ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු

ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු

*********************************************

ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු

(19.02.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නියමිත පරිදි නොලැබුනහොත් අද (19) දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.

සෙනසුරාදා දිනයක් වන අද (19), විදුලිය ඉල්ලුම අවම මට්ටමක පැවතුනද, දැනට පවතින තත්වය හමුවේ අද (19) රාත්‍රී කාලයේ අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවයි එම මණ්ඩලය කියා සිටියේ.

ඉන්ධන නොමැතිව සපුගස්කන්ද-බී බලාගාරය ඊයේ (18) පස්වරුවේ අක්‍රීය වූ අතර සපුගස්කන්ද-ඊ බලාගාරය සඳහාද ඉන්ධන පවතින්නේ අද (19) පෙරවරුව දක්වා බවට වාර්තා වුණා.

එසේම විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිව කොළොන්නාව, කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර ද්විත්වය, මතුගම හා තුල්හිරිය, යන බලාගාර ද මේ වන විට පවතින්නේ අක්‍රීය තත්වයකයි.

මෙවන් පසුබිමක් තුල අදියර දෙකකදී (2) කාණ්ඩ 4 ක් යටතේ ඊයේ (18) දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු කෙරුණා.

ඒ පළමු (1) අදියර යටතේ දහවල් 02:30 සිට සවස 06:30 දක්වා පැයක (1) කාලයක් හා දෙවැනි (2) අදියර යටතේ පස්වරු 06:30 සිට රාත්‍රී 10:30 දක්වා විනාඩි 45 ක් වශයෙන්.

මේ අතර ඉදිරි මාස 2 සඳහා තමන්ට අවශ්‍ය තෙල් සංචිත ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කල යුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ විදුලි බල මණ්ඩලයට තෙල් සංචිත ලබා ගැනීම සඳහා ලෙකෝ ආයතනයෙන් රුපියල් මිලියන 250 ක ණය මුදලක් ලබා ගැනීමට තමන් මැදිහත් වූ බවයි.

මේ අතර සභාපතිවරයා අද (19) උදෑසන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අද (19) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් එය අද (19) දහවල් වනවිට දැනුම්දෙන බවයි ෴

++++++++++++

අද (19) විදුලිය නොකැපේ – එහෙත් බිඳ වැටීම් සිදුවිය හැකියි

(19.02.2022 – 12:32 +0530 – hirunews.lk/sinhala)

අද (19) දිනයේ දෛනික විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. බලාගාරවලට ඉන්ධන ලැබෙමින් පවතින අතර, ඒවායේ විදුලි ජනනය ආරම්භ වී තිබෙනවා.

කෙසේ නමුත්, ජාතික ග්‍රිඩ් පද්ධතියේ ස්ථාවරවීම සඳහා පස්වරු 2 ත් 6 ත් අතර, ඇතැම් විට විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවයි උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (18) දිනයේදී පැයයි (1) මිනිත්තු 45 ක කාලයක් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

ඒ, පස්වරු 02:30 ත් සවස 06:30 ත් අතර පැයක (1) කාලයක් සහ පස්වරු 06:30 ත් රාත්‍රී 10:30 ත් අතර විනාඩි 45 ක කාලයක් ලෙසින්.

ඉන්ධන නොමැතිව සපුගස්කන්ද බලාගාරය ඊයේ (18) පස්වරුවේ අක්‍රීය වූ අතර ඉන්ධන ලැබීමත් සමඟ මේ වනවිට එහි විදුලි ජනනය ආරම්භ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි සඳහන් කළේ සපුගස්කන්ද-බී බලාගාරය සඳහා ඉන්ධන මෙට්‍රික් ටොන් 320 ක් සැපයීම ආරම්භ වූ බවයි.

සෙනසුරාදා දිනයක් වන අද (19) දිනයේදී දිවයින පුරා පවතින්නේ අවම විදුලි ඉල්ලුමක්.

මේ අතර, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් අද (19) රාත්‍රියේ දිවයිනට ළගා වන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ හේතුවෙන් පවතින ඉන්ධන හිඟය මඟ හැරී යනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, හෙට (20) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළගා වීමට ද නියමිතයි.

එම නෞකාවලට අදාළ මුදල් ලබාදීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත්, අද (19) දිනයේදී ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය ආකාරයට සිදුවන බවද අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර අද (19) දිනයේදීත් ඇතැම් ඉන්ධන හල්වල ඉන්ධන නොමැති තත්වයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

++++++++++++

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

(19.02.2022 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල් මිළ ගණන් කලාපයේ අනෙක් රටවල් හා සැසඳීමේදී අඩු අගයක පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු කියාසිටියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුකර ඇත්තේ දීර්ඝ කලකට පෙර බවයි.

ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 0.88 කටත්, ඩීසල් ලීටරයක් ඩොලර් 0.60 ක මිළකටත් අලෙවි වන බව ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා ෴

+++++++++++++

විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පරස්පර මත

(19.02.2022 – 19:06 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වරින් වර පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම තුලින් එහි කාර්යභාරය ඉදිරියේ ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කර ඇති තත්ත්වයක් දක්නට ලැබෙනවා.

අද (19) දිනයේ දෛනික විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ. බලාගාරවලට ඉන්ධන ලැබෙමින් පවතින අතර, ඒවායේ විදුලි ජනනය ආරම්භ වී තිබෙනවා.

කෙසේ නමුත්, ජාතික ග්‍රිඩ් පද්ධතියේ ස්ථාවරවීම සඳහා පස්වරු 2 ත් 6 ත් අතර, ඇතැම් විට විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවද උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් පිටුවට අනුව එහි ඔවුන්ගේ කාර්යය දක්වා අත්තේ ‘බලපත්‍ර ලාභියාගේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට පසුබිම සෑදීම මගින් පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කර්මාන්තයේ යහපැවැත්මට කටයුතු කිරීම’ යනුවෙන්.

ඒ අනුව සැබවින්ම මහජන උපයෝගිතා කොමිසම මහජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කර ඇත්දැයි ප්‍රශ්නයක් මතුවනවා.

එසේත් නැතිනම් එය ජනතාව හමුවේ විහිළු සපයන ආයතනයක් බවට පත්ව ඇත්ද ? මෙවන් පසුබිමක අද (19) දිනයේ ද මාළඹේ ඇතුළු ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් වාර්තා වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එසේම, ඊයේ (18) දිනයේදී පස්වරු 02:30 ත් සවස 06:30 ත් අතර පැයක (1) කාලයක් සහ පස්වරු 06:30 ත් රාත්‍රී 10:30 ත් අතර විනාඩි 45 ක කාලයක් කාණ්ඩ 4 ක් යටතේ වශයෙන් විදුලිය කප්පාදුවක් සිදුකෙරුණා.

පිවිතුරු හෙළ උරුමයේ කඩුවෙල ආසන ජන සභාව පිහිටුවීමේ අවස්ථාව අද (19) බත්තරමුල්ලේදී පැවැත්වුණේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත්, විදුලිය බිඳ වැටීම නිසා ඊට බාධා මතුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව විදුලි ජනන යන්ත්‍රයක් උපයෝගි කරගෙන එම අවස්ථාවට විදුලිය සැපයුණා.

මේ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධන බොහෝ කල් ප්‍රමාද වී ඇති බවයි. එසේම, කලාපයේ සෙසු රටවල් රැසක් සමග සැසදීමේදී මෙරට ඉන්ධන මිල ඉතා අඩු මට්ටමක පවතින බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.

මේ අතර, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් අද (19) රාත්‍රියේ දිවයිනට ලඟා වන බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ලේකම්වරිය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට පවතින ඉන්ධන හිඟය මඟහැරී යනු ඇති බවයි.

තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් හෙට (20) මෙරටට ළඟා වීමට නියමිත අතර ඒවාට අදාල මුදල් ලබා දීමේ කටයුතු සිදුකරමින් පවතින බවද ලේකම්වරිය සඳහන් කළා.

ඉන්ධන මිල ඉහළ දැමීමට අවසර ලබාදීම හෝ ඒ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (18) සඳහන් කළා.

කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීමක් ඊයේ (18) පස්වරුව වනතෙක් අමාත්‍යංශයට ලැබී නැති බවයි.

මේ සම්බනධයෙන් අප අදත් (19) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසුවා.

++++++++++++

ඉන්ධන මිල ගැන අනාවැකියක්

(19.02.2022 – 20:16 +0530 – hirunews.lk/sinhala)

අද (19) හෝ හෙට (20) පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 22 කින් ඉහළ යන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අද (19) අනාවැකියක් පළ කළා.

මේ අතර ඉන්ධන අර්බුදයල විදුලි කප්පාදුව සහ රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද තවත් අදහස් පළ වුණා.

***************************************

තංගල්ලේ පොලිස් කොස්තාපල් ඝාතනයට හතරක් (4) අල්ලයි

(19.02.2022 – 12:34 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – විතාරන්දෙනිය ප්‍රදේශයේදී පොලු මුගුරු වලින් පහරදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවකද වන බවයි.

තංගල්ල – වීරකැටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුලු තවත් සැකකරුවන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ ඉඩමට යාබද නිවසක කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරන පුද්ගලයෙකු සමඟ කලක සිට පැවති ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර තිබුණේ පසුගිය 17 වනදායි.

මේ අතර මහනුවර – පල්ලෙකැලේ – තැන්නකුඹුර ප්‍රදේශයේ වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අද (19) අලුයම සිදුවූ රිය අනතුරකින් 54 හැවිරිදි සිවිල් බුද්ධි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් 44 හැවිරිදි වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

++++++++

පොලිස් කොස්තාපල් ඝාතනයේ තවත් සැකකරුවන් 12 ක් සොයා විමර්ශණ

(19.02.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල, විතාරන්දෙණියේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් (1) ඇතුළු සැකකරුවන් සිව්දෙනකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත සිදුකළ පහරදීමකින් මෙම පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට ලක්වුණා.

මෙලෙස මියගියේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට අනුයුක්තව කසාගල පිවිසුමේ රාජකාරී කළ තංගල්ල, විතාරන්දෙණියේ පදිංචි 34 හැවිරිදි චතුරංග දිල්ශාන් නම් පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහුගේ ඉඩමට යාබද නිවසක පදිංචි කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරමින් සිටි ව්‍යාපාරිකයකු සමග කලක පටන් පැවති ආරවුලක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී පොලිස් නිලධාරියාට සහ ඔහුගේ සොයුරාටල අදාළ පිරිස විසින් පහර දී තිබූ අතර, පොලිස් නිලධාරියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

බරපතළ තුවාල ලැබූ ඔහුගේ සොහොයුරා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය මේ වනවිට වීරකැටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් කාන්තාවක් (1) ඇතුළු සිව් දෙදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

මේ අතර, සැකකරුවන්ට අයත් බව පැවසෙන නිවසකට හා හෝටලයට ඊයේ (18) රාත්‍රී කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව අප වාර්තාකරු පැවසුවා.

මේ අතර අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු සැකකරුවන් සිව්දෙනා (4) ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (19) නියෝග කළා.

ඒ එම සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

***************************************

එතෙර ගිහින් වැනසෙන මෙරට කාන්තාවන්ගේ ඉරණම

(19.02.2022 – 14:36 +0530 – hirunews.lk/sinhala)

ගෘහ සේවය සඳහා ඕමාන් රටට ගිය තමන්ට මුහුණදීමට සිදුව ඇති ලිංගික හිංසන පිළිබඳව මෙරට කාන්තාවක් හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු හෙළි කළා.

මේ අතර, සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත ගෙන ගොස් සිර කර ගෙන සිටි කාන්තාවන් ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු මෙරටට ගෙන්වා දීමට එරට තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ගෘහ සේවිකාවන් ලෙස මෙරටින් මැද පෙරදිග රටවලට ගෙන යන මෙරට කාන්තාවන්ට සිදුවන නොයෙකුත් තාඩන පීඩන පිළිබඳව අප අවස්ථා ගණනාවකදී ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කළා.

එහි ආසන්නතම සිදුවීම අප වාර්තා කලේ සංචාරක වීසා මත ඩුබායි වෙත රැගෙන ගිය කාන්තාවන් පිරිසක් රැකියාවලට යොමු නොකර ආහාර පාන ද ලබා නොදී එරට විදේශ රැකියා නියෝජිතයන් විසින් බලහත්කාරයෙන් රදවා තබා ගෙන ඇති ආකාරයයි.

එම ස්ථානයෙන් පළා ආ කාන්තාවන් දෙදෙනෙකු (2) තමන් විඳි දුක්ගැහැට ‘හිරු සී.අයි.ඒ.’ හරහා පසුගිය දෙසැම්බර් 15 වනදා හෙළි කළේ මෙලෙසින්.

***************************************

රියදුරු උපදේශක හා සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීමේ ලිඛිත විභාගය ජුනි මාසයේදී

(19.02.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු උපදේශකයන් හා සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය ලබන ජුනි මාසයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹදී පැවැත්වෙන මෙම විභාගය සඳහා සුදුසුකම්ලත් අපේක්ෂකයින්ට මාර්තු 15 වනදාට පෙර අයදුම්පත් යොමුකරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ.

මෙම විභාගයට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකිකයන්ගෙන් මාර්තු මස 15 වනදා දක්වා අයදුම්පත් විභාග කොමසාරිස් ජනරාල් විසින් භාරගනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *