අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක්

අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක්

*********************************************

අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක්

(22.02.2022 – 17:36 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 30 ක් එම අර්ථසාධක හිමිකරුවන්ට තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට තමන් කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) පැවති කම්කරු උපදේශක සභා මාසික රැස්වීමේදීයි.

ඒ අනුව මෙතෙක් අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට එම අරමුදලේ 30% අරමුදල් නිදහස් කළේ නිවාස ඉදිකිරීම හෝ ඒ සම්බන්ධ කාරණයක් හෝ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීම යන කාරණ සඳහා පමණයි.

ඒ සඳහා අයදුම්කරුවන් ඒ උදෙසා විශේෂ ලේඛන රාශියක් ඉදිරිපත් කිරීමට තිබූ රෙගුලාසි හේතුවෙන් විවිධ දූෂණ, අක්‍රමිකතා සහ වංචනික ක්‍රියා සිදුවන බවට තොරතුරු අමාත්‍යාංශය වෙත ලැබී තිබුණා.

එම කරුණු සලකා බලා අනවශ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගනු ඇති ෴

***************************************

11 හැවරිදි දැරියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

(22.02.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ගොන්නොරුව පාරේ කෑළියපුර ප්‍රදේශයේදී මත්තල දෙසට ගමන් කරමින් තුබූ යතුරු පැදියක පසුපසින් පැමිණි ටිපර් රථයක් යතුරු පැදිය පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් 11 හැවිරිදි දැරියක් එම ස්ථානයේදීම මියගොස් මව සුළු තුවාල ලබා ඇති බව හම්බන්තොට පොලිසිය පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්තොට, මල්පෙත්තාව, සංදේශ මාවතේ පදිංචි 38 හැවිරිදි මවක හා 11 හැවිරිදි දියණියක්.

අනතුරින් තුවාල ලබා සිටි මව පොලිසියට පවසා ඇත්තේ හම්බන්තොට දෙස සිට මත්තල දෙසට අධික වේගයෙන් ටිපර් රථ දෙකක් (2) එකට පැමිණි බවත් ඔවුන් දෙදෙනාම එක වර ඉස්සර කිරීමට යාමේදී වම් පසින් පැමිණි ටිපර් රථය යතුරු පැදියේ ගැටීමෙන් තමන් පාරෙන් ඉවතට වැටුණු බවත් දියණිය මාර්ගය දෙසට වැටී ටිපර් රථයට යට වූ බවයි.

සිද්ධියට සම්බන්ධ ටිපර් රථය හා ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩගුවට ගෙන ඇති අතර ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

පුෂ්පිකා ට හෙට (23) පිළියන්දල පොලීසියට එන්න කියලා

(22.02.2022 – 18:53 +0530 – hirunews.lk/sinhala)

කිරුළ අහිමි වූ විවාහක රූ රැජිනක වන පුෂ්පිකා ද සිල්වාට හෙට (23) උදෑසන දහයට (10) පිළියන්දල පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

මෙලෙස පුෂ්පිකා ද සිල්වාට පිළියන්දල පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ පසුගිය 14 වන දින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල කෙරුණු ගල් සහ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බවයි ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මේ හිටපු විවාහක රූ රැජන සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුනා.

එහිදී ඇය විසින් ලෝක විවාහක රූ රැජන තරගාවලිය සහ ඒ සඳහා එක් වූ මෙරට සංවිධායකයින් සම්බන්ධයෙන් මතභේදයට තුඩුදෙන කරුණු රැසක් අනාවරණය කළා.

එම සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව මෙරට ප්‍රථම ලෝක විවාහකක රූ රැජින වන රෝසි සේනානායක ඇයට විරුද්ධව එන්තරවාසියක් යොමු කළේ එම සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ වූ අදහස් හරහා ඇයගේ කීර්තිනාමයට හානි වූ බව පවසමින්.

ඒ හරහා ඇය රුපියල් මිලියන පන්සීයක වන්දියක් ද පුෂ්පිකා ද සිල්වා ගෙන් ඉල්ලා සිටියා.

හෙට (23) සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් වලදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය දන්නා යම් තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමට අදහස් කර සිටින බවයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අවසන් වාර්තාව හෙට (23) සභාගත කරනවා – කතානායක

(22.02.2022 – 20:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ සාක්ෂි සටහන් ඇතුළු සියළුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම අවසන් වාර්තාව ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කළ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගිය වසරේ පෙබරවාරි 23 වනදා පාර්ලිමේන්තුවට භාරදුන් අතර නීතිමය හේතූන් මත එහි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණ කෙරුණේ නැහැ.

පසුව එය ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් වෙළුම් 88 කින් සම්පූර්ණ වූ මෙම වාර්තාව අද (22) කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.

***************************************

ගම්මන්පිල අධිකරණයට පැමිණියේ පිරිසිදු දෑතින් නොවේ – යුගදනවි නඩුවේදී නීතිපතිගෙන් චෝදනා

(22.02.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල නීතිමය පදනමකින් තොර බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (22) පෙත්සම් සලකා බැලු අවස්ථාවේදියි.

එහිදි සිය දේශනය ඉදිරිපත් කරමින් නීතිපති සංජය රාජරත්නම් සඳහන් කළේ මහා භාණ්ඩාගාරය සතු අදාළ බලාගාර සතු සමාගමේ කොටස් වලින් සියයට 40 ක් පමණක් පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇති අතර, ඊට නියමිත පටිපාටිය අනුගමනය කර ඇති බවයි.

මෙමගින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන බව සඳහන් කළ ඔහු අනාගතයේදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමට ද එය උපකාර වන බවයි කියා සිටියේ.

එමනිසා මෙම පෙත්සම් පදනම් විරහිත බව නීතිපතිවරයා සඳහන් කළා.

වැඩි දුරටත් කරුණු දක්වමින් නීතීපතිවරයා අධිකරණයේ දී කියා සිටියේ පෙත්සම් 04 ක් ගොනු කර තිබෙන්නේ ගිවිසුම අත්සන් කල දින සිට මාසයක (1) කාලයක් ගතවීමෙන් පසුව බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය ප්‍රකාරව එම පෙත්සම් සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

මෙම නඩුවේ ලේඛනයක් වශයෙන් ‘ජාතික බලශක්ති ප්‍රතිපත්තිය’ ඉදිරිපත් කර ඇති අතර එහි නිර්මාතෘ වරයා වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලයි.

එසේ තිබියදී ඔහු වෙනත් ස්ථාවරයක් ගනිමින් නීතිපතිවරයා මගහැර පෞද්ගලික නීතිඥ වරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ පිරිසිදු දෑත් වලින් නොවන බවට නීතිපතිවරයා එහීදී චෝදනා කරනු ලැබුවා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයේ සිටින සෑම අමාත්‍යවරයෙකුම එහි සාමුහිකත්වය ආරක්ෂා කිරීමටත් පාර්ලිමේන්තුවට වගකීමටත් බැඳී සිටින බවයි.

එහෙත් මෙම නඩුකරයේ දී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට එරෙහිව අධිකරණය හමුවට පැමිණීම තුළින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ හෙලා ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම පෙත්සම් පදනමක් නොමැති බැවින් එම සියල්ල විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මෙහිදී පෙත්සම්කාර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිමති විජේගුණවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම නීතිපතිවරයා එල්ල කල චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.

ඒ අනුව මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (23) දින තෙක් කල් තැබීමටයි පංච (5) පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

***************************************

විශේෂ භාණ්ඩ හා සේවා බද්දට සීමා

(22.02.2022 – 20:50 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුව සතු බලතල වැඩි කර යළි ඉදිරිපත් කළ හැකි බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මෙම බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව පිළිබඳව අදහස් පළ කරමින්.

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ දෙක, තුන, හතර සහ නමය-එක (2, 3, 4, 9-1) වගන්ති මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 20 වැනිදායී, ඒ යටතේ මත්පැන්, දුම්වැටි, වාහන, විදුලි සංදේශ සේවා සහ ඔට්ටු ඇල්ලීම හා සූදු විශේෂ භාණ්ඩ හා සේවා බද්ද යටතට ගැනෙන බව නම් කර තිබුණා.

කෙසේ වෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් එකතු කරන ලද බදු වර්ග කිහිපයක් මෙම පනත් කෙටුම්පත තුළින් මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට යන බවට චෝදනා කරමින් එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඊට එරෙහිව වැඩවර්ජනයක නිරත වීමට කටයුතු කළා.

අදාළ පනතට එරෙහිව පාර්ශව 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්ද ගොනුකළ අතර, ඔවුන් සිය පෙත්සම්වලින් කියා සිටියේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය කප්පාදුවීමක් සිදුවන බවයි.

එම පෙත්සම් විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය දිනවල විභාගයට ගැනුණා.

අද (22) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් නිවේදනය කළේ එම විනිසුරු මඩුල්ලේ නිගමනයයි ෴

***************************************

අධිභාර බදු පනත් කෙටුම්පත සභාගත කෙරේ

(22.02.2022 – 20:53 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැය මගින් යෝජනා කෙරුණු එක්වරක් (1) පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාර බද්ද පැනවීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

රුපියල් මිලියන 2000 කට වඩා වැඩි ආදායමක් උපයන තැනැත්තන්ගෙන් සහ සමාගම් වලින් පමණක් අදාළ අධිභාර බද්ද අය කිරීමට යෝජනා කර තිබෙනවා.

***************************************

‘පානදුර සලිදු’ගේ කුඩු සල්ලි රට යවලා – පොලිස් විමර්ශන පුළුල් කෙරේ

(22.02.2022 – 14:46 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වනු ලබන ‘සලිදු කරුණාරත්න’ හෙවත් ‘පානදුර සලිදු’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 2 ක මුදල් උණ්ඩියල් ක්‍රමයට විදේශ රටකට යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දැනට මේ පිළිබදව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මෙම රුපියල් කෝටි දෙකක (2) මුදල උපයාගෙන ඇති බවට අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව ‘පානදුර සලිදු’ නැමැත්තාගේ මෙරට පවතින වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයිපොලීසිය සඳහන් කළේ.

එසේම ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු සම්බන්ධයෙන් දේපළ හා වත්කම් පිළිබදව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++

ගල් ගොඩකින් මතු වූ ‘පානදුර සළිදු’ ගේ රුපියල් අසූ ලක්ෂය

(22.02.2022 – 21:48 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ‘පානදුර සළිදු’ නැමැත්තා ට අයත් බව කියන එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් අසූ ලක්ෂ එක්දහසක (80,01,000) ජාවාරම් මුදලක් විහාරස්ථාන භූමියක ගල් ගොඩක සඟවා තිබියදී පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සොයා ගෙන තිබෙනවා.

‘සළිදු’ ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් අයකැමි මෙන්ම ප්‍රධාන ගෝලයකු වන ඒ ආසන්නයේ නිවසක පදිංචි පුද්ගලයකු ද මේ සමගම පොලිසිය අත්අඩන්ගුවට ගෙන තිබෙනවා.

පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව එම පුද්ගලයාගේ නිවසක් පරීක්ෂා කර ඇති අතර, ඊට යාබද කුරුප්පුමුල්ල විහාරස්ථානයක කළුගල් ගොඩක විශාල මුදලක් සගවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසුවා.

ජාවාරම් මුදල් එකතු කළ බව කියන එම සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

***************************************

රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුළු වෙයි – යුද උණුසුම තව තවත් ඉහළට

(22.02.2022 – 16:42 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශ දෙකක් (2) ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමෙන් පසු එම ප්‍රදේශ වෙතට ඇතුළු වන ලෙස රුසියානු හමුදා භටයින්ට නියෝග කර තිබෙනවා.

අද (22) පෙරවරුවේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් යුක්‍රේනයේ ප්‍රාන්ත දෙකක් (2) වන ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන මහජන සමූහාණ්ඩු ලෙස පිලිගනු ලැබුවා.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පැවසුවේ සිය හමුදා එම ප්‍රදේශවල ‘සාම සාධක කටයුතුවල’ නිරත වන බවයි.

කෙසේ වෙතත් එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව පවසා සිටියේ එලෙස රුසියානු හමුදා යුක්‍රේනයේ කොටසක සාම සහසාධක ක්‍රියාවලියක නිරත වන බව පැවසීම විහිළු සහගත එකක් බවයි.

ඔවුන් විවිධ හේතු මවා ගනිමින් යුද්ධය සඳහ පිවිසීමට සාධාරණ මාවතක් සොයා ගැනීමට උත්සාහ දරන බවටත් ඇමරිකාව චෝදනා කරනවා.

ඇමරිකාව තවදුරටත් චෝදනා කරන්නේ රුසියාව විසින් මෙලෙස ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගත් ඊනියා බිම් පෙදෙස 2014 වසරේ සිට යුක්රේන හමුදාවන්ට එරෙහිව සටන් වදින රුසියානු අනුග්‍රහය ලබන කැරලිකරුවන් වාසය කරන ප්‍රදේශ බවයි.

මේ අතර රුසියාව හිතාමතාම සිය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බවට යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා.

ඊයේ (21) රාත්‍රියේ රූපවාහිනියෙන් ජාතිය අමතමින් ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) කියා සිටියේ යුක්රේනයට සාමය අවශ්‍ය නමුත් ‘අපි කිසිවෙකුටත් බය නැති අතරම කිසිවෙකුට කිසිවක් ලබා නොදෙන’ බවයි.

එමෙන්ම යුක්‍රේනයට එහි ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ‘පැහැදිලි සහ ඵලදායී ක්‍රියාමාර්ග හරහා ක්‍රියාත්මක වන සහයෝගයක්’ අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා.

‘අපගේ සැබෑ මිතුරා සහ සහකරු කවුද යන්න හඳුනා ගතයුතු අතරම රුසියානු සමූහාණ්ඩුව වචන වලින් පමණක් බිය ගන්වන්නේ කවුරුන්ද යන්නත් සොයා බැලීම ඉතා වැදගත් බව’ ඔහු තවදුරටත් පැවසුවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක දී, එක්සත් ජනපද තානාපතිනි ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ්, රුසියානු හමුදා ‘සාම සාධක භූමිකාවක්’ භාර ගන්නා බවට කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ‘ඔවුන් ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්දැයි අපි දනිමු’ යනුවෙන්.

ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීම යුක්රේනය ආක්‍රමණය කිරීමට හේතුවක් නිර්මාණය කිරීමේ රුසියානු උත්සාහයේ කොටසක් බවත් ඇය පැවසුවා.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට යුක්රේනයේ ලිවියු හි රැඳී සිටින ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් එම කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරගෙන ඇති බවයි.

ඔවුන් දැනට තාවකාලිකව පෝලන්ත‍යේ රැඳී සිටිමින් අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදුකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ තවත් නිවේදනයක දැක්වුණේ යුක්රේනයේ රැඳී සිටින අමෙරිකානු පුරවැසියන් හට හැකි ඉක්මනින් ඉන් ඉවත්වන ලෙසට ඇමරිකාව දැනුම් දෙන බවයි.

මේ වන විට යුක්රේනය තුළ හටගෙන ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ඇමරිකානු ධවල මන්දිරය ප්‍රකාශ කළේ රුසියාවට එරෙහිව පනවනු ලබන නව ආර්ථික සම්බාධක පිළිබඳව අවසන් තීරණය අද (22) ගන්නා බවයි.

එම තීරණ වලට සමගාමීව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ වෑයමට එරෙහි වන අනෙකුත් රටවල්ද රුසියාවට සම්බාධක පනවනු ඇති බවටත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර මේ වන විටත් රුසියාවෙන් සැපයෙන ස්වභාවික ගෑස් මිල දී ගැනීම් අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

යුරෝපයේ ප්‍රමුඛතම ගෑස් සපයන්නා වන්නේ රුසියාවයි.

ඒ අනුව ඉදිරියේ දී ලෝක ඛනිජ තෙල් මිල උච්චාවචනයන්ට ද මෙම තීරණ අතිශය බරපතල බලපෑම් ඇති කරනු ඇති බවටයි ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ.

යම් හෙයකින් මෙම දේශසීමාවල ගැටුම් සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් එය ලෝක ඛනිජ තෙල් මිල මින් පෙර නොවූ විරූ මට්ටමින් ඉහළ දමන සාධකයක් වනු ඇති බවටත් ඔවුන් අනතුරු අඟවනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *