පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට

පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට

*********************************************

පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට

(23.02.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්යාලය ඊයේ (22) ලබාදුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) අවසර ලබාදුන්නා.

එය සභාගත කරමින් කථානායකවරයා කියා සිටියේ මෙම වෙළුම් පාර්ලිමේන්තුවේ පුස්තකාලයෙන් මන්ත්‍රීවරුන්ට ලබාගත හැකි බවයි.

***************************************

පොලිස් කොස්තාපල් ඝාතනයට තවත් දෙදෙනෙකු (2) අල්ලයි

(23.02.2022 – 09:23 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – විතාරන්දෙනිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සිද්ධියට අදාළව පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඊයේ (22) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) වීරකැටිය සහ සූරියවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් 4 දෙනා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ ඉඩමට යාබද නිවසක කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරන පුද්ගලයෙකු සමඟ කලක සිට පැවති ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර තිබුණේ පසුගිය 17 වනදායි.

***************************************

මල් වගාකරුවන් දුෂ්කරතාවක

(23.02.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟය, ඉල්ලුම පහළ යාම ඇතුළු කරුණු හේතුවෙන් සිය කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවට, හිඟුරක්ගොඩ විසිතුරු මල් කර්මාන්තකරුවන් මැසිවිලි නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 300 කට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

මේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත කුමාරගම ගම්මානයයි.

මෙහි පවුල් 300 කට අධික පිරිසක් දීර්ඝ කාලයක සිට බෝගන්විලා ඇතුළු මල් පැල නිෂ්පාදනයට යොමුව සිටිනවා.

1950 දශකයේදී ගොවි ජනපද ආරම්භයත් සමග ස්ථාපිත කුමාරගම ගම්මානයේ ජනතාව ප්‍රධාන වශයෙන් වී වගාවට යොමු වුවද, 1998 වර්ෂයේදී පමණ ඔවුන් බෝගන්විලා ඇතුළු මල් වගාවට යොමු වී තිබෙනවා.

ඉතා සාර්ථක ලෙස එම කටයුතු කරගෙන මෙම කර්මාන්තකරුවන් කොවිඩ් වසංගතයට පෙර එම මල් අපනයනට ද පියවර ගෙන තිබුණේ මෙරටට විදේශ විනිමය ද සපයමින්.

මල් කර්මාන්තයේ සාර්ථකත්වයත් සමඟ සිරිකෙත ගම්මානය අවට පිහිටි කවුඩුල්ල, සන්සුන්ගම, යටියල්පතාන ඇතුළු ගම්මානවල පිරිස් ද මේ සඳහා යොමු ව තිබෙනවා.

කෙසේ වෙතත්, කොවිඩ් වසංගතයෙන් පසුව මල් සහ මල් පැළ සඳහා ඇති ඉල්ලුම පහළ යාමත් සමඟ මෙම කර්මාන්තකරුවන් පත්ව සිටින්නේ දැඩි අර්බුදයකටයි.

මල් කර්මාන්තය සඳහා අවශ්‍ය රසායනික පොහොර හිඟය මෙන්ම අධික මිල ද කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් බවයි මොවුන් පෙන්වා දෙන්නේ.

මෙම කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ, රාජ්‍ය අනුග්‍රහය ලැබ සිය කර්මාන්තය සාර්ථකව කර ගැනීමට හැකි වුවහොත් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට ද එය පිටිවහලක් වනු ඇති බවයි.

ඒ හේතුවෙන් තම කර්මාන්තයට බලපා ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර දෙන මෙන් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

***************************************

මුලතිව් වැව් රක්ෂිතයේ ගල් කණු ගැලවූ දේශපාලනඥයාට වැඩ වරදියි

(23.02.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ පෞරාණික ගල්කණු ගලවා රැගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු දස (10) දෙනා ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ (22) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ පුරාවිද්‍යා භූමියේ කැනීම් සිදුකරන බවට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත්තේ ඊයේ (22) දිනයේදී යි.

එහිදී සැකකරුවන් විසින් රැගෙන යමින් සිටි පුරාණ හස්ථි රූප සහ සලකුණු නිරූපණය වන අඩි 6 ක් පමණ උස ගල්කණු කිහිපයක් හමුවූ අතර ඔවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්, ලොරි රථයක් සහ කුඩා දොඹකරයක් ද පොලිස් භාරයට ගැණුනා ෴

***************************************

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු අත්අඩංගුවට

(23.02.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශය භීතියට පත් කරමින් හැසිරුණු ‘අල්කයිඩා’ නමින් හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු පොලීසිය ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 19 හැවිදිරි බදුරාගොඩ – වත්තෙමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම ඊයේ (22) අලුයම් කාලයේ ද සිද්ධියට අදාළව තවත් එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනාම (2) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂණයට රුපියල් මිලියන 100 ක්

(23.02.2022 – 10:28 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණයට රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

හෙක්ටයාර 6236 කින් සමන්විත මෙම මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පසුගියදා පියවර ගනු ලැබුවා.

ඒ අනුවයි, එම අමාත්‍යාංශයට මෙවර අයවැයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 2000 න් රුපියල් මිලියන 100 ක් මේ සඳහා වෙන් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන ඇත්තේ ෴

***************************************

සජබෙන් අධිභාරයට එරෙහිව පෙත්සමක්

(23.02.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ගොනු කළා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ජන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු කෙටුම්පත මගින් වාර්ෂිකව රුපියල් මිලියන 2000 ට අධික ආදායමක් උපයන සමාගම් වලින් සියයට 25 ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා කර ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදල මෙන්ම සේවක සුභසාධන අරමුදල් සමහරක් ද මෙම බද්දට යටත් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු එමගින් සේවක සුබසාධනයට දැඩි අගතියක් සිදුවන බව ද පෙන්වා දී තිබෙනවා.

***************************************

කොළඹ – හොරණ මාර්ගයේ රිය අනතුරක් – 23 දෙනෙකු රෝහලට

(23.02.2022 – 11:17 +0530 – hirunews.lk/sinhala)

හොරණ – කොළඹ මාර්ගයේ කොරලඉම ප්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

ඒ අද (23) පෙරවරුවේ දී යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාළ අනතුරින් තුවාල ලැබූ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 23 දෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

තුවාල ලැබූ අය අතර පිරිමින් තිදෙනකු (3) සහ කාන්තාවන් 20 දෙනෙකු ඇතුළත් බව කහතුඩුව පොලීසිය පවසනවා.

අනතුරින් ලංගම බස් රථයෙහි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, බරපතළ තුවාල ලද පුද්ගලයින් දෙදෙනකු (2) කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත සහ වෑතර රෝහල වෙත ද යොමු කෙරුණා.

පාතකඩ ප්‍රදේශයේ සිට කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ හොරණ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

රිය අනතුර සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්තශාලා බස් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට

(23.02.2022 – 11:43 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර හමුවක් මේ වන විට (23) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වෙනවා.

මේ වසරේ පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වන අතර දැනට ක්‍රියාත්මක ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වන බව සඳහන්.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මැතිවරණ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් ද විමසීමට බලාපොරොත්තු වන බවයි ෴

***************************************

බම්බලපිටිය – කොල්ලුපිටිය මුහුදු තීරයේ නැවතත් කිඹුල් බිය ඇවිලේ

(23.02.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

අද (23) උදෑසන බම්බලපිටිය අවට මුහුදු තීරයේ දැවැන්ත කිඹුලකු සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

මෙම දර්ශන පෙළ වාර්තා වන්නේ බම්බලපිටිය, කොල්ලුපිටිය සහ ගෝල්ෆේස් වෙරළ තීරය දක්වා මීට සති ගණනාවකට පමණ පෙර වාර්තා වූ කිඹුලන් පිළිබඳ සිදුවීම් මාලාවෙන් පසුවයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන මෙම දර්ශන පැහැදිලි කරන්නේ මෙම සත්වයා මීට පෙර මෙම වෙරළ තීරයේ දැකගන්නට ලැබුණු කිඹුලන්ට වඩා ප්‍රමාණයෙන් විශාල බවයි.

මේ හේතුවෙන් නැවතත් මෙම මුහුදු තීරය ආශ්‍රිත සියලු ධීවර ක්‍රියාකාරකම්වලට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව බම්බලපිටිය, කොල්ලුපිටිය, දෙහිවල-ගල්කිස්ස මූලික කර ගත් ධීවරයින් පෙන්වා දෙනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවන වෘත්තියට බරපතළ බලපෑමක් එල්ල කරන මෙම කිඹුල් තර්ජනය සහමුලින් මැඬලීම සඳහා විධිමත් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.

මීට පෙර මෙලෙස වරින් වර මෙම ප්‍රදේශයේ මුහුදු තීරයේ දක්නට ලැබුණු කිඹුලන් කොළඹ නගරයේ ඇළ මාර්ග ඔස්සේ මුහුදට සංක්‍රමණය වී ඇති බවට වනජීවී බලධාරීන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම සත්වයින් එලෙස මුහුදට සංක්‍රමණය වීම වළක්වාලීම සඳහා මෙතෙක් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

***************************************

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

(23.02.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පාසල් සෞඛ්‍ය සහකාර සේවක සංගමයේ පිරිසක් අද (23) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ සිය සේවා අවශ්‍යතා පැවතිය ද වසර 2 ක කොන්ත්‍රාත් සේවා කාලය අවසන් වීම හේතුවෙන් ඔවුන්ව රැකියාවලින් ඉවත් කර ඇති බවට පවසමින් ෴

***************************************

රසික රසිකාවියන්ට ‘ජයශ්‍රී’ ගැන සුබ ආරංචියක් !

(23.02.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

‘ජයශ්‍රී සංගීත කණ්ඩායම’ විසින් ගායනා කරන ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් (20) ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු (2) වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ.

පෙත්සම්කරු කියා තිබුණේ, තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව ‘ජයශ්‍රී’ යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

වගඋත්තරකරුවන් දෙදෙනා (2) මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට (2) නොතීසි නිකුත් කරමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (23) දිනයේ එම වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු ‘ජයශ්‍රී’ සාමාජිකයින් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

ඔවුන් දෙදෙනා (2) සඳහන් කළේ, එම ගීත අතරින් බහුතරයක් ඔවුන් දෙදෙනා (2) විසින් ගැයුනු බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *