එම කිසිදු කාරණයක් සදහා ප්‍රතිචාර ලබා නොදුන්නේ තමන්ගේ පෞද්ගලික ගැටලු වලට වඩා ජනතාවට රටේ ප්‍රශ්ණ වැදගත් නිසා බවයි නිමල් ලන්සා අවධාරණය කලේ.

***************************************

දූෂණ මර්ධන කමිටුව හා එහි ලේකම් කාර්යාලය සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා ගැන සොයන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම පෙබරවාරි 28 ඇරඹේ

(23.02.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

දූෂණ මර්ධන කමිටුව හා එහි ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ලබන 28 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එම කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පසුගිය වසරේ ජනවාරි 28 වනදා ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබුවා ෴

***************************************

බාල වයස්කාර දැරියක් ගණිකා ජාවාරමේ යෙදවූ පුද්ගලයාගේ ගිණුම්වල කෝටි 4 කට වැඩි ගනුදෙණු

(23.02.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දැරියක් ගණිකාවක් ලෙසට විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු ගිණුම් 8 කින් රුපියල් 4,56,81,905 ක මුදලක් සැක කටයුතු ලෙසට ගනුදෙණු වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු රැකියාවක් සිදු කරන පුද්ගලයෙකු ද නොවන බවයි.

පසුගිය 2021 වසරේ ජුනි 28 වන දින ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව අවුරුදු 15 යි මාස 09 ක බාලවයස්කාර දැරියක් ගණිකාවක් ලෙසට විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.

එම විමර්ශනයට අදාළව එම දැරිය ගණිකා වෘත්තියේ යෙදවීම සහ ඊට ආධාර අනුබල දීම මගින් මුදල් උපයා ඇති බවට හෙළිවීම හේතුවෙනුයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශණ ආරම්භ කරනු ලැබුවේ.

ඒ අනුව බාලවයස්කාර දැරිය කුට්ටනය කිරීම සහ ස්ත්‍රි දූෂණය යන වැරදි සම්බන්ධයෙන් අවුරුදු 36 ක මෙම සැකකරු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු ස්ථිර රැකියාවක් හා ස්ථිර පදිංචියක් නොමැති අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

එම පුද්ගලයා වසර 18 ක පමණ කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් යොදවා ගනිමින් ගණිකා ජාවාරමක් පවත්වාගෙන ගිය අයෙක් බවට ද පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරු මීට පෙර මහනුවර සහ ගම්පහ ප්‍රදේශවල ගණිකා නිවාස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර ඇති අයෙක් බව සඳහන්.

වාහන කුලියට ලබාදෙන ස්ථානවලින් කුලී පදනම මත ලබාගන්නා වාහන යොදාගෙන කොළඹ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජංගම ගණිකා ජාවාරම් කටයුතු සිදුකර ඇති බවට ද හෙළිකරගෙන තිබෙනවා.

සැකකරු විසින් ගණිකා ජාවාරමේ යෙදවූ දැරිය මෙන්ම එම දැරියගේ මව ද ඒ ආකාරයෙන්ම මෙම සැකකරු විසින් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයා ඇති බවටයි කරුණු අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පෙරේදා (21) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) එම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන මාර්තු මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සැකකරුගේ වෙනත් නීති විරෝධී වත්කම් අනාවරණ කර ගැනීම සඳහා නීති විරෝධි වත්කම් කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා ෴

***************************************

මාවනැල්ල බුදුපිළිම නඩුවේ විත්තිකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේපයි

(23.02.2022 – 17:12 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සියලු විත්තිකරුවන්ට ඇප ලබාදීම කෑගල්ල ත්‍රිපුද්ගල මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම නඩුව මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහඳගමගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැණුනා.

ඒ අනුව, අධිචෝදනා පත්‍රය සඳහා වූ මූලික විරෝධතා ද ප්‍රතික්ෂේප කිරීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.

නඩුව යළි මාර්තු 22 වනදා කැඳවීමට නියමිතයි ෴

***************************************

ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තබයි

(23.02.2022 – 17:36 +0530 – hirunews.lk/sinhala)

ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් දැමුණා.

ඒ අනුව හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

ඝණ පූර්ණය නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් සිදුකරමින් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ විවාදයට බඳුන්ව තිබුණේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ යෝජනාවක්.

එම අවස්ථාවේ සභාව අමතමින් සිටි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියාසිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ යෝජනාවක් විවාදයට ගන්නා අවස්ථාවේ එම පක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙකු එයට බාධා කිරීම යුතු නොවන බවයි.

රෝහණ බණ්ඩාර සමගි ජන බලවේගයට එහි නායකයාට සහ මහලේකම්වරයාට විරුද්ධව පාර්ලිමේන්තුව තුලම කටයුතු කරන බව මෙම විවාදයට එක්වූ පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළා.

ඒ සමගි ජනබලවේගය විසින් ගෙන ආ යෝජනාවක් සභාවේ ඝණ පූර්ණය නොමැති බව පෙන්වා දෙමින් විවාද කිරීමට තිබූ අවස්ථාව අහිමි කරන බව පවසමින්.

එමෙන්ම සභා නායකවරයා එම අවස්ථාවේ මුලසුනේ සිටි මන්ත්‍රීවරයාට දන්වා සිටියේ සභාවේ ඝණ පූර්ණය සඳහා නාද කරන සීනුව නාද කරන ලෙසටයි.

ඒ අනුව මුලසුනේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් සභාව කැඳවීමේ සීනුව නාද කළා. නමුත් එයටත් යහපත් ප්‍රතිචාරයක් හිමිවූයේ නැහැ.

මේ හේතුවෙන් තීරණය වූයේ හෙට පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටයි.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලා විමර්ශණය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ රහසිගත වෙළුම් 87ක් මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සදහා පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ලබා දුන් බව කථානායක මහින්ද යාපාඅබේවර්ධන සභාව දැනුම් දුන්නා.

අදාල වෙළුම් පිටු 69100කින් සමන්විත බැවින් ඒවා සී.ඩී.තැටි වලට ඇතුළත් කර හෝ දත්ත ලෙස ලබාදෙන ලෙස විපක්ෂය එහිදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති කල් තැබිමේ විවාදයේදීද එම වෙළුම් පිළිබඳව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුණා ෴

***************************************

අද (23) වන විට විදෙස් සංචාරකයින් 1,50,000 ක් දිවයිනට – හික්කඩුවෙන් ලොවට අපූරු පණිවුඩයක්

(23.02.2022 – 19:07 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ අද (23) දක්වා දිවයිනට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 150,000 ඉක්මවා ගිය බව වාර්තා වනවා.

මෙලෙස පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියානු කලාපයේ රටවලින්.

මේ වසරේ ජනවාරි මාසය තුළදී මෙරටට විදේශීය සංචාරකයින් 82,327 ක් පැමිණ ඇති අතර 2021 වසරේ කොවිඩ්-19 වෛරස වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් 1,682 ට සාපේක්ෂව මෙය ඉතා ඉහළ අගයක්.

රට තුළට විදෙස් සංචාරකයින් බහුල වශයෙන් පැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රට තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලයි.

මේ සමගම ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් යන පණිවුඩය ලොවපුරා සංචාරකයින් හට ලැබුණා.

එම තත්වයක් සමගින් සංචාරක කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශයින් බරපතල ඩොලර් අර්බුදයටත් යම්කිසි අස්වැසිල්ලක් සලසමින්.

මෙලෙස පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ අතිශය ප්‍රියමනාප ගමනාන්තයන් වන්නේ මෙරට දැකුම්කළු වෙරළ තීරයන් ආශ්‍රිත සංචාරක නිකේතනයි.

ඒ අතරිනුත් හික්කඩුව සංචාරක පාරාදීසය මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙක් ම අමතක නොකරන ගමනාන්තයක්.

ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන සංචාරක කර්මාන්තයත් සමග මෙතෙක් වසා දමා තිබුණු සංචාරක අවන්හල්, හෝටල්, අළු දූවිලි පිස දමා පැමිණෙන විදේශීය සංචාරකයින් හට සේවා සැපයීම සඳහා නැවතත් පෙළ ගැසුණා.

හික්කඩු වෙරළ තීරයේ ඉදිකර ඇති කුඩා ප්‍රමාණයේ සංචාරක අවන්හල් ද විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන්ගේ සියළු වෙර වීරිය යොදා කටයුතු කරමින් සිටිනා සමයක මීට දින කිහිපයකට පෙර සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නැවතත් ලෝකයට මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ ගෙන යන්නේ එතරම් හොඳ පණිවිඩයක් නොවෙයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සැරිසරන විදේශිකයකු විසින් සිය ජංගම දුරකතනයෙන් රූගත කරන ලද මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරන්නේ මෙරට අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක සිදුවන සිදුවීමක්.

හික්කඩු වෙරළ තීරයේ සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රිය අවන්හලක සිදුකෙරෙන පහරදීමක් මෙම වීඩියෝව ඔස්සේ දර්ශනය වනවා.

මෙම භීෂණකාරී තත්ත්වය හේතුවෙන් එම අවන්හලේ ඒ මොහොතේ රැඳී සිටිනා විදෙස් සංචාරකයින් හිස් ලූ ලූ අත දිව යන ආකාරයයත් මෙම වීඩියෝවේ පැහැදිළිව දකින්නට පුළුවන්.

සංචාරකයින් දොහොත් මුදුන් තබා පිළිගත යුතු සමයක රෝබිය පසෙකලා මෙහි පැමිණෙන සංචාරකයින්ට සැලකිය යුත්තේ මෙසේ ද?

මෙවැනි සිදුවීම් හරහා ඔවුන්ගේ සිත් තුළ ඇති කරනා තැති ගැන්ම සහ ඒ හරහා ලොවට ගෙන යන පණිවිඩය කිසිසේත් සුබදායක නැහැ.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයින් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ වෙනුවෙන් නීතිය හරියාකාරව ක්‍රියාත්මක වීම යම් තරමකට සුබදායී තත්ත්වයක්.

නමුත් එම සිදුවීමට මුහුණ දුන් සංචාරකයින් ලොවට ගෙනි යන පණිවිඩය හරහා අප සංචාරක කර්මාන්තයට ඇතිවන කළු පැල්ලම ඉන් මකා දැමිය හැකි ද ?

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මරණයට හේතුව කොවිඩ් වැළඳීම ම නෙවෙයි – වෛද්‍ය හේමන්ත හේරත්

(23.02.2022 – 11:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය වැළඳීමෙන් පසු මෙරට මියයන පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය වෙත සිය අදහස් පළ කළා.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වන වයස අවුරුදු 30 ට අඩු සියලුම දෙනා මියයෑමට ප්‍රධානතම හේතුව කොවිඩ් වැළඳීමම නොවන බවයි.

ඊට හේතු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෛරසය ආසාදනය වී වයස අවුරුදු 30 ට අඩු ජීවිතක්ෂයට පත් වූ බොහෝ දෙනෙකුට කුඩා කළ සිට වැළඳුණු සහ ඒ සඳහා ප්‍රතිකාර ද ලබා ගන්නා නිදන්ගත රෝග තත්ත්වයන් පවතින බවට හෙළි වී ඇති බවයි.

විශේෂයෙන්ම එම රෝගීන් හට වකුගඩු රෝග, ස්නායු සම්බන්ධ අපස්මාර තත්ත්වයන් ද පැවතීම මෙම මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙසට විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් වෛරසය වැළඳීමෙන් පසුව නිදන්ගත රෝගී තත්ත්වයන්වල සංකූලතා ඇති වී මෙම පුද්ගලයින් මියයන බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

මෙවන් පසුබිමක් තවදුරටත් ඇතිවීම වළක්වාලීම වෙනුවෙන් ලබා නොගත් පූර්ණ එන්නත්කරණ ක්‍රියාවලියට වහාම යොමු වන ලෙසටත්, එය වගකීම්සහගත පුරවැසියෙකු සතු යුතුකමක් මෙන්ම සමාජ වගකීමක් බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් විසින් ප්‍රකාශ කළා.

+++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 257 ක් සුවය ලබයි

(23.02.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 257 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,07,583 ක්.

තවදුරටත් පුද්ගලයින් 15,659 ක් රෝහල්ගතව සහ නේවාසිකව ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++

තවත් කොරෝනා මරණ 31 ක්

(23.02.2022 – 17:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 31 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,086 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 17 ක් සහ පිරිමින් 14 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 6 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් දෙදෙනෙක් (2) සහ පිරිමින් 4 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 15 ක් සහ පිරිමි 10 ක් වශයෙන් මරණ 25 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1281 ක්

(23.02.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1281 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,40,578 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 16,909 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 257 දෙනා ද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,07,583 ක් ලෙසටයි.

මෙරටින් කොරෝනා මරණ 16,086 ක් වාර්තාවී තිබෙනවා. ඒ අද වාර්තා කළ මරණ 31 ත් සමගින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *