පාසල් සිසුවෙකු දුෂණය කල විහාරාධිපති සාදුබල්ලා අත්අඩංගුවට…

පාසල් සිසුවෙකු දුෂණය කල විහාරාධිපති සාදුබල්ලා අත්අඩංගුවට…

*********************************************

පාසල් සිසුවෙකු දුෂණය කල විහාරාධිපති සාදුබල්ලා අත්අඩංගුවට…

(21.02.2022 – 17:30 +0530 – lankacnews.com ඇසුරෙන්)

වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති සාදුබල්ලාව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පැවසිය.

වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවු. 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති සාදුබල්ලා විසින් ලිංගික අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා විසින් වටවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විහාරාධිපති සාදුබල්ලාව සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

එම පාසල් සිසුවාව විහාරාධිපති සාදුබල්ලා විසින් විහාරස්ථානය වෙත කැදවා ලිංගික අපයෝජනය කර ඇති බවට පාසල් සිසුවා විසින් ඔහුගේ පියා වෙත පැවසිමෙන් අනතුරුව පියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසියට පැමිණිලි කර ඇත.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන පාසල් සිසුවා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා බවත්, සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති සාදුබල්ලාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වටවල පොලිසිය කියා සිටියේ ෴

***************************************

කළමනාකරණ සේවා නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක

(21.02.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

සිය ඉල්ලීම් සඳහා විසඳුම් නො ලැබීම හේතුවෙන් දකුණු පළාතේ කළමනාකරණ සේවා නිලධාරීන් හෙට (22) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

කළමනාකරණ සේවා නිලධාරි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ, වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් පළමු (1) පියවර ලෙස අදාළ වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.

හෙට (22) දිනයේ දකුණු පළාතේ සියලු ම කළමනාකරණ සේවා නිලධාරීන් ගාල්ල නගරයේ දී උද්ඝෝෂණයක නිරත වීමට ද නියමිත යි.

පසුගිය ජනවාරි මස 24 වන දා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ දී ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩ ව වෘත්තිය ක්‍රියාමාර්ග සිදු කිරීමට තීරණය කළ බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ ෴

***************************************

පාඨලීගේ පෙත්සම විභාග කිරීම පිළිබඳ නියෝගය මාර්තු 29 වන දා

(21.02.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නේ නැද්ද යන නියෝගය මාර්තු 29 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (21) නියෝග කළා.

ඒ, ඊට අදාළ පෙත්සම මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදියි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සදහන් කළේ පෙත්සම්කාර පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් විසින් කටයුතු කර ඇති ආකාරය පිළිබදව මේ වන විට සාක්ෂි රැසක් අනාවරණ වී ඇති බවයි.

පෙත්සම්කරු මහාධිකරණ නඩු විභාගය කල් දමා ගැනීමේ චේතනාවෙන් කටයුතු කරන අතර, මහාධිකරණ නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන නියෝගය මාර්තු 29 වන දා ප්‍රකාශයට පත් කරන බවයි ෴

***************************************

රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න රනිල්ට වඩා බැසිල් ඉදිරියෙන් – වෛද්‍ය වසන්ත බණ්ඩාර (15.02.2022)

***************************************

තිස්ස බණ්ඩාරනායක සමුගනී

(21.02.2022 – 08:04 +0530 – gossiplankanews.com)

ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස බණ්ඩාරනායක මහතා ඊයේ (20) අභාවප්‍රාප්ත විය.කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවිය. වේදිකාව ටෙලිනාට්‍ය හා චිත්‍රපට යන අංශ තුනෙහිම කැපී පෙනෙන චරිත සඳහා දායකවූ නළුවෙකි.

භික්ෂුන් වහන්සේලාගේ චරිත නිරූපණය නිසා ඔහු වඩාත් ප්‍රකට විය.

1954 මාර්තු 08 වනදා මෙලොව උපත ලද තිස්ස බණ්ඩාරනායක කිරිබත්ගොඩ ස්ටැම්ෆර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර 1984 නිෂ්පාදනය කෙරුණු ඒකාධිපති වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පියෙකු ලෙස එළි දුටුවේය.

තිස්ස බණ්ඩාරනායක මහතා දියණියන් දෙදෙනකුගේ (2) පියෙකි.

කාහල නාදය, අලුබඳුන, ගිරිකුල, මහතලා හටන, යුගවිලක්කුව, සංසාරේ පිය සටහන්, සිත නිවන කතා ආදී ටෙලි නාට්‍යවල මෙන්ම භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපටවලට රංගනයෙන් දායකවූ බණ්ඩාරනායක මහතා ඒකාධිපති, මකරාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාට්‍ය නිර්මාණ 300 චරිත නිරූපණය කර ඇත.

තිස්ස බණ්ඩාරනායක මහතාගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී අද (21) පස්වරු 06:00 ට සිදුකෙරේ.

***************************************

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ජෛව ඩීසල් නිපදවයි

(20.02.2022 – 19:36 +0530 – ada.lk)

අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් ‘එඬරු ඇට’ යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.

ඔහු සඳහන් කරනුයේ තමන් වසර 15 ක් පුරා ජෛව ඉන්ධන සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ වල සොයා ගැනීම් අනුව දැනට තිබෙන ඩීසල් හිඟතාවය නිසා ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය ආරම්භ කල බවත්, මේ සඳහා ලංකාවේ වැවෙන මනුෂ්‍ය පරිභෝජනය සඳහා භාවිතා නොකරන එඬරු ශාක වර්ග දෙකක (2) තෙල් භාවිතා කරන බවත්, එම එඬරු ශාකවල විශාල වශයෙන් ඵල හට ගන්නා බවත්, එම ඇට වලින් වසරකට සියයට 60 ක ආසන්න ප්‍රමාණයකින් තමන් තෙල් නිෂ්පාදනය කල බවත් ය.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනුයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වී යාම හේතුවෙන් මේ වනවිටත් ලෝකයම ජෛව ඉන්ධන භාවිතයට නැඹුරු වී ඇති බවත් මේ වන විටත් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, සහ අප්‍රිකාව වැනි රටවල වසර ගණනාවක් සිය ජෛව ඩීසල් භාවිතා කර ඇති බවයි.

වෛද්‍යවරයා සඳහන් කරනුයේ තමන් කෘෂිකර්මාන්තයට යොදා ගන්නා ටැක්ටර් රථය මෙන්ම තම කැබ් රථයද තමන් විසින් නිෂ්පාදනය කරන ලද ජෛව ඩීසල් වලින් ධාවන කරනු ලබන බවත් දැනට පවතින ඩීසල් වාහන සදහාද මෙම ජෛව ඩීසල් කිසිදු වෙනස් කමක් නොකරම භාවිතා කිරීමට හැකියාව ඇති බවයි.

(අනුරාධපුර – බී.ජී.චතුරංග)

***************************************

පුහුණු වෙන්න ගිය මෝටර් රථය ඔයට පෙරළෙයි

(21.02.2022 – 06:58 +0530 – lankadeepa.lk)

මහනුවර රන්දෙණිගල මාර්ගයේ කිවුල් ළිඳ හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් අඩි 500 ක් පමණ ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටී තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා (2) ගෙන් එක් අයකු බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති.

මොවුන් රටේමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර රිය පැදවීමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා මෙම මාර්ගයේ ගමන්කර ඇත.

වික්ටෝරියා ජලාශයට අයත් කිවුල්දිද ඔය මේ දිනවල පතුලටම සිඳීගොස් ඇති අතර ජලාශය පිරී ඇතිවිට මෙම ප්‍රදේශයේ අඩි සියයකට (100) වඩා ජලයෙන් පිරී පවතී. එසේ නොවන හෙයින් මොවුන්ගේ ජීවිත අනූනවයෙන් බේරී ඇතැයි අවට සිටි පිරිස් හා පොලිස් නිලධාරීන් පවසයි.

***************************************

ජනාධිපති යන පාරේ පෝස්ටර් ගලවන්නැයි නියෝග කරලා…

(21.02.2022 – 15:50 +0530 – lankacnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගමන් කරන මාර්ගයේ අලවා තිබූ තම පක්ෂයේ ප්‍රචාරක පෝස්ටර් ඉවත් කරවන ලෙස මිරිහාන පොලිසිය නියෝග කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල සඳහන් කරයි.

ඇඹුල්දෙණිය මාදිවෙල ප්‍රධාන පාරේ පැවැත්වීමට නියමිත වූ තම පක්ෂයේ රැස්වීමක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා එම මාර්ගයේ යාමට නියමිත බැවින් එම පෝස්ටර් ගලවන ලෙස මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කළ බව තමන් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් පැවසූ බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ම ප්‍රචාරක දැන්වීම් ගැලවීමට තමන් කිසිදු නියෝගයක් ලබා නොදුන් බවත් එවන් රැස්වීමක් ගැන පවා තම තමන් දැනුවත් නැති බවත් මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර කරයි.

නමුත් රැස්වීමක පත්‍රිකා පාරේ තැන්තැන්වල ඇලවිය නොහැකි බවත් ඒ සඳහා සකස් කර ඇති දැන්වීම් පූර්ව අදාල පෝස්ටර් යුතු බවත් ඔහු අවධාරණය කළේය ෴

***************************************

වන – අගල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(21.02.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා උඩවලව ඇතුළු විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිත අගල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

එහි වගඋත්තරකරුවන් ලෙස වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පොලිස්පතිවරයා ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ අලි ඇතුන් අගල්වලට වැටී මරණයට පත්වීමට හෝ බරපතල තුවාල වීමට හැකියාවක් පවතින බවයි.

එමෙන්ම, අගල් ඉදිකිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ජල චක්‍රයට ද හානි සිදුවී ගොවිතැන්වලට ද බලපෑම් සිදුවිය හැකි බව පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙනවා ෴

***************************************

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන

(21.02.2022 – 16:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට විවාහ පනතකට සංශෝධන දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි (08) දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් තීරණය කර තිබෙනවා.

එහෙත් එම තීරණයට මුස්ලිම් ප්‍රජාවගේ විරෝධයක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මුස්ලිම් ප්‍රජාවගේ බහු විවාහ නීති දිසා අධිකරණ වෙත යොමු කිරීම නීති ප්‍රමාදයට තවත් හේතුවක් වන බැවින් කාති අධිකරණවල දී නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව අධිකරණ අමාත්‍යාංශයේ අදහසයි.

එලෙස විසඳීමට නොහැකි ගැටලු පමණක් දිසා අධිකරණයට යොමු කළ යුතු බවද අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *