ඩොලර් අර්බුදයෙන් කඩදහි කම්හලුත් දැඩි අසීරුතාවක

ඩොලර් අර්බුදයෙන් කඩදහි කම්හලුත් දැඩි අසීරුතාවක

*********************************************

ඩොලර් අර්බුදයෙන් කඩදහි කම්හලුත් දැඩි අසීරුතාවක

(20.02.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි මිල ඉහළ යාමත් සමඟ මුද්‍රණ ආශ්‍රිත කර්මාන්ත සිදු කරන ‌බොහෝ දෙනෙකු අපහසුතා රැසකට මුහුණ දී සිටිනවා.

මුද්‍රණ කටයුතු සඳහා භාවිත කරන කඩදාසි සහ බෝඩ් වර්ග හිඟවීම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි එම කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ මෙරටට විවිධ භාණ්ඩ ආනයනයන් සීමා කිරීමට රජය පියවර ගත්තා.

ඒ අනුව මුද්‍රණ කටයුතු සඳහා භාවිත කරන කඩදාසි සහ විවිධ බෝඩ් වර්ග ආනයනය ද සීමා වුණා.

ඒ හේතුවෙන් ඇති වූ හිඟය මත වෙළෙඳපොළ තුළ කඩදාසි සහ බෝඩ් වර්ගවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මුද්‍රණ සඳහා නිතර භාවිත කරන GSM 80 ඝණකම සහිත A4 ප්‍රමාණයේ කඩදාසි 500 යේ පැකට්ටුවක තොග මිල 2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවතියේ රුපියල් 750 – 800 ත් අතර මිලකට වන අතර අද වන විට එය අලෙවි වන්නේ රුපියල් 1250 – 1500 ත් අතර ඉහළ මිලකටයි.

එමෙන්ම මුද්‍රණ යන්ත්‍ර සඳහා භාවිත කරන තීන්ත ඇතුලු අමුද්‍රව්‍ය මිල ද 50% කින් පමණ ඉහළ යාම හේතුවෙන් මුද්‍රණ කර්මාන්තයේ යෙදෙන්නන් මුහණ දී ඇත්තේ දැඩි අර්බුදයකටයි.

එම භාණ්ඩ සඳහා මිල පාලනයක් නොමැති වීම හේතුවෙන් ආනයනකරුවන් හිතුමතේ මිල ඉහළ දමන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

කඩදාසි හිඟය නිසා බැට කන තවත් පිරිසක් වන්නේ ආරාධනා පත්‍ර, විසිතුරු කේක් පෙට්ටි, සුභපැතුම් පත් නිෂ්පාදකයින්.

කඩදාසි හිඟය හේතුවෙන් අභ්‍යාස පොත්වල මිලද පසුගිය වසරට සාපේක්ෂව 25% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් නේවා දෙන්නේ.

2021 වසරේ මුල් භාගයේදී රුපියල් 45 – 50 අතර මිලකට අලෙවි වූ පිටු 80 සාමාන්‍ය අභ්‍යාස පොතක් අද වන විට රුපියල් 55 – 70 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආනයන සීමා කිරීමත් සමඟ නිතර භාවිත කරන පෑන්, පැන්සල්, මකන, කතුරු ඇතුළු පාසල් දරුවන් භාවිත කරන සියලු ලිපිද්‍රව්‍යවල මිල ද ඉහළ ගොස් තිබෙනවා.

***************************************

බරාව තෙත්බිම සංවේදී පරිසර කලාපයක් ලෙස සංරක්ෂණය කෙරේ

(20.02.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟේ ප්‍රධාන අතු ගංඟාවක් වන පුස්සැලිඔය ආශ්‍රිතව පිහිටා ඇති ‘බරාව තෙත් බිම’ට අයත් ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති අතර, එම කමිටුව විසින් සති දෙකක් (2) ඇතුළත අදාළ වාර්තාව පරිසර අමාත්‍යවරයාට භාරදිය යුතු බවයි මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අවධාරණය කර ඇත්තේ.

අදාළ සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හෝමාගම මෙන්ම පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගිවී තිබෙනවා.

මෙම ජෛව පද්ධතිය වර්ෂාව අධික කාලවලදී අඩි 15 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් එම ජල ගැලීම් වැළක්වීමට පුස්සැලිඔය කැළණි ගඟට වැටෙන ස්ථානයේ සිට එම ඔයෙහි ජලය ගලායාමට ඇති බාධක ඉවත් කිරීමටද අදාළ සාකච්ඡාවේදී තීරණය වී ඇති බව සඳහන්.

බරාව තෙත් බිම පාදුක්ක, හංවැල්ල සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව හෙක්ටයාර 800 ක් ඉක්මවූ භූමි ප්‍රමාණයක පිහිටා තිබෙනවා ෴

***************************************

‘ඔතේකැලේ මානා’ගේ තවත් ජාවාරමක තොරතුරු

(20.02.2022 – 15:16 +0530 – hirunews.lk/sinhala)

ජාඇළ – කඳාන ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මහ පරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත ‘ඔතේකැලේ මානා’ නැමැත්තාගේ තවත් මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද (20) අලුයම කඳාන – ඔතේකැලේ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

‘ඔතේකැලේ මානා’ නැමැත්තා මේ වනවිට විවිධ ප්‍රදේශවලට පළාගොස් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරතවනවා ෴

***************************************

වල් බිහි වූ සහල් නිෂ්පාදනාගාරය

(20.02.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

සහල් අර්බුදයක් පිළිබඳ මේ වන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එවන් පසුබිමක රජයේ මුදල් කෝටි ගණනක් වැයකර ඉදිකර ඇති, එහෙත් මේ වනවිට නිසි ප්‍රයෝජනයක් නොගන්නා සහල් නිෂ්පාදනාගාරයක් පිළිබඳව අම්පාර ඉඟිනියාගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙරට සහල් නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දෙන අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 82,385 ක වී අස්වනු නෙලීම සහ වී අස්වනු මිල දී ගැනීම මේ දිනවල සිදුවනවා.

මෙරට දෛනික සහල් පරිභෝජනය සැපිරීම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය කිලෝ ලක්ෂ 65 ක් පමණ වන අතර ඒ අතරින් සියයට 22 ක වී නිෂ්පාදන දායකත්වයක් සපයන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු මගින් ලැබෙන අස්වැන්නෙන්.

මෙම සහල් නිෂ්පාදනය සඳහා ඉහළ නැංවීමේ අරමුණ ඇතිව රජයේ මුදල් කෝටි ගණනක් වැයකරමින් අම්පාර ඉඟිනියාගල ප්‍රදේශයේ ආරම්භ කළ සහල් නිෂ්පාදනාගාරයට අද වන විට උරුම වී ඇති තත්ත්වයයි මේ.

1978 වසරේ දී පමණ, එවක තිබූ නවීනතම තාක්ෂණයෙන් යුත් වී කෙටීමේ යන්ත්‍ර සූත්‍රවලින් සමන්විතව මෙම සහල් නිෂ්පාදනාගාරයේ වැඩ අරම්භ කළ ද මේ වන විට මෙහි නිෂ්පාදන කටයුතු නවතා දමා ඇත්තේ එම යන්ත්‍ර සූත්‍රද දිරාපත් වීමට ඉඩ හරිමින්.

මෙම නිෂ්පාදනාගාරයේ වී කෙටීම, වී තැම්බීම හා වී වේලීම සිදු කළ හැකි අතර එහි ඇති ගබඩාවේ වී කිලෝ ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කළ හැකි බවයි අප වාර්තාකරු පැවසුවේ.

චීන ආධාර මත ඉදි කෙරුණු මෙම නිෂ්පාදනාගාරයේ දෙනිකව වී කිලෝ 20,000 ක් පමණ කෙටීමේ හැකියාව පවතින අතර වී තැම්බීමේ කාර්යය සඳහා යොදා ගන්නා බොයිලේරු 6 ක් මෙම නිෂ්පාදනාගාරය සතු වනවා.

නමුත් මේ වන විට ඒවා සියල්ලම නිසි ප්‍රයෝජනයක් නොමැතිව අක්‍රීය මට්ටමේ පවතින්නේ මෙලෙසයි.

එමෙනම් මෙම නිෂ්පාදනාගාරයේ සේවය කරන සේවකයින් වෙනුවෙන් ඉදි කෙරුණු නිල නිවාස ද මේ වන විට වල් බිහිවී දිරාපත්වෙමින් පවතනිවා.

ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ගබඩාකිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට පාලකයින් මැසිවිලි නගන පසුබිමක රාජ්‍ය මුදල් ද කෝටි ගණනින් අපතේ යවමින් මෙවැනි සම්පත් නිකරුණේ දිරාපත් වීමට ඉඩහැරීම කනගාටුවට කරුණක්.

***************************************

දින තුනක (3) සිට පාසල් සිසුවෙකු අතුරුදන්

(20.02.2022 – 16:00 +0530 – hirunews.lk/sinhala)

13 හැවිරිදි පාසැල් සිසුවෙකු පසුගිය 17 වනදා සිට නිවසෙන් අතුරුදන්ව ඇති පුවතක් වාර්තා වනවා.

ඒ වත්තල, හුණුපිටිය ප්‍රදේශයෙන්.

පරාක්‍රම පාර ප්‍රදේශයේ 6 වන මාවතේ පදිංචිව සිටි පසිඳු මධුරංග ලක්ෂිත නමැති මෙම සිසුවා නිවසින් පිටත්ව අසල මාර්ගයක ගමන් කරන ආකාරය දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ එඬේරමුල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.

***************************************

‘අංගාරක්ෂාවෙන් නූතන ප්‍රභූ ආරක්ෂාවට’ කෘතිය දොරට වඩියි

(20.02.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්යය බලකායේ පොලිස් පරීක්ෂක ගයනාත් සංජීව අත්තනායක විසින් රචිත සිය දෙවන කෘතිය වන ‘පුරාතන අංගාරක්ෂාවෙන් නූතන ප්‍රභූ ආරක්ෂාවට’ යන කෘතිය දොරට වැඩුම පසුගියදා සිදු කෙරුණා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී යි.

ඔහු විසින් රචිත මෙම කෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වෙත පිළිගැන්වීම ද සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පින්නවල සංඝසුමන හිමි හා වැල්ලවත්ත වේලුවනාරාමාධිකාරි හක්මණ නන්දාලෝක හිමි ද වැඩම කර සිටියා.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥය වරුණ ජයසුන්දර ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා ෴

***************************************

කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනසක්

(20.02.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුලු ජනතාවට ඍජුව සේවා සැපයෙන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීන් ද පත්කර ඇති බවයි.

නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් ස‍්හා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකතන දීමට ඇතැම් සමාජ මාධ්‍ය උත්සාහ ගෙන ඇති අතර ඒවා සාවද්‍ය බවයි අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ෴

***************************************

ගිනි ගත් අනියම් පෙම

(20.02.2022 – 18:23 +0530 – hirunews.lk/sinhala)

බිරිඳ අනියම් සැමියෙකු සමග නිදියහනේ සිටියදී නිත්‍යානුකූල සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් පනාමුරේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයා මියගොස් තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලබා සිටින බිරිඳ බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පොලීසිය සඳහන් කළේ, ඇඹිලිපිටිය පනාමුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙකු එලෙස පිළිස්සීම් තුවාල ලබා මියගොස් ඇති බවයි.

පිළිස්සුම් තුවාල ලබා සිටින බිරිඳ 38 හැවිරිදි සිව්දරු (4) මවක් වන අතර ඇය සැමියාගෙන් වෙන්වී පින්නවල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්වී ඇති බව සඳහන්.

ඊයේ (19) අලුයම් කාලයේදී එම නිවසට පැමිණ ඇති නීත්‍යානුකූල සැමියා එම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

සමාජ වෙනසකට දූෂණය හා භීෂණය පිටුදැකිය යුතුයි – අගරදගුරු

(20.02.2022 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ජනතාව දූෂණය හා භීෂණය පිටුදකින්නේ නම් සමාජය වෙනස් කළ හැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කළුතර සිරිකුරුස දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවකට රැස්ව සිටි බැතිමතුන් උදෙසා ආශිර්වාද පළ කරමින්.

කතෝලික බැතිමතුන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකවාසීන් වෙනුවෙන් නිරෝගිමත්භාවය පතා ලුර්දු දේව මාතා දිව්‍ය මංගල්‍යය පැවැත්වුණා.

***************************************

පාස්කු ප්‍රහාරය ගැන ජාතික කතෝලික කමිටුවෙන් නිවේදනයක්

(20.02.2022 – 19:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාව නිකුත් කළ වාර්තාවේ ඉතිරි වෙළුම් වහාම තමන් වෙත ලබාදෙන ලෙස ජාතික කතෝලික කමිටුව ඉල්ලීමක් කරනවා.

තම ජීවිත සහ ගෞරවය බිමට සමතලා කර දැමුණු අප ජනතාවගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා සාමූහිකව ආරක්ෂා කරන ලෙසත්, තැබූ විශ්වාසය පාවාදෙන අකාරයෙන් තවදුරටත් ක්‍රියා නොකර ලෙසත් රටේ රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික පැවිදි නිකායන්ගේ සම්මේලනයේ සභාපති රොෂාන් සිල්වා පියතුමන් සහ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ගේ අත්සනින් යුතු නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සහ සාධාරණත්වය ලබා දෙන ලෙස ජනතාව සමග තවමත් තමන් එක්ව නැගී සිටින බවයි.

ප්‍රහාරයේ සුලමුල හෙළිදරව් කිරීම සහ ඔවුන්ට එරෙහිව සාධාරණත්වයේ නාමයෙන් රටේ නීතියට අනුව කටයුතු කරන බවට සහතිකයක් ලැබීමේ මූලික අවශ්‍යතාවක් සියළු වින්දිතයන්ට පවතිනවා.

එහෙත් ජනතාවගේ කිසිදු බලාපොරොත්තුවක් කිසියම් හෝ දිනෙක ඉටුවීම පිළිබදව බරපතල සැකයක් අප තුළ මතුව ඇති බවයි ජාතික කතෝලික කමිටුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ – ඇමති වාසුදේව නානායක්කාර

(20.02.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරු පවුලක් සඳහා රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝ 15 ක් ලබාදීමේ නිල උත්සවය අද (20) තලවකැළේ – මැදකුඹුර වතු යායේදී ආරම්භ කෙරුණා.

ඒ, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සදහන් කළේ ඉදිරියේදී භාණ්ඩ සුලභ කොට මිල පාලනය කිරීම සදහා රජය සූදානමින් සිටින බවයි.

කෙසේ වෙතත්, භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමෙන් වෙළදපොළේ මිල පාලනය කිරීමට නොහැකි බවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙකු වන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගැටළු විසදීම සඳහා ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැති බවට ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *