පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට

පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට

*********************************************

පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට

(18.02.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසහට අනුයුක්තව සේවය කළ 34 හැවිරිදි කොස්තාපල්වරයෙක්.

ඔහු සේවය කරමින් සිට තිබුණේ කසාගල පිවිසුමේයි.

ඊයේ රාත්‍රී (17) කාලයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පිරිසක් සිදුකළ පහරදීම හේතුවෙන් මෙම කොස්තාපල්වරයා සහ ඔහුගේ සොහොයුරා බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කෙරුණා.

මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ යාබද ඉඩමේ නිවසක පදිංචි කාන්තාවක් එම කොස්තාපල්වරයාගේ නිවැසියන් සමග නිතර ආරවුල් ඇතිකර ගෙන තිබී ඇතැයි සඳහන්.

මෙම නිලධාරියාගේ නිවස ආසන්නයේ තවත් ඉඩමක වීරකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් හෝටලයක් ඉදිකරමින් තිබී ඇති අතර එම පුද්ගලයා නිරන්තරයෙන් විදේශගතවන අයෙක්.

එම පුද්ගලයා ඊයේ (17) දිනයේ ද විදේශගතව සිට පැමිණ එදින රාත්‍රී කාලයේ අදාළ හෝටලයේ ඉදිකිරීම් කටයුතු කරන සේවකයන් 15 දෙනෙකුට ආසන්න කණ්ඩායමක් සමග එම හෝටල් පරිශ්‍රයේ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එම හෝටලයේ හිමිකරු පොලිස් නිලධාරියාගේ නිවස අසල පදිංචි කාන්තාව සමග ද කාලයක සිට හිතවත්කම් පවත්වාගෙන ගොස් ඇති අතර එම කාන්තාව ද හෝටල් පරිශ්‍රයේ පැවති සාදයට සහභාගී වී ඇති බවටයි දැනට ලැබී ඇති තොතුරු අනුව හෙළිවී ඇත්තේ.

එම සාදය පැවැත්වෙන අතර අදාළ හෝටල් හිමිකරු සහ අදාළ කාන්තාව මියගිය පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහෝදරයා සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර හෝටල් හිමිකරු ඇතුලු සාදයේ සිටි පිරිස පොලිස් නිලධාරියාගේ නිවසට පැමිණි එම නිලධාරියාට බිරිඳට සහ ඔහුගේ සහෝදරයාට පහරදීමක් සිදුකර ඇතැයි සඳහන්.

අනතුරුව අදාළ පිරිස විසින් පොලිස් නිලධාරියාව සහ ඔහුගේ සහෝදරයාව හෝටල් පරිශ්‍රයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

තුවාලකරුවන් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පොලිස් නිලධෘරියා මියගොස් ඇති අතර බරපතල තත්වයේ පසු වූ සහෝදරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඔහු මේවන විට සිහි මූර්ජා තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මියගිය පොලිස් නිලධාරියාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේයි තැන්පත් කර ඇත්තේ.

මෙම අපරාධයට සම්බන්ධ හෝටල් හිමිකරු ඇතුලු සැකකරුවන් සහ සැකකාර කාන්තාව මේවන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලිසියයි විමර්ශන සිදුකරනු ලබන්නේ.

***************************************

රන් කරඬු සොරකම් කළ සැකකරුවන් ගැන කිව්වොත් රුපියල් මිලියන 2.5 ක ත්‍යාග මුදලක්

(18.02.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් රන් කරඬු සොරකම් කිරීමට අදාළ සැකකරුවන් සොයා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කරඬු සොරකම් කළ සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට ද පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

සොරකම් කර ඇත්තේ ඉතා විශාල පුරාවිද්‍යා වටිනාකමක් සහිත රන් කරඬු වන අතර තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවයි පොලිසිය නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

071 859 1772 – සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු
071 859 1924 – ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත් ජයසේකර සහ
011 242 2176 – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියට ද තොරතුරු ලබාදීමට හැකියාව පවතිනවා ෴

***************************************

තානාපතිවරුන්ට බතික් අන්දවන බතික් ඇමතිගේ සැලැස්ම

(18.02.2022 – 16:50 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවල ශ්‍රී ලාංකික සන්නාමය සහිත බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය අත්කම් නිර්මාණ ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් විදේශ රටවල ශ්‍රී ලංකා තනාපතිවරුන් වෙත දේශීය අත්කම් නිර්මාණයන් ප්‍රධානය කිරීම බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් අද (18) දින විදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු කෙරුණා.

මෙම අවස්ථාව සදහා විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකේය තානාපතිවරුන් 63 දෙනෙකු මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ එක් වූ අතර එම රෙදිපිළි ප්‍රධානයන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් වෙත සංකේතාත්මකව ලබා දුන්නා.

මෙම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයට අයත් ‘ලක්සල’ ආයතනය විසින් නිර්මාණය කර සැකසුම් කළ ඒවායි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ‘ලක්සල’ ආයතනයේ සභාපති ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව සිටියා ෴

***************************************

අගමැති හදිසි නිරීක්ෂණයක

(18.02.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගතිය සොයා බැලීම සඳහා අද (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම අමාත්‍යාංශයට පැමිණියා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා එහි නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත වූ බවයි.

එමෙන්ම, අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය ද අග්‍රාමාත්‍යවරයා විසින් විමසා බැලුවා.

***************************************

ගිනිගත් නැව වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි ලැබී අවසන්

(18.02.2022 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වු Xpress pearl නෞකාවට අදාළ වන්දි වශයෙන් රුපියල් බිලියනක පමණ මුදලක් මේ වන විට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගිනි ගැනීමට ලක්ව මුහුදු බත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාළ මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සදහා අද එම ස්ථානයට ගිය අවස්ථාවේදීයි.

නැව ගිනිගත් මොහොතේදී පාරිසරික ව්‍යසනය අවම කර ගනිමින් රජය කටයුතු කල බව පෙන්වාදුන් අමාත්‍යවයා මේ වනවිට ගින්නෙන් පසු නැවෙන් විසිරුණු භාණ්ඩ ඉවත් කිරීමද සියයට 90 කින් පමණ අවසන් කර ඇති බවයි කියා සිටියේ.

ගිනි ගැනීම හේතුවෙන් ඉවතට විසිරුනු භාණ්ඩ ඉවත් කර අවසන් වු වහාම අදියර කිහිපයක් යටතේ නැව එම ස්ථානයෙන් ඉවතට ගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.

2021 මැයි 20 වන දින ගිණිගැනීමට ලක්ව ජුනි 02 වනදා මුහුදුබත් වූ Xpress pearl නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යවරු පිරිසක් අද (18) එම ස්ථානය වෙත ගොස් තිබෙනවා.

කොළඹ වරාය ආසන්නයේ ගිණිගනිමින් තිබූ Xpress pearl නෞකාව තුළ රසායනික ද්‍රව්‍ය බහාලුම් රැසක් තිබූ අතර බහාලුම් පිපිරීම හේතුවෙන් විශාල පරිසර හානියකට ලක්වීමේ අවධානමක් තිබූ බැවින් එය මඟහරවා ගැනීම සඳහා නෞකාව තිබූ ස්ථානයේ සිට හැකිතාක් දුරට රැගෙන ගියා.

මේ අවස්ථාව වන විට නැවේ සුන්බුන් සියයට 90 ක් පමණ ඉවත් කර ඇති බවයි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියාසිටියේ.

Xpress pearl නැව බේරා ගැනීමට මොහොතකට පෙර ගිනි ගෙන මුහුදුබත් වු අතර ඒ අවස්ථාවේ සිට රජයක් ලෙසත් වරාය හා නාවික අමාත්‍යාශය ලෙසත් අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධවෙමින් හානිය අවම කර ගැනීමට කටයුතු කළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගිනි ගැනීම සිදුවූ අවස්ථාවේ නොයෙකුත් වැරදි අර්ථකතන ලබාදුන්න ද සමූද්‍රයට, පරිසරයට හා ධීවර ප්‍රජාවට සිදුවිය හැකි හානිය අවම කිරීමට රජයක් ලෙස එම සිදුවීම සිදුවූ අවස්ථාවේ සිට කටයුතු කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

ගිනි ගන්නා අවස්ථාවේ නෞකාව තුළ කන්ටේනර් 1500 ක් පමණ තිබූ බව හඳුනාගත් අතර නෞකාවේ හිමිකරුවන් සමඟ සාකච්ඡා කර තවදුරටත් තෙල් කාන්දුවක් වීමට තිබූ අවස්ථා අවම කළ බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළා.

සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අදියර දෙකකින් (2) සිදු කෙරුණු අතර පළමු (1) අදියර යටතේ විසිරී ඇති කන්ටේනර් සහ අපද්‍රව්‍ය ඉවත් ක ළ බවයි ඔහු කියාසිටියේ.

දෙවනුව කළේ ගිලී තිබෙන නැව යළි ඔසවා තැබීමයි. ඉවත් කිරීමේ සමාගම ඉතා විද්‍යානුකූලව කටයුතු කරන අතර රජය එම ක්‍රියාවලිය අධීක්ෂණය කරන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම ලැබිය යුතු වන්දි මුදල් ලබා ගැනීමට දැනටමත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර දැනට රුපියල් බිලියනයක පමණ වන්දියක් ලැබී තිබුණද එය ඉතාමත් සුළු මුදලක් බවයි අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තවත් වන්දි ලැබිය යුතු අතර මේ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඕස්ට්‍රේලියාවේ නීති සමාගමක් තක්සේරු කිරීමේ කටයුතු සඳහා සම්බන්ධ කරගෙන තිබෙනවා.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් යන බවයි අලිසබ්රි පැහැදිලි කළේ.

නැව ගිනි ගැනීම හේතුවෙන් ධීවර, පරිසර, සමුද්‍රජීවී වැනි අංශ කිහිපයකම හානි සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටු කිහිපයක් පත්කර විමර්ශනය කරගෙන යන බව වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළා.

විමර්ශනවලට අනුව තක්සේරු කරන හානිය උපරිම වශයෙන් ලබාගන්නා බවයි ඔහු කියාසිටියේ.

ධීවර කටයුතු සිදුකිරීම තහනම් කලාපයක් ලෙස නම්කර තිබූ ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ධීවරයන් 15,000 කට පළමු (1) අදියර යටතේ 2021 වසරේ දී නැව් රක්ෂණ සමාගමෙන් වන්දි ලෙස ලැබූණු රුපියල් මිලියන 420 ක් ලබාදී තිබෙනවා.

දෙවන (2) අදියර යටතේ තවත් අමෙරිකන් ඩොලර් මිලියන 1.75 ක් ලබන සතියේ සිට වන්දි ලෙස ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍ය කාංචන ව්ජේසේකර ප්‍රකාශ කළේ.

නැව ඉවත් කිරීමේ කටයුතු සඳහා ‘ශේන්හයි සැල්වස්’ සමාගමේ නැව් දෙකක් (2) යොදවා ඇති අතර නැව් එසවීමට යොදාගන්නා ආධාරක 63 ක් යොදවා තිබෙනවා.

නැව කොටස් දෙකක් (2) ලෙසයි එසවීමට සැලසුම් කර ඇත්තේ.

ඉතිරිවූ නැව ද කපා ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා දැනටමත් ආධාරක 06 ක් යොදාගෙන ඇතැයි වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා කියසිටියා.

***************************************

රජයේ වෛද්‍ය නිලධාරීන් සැලසුම් කළ වර්ජනය අත්හිටුවයි

(18.02.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ සංකේත වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අද (18) සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූයේ ලබන 21 වන සඳුදා දිනයේදීයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (17) කොරෝනා ආසාදිතයන් 1,235 ක්

(18.02.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

රෝහල්ගත වන කොරෝනා ආසාදිතයන් අතර බූස්ටර් මාත්‍රාව ලබා ගත් රෝගින් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට කොරෝනා සහ ඩෙංගු ආසාදිත රෝගීන් ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, කොරෝනා සහ ඩෙංගු යන රෝගී තත්ත්වයන් දෙකම සහිත පුද්ගලයන්ගේ පොදු රෝග ලක්ෂණ කිහිපයක්ම හඳුනා ගෙන ඇති බවයි.

මේ අතර, කොරෝනා මර්දන එන්නත්කරණයේ බූස්ටර් මාත්‍රාව ලබා ගෙන පැය 48 කට පසුවත් අපහසුතාවයන් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි කොළඹ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී ජනතාව වෙතින් ඉල්ලීමක් කළා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 1,235 ක් ඊයේ (17) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,33,051 දක්වා ඉහළ ගියා.

එසේම, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,926 ක් දක්වා ඉහළ ගියේ පෙරේදා (16) සිදු වූ බවට ඊයේ (17) තහවුරු කරන ලද කොරෝනා මරණ 27 ත් සමඟයි ෴

++++++++++++

රෝහල්ගත වන ආසාදිතයින් ගැන නවතම හෙළිදරව්වක්

(18.02.2022 – 09:29 +0530 – hirunews.lk/sinhala)

තමන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසට වී සිටීමත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

බොහෝ රෝගින් මේ වන විට සමාජය තුළ හඳුනාගත නො හැකි මට්ටමේ රෝගී ලක්ෂණ නො පෙන්වන අය බව යි ඔහු සඳහන් කරන්නේ.

ඔවුන් හරහා සංකූලතා සහ අධි අවදානම් සහිත පිලිකා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අය මිය යාමේ ප්‍රවණතාවක් ඇති බව ද ඔහු අවධාරණය කළා.

හැකි ඉක්මනින් නිසි පරිදි තමාට අදාළ එන්නත කඩිනමින් ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවට දැනුම් දෙනවා.

එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 30 පසු අවසන් කරන බවට තවම තීරණය කර නො තිබුණත් සෞඛ්‍ය අංශවලට තවදුරටත් මෙය අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ අසීරුතාවක් පවතින බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට සමාජයේ පවතින ඩෙංගු රෝගය සහ වෛරස් උණ රෝගය පිළිබඳ යම් බියක් ඇති නම් පරීක්ෂාවක් සිදු කර තහවුරු කරගන්නා ලෙසත් එය නො සලකා හැර සෞඛ්‍ය පුරුදු අතහැර කටයුතු කිරීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත්වසාන වශයෙන් අවධාරණය කරනවා.

+++++++++++

තවත් කොරෝනා මරණ 23 ක්

(18.02.2022 – 17:22 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 23 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,949 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 6 ක් සහ පිරිමින් 17 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 15 ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 3 ක් සහ පිරිමි 12 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 6,33,051 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,486 ක්.

අද (18) දිනයේ සුවය ලැබූ තවත් 310 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 5,96,639 ක් ලෙසටයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

අද (18) දින සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුවයි මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

මන්ත්‍රී අකිල එල්ලාවල රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුව නියෝජනයට අවස්ථාව ලද නවක මන්ත්‍රීවරයෙක්.

පසුගිය සති කිහිපය තුළ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින්ට මෙන්ම විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු ද වෛරසය ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

ඒ අතර, කථානායක මහින්ද යපා අබේවර්ධන, හර්ෂණ රාජකරුණා, ලසන්ත අලගියවන්න, සම්පත් අතුකෝරාළ, රෝහිණී කවිරත්න ආදී මැති සබය දිනෙන් දින උණුසුම් කරන දේශපාලනඥයින් රැසකට වෛරසය ආසාදනය වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *