පූර්ණ එන්නත්කරණය සොයන්න ‘ඇප්’ එකක්

පූර්ණ එන්නත්කරණය සොයන්න ‘ඇප්’ එකක්

*********************************************

පූර්ණ එන්නත්කරණය සොයන්න ‘ඇප්’ එකක්

(19.02.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රට තුල පවතින කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

එමෙන්ම, අප්‍රේල් 30 වනදායින් පසු පොදු ස්ථානවලට ඇතුලු වීමේදී පූර්ණ එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා යෙදවුමක් හඳුන්වාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙරට ඉලක්ක ගත ජනගහණයට ප්‍රමාණවත් එන්නත් තොග මේ වනවිට රට තුල පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ කොරෝනා ආසාදනය වීමේදී සංකූලතා අවම කර ගැනීම සඳහා සියලු පුරවැසියන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

එමෙන්ම, කොරෝනා ආසාදිතයන්ට ලබාදීම සඳහා පවතින ඔක්සිජන් තොගවල හිඟයක් පවතින බවට පල වන වාර්තා වල සත්‍යතාවයක් නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වනවිට ඉල්ලුමට ප්‍රමාණවත් ඔක්සිජන් තොග මෙරට රෝහල් පද්ධතිය සතුව පවතින බවයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 1,282 ක් ඊයේ (18) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,34,333 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,949 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (18) වාර්තා වූ කොරෝනා මරණ 23 ත් සමගයි ෴

++++++++++++++++

තවත් 252 ක් සුවය ලබයි

(19.02.2022 – 16:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 252 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,96,891 ක් ලෙසටයි.

තවත් 21,493 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 6,34,333 ක් හඳුනාගෙන තිබෙනවා.

වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 15,949 ක් ෴

++++++++++++++++

තවත් කොරෝනා ආසාදිත මරණ 20 ක්

(19.02.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 20 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,969 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 8 ක් සහ පිරිමින් 12 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) කාන්තාවක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමියෙකු (1) සහ කාන්තාවක් (1) මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 17 ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 6 ක් සහ පිරිමි 11 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 6,34,333 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 21,493 ක්.

අද (19) දිනයේ සුවය ලැබූ තවත් 252 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 5,96,891 ක් ලෙසටයි ෴

++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1273 ක්

(19.02.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1273 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,35,606 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 22,746 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර මේවන විට සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,96,891 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,969 ක් ද වාර්තාවී තිබෙනවා. ඒ අද වාර්තා කළ මරණ 20 ත් සමගින් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ බිය

(19.02.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශයේ ‘අල්කයිඩා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පවුලේ තවත් සොහොයුරන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායම් 2 ක් පත්කර තිබෙනවා.

ඒ සැකකරුවන් විසින් වයෝවෘද්ධ යුවලක් අමානුෂිය ලෙස කපා කොටා තුවාල කිරීමේ සිද්ධියට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් දෙදෙනෙකු (2) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරමින් නීතිවිරෝධි ක්‍රියාවල නිරත වන මෙම ‘අල්කයිඩා’ ලෙස හදුන්වන පවුලේ සොහොයුරන් 9 දෙනෙකු සිටින අතර ඉන් අයෙක් චීවරධාරියෙකු ලෙසයි ජීවත් වන්නේ.

එම චීවරධාරියා සහ තවත් චීවරධාරියෙකු ‘අල්කයිඩා’ පවුලේ තවත් සොහොයුරන් දෙදෙනෙකු (2) සමග පසුගිය 15 වනදා බීමතින් කලහකාරි ලෙස ගම්මානය පුරා සැරිසරා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පොලීසියට දැනුම් දී ඇති අතර ඒ සමග සැකකරුවන් පිරිස ගම්මානයේ කැළෑබද ප්‍රදේශ වල සැඟවී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ගම්වාසීන් සැකකරුවන් සොයා ගම්මානය පුරා සෝදිසි කර තිබෙනවා.

ඊට උරණ වූ සැකකරුවන් පිරිස එලෙස තමන්ව සොයා පැමිණි ගම්වාසියෙකුගේ නිවසට කඩා වැදී එහි සිටි කුඩා දරුවන් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමටයි උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථාවේදී යාබද නිවසක සිටි වයෝවෘද්ධ යුවලක් මැදිහත් වී කුඩා දරුවන් දෙදෙනා (2) ගේ දිවි බේරා ගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළා.

එම අවස්ථාවේදී සැකකරුවන් විසින් කඩු වලින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ වයෝවෘද්ධ යුවල වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරීන් දෙදෙනා (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ‘අල්කයිඩා’ නැමැති පවුලේ සෙසු සොහොයුරන් දෙදෙනා (2) මේ වන විට පලා ගොස් තිබෙනවා.

අප කල විමසීමේදී පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය කැපවී සිටින බවයි.

මේ අතර පසුගියදා කොටදෙණියාව ප්‍රදේශයේ මාස එකහමාරක (1½) පමණ කාලයක් අතුරුදන්ව සිට හමුවූ කුඩා පිරිමි දරුවන් දෙදෙනා (2), සොහොයුරන් 9 දෙනෙකුගෙන් යුත් මෙම ‘අල්කයිඩා’ ලෙස හඳුන්වන පවුලේ බාල සොහොයුරන් දෙදෙනා (2) බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

***************************************

අන්තර්ජාලයේ හුවමාරු වන ව්‍යාජ, උසස් පෙළ කාල සටහනක් ගැන සැළකිලිමත් වන්නැයි උපදෙස්

(19.02.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාළ ව්‍යාජව සැකසූ කාලසටහනක් අන්තර්ජාලයේ හුවමාරු වන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

අදාළ ව්‍යාජ කාලසටහන හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රමාද වී පැමිණීම් ද වාර්තා වී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර නිවැරදි කාලසටහන ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නේ.

විභාගය පැවැත්වෙන සෑම දිනකම උදය වරුවේ පෙරවරු 08:30 ට ආරම්භ වන අතර සවස් වරුවේ සිකුරාදා හැර අනෙක් දිනවල පස්වරු 1 ට විභාගය ආරම්භ වනවා.

සිකුරාදා දිනවල පමණක් පස්වරු 2 ට විභාගය ආරම්භ වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් පාසල් විභාග සංවිධාන ශාඛාවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකියි.

ඊට අමතරව 011 278 4208 / 011 278 4537 හෝ 011 278 5212 යන අංකවලින් තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා ෴

***************************************

අඩි 45 ක මිනිරන් පතලකට වැටුණු කාන්තාවක් මුදා ගැනේ

(19.02.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

අත්හැර දමා තිබූ මිනිරන් පතලකට අඩි 45 ක පමණ වැටී සිටි ගාල්ල – බද්දේගම අම්පේගම ප්‍රදේශයේ කාන්තාවක් අද (19) මුදා ගැණුනා.

අද (19) පෙරවරුවේ මෙම සිද්ධිය බද්දේගම පොලීසියට වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කැලෑබද ප්‍රදේශයකින් කාන්තාවකගේ කෙදිරිලි හඬක් ඇසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පිරිසක් ඒ පිලිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ බද්දේගම පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අදාළ පතලට වැටී සිටි කාන්තාව මුදා ගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්.

39 හැවිරිදි එම කාන්තාව මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන් කිසියම් අයෙකු විසින් එම පතල තුලට තල්ලු කෙරුනු බවයි ෴

***************************************

ගම්පහ සියලු උපකාරක පන්ති විශේෂ පරීක්ෂාවකට

(19.02.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ නගර සභාවේ නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව නගරයේ සියලු උපකාරක පන්ති පරීක්ෂා කර තිබෙනවා.

ඒ එහි උපකාරක පන්තියක කාන්තා වැසිකිලියක තිබී කැමරාවක් සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුවයි.

එහිදී ස්ථාන ගණනාවක පවතින අඩුපාඩු හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙහිදී උපකාරක පන්ති පවත්වන ස්ථාන 25 කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්වුණා.

ගම්පහ නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට අදාළ සැකකරු ද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පරීක්ෂණ මෙහෙයවන නිලධාරියෙකු සඳහන් කළේ පරීක්ෂණවලට බාධාවක් සිදු වන බැවින් එම සැකකරුගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි බවයි.

උසස් පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති පවත්වන, ගම්පහ නගරයේ පිහිටි ආයතනයක ගැහැණු ළමයින්ගේ වැසිකිලියේ සවිකර තිබියදී නවීන තාක්ෂණයෙන් යුත් කැමරාවක් හමුවුණේ පසුගිය සතියේදීයි.

ඒ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවියකගේ මව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ලට අදාළව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළ අතර එහිදී හෙලිව ඇත්තේ කාන්තා වැසිකිලියේ සවිකර තිබූ කැමරාව ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් මෙහෙයවිය හැකි අධි තාක්ෂණයෙන් සමන්විත කැමරාවක් බවයි.

එය සොයාගෙන ඇත්තේ අදාළ කාන්තා වැසිකිළියේ කවුළුවක් මත තබා තිබියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 20 ක් පමණ ලබා ගෙන ඇති අතර ඊට එම ආයතනයේ හිමිකරු, ගුරුවරු, සිසුන් සහ සිසුන්ගේ මව්පියන් ද ඇතුළත්.

මෙතෙක් සිදුකළ විමර්ශනවලදී මෙම කැමරාවෙන් දර්ශන රූගත කර ඇති බවට සාක්ෂි සොයාගැනීමට නොහැකි වූ බවත් වැඩිදුර විමර්ශන සඳහා අදාළ කැමරාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට භාර දෙන බවත් විමර්ශන සිදුකරන නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.

කාන්තා වැසිකිළියේ කැමරාව තැබූ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ විමර්ශන කටයුතු අවසන් වන තෙක් සැකකරුගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි බවයි.

මේ අතර හිරු ප්‍රවෘත්ති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසියෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙම සිද්ධිය පිළිබඳව ගම්පහ නගරාධිපතිවරයා සමග ද සාකච්ඡා කළ බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස නගරාධිපතිවරයාට පවතින බලතල ප්‍රකාරව සිද්ධියට අදාළ විමර්ශන අවසන් වනතෙක් අදාළ ආයතනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා ෴

***************************************

ඩොලර් අර්බුදයෙන් සුරතල් සතුන්ගේ ආහාරත් හිඟ වෙයි

(19.02.2022 – 19:00 +0530 – hirunews.lk/sinhala)

දැනට මාස එකහමාරක (1½) පමණ කාලයක සිට මෙරට තුල සුරතල් සතුන්ගේ ආහාරවල හිඟයක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ කියා සිටියේ රට තුල පවතින විදේශ සංචිත අර්බුදය මීට හේතුවී ඇති බවයි.

සුරතල් සතුන්ගේ ආහාර වැඩි ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ලබන අතර, ආනයනකරුවන් හා බෙදා හරින්නන් පවසන්නේ තමන්ට ගත වූ කාලය තුල ඇණවුම් කර ගෙන්වූ සුරතල් සතුන්ගේ ආහාර සහ විටමින් වර්ග වරායෙන් නිදහස් කර ගැනීමේ ගැටලු මතුව ඇති බවයි.

මීට අමතරව මෙරට තුල අනෙකුත් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් ද පවතින අතර, එම තත්ත්වය හමුවේ සත්ත්ව ආහාර මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

එවැනි පසුබිමක බිත්තර නිෂ්පාදයන් පවසන්නේ බිත්තර සඳහා අවම මිලක් පැවතීම හේතුවෙන් මේ වනවිට තමන්ට කර්මාන්තය කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ෴

***************************************

කණකරත් සූරා කන කාගෝ ජාවාරම

(19.02.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය වැඩි වශයෙන් මෙරටට රැගෙන එන විදෙස් ශ්‍රමිකයන්ව රජය හදුන්වන්නේ රට විරුවන් ලෙසයි.

මැදපෙරදිග වැලි කතරේ මෙන්ම අනෙකුත් විදෙස් රටවල දහදුක් විද මෙරටට විදේශ විනිමය ගෙන එන එම රටවිරුවන් තම හිතවතුන්ට භාණ්ඩ එවීමේදී අනේක විධ ගැටළුවලට මුහුණ දෙන්නේ කලක සිටයි.

වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘කාගෝ සේවයක්’ මගින් සේවා සැපයීමේදී ජනතාවගේ අත කණකර බඩු පවා ඉල්ලා සිටින තත්ත්වයකට පත්වන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුවයි අප ඒ පිළිබඳ සොයා බැලීම සඳහා එම කාගෝ ආයතනය වෙත ළඟා වුණේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *