අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක්

අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක්

*********************************************

අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක්

(21.02.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද (21) පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා පැයක (1) විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

එමෙන්ම, දකුණු පළාතේ පමණක් පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා කාලය තුළ පැය 3 ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙරවරු 08:30 සිට 11:30 අතරත්, පස්වරු 01:30 සිට 04:30 අතර කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බවයි.

නැප්තා නොලැබුණ හොත් කැළණිතිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරයේ කටයුතු අද (21) රාත්‍රී 07:30 සිට නවතා දැමීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි ඉංජිනේරුවන් පවසන්නේ, මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 165 ක විදුලි ධාරිතාවක් අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර, රාජ්‍ය ආයතනවල විදුලිය හා ඉන්ධන අරපරිස්සමින් භාවිත කිරීමට අදාළ උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ කාර්යාලයීය රාජකාරී වේලාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද (21) ජාතික කම්කරු උපදේශක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත යි.

පස්වරු 2 ට කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම උපදේශක සභාව සඳහා පෞද්ගලික අංශයේ හාම්පුතුන් ද සහභාගි වන අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථ වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණ බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ.

මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් එම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන්නේ පස්වරු 04:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුළයි.

එහි දී 04:30 සිට 06:30 දක්වා පළමු (1) කාණ්ඩයේ විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර, දෙවන (2) කාණ්ඩයට විදුලිය අත්හිටවනු ලබන්නේ පස්වරු 06:30 සිට රාත්‍රී 08:30 දක්වායි.

තුන්වන (3) කාණ්ඩයට රාත්‍රී 08:30 සිට රාත්‍රී 10:30 දක්වා විදුලිය සැපයුම අත්හිටවනු ඇති ෴

+++++++++++++

මහබැංකුවෙන් රාජ්‍ය බැංකුවලට උපදෙසක්

(21.02.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ ලබාදුන් ණයවලින් සැළකිය යුතු ප්‍රතිශතයක් නැවත පියවා නො තිබීමත්, තෙල් සංස්ථාව තුළ පවතින මූල්‍ය තත්වයත් සැළකිල්ලට ගනිමින් මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ, රාජ්‍ය බැංකුවල ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස මෙම උපදෙස් නිකුත් කළ බවයි.

තෙල් සංස්ථාව මෙන්ම පාඩු ලබන වෙනත් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්ද ඉහත ක්‍රමවේදය අනුගමනය කරන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබාදුන් බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන සඳහා පනවා ඇති බදු සහනය ඉවත් නොකළ හොත් යළිත් ඉන්ධන මිල වැඩිවීම අනිවාර්ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසනවා.

හංවැල්ල ප්‍රදේශයේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ බදු සහනය ලබා නොදුන හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52 කිනුත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 19 කිනුත් වැඩිවන බවයි ෴

+++++++++++++

තෙල් මිල යළි ඉහළට

(21.02.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (21) යළිත් ඉහළ ගියා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.34 ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 1.61 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර,​ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළහොත් ඩීසල් ලීටරයක මිල රුපියල් 52 කින් සහ ‌පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

මේ අතර අද (21) උදෑසන 08:30 සිට සවස 05:30 දක්වා කාලය තුළ කලාප 9 ක් යටතේ මුලු දිවයිනටම පැයක විදුලිය කප්පාදුවක් සිදුවනවා.

කෙසේ වෙතත් දකුණු පළාතට පමණක් එම විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වනු ඇති.

මෙරට තාප විදුලි බලාගාරවලට ඉන්ධන හිඟවීම සහ ජල විදුලි බලාගාරවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ හේතුවෙන් පසුගිය දිනවල ඇතැම් අවස්ථාවල දී දිවයින පුරා විදුලිය බිඳවැටීම් සිදුවූ අතර කාලසටහනකට අනුව විදුලිය කප්පාදු කිරීමටත් පසුව තීරණය කෙරුණා.

මෙවන් පසුබිමක ජාතික විදුලි ඉල්ලුම ද මේ දිනවල පවතින්නේ සාමාන්‍ය මට්ටම ඉක්මවූ තත්ත්වයක බව විදුලි බල මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙනවා.

සතිඅන්තයේදී උපරිම විදුලි ඉල්ලුම පැවතුණේ, මෙගාවොට් 2464 හා මෙගාවොට් 2387 යන අගයන්වලයි.

අද (21) දිනයේ ජාතික විදුලි අවශ්‍යතාව සැපිරීම අර්බුදයකට පත්ව ඇත්තේ විදුලි බලාගාර කිහිපයක්ම ඉන්ධන අවසන්වීමෙන් අක්‍රීය කර තීබීම හේතුවෙනුයි.

මෙලෙස අක්‍රියව ඇත්තේ මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවළපිටිය වෙස්ට්කෝස්ට්, සපුගස්කන්ද බලාගාර ද්විත්වය සහ කැලණිතිස්ස විදුලි බලාගාරයයි.

මීට අමතරව කැලණිතිස්ස සංයුක්ත චක්‍රය බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය නැප්තා ප්‍රමාණවත් වන්නේ අද (21) රාත්‍රී 07:30 දක්වා පමණක් බව බලාගාර ඉංජිනේරුවන් පවසනවා.

අඛණ්ඩ විදුලි සැපයුම අර්බුදයක පැවතීම හේතුවෙන් අද (21) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණා.

ඒ අනුව අද (21) දිනයේදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකරන අතර පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා දිවයින පුරා කලාප 9 ක් යටතේ පැයක (1) විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

දකුණු පළාතේ පමණක් පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා කාලය තුළ පැය 3 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නා.

ඒ අනුව විදුලි කප්පාදුව විවිධ ප්‍රදේශවලට බලපා තිබුණා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඊයේ (20) රාත්‍රියේත් විදුලිය විසන්ධි වී තිබුණා.

මෙලෙස විදුලිය විසන්ධි කිරීමට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

මේ අතර, රාජ්‍ය ආයතනවල විදුලිය හා ඉන්ධන අරපරිස්සමින් භාවිත කිරීමට අදාළ උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාතාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, පෞද්ගලික අංශයේ කාර්යාලයීය වේලාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාතික කම්කරු උපදේශක සභාවේ දී අද (21) සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර, නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ ලබාදුන් ණයවලින් සැළකිය යුතු ප්‍රතිශතයක් නැවත පියවා නොතිබීමත්, තෙල් සංස්ථාව තුළ පවතින මූල්‍ය තත්ත්වයත් සැළකිල්ලට ගනිමින් මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ, රාජ්‍ය බැංකුවල ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස මෙම උපදෙස් ලබාදුන් බවයි.

තෙල් සංස්ථාව මෙන්ම පාඩු ලබන වෙනත් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉහත ක්‍රමවේදය අනුගමනය කරන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබාදුන් බව මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඇතැම් සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන අවසන් බවට පුවරු ප්‍රදර්ශනය කර ඇති ආකාරය ද දැකගත හැකියි.

+++++++++++++

විදුලි අර්බුදය උග්‍ර අතට

(21.02.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල දී ගැනීම සඳහා විදේශ රටකින් හෝ ආයතනයකින් සෘජුව මූල්‍ය පහසුකමක් ලබා ගැනීම කෙරෙහි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, තෙල් සංස්ථාවට ණය ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නියෝගය හේතුවෙන්.

උග්‍ර ඩොලර් අර්බුදයත් සමඟ මාස කිහිපයක සිට තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය පිළිබඳ ගැටළුකාරි තත්ත්වයකට මුහුණ පා සිටිනවා.

ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ අන්තර්ජාතික ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් තෙල් ආනයනය කළද ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් මෙලෙස අවස්ථා ගණනාවකදීම ගැටළු මතු වුණා.

කෙසේ වෙතත් එවැනි අවස්ථාවල තෙල් සංස්ථාව එම ගැටළු මඟ හරවා ගනු ලැබුවේ රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් ණය පහසුකම් උපයෝගි කර ගනිමින්.

කෙසේ වෙතත් මහ බැංකු නියෝගයත් සමඟ එම උපාය මාර්ගය තවදුරටත් වලංගු නොවන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මූල්‍ය ස්ථාවරය රැක ගැනීම සඳහා මෙලෙස සීමාව ඉක්මවා තෙල් සංස්ථාවට ණය ලබා නොදෙන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබාදුන් බවයි.

පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද එම ස්ථාවරය අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පවතින තත්වය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිල ඉහල නැංවීමේ ස්ථාවරය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන් යටතේ තවදුරටත් ඉන්ධන අලෙවිය සිදු කිරීමට නොහැකි වීම සහ බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම ඊට හේතුවයි.

එමෙන්ම මිල සූත්‍රයක් කඩිනමින් ගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ අතර දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින අතර, ඇතැම් ඉන්ධන හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

තාප බලාගාරවලින් විදුලි නිෂ්පාදනය කිරීමද මේ වනවිට බරපතළ ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවලපිටිය වෙස්ට්කෝස්ට්, සපුගස්කන්ද බලාගාර ද්විත්වය මෙන්ම කැළණිතිස්ස බලාගාරය මේ වනවිටත් පවතින්නේ අක්‍රීයවයි.

ඉංජිනේරුවන් පවසන්නේ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයද නැප්තා අවසන් වීමෙන් අද (21) රාත්‍රී 07:30 වනවිට නවතා දැමීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් කැළණිතිස්ස සුජිස්ට් බලාගාරයට ලබාදෙන ඉන්ධන මෙට්‍රික් ටොන් 1000 හැර අක්‍රීය වූ සෙසු බලාගාරවලට ඉන්ධන ලබාදිම සම්බන්ධයෙන් මෙතෙක් තෙල් සංස්ථාව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙවැනි පසුබිමක අද (21) දිනයේ අපේක්ෂිත මෙගාවොට් 2700 කට ආසන්න දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවක් සිදු කිරීමට උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමට අවසර හිමි වුණා.

අද (21) උදෑසන 08:30 ට ආරම්භ වූ විදුලි කප්පාදුව පස්වරු 05:30 දක්වා කාලසීමාව තුල දිවයින කලාප 9 කට වෙන් කර පැයක් (1) බැගින් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

එමෙන්ම දකුණු පලාතට අද (21) දිනයේ පැය තුනක (3) කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.

+++++++++++++

හෙට (22) පැය දෙකක (2) විදුලි කප්පාදුවක්

(21.02.2022 – 18:54 +0530 – hirunews.lk/sinhala)

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත හෙට (22) ප.ව. 04:30 සිට 10:30 දක්වා පැය 2-3 ත් අතර විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

+++++++++++++

අද (21) සිට දිනපතා පැය දෙකක (2) විදුලි කප්පාදුවක් – ප්‍රදේශ රැසක යලි ඉන්ධන පෝලිම්

(21.02.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

යළිත් වරක් මුළු දිවයිනම ආවරණය වන පරිදි විදුලිය කප්පාදු කිරීම අද (21) සවස 04:30 සිට ආරම්භ වුණා.

ඒ අනුව රාත්‍රී 10:30 දක්වා පැය 2 ක කාලයක් කලාප වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළේ.

මේ දිනවල උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා විභාග දෙපාර්තමේන්තුව බලධාරීන් සිදුකළ ඉල්ලීමට අනුව එම විදුලි කප්පාදුව පස්වරු 04:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුළ ක්‍රියාත්මකයි.

එහිදී පස්වරු 04:30 සිට 06:30 දක්වා පළමු (1) කාණ්ඩයේ විදුලිය කප්පාදුව සිදු කෙරුණු අතර, දෙවන (2) කාණ්ඩයට විදුලිය අත්හිටවනු ලබන්නේ පස්වරු 06:30 සිට රාත්‍රී 08:30 දක්වායි.

තුන්වන (3) කාණ්ඩයට රාත්‍රී 08:30 සිට රාත්‍රී 10:30 දක්වා විදුලිය සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 541 ක ධාරිතාවක් අහිමි වන නිසා හෙට (22) දිනයේදී කාණ්ඩ 3 කට පැය දෙක (2) බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 බැගින් විදුලිය කප්පාදු කිරීම සදහා විදුලිබල මණ්ඩලය, උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඒ, බී සහ සී කාණ්ඩවලට පස්වරු 04:30 සිට රාත්‍රී 10:30 දක්වා පැය දෙකක (2) කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ලබනවා. අනෙකුත් ඛාණ්ඩවලට එම කාලය තුළ පැය 3 ක් විදුලිය අත්හිටුවනු ඇති.

හෙට (22) දිනයේ විදුලි කප්පාදුව ගැන තොරතුරු, බලාගාරවල ඉන්ධන සංචිත පරීක්ෂා කර දැනුම් දෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

මේ අතර, විදුලිය විසන්ධි කිරීමට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළා.

අඛණ්ඩ විදුලි සැපයුම සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මෙරට තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිඟවීම හා ජල විදුලි බලාගාරවල ජල මට්ටම් සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන්.

ජාතික විදුලි ඉල්ලුම ද මේ දිනවල සාමාන්‍ය මට්ටම ඉක්මවා පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙනවා.

මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවලපිටිය – වෙස්ට් කෝස්ට් සහ කැළණිතිස්ස බලාගාර තවදුරටත් පවතින්නේ අක්‍රියවයි.

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය නැප්තා ප්‍රමාණවත් වන්නේ අද (21) රාත්‍රී 07:30 දක්වා පමණක් බවටයි වාර්තා වුණේ.

මේ අතර, රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

එසේම ශීතකරණ සඳහා බලශක්ති කාර්යක්ෂමතා ලේබලය ඉදිරි වසර දෙක (2) තුළ අනිවාර්ය කරන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප්‍රකාශ කළා.

එහි ගෘහස්ථ, කෘෂි සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව අංශයේ අධ්‍යක්ෂිකා ඉරෝෂා කළුගලගේ මේ බව කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ බලශක්ති කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති වැඩසටහනකට එක්වෙමින්.

විදුලි අර්බුදය මධ්‍යයේ ඉන්ධන අර්බුදය ද උත්සන්න වී ඇති ආකාරය ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළින් මේ වන විටත් දැක ගත හැදියි.

දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තවදුරටත් ඉන්ධන හිගයක් පවතින අතර ඇතැම් ඉන්ධනහල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *