ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක්

ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක්

*********************************************

ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක්

(20.02.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට, ඩෙංගු වෛරස කාණ්ඩවල සිදුව ඇති වෙනසක් හේතු වී ඇතැයි අනුමාන කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එමගින් සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝග ලක්ෂණ පෙන්වන කාල පරාසයේ වෙනසක්ද සිදුව ඇති බවයි.

වසරේ මේ දක්වා ගත වූ මාස 2 කට ආසන්න කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,609 ක්.

ඉන් සියයට 50 ඉක්ම වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර, ගම්පහ, පුත්තලම, ගාල්ල, රත්නපුර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්ක වලට අයත්.

මෙවන් පසුබිමක් තුළ බස්නාහිර පළාතේ මදුරු මර්දන ධූමායන කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි.

ඒ අනුව කොළඹ, මොරටුව , පිලියන්දල, කැස්බෑව, කලුතර, වාද්දුව ඇතුලු ප්‍රදේශ කිහිපයක මදුරු මර්දන ධූමායන කටයුතු ඊයේ (19) දිනයේත් සිදු කෙරුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා නිවාස සහ ආයතන ආශ්‍රිතව ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන ස්ථානීය පරීක්ෂණ කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ එහිදී මදුරුවන් බෝවන ස්ථාන හමුවුවහොත් එම නිවැසියන්ට හෝ ආයතන හිමිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

ඒ හේතුවෙන් තම නිවාස, ආයතන සහ පොදු ස්ථාන ආශ්‍රිත අවට පරිසරය මදුරුවන් බෝවන ස්ථාන වලින් තොර කලාප ලෙස පිරිසිදුව තබා ගැනීමට සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරනවා ෴

***************************************

ව්‍යාජ උසස් පෙළ කාලසටහන ගැන සොයන්න – නියාමන කොමිසමටත් පැමිණිලි

(20.02.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජව සැකසූ කාලසටහනක් අන්තර්ජාලයට එක් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට ද කටයුතු කරන බවයි.

එසේම, ඊයේ (19) දිනයේදී ද අදාළ ව්‍යාජ කාලසටහනට අනුව ඇතැම් සිසුන් ප්‍රමාද වී විභාග ශාලා වෙත පැමිණ ඇති අතර, ඔවුන්ට විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලබාදීමට අමතර කාලයක් ලබාදීමට කටයුතු කළ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ෴

***************************************

හලාවත දී හිමිනමට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්

(20.02.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala)

හලාවත – කොස්වත්ත ප්‍රදේශයේදී හිමිනමකට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් කඩුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් (4) දෙනාගෙන් 3 දෙනෙකු ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් ඊයේ (19) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් (4) දෙනාගෙන් එක් (1) අයෙකු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

කඩුවෙල පොලීසිය මගින් සිදුකල විශේෂ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ගොතටුව, මහරගම, කහතුඩුව සහ කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංවිධානාත්මක අපරාධ සිදුකරන බවට ලද තොරතුරුවලට අදාළවයි.

ඒ අනුව සැකකරුවන් සතුව තිබී දේශීය නිෂ්පාදිත අත්බෝම්බයක්, විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක්, වායු රයිෆලයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සොරකම් කරන ලද යතුරුපැදි 4 ක් ත්‍රීරෝද රථයක් සහ ජංගම දුරකථනයක් ද සැකකරුවන් සතුව තිබී හමුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 43 ත් අතර වයස්වල පසුවන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

තංගල්ල පොලිස් කොස්තාපල් ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

(20.02.2022 – 09:56 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – විතාරන්දෙනිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනා (4) ලබන 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ (19) තංගල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තංගල්ල – වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ප්‍රධාන සැකකරු ඇතුලු තවත් සැකකරුවන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ ඉඩමට යාබද නිවසක කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරන පුද්ගලයෙකු සමග කලක සිට පැවති ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර තිබුණේ පසුගිය 17 වනදායි ෴

***************************************

විදේශිකයෙක් ඇල්ලේ ලැගුම්හලක දෙවන මහලෙන් ඇදවැටී ජීවිතක්ෂයට

(20.02.2022 – 10:28 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ලැගුම්හලක දෙවන (2) මහලෙන් ඇද වැටී විදෙස් සංචාරකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ලැගුම්හලේ දෙවන (2) මහලෙන් ඇදවැටී තුවාල ලැබූ මෙම චෙක් ජාතිකයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බවයි.

28 හැවිරිදි මොහු ඊයේ (19) රාත්‍රියේ අදාළ ලැගුම්හලේදී විනෝද වෙමින් සිටිය දී මෙලෙස පහළට ඇදවැටී ඇති බවයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

කොළඹ කොටස් වෙළඳපොලේ ඩොලර් නාමිත කොටස් අලෙවි කිරීමට අනුමැතිය

(20.02.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොලේ ඩොලර් නාමිත කොටස් අලෙවි කිරීම සඳහා මෙරට සමාගම්වලට අවස්ථාව හිමිවනවා.

ඒ සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිසම මගින් පසුගිය සතියේ අනුමැතිය ලබා දී තිබෙනවා.

සමාගම්වල ප්‍රාග්ධනය රැස් කිරීමට මෙන්ම මෙරට ඩොලර් විනිමය හිඟයට එමඟින් පිළියමක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

පසුගිය තුන් (3) මසක කාලය තුළ සිය ආදායමෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් විදේශ මුදල් මගින් ඉපයූ ඩොලර් මිලියන 5 කට වැඩි පිරිවැටුමක් සහිත සමාගම්වලට මෙලෙස ඩොලර් කොටස් අලෙවි කළ හැකියි.

නේවාසික හෝ අනේවාසික විදේශිකයන්ට මෙම කොටස් මිලදී ගත හැකි බවයි කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කළේ.

***************************************

උඩපුස්සැල්ලාව නගරයේ වෙළඳසැල් පෙළක ගින්නක්

(20.02.2022 – 12:29 +0530 – hirunews.lk/sinhala)

උඩපුස්සැල්ලාව නගරයේ තාවකාලික වෙළඳසැල් පෙළකට ඊයේ (19) රාත්‍රියේ හටගත් ගින්නකින් හානි සිදුව තිබෙනවා.

මෙම ගින්නෙන් රෙදිපිළි සහ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැල් හතක් (7) පමණ ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගැනීම සිදුව ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ ෴

***************************************

පසුගිය වසරේදී මෙරටට ට්‍රැක්ටර් රථ දස දහසක් (10,000) ගෙන්වයි

(20.02.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2021 වසරේදී මෙරට සුඛෝපභෝගී වාහන 2,384 ක් ලියාපදිංචි කර ඇති අතර, ට්‍රැක්ටර් දස දහසකට (10,000) වැඩි සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා.

කෙසේ නමුත් අනෙකුත් මෝටර් රථ සහ ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වා නොමැත්තේ ආනයන සීමාවන් පැනවීම හේතුවෙන්.

2021 වසරේදී විශාල ප්‍රමාණයේ ට්‍රැක්ටර් 8,067 ක් ලියාපදිංචි කර ඇති අතර, එලෙස ලියාපදිංචි කළ කුඩා ප්‍රමාණයේ ට්‍රැක්ටර් රථ සංඛ්‍යාව 2,116 ක්.

මේ වසරේ ජනවාරි මාසයේ දී ලියාපදිංචි කෙරුණු සුඛෝපභෝගී මෝටර් රථ සංඛ්‍යාව 176 ක් වන අතර, ඉන් 118 ක් මෙරටදී එක්රැස් කරන ලද ඒවායි.

එමෙන්ම ජපන් රජය මගින් පරිත්‍යාගයක් ලෙස ලබාදුන් ටොයෝටා ලෑන්ඩ් කෲසර් ජීප් රථ 28 ද ඊට ඇතුළත්.

***************************************

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

(20.02.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් නගා ඇති ව වාර්තාවනවා.

ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ.

අදාළ වාර්තාව පසුගිය සතියේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර තිබුණේ ජගත් සංවිධානය මගින්.

ඉන් අනතුරුව රජය විසින් අදාළ වාර්තාවේ නිරීක්ෂණයන් සහ ගැටලු මතුකළ කරුණු සම්බන්ධයෙන් පැහැදිළි කිරීම් ජිනීවා ජගත් මානව හිමිකම් කාර්යාලය වෙත යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසිවාරයේ දී විවාදයට ගැනෙන්නේ ලබන මාර්තු 03 වනදායි.

මෙම වාර්තාව යුරෝපා සංගමය විසින් ලබාදී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ තීරුබදු සහනය විසින්ද බලපෑමක් සිදුකරනු ඇතැයි අපේක්ෂිතයි.

කෙසේ නමුත් මෙවර විවාදයෙන් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මත කරගැනීමක් සිදුවන්නේ නැහැ.

එහෙත් එය, සැප්තැම්බර් සැසිවාරයේදී එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා හේතුවනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

***************************************

මැතිවරණ කල් නොදමන්න – ඇමති නිමල් සිරිපාල

(20.02.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

සෑම මැතිවරණයක්ම කල් නොදමා හැකි ඉක්මනින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

වව්නියාව දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ ඊයේ (19) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින දේශපාලන ප්‍රවණතාවයන් අනුව සන්ධානගත නොවී කිසිදු දේශපාලන පක්ෂයට පූර්ණ ජයග්‍රහණයක් ලැබිය නොහැකි බවයි ෴

***************************************

කොටදෙණියාවෙන් අල්කයිඩා කල්ලියට විරෝධය

(20.02.2022 – 14:29 +0530 – hirunews.lk/sinhala)

තම ගම්මානයේ ජනතාවට භීතියෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් උදාකර දෙන ලෙස ඉල්ලා ගම්පහ – කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද (20) විරෝධතාවයක නිරත වුණා.

ඒ කොටදෙණියාව ගම්මානය භීතියට පත් කළ ආයුධ සන්නද්ධ කණ්ඩායමක විවිධ අපරාධ ක්‍රියාවලට විරෝධය පළ කරමින්.

විරෝධතාවය හේතුවෙන් දිවුලපිටිය – මීරිගම ප්‍රධාන මාර්ගය වත්තේමුල්ල ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට පැයකට ආසන්න කාළයක් බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය විරෝධතාකරුවන්ට පොරොන්දු වූයේ, සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

ඒ අනුව විරෝධතාවයේ නිරත පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගියා. කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශයේ අණසක පතුරුවමින් සිටින ‘අල්කයිඩා’ නමින් හදුන්වන දාමරික කල්ලියක් පිළිබඳව අප ප්‍රථම වරට අනාවරණය කළේ ඊයේ (19) දිනයේ දීයි.

ආසන්නතම සිදු වීම ලෙස පසුගිය දා තුන් (3) හැවිරිදි හා සය (6) හැවිරිදි දැරියන් දෙදෙනෙකු (2) ද කපා කොටා ඝාතනය කිරීමට ඔවුන් තැත් කර තිබුණා.

සැකකාර පවුලේ තවත් සොහොයුරන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායම් 2 ක් පත්කර තිබෙනවා.

ඒ සැකකරුවන් විසින් වයෝවෘද්ධ යුවලක් අමානුෂිය ලෙස කපා කොටා තුවාල කිරීමේ සිද්ධියට අදාළවයි.

එසේම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් (මැරසාදුලා) දෙදෙනෙකු (2) ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

***************************************

වැල්ලවායේදී විසිරුණු කමාන්ඩෝ බටයින්

(20.02.2022 – 14:34 +0530 – hirunews.lk/sinhala)

යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පාඨමාලාව සාර්ථකව නිම කළ සෙබළුන් විසිර යාමේ උත්සවයක් වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවත්වුණා.

මෙහිදි පාඨමාලාව සාර්ථකව නිමකල නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 144 දෙනෙකු විසිර ගියා.

වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවති මෙම විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහාභාගි වුණේ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ පාඨමාලා අංක 48 සාර්ථකව නිමකල නිලධාරීන් දහතුන් දෙනෙකු (13) සහ සෙසු නිලයන් එකසිය හතලිස් හතර දෙනෙකු (144) මෙලෙස විසිර ගියා.

***************************************

සංචාරක ව්‍යාපාරයට යෝජිත නිල ජංගම යෙදුම මේ වසර තුළ

(20.02.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා යෝජිත නිල සංචාරක ජංගම යෙදවුම මෙම වසර තුළ හඳුන්වා දෙන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට සකස් කරමින් පවතින එම යෙදවුම හඳුන්වාදී ඇත්තේ ‘විසිට් ශ්‍රී ලංකා’ ලෙසින්.

මෙම යෙදවුම මගින් සංචාරක ව්‍යාපාරයට අදාළ සියලු ස්ථානවල ප්‍රවේශ පත්‍ර මිලදීගැනීමට අවස්ථාව සැළසීම විශේෂත්වයක්.

දේශීය ආයතනයක් මගින් නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් මෙරට පවතින මිල ගණන්වලටම හෝටල් හා නවාතැන් පහසුකම් වෙන්කරගැනීමට හැකියාව පවතින අතර, සියලුම විදේශ මුදල් හරහා මෙම වෙන් කරගැනීම් සිදු කරගැනීම සිදුකළ හැකියි.

‘විසිට් ශ්‍රී ලංකා’ ජංගම යෙදවුමට මෙරට සියලුම හෝටල්වල තොරතුරු ඇතුළත් කිරීමට ද නියමිතයි.

මෙරට තුළ ක්‍රියාත්මක මෙවැනි බොහෝ ජංගම දුරකථන යෙදවුම් විදේශීය සමාගම් විසින් පවත්වාගෙන යෑම හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක පමණ මුදලක් රටට අහිමිවන බවයි විසිට් ශ්‍රී ලංකා ජංගම යෙදවුම නිර්මාණය කළ දේශීය ආයතනය සඳහන් කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *