අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ

අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ

*********************************************

අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ

(22.02.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 541 ක ධාරිතාවක් අහිමි වන බැවින් අද (22) දිනයේදී කාණ්ඩ 3 ක් යටතේ පැය දෙක (2) බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 බැගින් විදුලිය කප්පාදු කිරීමක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව ඒ, බී සහ සී කාණ්ඩවලට පස්වරු 04:30 සිට රාත්‍රී 10:30 දක්වා පැය දෙකක (2) කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

අනෙකුත් කාණ්ඩවලට එම කාලය තුළ පැය 3 ක් විදුලිය අත්හිටු වනවා.

යළිත් වරක් මුළු දිවයිනම ආවරණය වන පරිදි විදුලිය කප්පාදු කිරීම ඊයේ (21) සවස 04:30 සිට ආරම්භ වූ අතර, ඒ අනුව රාත්‍රී 10:30 දක්වා පැය 2 ක කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරුණා.

එහෙත් ඇතැම් ප්‍රදේශවලට පැය දෙකකට (2) අධික කාලයක් විදුලි කප්පාදු කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඊයේ (22) ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදුව සිදුකෙරුණේ අදාළ කාලසටහනෙන් තොරව අවිධිමත් ආකාරයට බවට විදුලි වෘත්තීය සමිති චෝදනා කරනවා.

අඛණ්ඩ විදුලි සැපයුම සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මෙරට තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිඟවීම හා ජල විදුලි බලාගාරවල ජල මට්ටම් සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන්.

මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවලපිටිය – වෙස්ට් කෝස්ට් සහ කැළණිතිස්ස බලාගාර තවදුරටත් පවතින්නේ අක්‍රීය තත්ත්වයකයි.

+++++++

කාලසටහනින් තොරව විදුලිය කැපීම ගැන පරීක්ෂණයක්

(22.02.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

නියමිත කාලසටහනෙන් බැහැරව ඇතැම් ප්‍රදේශ වලට විදුලිය කප්පාදු කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව මහජන උපයේගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක අවධාරණය කළේ, මේ දිනවල ක්‍රියාත්මක විදුලි කප්පාදුව සිදුකල හැක්කේ නියමිත කාලසටහන අනුව පමණක් බවයි.

ඊයේ (21) දිනයේ විදුලිය කප්පාදුව ඇතැම් ප්‍රදේශ වල සිදු කර ඇත්තේ නියමිත කාලසටහනෙන් බැහැරව බවට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමෙන් අප විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ විදුලි කප්පාදු සිදු කරන අකාරය ඇතුළත් කාලසටහනක් මේ දක්වා තම ආයතනයට ලැබී නොමැති බවයි.

මේ අතර, අදත් (22) පස්වරු 04:30 සිට රාත්‍රී 10:30 දක්වා දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

කාණ්ඩ 3 කට පැය 2 බැගින් සහ අනෙකුත් කාණ්ඩ 8 ට පැය 3 බැගින් එලෙස විදුලිය කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කෙසේ වෙතත් ඉන්ධන අවසන්ව ඇති කෙරවලපිටිය , වෙස්ට්කෝස්ට් බලාගාරය සඳහා සවස 4 ට පෙර ඉන්ධන ලැබුනහොත් එම කාණ්ඩ 8 ට සිදු කෙරෙන විදුලි කප්පාදුව පැය 2 කට සීමා වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ.

එසේම, හෙට (23) දිනයේ විදුලිය කප්පාදු කරන වේලාව අද (22) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර, රට තුළ මතුව ඇති විදුලි සහ ඉන්ධන අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද නියමිත තිබෙනවා.

තවදුරටත් ඉන්ධන පිරවුම් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබෙන අතර, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් වසා දමා ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

++++++++++++

හෙට (22) පැය 5 කට ආසන්න කාලයක් විදුලිය කැපෙයි

(22.02.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) දිනයේත් කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතරහමාරක (4½) පමණ කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4 කුත් මිනත්තු 30 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, A, B සහ C කලාපවලට පැය පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හෙට (23) විදුලිය කප්පාදු කෙරෙන අතර සෙසු කලාප සඳහා පැය 4 කුත් මිනත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

++++++++++++

ඉන්ධන සැපයුම නොකඩවා සිදුකරන්න – ජනපතිගෙන් නියෝග

(22.02.2022 – 22:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන සැපයුම නොකඩවා සිදුකරන ලෙස අද (22) පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

රෝහිත අබේගුණවර්ධන පැවසුවේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් නොගත් බවයි.

***************************************

බෙන්තොට වෙරළ තීරයේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

(22.02.2022 – 10:54 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට වෙරළ තීරයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව අද (22) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයා අවුරුදු 40 ත්, 45 ත් අතර වයසේ පසුවන බවයි පොලීසිය සදහන් කළේ.

වෙරළ තීරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක මෙම ත්‍රිරෝද රථය නවතා තිබූ බව පොලීසිය කියා සිටියා ෴

***************************************

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නව ව්‍යාපෘතියක්

(22.02.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට කිරි නිෂ්පාදනය ගුණාත්මක කිරීමේ අරමුණෙන් ඉහළ තත්ත්වයන් යටතේ වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍යාධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

2024 වර්ෂයේ සැප්තැම්බර් මස දක්වා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට එම දෙපාර්තමේන්නතුව එකඟ වී ඇති අතර පෞද්ගලික කිරි නිෂ්පාදන අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් 38 ක් එම වැඩසටහනට එක් කර ගැනීමට නියමිතයි ෴

***************************************

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ප්‍රගතිදායක කැබිනට් තීන්දුවක්

(22.02.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

2024 සහ 2028 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලි ඉලක්ක කරගනිමින්, පරිසාධන මට්ටම් අනුව සුදුසුකම් ලබා ගැනීම සහ පදක්කම් අපේක්ෂාව මත දීර්ඝකාලීන ක්‍රමවත් පුහුණු වැඩපිළිවෙළක් යටතේ හඳුනාගනු ලබන සුවිශේෂී දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන්ගේ පුහුණු අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබාදීමටත් පුහුණුකරුවන් සඳහා මූල්‍යමය දීමනාවක් ලබාදීමටත් හැකිවන පරිදි ඔවුන් දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ජාතික ක්‍රීඩා සභාව මගින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව තෝරාගනු ලබන උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 100,000 ක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් 50,000 ක් බැගින් වූ මාසික දීමනා ගෙවීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (22) දිනයේ දී අනුමත කරනු ලැබුවා ෴

***************************************

ගම් සංවර්ධනයට තාරුණ්‍යයේ සහාය රජය අපේක්ෂාවෙන්

(22.02.2022 – 11:45 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ප්‍රජා සහායක (ස්වේච්ඡා) ලෙස තරුණ තරුණියන්ගේ සේවාව ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ජපානය සහ සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා පොලිස් සේවාව මගින් ප්‍රජා මට්ටමින් සිදුවන සුළු අපරාධ අවම කර ගැනීමේ හැකියාව හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි වැඩසටහන්වල සාර්ථකත්වය මත පදනම්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය සමග එක්ව 2021 මැයි මාසයේ සිට ප්‍රජා පොලිස් සේවා වැඩසටහන යටතේ පූර්ණකාලීනව පොලිස් නිලධාරින් දෙදෙනකු (2) සෑම ග්‍රාම නිලධාරි වසමකටම අනුයුක්ත කිරීමට පියවර ගැනුණා.

එකී පොලිස් නිලධාරින්ගේ රාජකාරී කටයුතුවලට ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම පිණිස අදාළ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි තරුණ තරුණියන් දෙදෙනකු (2) ‘ප්‍රජා සහායක (ස්වේච්ඡා)’ වශයෙන් සේවයේ යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

අදාළ ග්‍රාම නිලධාරි වසමේ ස්ථිර පදිංචි, වයස අවුරුදු 18 ට වැඩි, පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් වශයෙන් කටයුතු කර ඇති, යෞවන සමාජ සාමාජිකත්වය දරන සහ වෙනත් ස්වේච්ඡා කණ්ඩායම්වල ක්‍රියාකාරී තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

ඔවුන් විසින් ගෞරවනීය සේවාවක් සපයනු ලබන අතර, කිසිදු දීමනාවක් හෝ වෙනත් අයිතිවාසිකමක් ඔවුන්ට හිමි නොවනු ඇති.

ශ්‍රී ලංකා පොලිසීය විසින් ඔවුන් සඳහා ස්වේච්ඡා හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන අතර, මාස 06 ක සේවා කාලය ඉක්ම වූ පසු ප්‍රජා නායකත්වය පිළිබඳ සේවා සහතිකයක් ලබාදීමට ද නියමිතයි.

මෙම යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා ෴

***************************************

ප්‍රතිසංස්කරණය කළ බස් රථ 200 ක් ධාවනයට

(22.02.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala)

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200 ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටවනු ලැබූ අතර, එහිදී ඇති වූ බස්රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගත්තා.

එහි පළමු (1) අදියර යටතේ බස් රථ 273 ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 දෙසැම්බර් මාසයේ දී සිදු කෙරුණා.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107 ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200 ක් දෙවන (2) අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු අතර ඊට වැය කළ මුදල රුපියල් මිලියන 136 ක්.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය මෙය ක්‍රියාත්මක කරනවා.

බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග කථා බහ කරමින් ඔවුන් දිරිමත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා රෝගීන්ට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක්

(22.02.2022 – 11:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන්ට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මියයන පුද්ගලයන් ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට සහ 30 ට වැඩි පුද්ගලයන් වන අතර , වයස අවුරුදු 30 අඩු මරණ පවතින්නේ ඉතාමත් අවම මට්ටමක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගෙන් බොහෝ පිරිසක් නිදන්ගත රෝගවලින් පෙලෙන සහ දීර්ඝකාලීන ප්‍රතිශක්තිය හීන වන ඖෂධ ලබාගන්නා රෝග තිබෙන පුද්ගලයින් වන අතර එහෙයින් ඔවුන් නිවසේ ආරක්ෂාකාරීව සිටිය ද නිරෝගී පුද්ගලයන් හරහා ඔවුන්ට මෙම රෝගය වැළඳී මිය යාමට හේතුවක් විය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නිරෝගී අය සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර තුන්වැනි (3) මාත්‍රාව ලබා ගත යුතුයි. මෙම ක්‍රම අනුගමනය කරන්නේ නම් අන් අයට රෝගය බෝවීමේ හැකියාව අවම කරගත හැති අතර එමගින් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවන බවද ඔහු සඳහන් කළා.

සමහර රටවල් අත්හදාබැලීමක් ලෙස හා සමාජ ආර්ථික ක්‍රියාවලිය මත මෙම omicron ප්‍රභේදය අවසාන භාගයේ සංචරණ සීමා ලිහිල් කිරීම් සිදු කළ නමුත් එමගින් දියුණු යැයි සැලකෙන බොහෝ රටවල නැවතත් රෝගීන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව වැඩි වී තිබෙනවා.

අපට එවැනි අවසානයක් මේ මොහොතේ දකින්නට නොමැති වුවද නුදුරේම එවැනි අවසානයක් බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.

+++++++++++++

කොරෝනා ආසාදිතයන් 207 ක් සුවයට

(22.02.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයන් 207 දෙනෙකු අද (22) දිනයේ සුවය ලබා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,07,326 ක් බවයි.

මෙරට සක්‍රීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14,693 ක් ෴

+++++++++++++

කූඨ ලෙස පී.සී.ආර්. වාර්තා සැකසූ අයෙකුට වැඩ වරදියි

(22.02.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

මීගමුව පොලිස් වසමේ තෙල්වත්ත හන්දිය අසල දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ව්‍යාජ ලෙස සකස් කර විදෙස්ගත වන පුද්ගලයින් සඳහා ඒවා අලෙවි කිරීමේ චෝදනාව සම්බන්ධවයි.

මෙම සැකකරු භාරයේ තිබී අපරාධය සඳහා භාවිත කළ ජංගම දූරකථනයක් ද පොලිස් භාරයට ගැනුණා.

අදාළ සැකකරු විසින් WatsApp සන්නිවේදනය මාර්ග මගින් පමණක් එකිනෙකාගේ අනන්‍යතාව තහවුරු නොවන ලෙස ඉතා සූක්ෂ්මව මෙම වංචාව සිදු කර ඇති අතර, එක් ව්‍යාජ පී.සී.ආර්. වාර්තාවක් සඳහා රුපියල් 6000 – 6500 ක් අතර මුදලක් ලබාගෙන ඉන් රුපියල් 4000 ක මුදලක් වාර්තා සකස් කරන සැකකරුට ලබා දී ඇති බවට සිදු කරන මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරු විසින් මෙලෙස පී.සී.ආර්. වාර්තා 70 කට ආසන්න සංඛ්‍යාවක් සකසා ඒ සඳහා තැරැව්කරුවන් 09 දෙනෙකු ද හවුල් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සතුව තිබී ලැප්ටොප් පරිගණකයක්, ජංගම දූරකථන 03 මෙන්ම මෙම වංචාවට හසු වූ විදෙස්ගත වන්නට සූදානමින් පී.සී.ආර්. වාර්තා ලබා ගැනීමට ආ පුද්ගලයින් 750 දෙනෙකුගෙන් ද මේ වනවිට ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා ෴

+++++++++++++

තවත් කොරෝනා ආසාදිත මරණ 31 ක්

(22.02.2022 – 18:46 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 31 ක් මෙරටින් වර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,055 ක් දක්වා ඉහළ යනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *