අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ

අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ

*********************************************

අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ

(21.02.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ සිට මෙරටට රැගෙනවිත් තිබූ සායනික අපද්‍රව්‍ය තොගයේ අවසන් කොටස ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීමට නියමිතයි.

සායනික අපද්‍රව්‍ය සහිත අදාළ බහාලුම් තොගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප භූමියේ ගබඩාවකින් සොයා ගැනුණේ 2019 වසරේදී.

එංගලන්තයෙන් මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහලුම් අවසන් බහලුම් තොගය අද (21) ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීමට නියමිතයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසුවේ බහාලුම් 45 ක් කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ දී නැව්ගත කරන බවයි.

එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ සායනික අපද්‍රව්‍ය ඇතුළත් කසළ බහලුම් 242 ක් කටුනායක නිදහස් වෙළද කලාප භූමියේ ගබඩාවකින් සොයා ගැනුණේ පසුගිය 2019 වසරේදීයි.

අවස්ථා කිහිපයකදී එම බහලුම් යළි එංගලන්තයට ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබුණා.

***************************************

හොරෙන් පෙරූ මත්ද්‍රව්‍ය පොලීසියට කොටු වෙයි – සැකකරුවන් දෙදෙනකුටත් (2) මාංචු

(21.02.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ජා ඇල පොලිස් වසමේ වහටියගම සහ ඔතේකැලේ ප්‍රදේශයේ දී ඊයේ (20) පෙරවරුවේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 4914 ක් නැතහොත් බැරල් 24 ක ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට පොලීසිය සමත් වුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් දෙදෙනකු (2) ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 40 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් ඒකල සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (21) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

රන් කරඬු ගැන ඔත්තුවකට තවත් ලක්ෂ 10 ක්

(21.02.2022 – 07:40 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන – දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රන් කරඬු සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 35 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

පොලිසිය ලක්ෂ 25 ක මුදලක් සහ විහාරාධිපති හිමියන් තවත් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කෑගල්ලේ දී ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

සැකකරුවන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් 071 859 1772, 071 859 4924 සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය වන 011 242 2176 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් මීට පෙර ඉල්ලා සිටියේ.

රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු 5 ක් සහ පළිඟු කරඬු 3 ක් කිසියම් පිරිසක් විසින් පසුගිය දා සොරාගෙන තිබුණා.

කෙසේ වෙතත් මේ පිළිබදව තවමත් නිසි තොරතුරක් ලැබී නො මැති බැවින් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාදෙන බව යි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියා සිටියේ ෴

***************************************

බඩු මිල හමුවේ වෙනස් වූ ආහාර චර්යා

(21.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම හමුවේ ජනතාවගේ ආහාර චර්යාවේ කෙටි කාලීන වෙනස්කම් පෙන්නුම් කළ ද මන්දපෝෂණ හෝ පෝෂණ ඌනතා තත්ත්වයක් මේ දක්වා වාර්තා වී නොමැති බව වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබද මහාචාර්ය රේනුක සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ, මිල ඉහළ ගිය එළවළු පරිභෝජනය වෙනුවට ජනතාව විකල්ප වෙත යොමු වුණ ද සහල් මිල ඉහළ යාම හමුවේ සහල් පරිභෝජනය අඩු නො කළ බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට අවස්ථා කිහිපයක දී අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් ලෝක ආහාර වැඩසටහන ද සමග වයඹ විශ්වවිද්‍යාලය සමග සිදු කළ පර්යේෂණයක් සඳහා දත්ත එක්රැස් කර තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ තත්ත්වයට මෙම මිල ඉහළ යාම් බලපාන ආකාරය කෙටි කාලීන ව ප්‍රතිඵල ලබා නොදුන්න ද ඉදිරි කාලයේ දී එහි බලපෑම කෙබඳුදැ යි නිශ්චය කළ හැකි බව ද මහාචාර්ය රේනුක සිල්වා කියා සිටියා ෴

***************************************

පළාත් සභාවට පෙර පුංචි ඡන්දය ?

(21.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණයට පෙර රජය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

වව්නියාව දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ ඊයේ (20) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මතුගම නගර ශාලාවේ ඊයේ (20) පැවති සමුළුවකට එක්වෙමින් කියා සිටියේ තරුණ නියෝජනය සහතික කර කඩිනමින් නිර්දේශ ලබාදී මිශ්‍ර ඡන්ද ක්‍රමයකින් පළාත්පාලන ඡන්දය පැවැත්විය යුතු බවයි ෴

***************************************

සාක්ෂි සැඟවීමට හේතුවක් නැහැ – අධිකරණ ඇමති

(21.02.2022 – 08:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළ සාක්ෂි සගවන බවට කරන චෝදනා පදනම් විරහිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ඒ, කොළඹ දී ඊයේ (20) මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

***************************************

ඉතාලියේ කොන්සියුලර් සේවා සඳහා මුදල් අයකරන පුද්ගලයන් ගැන දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

(21.02.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සපයන කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කරගැනීමට මුදල් අයකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස එම කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අදාළ කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කරගැනීම නොමිලේ සිදු කරන්නක් බවයි එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කර ගැනීමට මුදල් අය කිරීමට හෝ වෙනත් වරප්‍රසාදයක් ලබාගැනීමට උත්සාහ කළහොත් ඒ පිළිබඳව slcg.milan@mfa.gov.lk ඉමේල් ලිපිනයට දැනුම්දෙන ලෙස ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටිනවා ෴

***************************************

හෙද සංගමයේ විරෝධතා අතරමග නවතියි

(21.02.2022 – 09:13 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා හෙද සංගමය කොළඹ දී අද (21) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමන අත්හිටුවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (21) පස්වරු හතරට (4) සාකච්ඡාවක් ලබාදීමත් සමඟ එම තීරණයට එළඹි බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත සඳහන් කළේ.

හෙද විද්‍යාල, විශ්වවිද්‍යාල සමඟ අනුබද්ධ කර හෙද උපාධි ලබාදීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවැත්වීමට නියමිතව තිබුණා ෴

***************************************

ජනපති විසින් ශිෂ්‍යත්ව පිරිනැමේ

(21.02.2022 – 10:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ගුණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ජපන් කැපකරු අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම, පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන්, වෛද්‍යාධාර සේවා, විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහ ස්වභාවික විපත් ආධාර දීම ඇතුලු වැඩසටහන් රැසක් ජපාන පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් නිපොන් කේන්ද්‍රය මගින් සිදුකරනු ලබනවා.

ශිෂ්‍යත්ව වැඩසටහනට වසර 35 ක් සැපිරීම, අනුග්‍රාහකත්වය දක්වමින් කැපකරු දෙමාපියන්ව සිට මියගිය ජපාන පරිත්‍යාගශීලීන් සහ නිප්පොන් කේන්ද්‍රයේ ක්‍රියාකාරීන්ගේ ණ සැමරුම එහිදී සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ වසර සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට සිසුන් දහසක් (1000) තෝරාගෙන තිබූ අතර, එය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් සිසුන් පස්දෙනෙකුට (5) ඊයේ (20) ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කර තිබෙනවා ෴

***************************************

‘රත්මලානෙ රොහා’ගේ මස්සිනා ඝාතනය වෙයි

(21.02.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala)

පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානෙ රොහා’ නැමැත්තාගේ මස්සිනා තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

33 හැවිරිදි මොරටුව – කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි ‘අසංක සිල්වා’ නැමති ඔහු ඊයේ (20) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ, රත්මලාන – රස්ටම්වත්ත ප්‍රදේශයේදි යි.

ජංගම දුරකථනයක් උකස් තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව යි පොලිසිය සඳහන් කළේ.

ඊට සම්බන්ධ සැකකරු ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු ‘රත්මලාන කුඩු අංජු’ නැමැත්තාගේ ඥාතියෙකුද වනවා ෴

***************************************

නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන්

(21.02.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වවුනියාව නගර සභා සංස්කෘතික ශාලාවේ දී මෙම සමුළුව පැවැත්වුණු අතර, සමුළුවට පෙර වවුනියාව ශ්‍රී බෝධී දක්ෂිණාරාමය වෙත ගිය හිටපු ජනාධිපති ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිස, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර නාහිමියන් ද හමු වී තිබෙනවා.

අනතුරු ව වවුනියාව කන්දසාමී කෝවිල වෙත ද ගොස් හින්ඳු ආගමික වතාවත්වල ද නිරත වූ බව සඳහන්.

පක්ෂ සමුළුව ඇමතු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදහස් දක්වමින් කියා සිටියේ, උතුර, දකුණ, නැගෙනහිර, බටහිර හෝ සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යනාදී ලෙස කිසිදු බෙදීමකින් තොර ව ඒ සියලු ජනයා තම නෑදෑයින් ලෙස තමන් සලකන බව යි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද අදහස් පළ කළා.

“මගේ ආණ්ඩු කාළයේ තමුන්නාන්සේලාට අද වගේ බඩු මිළ ඉහළ ගිහින් තිබුණේ නෑ, අද වගේ කෘෂිකර්මාන්තයේ අවුලක් තිබුණේ නෑ, තමුන්නාන්සේලාගේ ප්‍රදේශය වගේම අපේ සමස්ත රට ගොවිතැන් කරන කෘෂිකර්මය කරන රටක්, මගේ ආණ්ඩු කාලේ ඉතා ම හොඳින් ඒ කටයුතු කර ගන්න ඉඩ දීලා තිබුණා. අද ප්‍රශ්න රාශියක් තියෙනවා, බඩු මිල වැඩියි, හිටපු ගමන් විදුලිය කපනවා, පෙට්‍රල් ෂෙඩ්වල පෙට්‍රල් ගහන්න පෝලිම් හැදෙනවා. මේ වගේ ජීවත් වීමේ බරපතළ අමාරුකම් රාශියක් හැදිලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කර ගෙන රට වටේ යන්නේ, අපි පක්ෂය ශක්තිමත් කරලා අනාගතයේ ආණ්ඩුවක් හැදීමේ බලාපොරොත්තුව ඇතිව යි. මේ රට වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් සහෝදර දේශපාලන පක්ෂ රාශියක් එකතු කරගෙන අපි අනාගතයේ සන්ධානයක් හදනවා. අපි මේ කටයුතු කරන්නේ, ඉදිරි මැතිවරණයක ජයග්‍රහණයක් සඳහා. අපි අද ආණ්ඩුවේ සිටින පක්ෂයක්, ඒ නිසා අපි තිබෙන ආණ්ඩුවට කරදර කරන්නේ නෑ, නමුත් රටේ ජනතාවගේ ප්‍රශ්න කථා කරනවා. පාර්ලිමේන්තුව තුළ වගේම පිටත් කථා කරනවා. අපි සෑ ම විට ම රජය කරන යහපත්, හොඳ දේවල්වලට අපි සහයෝගය දෙනවා. ඒ වගේම ජනතාවට රිදෙන, ජනතාවට ප්‍රශ්න ඇති වෙන දේවල් ගැන අපි කථා කරනවා. මේ රටේ උතුරෙත්, දකුණෙත් ජනතාව දෙගොල්ල ම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් අනාගතයේ හදන්න කියලා.

අද රටේ පුරවැසියෝ හුඟදෙනෙක් සන්තෝෂයෙන් නෙමෙයි ඉන්නේ කියලා අපි දන්නවා. රටේ ප්‍රධාන වශයෙන් ජනතාව සතුටින් ඉන්නවා නම් තමයි අපි රජයක් විදිහටත්, පාලකයෝ විදිහටත් කැමති වෙන්න ඕන, ඒ නිසා ප්‍රධාන වශයෙන්ම ගම්වල ජනතාවත් එක්ක සාකච්ජා කරන කොට අපිට පේන දෙයක් තමයි, ඔවුන් හුඟක් ප්‍රශ්නවලින් පීඩාවට පත් වෙලා ඉන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විසඳන්න අපි පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියට යෑමට. රටේ ආර්ථික අර්බුදය හුඟක් ලොකු වෙලා තියෙනවා. දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා. රැකි රක්ෂා හිඟයක් තිබෙනවා. ලංකාවේ රැකි රක්ෂා නැති නිසා උගත් තරුණ පිරිස් වගේම සාමාන්‍යය තරුණ පිරිසත් රට හැරදාල පිටරටට යනවා. අපේ රටේ ජීවත් වන ජනතාව අපේ රටේ ම දියුණු කරලා මේ රටේම ඒ ගොල්ල තියාගන්න උත්සහ කරන්න ඕන.

***************************************

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට මෙරට සූදානම

(21.02.2022 – 11:19 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයේදී ලබන 03 වනදා ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ලබන 28 වනදා සිට අප්‍රේල් 01 වනදා දක්වා මෙම සැසිවාරය ජිනීවා නුවරදී පැවැත්වෙන අතර, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ජිනීවා මානව හිමිකම් 49 වන සැසිවාරයේදී විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව පිළිබඳ පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය ඇමතීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචලේ බැචලේ ඇතුලු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමුවීමටද නියමිතව තිබෙනවා ෴

***************************************

රෝගී වූ ධීවරයෙකු නාවික හමුදා මැදිහත් වීමෙන් ගොඩබිමට

(21.02.2022 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115 ක දුරින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු හදිසි රෝගී තත්වයකට ලක්ව සිටිය දී ගොඩබිමට ගෙනවිත් ප්‍රතිකාර කිරීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

පසුගිය 08 වනදා ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ‘රාජා එක’ නැමති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුයි මෙලෙස හදිසි රෝග තත්ත්වයකට ලක්ව ඇත්තේ.

පසුව ධීවර දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව නාවික හමුදාව මැදිහත්වී ඔහුව ගොඩබිමට රැගෙන විත් ඇති අතර, එම පුද්ගලයා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව සඳහන් කළා.

+++++

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහැරි ජාවාරමක සුළමුල එළියට

(21.02.2022 – 11:55 +0530 – hirunews.lk/sinhala)

මිල්ලනිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ඒවා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ වරදට පුද්ගලයින් තිදෙනකු (3) පොලිස් අත්අඩංගුවට ගැනුණා.

මෙම වැටලීම මිල්ලනිය පොලීසිය විසින් අද (21) පෙරවරුවේ සිදු කර ඇති අතර, අදාළ වැටලීම සිදු කර ඇත්තේ, මිල්ලනිය – බැල්ලන්තුඩාව පිහිටි නිවසකදීයි.

අලෙවි කිරීමට ඇසුරුම් කරමින් සිටි හෙරොයින්, හෑස්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර, අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් පැකට් 32 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 700 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1000 ක් සහ ගංජා ග්‍රෑම් 02 ක් ද සොයා ගැනුණා.

මත්ද්‍රව්‍ය ඇසිරීමට යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගැනුණු අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය රත්මලාන ප්‍රදේශයේ සිට රැගෙනවිත් අදාළ නිවසෙහි දිගු කලක සිට ඇසුරුම් කොට බෙදා හැර ඇති බවට ද වාර්තා වී තිබෙනවා.

පොලිසීය විසින් නිවෙස් හිමිකරු ද අත් අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් වයස අවුරුදු 31 සහ 51 අතර පසුවන්නන්.

සැකකරුවන් හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *