කොළොන්නේ කොල්ල කල්ලියක් නිසා ගම්මාන 4 ක් බියෙන්

කොළොන්නේ කොල්ල කල්ලියක් නිසා ගම්මාන 4 ක් බියෙන්

*********************************************

කොළොන්නේ කොල්ල කල්ලියක් නිසා ගම්මාන 4 ක් බියෙන්

(23.02.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කොළොන්න ප්‍රදේශයේ ගම් කිහිපයක ප්‍රදේශවාසින් බිය වද්දමින් කොල්ලකෑම් ඇතුළු තවත් අපරාධ රැසක් සිදුකරන කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළොන්න – වව්ල්පෙන, කුඹුරුගමුව, හල්මිල්ල සහ ගොඩකුඹුර යන ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් ඔවුන් මෙලෙස කොල්ලකෑම් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

මොවුන් නිවෙස්වලට පැන ඒවායේ සිටින පුද්ගලයින් බිය ගන්වා මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇති අතර, එක් අවස්ථාවක දී කාන්තාවකට අපයෝජනයක් ද සිදුකර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

මීට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙකුත් සැකකරුවන් සොයා පොලීසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා.

මේ අතර, කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශය භීතියට පත් කරමින් හැසිරුණු අල්කයිඩා නමින් හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු පොලීසිය ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 4 ක්.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (22) අත්අඩංගුවට සැකකරු 19 හැවිදිරි වත්තෙමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් ෴

***************************************

ඇතුගල්පුර පිවිසුමෙන් පලමු මාසය තුල රුපියල් කෝටි 10 ක ආදායමක්

(23.02.2022 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ඇතුගල්පුර පිවිසුමේ පලමු (1) මාසය තුල රථවාහන ලක්ෂ 5 කට අධිකව ගමන් කිරීමෙන් රුපියල් කෝටි 10 කට අධික ආදායමක් උපායාගෙන ඇතිබව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

පසුගිය 2022-01-15 වන දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබුවා.

2022-01-16 වන දින දහවල් 12:00 න් පසු අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරුණු අතර 2022-01-16 වන දින සිට 2022-02-21 වන දින අතර කාලය තුල රථවාහන 5,10,670 ක් මෙම මාර්ගයේ ධාවනය කර තිබෙනවා.

එම නිසා 10,96,59,600.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා ෴

***************************************

ගෝලීය සංචාරක ප්‍රවර්ධනයට අමරිකානු ඩොලර් මිලියන 56 ක්

(23.02.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා දියත් කර ඇති ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට අමරිකානු ඩොලර් මිලියන 56 ක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වසර 5 ක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන සඳහා පසුගිය වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණේ මේ වසරේ දෙවන (2) කාර්තුවේ සිට ක්‍රියාත්මක කිරීමටයි ෴

***************************************

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

(23.02.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ලබන 27 වන දා කොළඹ දිස්ත්‍රික්කයේ සියළු විහාරස්ථානවල ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්කය තුළ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව දහම් පාසල් දරුවන් සහ දෙමව්පියන් විහාරස්ථාන දායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ එක්වන බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

මැතිවරණ කොමසාරිස් සමග දේශපාලන පක්ෂ සාකච්ඡා අවසන්

(23.02.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමසාරිස් කාර්යාල දේශපාලන පක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර අවසන් වී තිබෙනවා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවල අඩුපාඩු රසක් ඇති බවත්, 100 කට වැඩි පක්ෂ නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවේ සිටින අතර පහසුකම් මදකම නිසා සාකච්ඡා ශ්‍රවණය වීමේ අඩුපාඩු පවා ඇතැයි පවසා මනෝ ගනේෂන් එම ස්ථානයෙන් පිටව ගියා.

පැය හතරකට (4) ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වුණු අතර ප්‍රධාන හා සුළු දේශපාලන පක්ෂවල නියෝජිතයින් ද සාකච්ඡාවට සහභාගි වී සිටියා.

ඉදිරියේදි පවත්වන මැතිවරණවලට සූදානම් වීම පිළිබඳවත්, ඡන්ද නාම ලේඛන සකස් කිරීම පිළිබඳවත්, මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි දේශපාලන පක්ෂ නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වීමට තම පක්ෂ සූදානම් බවයි ෴

***************************************

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන්

(23.02.2022 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය, යුගදනවි බලාගාරයට අයත් රජයේ කොටස් වලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසන් කළා.

එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

සුරැකිය යුතු ජාතික සම්පත් විනාශ මුඛයේ

(23.02.2022 – 15:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට සහලින් ස්වයංපෝෂිත කිරීමට ගොවි ජනතාව අපමණ වෙහෙසක් දැරුවද එම අස්වැන්න නිසි ලෙස ගබඩා කිරීමට රජය සතුව ඇති පහසුකම් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින්නේ බොහෝ කාලයක සිටයි.

එම ගැටලුව වර්ධනයවීමට බලධාරීන්ගේ නොසැලකිල්ල ද හේතුවක් බවට තවත් උදාහරණයක් ලෙස පොළොන්නරු දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වී ගබඩා සංකීර්ණය පෙන්වා දිය හැකියි.

1970 වසරේ දී එවක පැවති රජය විසින් මෙම ගබඩා සංකීර්ණය ඉදිකර ඇත්තේ වී කිලෝ ලක්ෂ 10 ක් ගබඩා කිරීමේ පහසුකම් සහිතවයි.

වී අලෙවි මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින මෙම ගබඩා සියල්ලම පාහේ අගුළු දමා ඇති ආකාරය දක්නට ලැබෙනවා.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පමණක් රජයේ වී ගබඩා 10 කට වැඩි සංඛ්‍යාවක් විනාශවෙමින් පවතින අයුරු හිරු කැමරා කාචයේ සටහන් වුණා.

හිඟුරක්ගොඩ – සමුපකාර මාවතේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 6 ක් පිහිටා ඇති අතර, එහි එක් ගබඩාවක වී කිලෝ ලක්ෂ 10 ක් පමණ ගබඩා කිරීමේ පහසුකම ද පවතිනවා.

කෙසේ වෙතත්, කිසිදු ඵල ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබීම හේතුවෙන් මෙය සමාජ විරෝධී ක්‍රියාවලට තෝතැන්නත් වී ඇති බවයි ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරන්නේ.

හිඟුරක්ගොඩ ජයන්තිපුර දුම්රිය ස්ථානය අසළ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා දෙකකින් (2) එක් (1) ගබඩාවක වී කිලෝ ලක්ෂ 10 ක් ගබඩා කිරීමේ හැකියාව පැවතිය ද බලධාරීන්ගේ අවධානය යොමුනොවීමේ පසුබිම යටතේ එයද විනාශ මුඛයට යන අයුරු දැකිය හැකියි.

ඇතැම් ගබඩා සුළු අලුත්වැඩියාකින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පැවතියදල ඒ ගැන සැලකිල්ලක් නොදක්වා අලුතින් වී ගබඩා සංකීර්ණ ඉදිකිරීමට පියවර ගන්නා බවටයි ගොවි ජනතාව බලධාරීන්ට චෝදනා කරන්නේ.

තම වී වැඩි මුදලට පෞද්ගලික මෝල් හිමියන්ට සපයද්දී වී අලෙවි මණ්ඩලයට අයත් මෙම ගොඩනැගිලි විනාශ වනතෙක් මුනිවත රකින රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

***************************************

ජනපති සුරතින් අබිසෙස් ගැන්වූ වවන්නෝ – දිනන්නෝ

(23.02.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතික ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ, කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදීයි.

ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, කුඩා වතු හිමියන් ඇතුළු වැවිලි ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයින්ගේ වෘත්තීය හැකියාවන් ඉහළ නිපුණතාවකින් යුතුව පවත්වාගෙන යාමේ අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වනවා.

ඊයේ (22) පැවති සහතික පත් ප්‍රදානෝත්සවයේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ වෘත්තිකයින් 10 දෙනෙකුට ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ගෞරවනීය වෘත්තීමය සාමාජිකත්වය පිරිනැමුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

ඊට අමතරව උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා හිමිකරගත් පිරිසටද මෙහිදී සහතික පත් ද ප්‍රදානය කෙරුණා.

උත්සවයේදී අදහස් දැකවූ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන්නේ, වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් හතලිස් දෙවසරක් (42) තුළ තාක්ෂණික දැනුම ලබාදෙමින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සිදුකළ සේවය අගය කරන බවයි.

නුදුරු අනාගතයේදී විශ්වවිද්‍යාලයක් ලෙස දැවැන්ත කාර්යභාරයක් සඳහා මෙම ආයතනයට ඉඩ ප්‍රස්ථාව හිමි වන බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය වසරේදී මෙරට සමස්ත අපනයන ආදායම වන ඇමරිකානු ඩොලර් බිලියන 12.5 න් ඩොලර් බිලියන 4 ක්ම වැවිලි ක්ෂේත්‍රය තුළින් හිමිව ඇති බවයි මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසුවේ.

++++++++

නිල් මැණික් ගල් 25 ක් ප්‍රදර්ශනයට

(23.02.2022 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙන Sapphire Day පිළිබඳව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිත පිරිසක් අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවුනා.

ශ්‍රී ලංකාවේ නිල් මැණික් (Blue Sapphires) සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම වෙළඳපොළ අවස්ථාව පදනම් කරගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන ඉලක්කය වනවා.

ඒ අනුව ඩුබායිහි ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියෙහි සපායා දින (පෙබරවාරි 26) මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින් 11 දෙනෙකු සතු ඉතා වටිනා නිල් මැණික් ගල් 25 ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

***************************************

අලි අගලෙන් වියපත් වන සිරිලක සංස්කෘතිය

(23.02.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුල්හිටියාව සිට රාමදගල දක්වා ‘අලි අගලක්’ ඉදිකිරීම තුළින් එම ගම්මානවල ඇති ස්වභාවික සම්පත් සහ පුරාවිද්‍යා උරුමයන් රැසක් විනාශ වන බවට ගම්වාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අලි අගලක් අනවශ්‍ය බවට ගම්වාසීන් පවසද්දීත් බොරලු කැපීමේ ජාවාරමක් සඳහා දේශපාලනාධිකාරියේද මැදිහත් වීමෙන් මෙම අලි අගල් කැපීම සිදු කරන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති කිතුල්හිටියාව සහ රාමදගල යන මෙම ගම්මාන සොබා සෞන්දර්යයෙන් අනූන ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ගම්මාන දෙකක් (2).

එහි පිහිටා ඇති මෙම සොභාවික ජල උල්පත ප්‍රදේශයේ වෙසෙන පවුල් 20,000 කට පමණ පානීය ජලය මෙන්ම වගා කටයුතු සඳහා ද ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක්.

පරම්පරා 4 ක් තිස්සේ දැනට භාවිත කරමින් සිටින මෙම ජල උල්පත මිනිසුන්ට පමණක් නොව වනාන්තරයේ සිටින සතා සීපාවන්ට පවා පවස නිවන්නට සමත් වී තිබෙනවා.

කලක් තිස්සේ පවතින වන අලි ගැටලුවට විසඳුමක් ලෙස කිලෝමීටර් 6 කට වැඩි දිගකින් යුත් අලි වැටක් ලබා දීමට පාලනාධිකාරීය විසින් කටයුතු කර ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මතයි.

එම අලි වැට හේතුවෙන් එම ප්‍රදේශයේ වන අලි ගැටලුවට ප්‍රමාණවත් විසඳුමක් ලැබී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

එසේ තිබියදීත් මෙම කිතුල්හිටියාව සහ රාමදගල ගම්මාන යා කරමින් කිලෝමීටර් 3 ක් දුර අලි අගලක් ඉදි කිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ උපදෙස් මත මේවන විට වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ අඩි 10 ත් 15 ත් අතර ගැඹුරකට මෙම අලි අගල් කැපීම සඳහා මේ වන විට ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ හරහා ප්‍රදේශයේ ස්වභාවික ජල උල්පත් රැසක් විනාශවන බවයි ගම්වාසීන් පවසන්නේ.

ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පමණක් නොව පුරාවිද්‍යාත්ම වටිනාකමක් ඇති නටබුන් පවා මෙම අලි අගල් ඉදිකිරීම හරහා විනාශවන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන්ගේ විරෝධතාද නොසලකා මෙම අලි අගල ඉදිකිරීම සඳහා දේශපාලනාධිකාරියේද මැදිහත්වීම මත උත්සහ දරන්නේ බොරලු කැපීමේ ජාවාරමක් සිදුකරගෙන යාමේ අරමුණින් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව මධ්‍යයේ අලි අගල ඉදිකිරීම තාවකාලිකව නවතා දමා ඇතත් එහි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් උත්සහගනිමින් සිටිනවා.

නමුත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ අනාගත පරපුර වෙනුවෙන් රැකගතයුතු උරුමයන් සහ ස්වභාවික සම්පත් විනාශ කරමින් සිදුකරන මෙම අලි අගල කැපීම වගා නවතා දමන ලෙසයි.

***************************************

දින 365 න් හැදෙන දුම්රිය මැදිරි 800

(23.02.2022 – 15:46 +0530 – hirunews.lk/sinhala)

රත්මලානේ දුම්රිය යාන්ත්‍රික කර්මාන්තශාලාවේ සිදු කරන දුම්රිය මැදිරි අලුත්වැඩියාව සඳහා නව ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නංවා තිබෙනවා.

එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ප්‍රවාහන අමාත්‍යවරියගේ ද නිරීක්ෂණයට ලක්වුණා.

අත්වැඩියා කටයුතුවලට අමතරව පැරණි එන්ජින්, බලවේග කට්ටල, හා මැදිරි සම්පූර්ණයෙන් යළි ප්‍රතිසංස්කරණය කොට නව නිමාවකට භාජනය කර ධාවනය සඳහා යොදවනු ලබනවා.

ඊට අමතරව, සංචාරක ආකර්ශනය ඇති කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් දැව වලින් ප්‍රතිනිර්මානය කරන ලද මැදිරි නිපදවීම ද ඉංජිනේරුවන් සහ කාර්මිකයින් විසින් සිදු කරනු ලබනවා.

වසර 1936 දී බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භ කරන ලද මෙම කර්මාන්තශාලා සංකීර්ණය තුළ මේ වනවිට ඉංජිනේරුවන්, කාර්මික නිලධාරීන්, කාර්මිකයින් ඇතුළු සේවකයින් 2260 ක් පමණ සේවයේ නිරතවීම විශේෂත්වයක්.

කර්මාන්තශාලාවේ දෛනික කාර්යයන් සොයා බැලීම සඳහා පසුගියදා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.

***************************************

සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළි වර්ජනයකට සැරසෙයි

(23.02.2022 – 16:09 +0530 – hirunews.lk/sinhala)

තම ගැටලුවලට තවදුරටත් විසඳුම් ලබා නොදුනහොත් ලබන මාර්තු 02 වනදා සිට යළි අඛන්ඩ වර්ධනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළා.

එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ ලබාදුන් දින 14 ක කාලය මාර්තු පළමුවනදායින් (01) අවසන් වන බවයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකඟතා කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති අතර මේ හේතුවෙන් මාර්තු දෙවන (02) දින සිට නැවත වර්ජනය ආරම්භ කිරීමට, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළා.

විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනාව මගින් විෂමතාවයන් වර්ධනය කර ඇති බවයි රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *