කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට

*********************************************

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට

(22.02.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශය භීතියට පත් කරමින් හැසිරුණු ‘අල්කයිඩා’ නමින් හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට 23 හැවිරිදි එම සැකකරුගෙන් කොටදෙණියාව පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ දක්වා මෙම කණ්ඩායමේ 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශයේ අණසක පතුරුවමින් සිටින අල්කයිඩා නමින් හඳුන්වන දාමරික කල්ලියක් පිලිබඳව අප ප්‍රථම වරට අනාවරණ කළේ පසුගිය 19 වනදායි.

ඊට ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා 3 හැවිරිදි සහ 6 හැවිරිදි දැරියන් දෙදෙනෙකු (2) ද කපා කොට ඝාතනය කිරීමට ඔවුන් තැත් කර තිබුණා.

අදාළ සැකකරුවන් විසින් වයෝවෘද්ධ යුවලක් අමානුෂිය ලෙස කපාකොට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළවයි මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැණුනේ.

++++++

කොටදෙනියාවේ මැර පවුල ගැන පොලීසියෙන් දැනුම්දීමක්

(22.02.2022 – 22:25 +0530 – hirunews.lk/sinhala)

සිවුරු පොරවාගත් දෙදෙනෙකු (2) ඇතුළු සිව්දෙනෙකු (4) නිවසකට ඇතුළුවී එහි සිටි අඹු-සැමි යුවළක් කඩුවලින් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිලක් පසුගිය 15 වනදා පොලීසිය ලැබී තිබුණා.

ඒ පොලිස් හදිසි ඇමතුම් අංකයට කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ නිවසකින් ලැබී තිබූ ඇමතුමකට අනුව එහි ගිය අවස්ථාවේදීයි.

ඒ මොහොතේ ජංගම මුර සංචාරයේ නිරතවී සිටි පොලිස් කණ්ඩායමක් අදාළ නිවසට ගිය අවස්ථාවේදී සැකකරුවන් ප්‍රදේශය මගහැර පළාගොස් තිබුණා.

එම නිවසේ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ, සිවුරු පොරවාගත් දෙදෙනෙකු (2) ඇතුළු සිවුදෙනෙකු (4) බීමත්ව කඩු හා මන්නා පිහි රැගෙන නිවසට ඇතුළුවී නිවසේ එම අවස්ථාවේ සිටි අසල්වැසි නිවසක පදිංචි අඹු සැමි යුවළක් කඩුවලින් කපා තුවාල සිදුකළ බවයි.

තමාගේ දුවටද සැකකරුවන් පහරදීමට තැත් කළ බව ඇය පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබුණා.

පොලිසිය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් :

***************************************

කුඩු අංජුගේ ගෝලයෙකු මාට්ටු

(23.02.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය – 02 හි නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) පස්වරුවේ සිදු කරන ලද වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ අංජු’ගේ සමීපතමයෙකු මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඒ මොරගහහේන පොලිස් වසමේ ඔලබොඩුවත්ත – ගෝනපොල ප්‍රදේශයේ දී යි.

අත් අඩංගුවට ගත් සැකකරු ‘සිංහාරගේ අමල් සමින්ද සිල්වා’ නොහොත් ‘රත්මලානේ අංජු’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙකු බවටයි සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයන ලද රුපියල් 4,21,000 ක මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 78 ක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගැනුණා.

37 හැවිරිදි අදාළ සැකකරු ගෝනපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

***************************************

පන්ලක්ෂය (5,00,000) ඉක්මවූ විදෙස් දුම්වැටි ජාවාරම

(23.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

තීරු බදු නොගෙවා, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගල‍යෙකු විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම කදාන පොලිස් වසමේ උතුරු බටගම – ජා ඇල ප්‍රදේශයේ දී සිදු කෙරුණේ.

ඊයේ (22) රාත්‍රී 08:30 ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී පොලිස් භාරයට ගැනුණු මත්වැටි ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ 05 කට අධික බවයි වාර්තා වන්නේ.

එහි දුම්වැටි 6000 ක ප්‍රමාණයක් අඩංගුව තිබුණා.

සැකකරු ජාඇල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

***************************************

රාජ්‍ය අමාත්‍ය ලන්සාගෙන් ජනපතිට ලිපියක්

(23.02.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala)

සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත් වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ජනාධිපතිවරයා වෙත අද (23) ලිපියක් යොමු කිරීමට නියමිතයි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීක දී ඔහු මේ බව තහවුරු කළ අතර එහිදී රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත් වීමට හේතු සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ඔහු අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

මේ අතර ඩෙංගු සහයකයින් ගෙන් කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් තවත් පිරිසක් බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවටත් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇය කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ට ඒ පිළිබඳව දැනුම්දුන් බවයි ෴

***************************************

යුක්‍රේන – රුසියානු අර්බුදය හමුවේ තෙල් සහ ගෑස් මිල තවත් ඉහළට ?

(23.02.2022 – 08:46 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන – රුසියානු අර්බුදය හමුවේ මෙරටට ඇතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා අපක්ෂපාතී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වහා පියවර ගත යුතු බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කළේ දෙරට අතර පවතින එම අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමක් සිදු වුවහොත් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහ සංචාරකයන්ට යළි මෙරටට පැමිණීමේ ගැටලු ඇතිවිය හැකි වනවා.

රාජ්‍ය තාන්ත්‍රික විචාරකයන් අවධාරණය කරන්නේ යුධමය තත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ මූලික අවශ්‍යතා සපුරාලීම පිළිබඳව මෙරට රජය දැන් සිටම පූර්ව සූදානමින් පසුවිය යුතු බවයි.

ඒ ඒ පාර්ශ්වයන්ට සහය දක්වන ප්‍රබල රටවල් මගින් රුසියාවේ සහ යුක්රේනයේ බැංකු පද්ධති ආශ්‍රිතව පවා සම්බාධක පැනවීමේ අවදානමක් පවතින බැවින් ඊට විකල්ප ක්‍රමවේදයන් සැලසුම් කර ගැනීම සඳහා අදාළ දැනුම් දීමේ කටයුතු සිදුකල යුතු බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

යුක්‍රේනයේ ඩාන්යෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඊයේ (22) නිදහස් රාජ්‍යයන් ලෙස ප්‍රකාශයට පත් කළා ෴

+++++++++

රුසියානු ජනපතිට ජගත් මහලේකම්ගේ විරෝධය

(23.02.2022 – 09:34 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ ක්‍රියාකලාපය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ සාම සාධක භටයන් ලෙස රුසියානු හමුදා යුක්රේනයේ ඩාන්යෙක් සහ ලුහාන්ස් ප්‍රදේශවලට යැවීම වැරදි ක්‍රියාවක් බවයි.

වෙනත් රටක කොටසක් ලෙස පවතින ප්‍රදේශයකට එම රටේ අවසරයකින් තොරව සාම සාධක හමුදා යවන්නේ කෙසේ ද යන්න එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්‍රශ්ණ කරනවා.

ඔහු එය හඳුන්වා තිබුණේ විකාර ක්‍රියාවක් ලෙසටයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රුසියාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට චෝදනා කළා.

මේ නිසා රුසියාවට එරෙහිව සම්බාධක පනවන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම ඇමරිකානු භට පිරිස් යුරෝපා රටවලට යැවීමට තීරණය කර තිබෙනවා.

එහි මූලික පියවරක් ලෙස ඉතාලියේ සහ පෝලන්තයේ ඇමරිකානු භට පිරිස් ස්ථාන ගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර ඇමරිකානු අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ චන්ද්‍රිකා ඡයාරූප වලට අනුව බටහිර රුසියාවේ නව හමුදා සහ උපකරණ යෙදවීම් කිහිපයක් පෙන්නුම් කරන බවයි ෴

+++++++++

රුසියාවට, ජපානයෙනුත්, සම්බාධක

(23.02.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

රුසියාවට එරෙහිව බ්‍රිතාන්‍ය සහ ජපානය ද සම්බාධක පනවා තිබෙනවා.

යුක්රේනය සමග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රුසියාවේ බිලියනපතියන් තුන්දෙනෙකුට (3) බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කරමින් මෙලෙස සම්බාධක පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එමෙන්ම, රුසියාවේ බැංකු ඇතුළු මූල්‍ය කටයුතුවලට එරෙහිව ද බ්‍රිතාන්‍යය සම්බාධක පනවනු ලැබුවා.

බ්‍රිතාන්‍යය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමේ පළමු (1) අදියර මෙය බවයි.

පවතින තත්ත්වය මත ඉදිරියේදී තවදුරටත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව ද එම නිවේදනයේ සදහන්.

යුක්රේනය සමග පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළ කරමින් ජපානය ද රුසියාව සමග පවත්වන බැංකු සහ මූල්‍ය කටයුතුවලට එරෙහිව සම්බාධක පනවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, රුසියාවේ රැඳී සිටින තම තානාපතිවරුන් යළි සිය රට වෙත කැදවීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, යුක්රේන – රුසියා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව පැහැදිලි මතයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය අද (23) වාර්තා කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *