හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

*********************************************

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

(18.02.2022 – 11:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැරීම සහ මිනී මැරීමට අදාළ සියලු අධි චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීම‍ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (18) නියම කළා.

නීතිපතිවරයා විසින් ඔවුන් දෙදෙනාට (2) එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ අධි චෝදනා 855 බැගින් ගොනුකරමින්.

පාස්කු ඉරිදා ස්ථාන 7 ක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 268 දෙනෙකුට දිවි අහිමි වූ අතර 500 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් කිතුණු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත්, විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණා.

ඊට අදාළ නඩු, තවදුරටත් විභාග කරනවාද, නැත්නම් ඔවුන් ඉන් නිදහස් කරනවාද යන තීන්දුව අද (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවට සහභාගී වීම සඳහා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අධිකරණයට පැමිණියා.

පෙරවරු 10:00 ට පමණ නඩු විභාගය ආරම්භ වුණේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ප්‍රථමයෙන් විභාගයට ගැණුණේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව එල්ල වී ඇති චෝදනායි.

මෙහිදී සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා අධිකරණ හමුවේ සඳහන් කළේ, විත්තිකරුවෙකුට ‘නොකර හැරීමක්’ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන අවස්ථාවක ඒ බව තහවුරු කිරීම සඳහා ඊට ‘චේතනාවක්’ තිබූ බවද ඔප්පු කිරීම
අවශ්‍ය බවයි.

එහෙත් මෙම නඩුවේ දී විත්තිකරු යම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම් එය චේතනාන්විතව සිදු කර තිබූ බවට සාක්ෂි මගින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බව ද විනිසුරුවරයා සඳහන් කළා.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකල මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ ‘නොකර හැරීම’ හේතුවෙන් මිනී මැරීම් සිදු කළ බවට විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් :

“මෙම නඩුවේ පළමුවන සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් අධිකරණය හමුවේ දුන් සාක්ෂිය මගින්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබී තිබූ තොරතුර නිශ්චිත බුද්ධි තොරතුරක් නොවූ බව පිළිගෙන තිබුණා. එම තොරතුරු 100% නිවැරදි බව පෙනී යන්නේ නැහැ. ප්‍රහාරය එල්ල වන වකවානුවේ රටේ පැවති දේශපාලන වාතාවරණය මත ඇතැම් පුද්ගලයින් බුද්ධි සමාලෝචන රැස්වීම්වලට කැඳවීම සම්බන්ධයෙන් ද විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා වෙත සීමා පනවා තිබු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන දුන් සාක්ෂියෙන් අනාවරණය වුණා. ‘ජාතික බුද්ධි ප්‍රධානියා’ට නිසි බලතල නොතිබූ බව ද ඔහුගේ සාක්ෂියෙන් අනාවරණ වුණා. එම නිසා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් විත්තිකාර ආරක්ෂක ලේකම්වරයාට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලබා දුන් බවට සාක්ෂි ඉදිරිපත් වී නැහැ.”

වැඩිදුරටත් කරුණු දක්වූ විනිසුරු ඉර්ෂඩීන් මහතා පැවසුවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති බවයි.

මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් :

“මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම 2019 අප්‍රේල් මස 04 වන දා විදේශයකින් තමන්ට තොරතුරක් ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ප්‍රකාශ කළා. එම තොරතුර බුද්ධි තොරතුරක් බවට පරිවර්ථනය කර ගැනීම සඳහා තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අධිකරණය හමුවේ පැහැදිළි කළේ නැහැ. ඔහු සඳහන් කරන්නේ මෙම තොරතුර තමන්ට විදේශයකින් ලැබුණු බව පමණයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා වෙත ලබාදුන් තොරතුර, යළි ආරක්ෂක ලේකම්වරයා විසින් අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා. එම නිසා විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා ‘නොකර හැරීමක්’ සිදු කළ බවට එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමට ප්‍රබල හා කාවදින සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව අපට පෙනී යනවා. මෙම නඩුව ගොනු කිරීමට පෙර ඒ පිළිබඳව දෙවරක් සිතා බලන්න තිබුණා.”

ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික ආදිත්‍ය පටබැඳිගේ මහතායි.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ :

“මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වශයෙන් සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය වගකීම පැහැර හැර, එය ‘ජාතික බුද්ධි ප්‍රධානියා’ මත පැටවීමට කටයුතු කළ ආකාරයක් පෙනී යනවා. සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති දේශපාලන වාතාවරණය හා රජය තුළ පැවති අර්බුද පිළිබඳ, සාක්ෂි විභාගයේ දී කරුණු අනාවරණ වුණා. එම තත්වය හමුවේ තීරණ ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා අසරණ තත්ත්වයක පසුවූ බවත් පෙනී යනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉතා සංවේදී කරුණක්. සංවේදී කරුණක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරව කවර හෝ පුද්ගලයකුට නඩු පැවරීම අනුමත කරන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල කිරීමේ දී වඩා ප්‍රවේශම්කාරීවිය යුතුයි. දේශපාලන අධිකාරියක් පවතිද්දී, රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම යුක්ති සහගත නැහැ. එම නිසා මෙම නඩුවේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගේ සාක්ෂිය මෙහෙය වීමෙන් පසුව අනාවරණය වූ කරුණු ඔස්සේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද, නැද්ද, යන්න තීරණය කිරීමට පවා පැමිණිල්ලට හැකියාවක් තිබුණා. නඩුවේ විත්තිකරු අත්අඩංගුට ගැනීම පවා ගැටලු සහගතයි.”

ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්ති වාචකය නොකැඳවාම විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළා.

අනතුරුව විභාගයට ගැනුණේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවයි.

එහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු නාමල් බලල්ලේ මහතා පුවසුවේ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබුණ ද එම ප්‍රහාරය එල්ල වන දිනය සහ ස්ථානය පිළිබඳව නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අසමත් ව තිබූ බවයි.

මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ :

“පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය සාක්ෂිවලින් කොළඹ තදාසන්න ප්‍රදේශවල ස්ථාන අටකට (8) ප්‍රහාර එල්ල වන බවට සඳහන් කර තිබුණා. එම තොරතුරු තුළින් ‘පල්ලි වලට හෝ හෝටල් වලට’ ප්‍රහාර එල්ල කරන බවට සඳහන් කර තිබුණත් එම ස්ථාන පිළිබඳව නිශ්චිතව සඳහන් කර තිබුණේ නැහැ. මෙවැනි තොරතුරක් සම්බන්ධයෙන් විත්තිකාර පොලිස්පතිවරයාට ප්‍රායෝගික පියවරක් ගැනීම අපහසුයි. මෙම බෝම්බ පිපිරීම් මාලාව කෙටි කාලයක් තුළ සිදුවී ඇති බව සාක්ෂි මගින් අනාවරණ වුණා. ඒ අනුව විත්තිකරුට ලැබුණු තොරතුරු මත එය වැළැක්වීමට ප්‍රමාණවත් කාලයක් තිබූ බව පෙනී යන්නේ නැහැ. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වී තිබෙන බවත් සාක්ෂිවලින් පෙනී යනවා.”

අනතුරුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය තීන්දුව ප්‍රකාශට පත් කරමින් පැවසුවේ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ලබාදුන් තොරතුරු විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ සිටි නිලධාරීන් වෙත, අවශ්‍ය පියවර ගැනීම සඳහා යොමු කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණ වූ බවයි.

මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ :

“ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් පළමු සාක්ෂිකාර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් රාජ්‍ය නායකයා දැනුවත් කළ බවත් සාක්ෂිවලින් අනාවරණය වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි සේවයේ ප්‍රධානියා නොවෙයි. ඔහු රජයේ බුද්ධි සේවයේ ප්‍රධානියායි. ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබුණු තොරතුර පිළිබඳව ඔහු විසින් යුද හමුදා බුද්ධි අංශය ඇතුළු ත්‍රිවිධ හමුදාව සමග සාකච්ඡා කර නැහැ. එවැනි තොරතුරු හුවමාරුවක් සිදු කිරීමට ඔහුට හැකියාව තිබුණා. එසේ නොකිරීම ගැටලු සහගත තත්ත්වයක්. මෙම සිදුවීම් මාලාව හොඳින් දන්නා පුද්ගලයෙකු තමයි එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා. එහෙත් පැමිණිල්ල විසින් ඔහු සාක්ෂියට කැඳෙව්වේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂියට කැඳෙව්වොත් පැමිණිල්ලට අවාසිදායක හෝ විත්තියට වාසිදායක සාක්ෂියක් ඉදිරිපත් වීම හේතුවෙන් එය සිදුකර නොමැති බවයි පෙනී යන්නේ. සමස්ත සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී අදාළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ට විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ආධාර අනුබල දීමක් සිදු කර ඇති බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී තිබෙනවා.”

ඒ අනුව විත්තිකාර හිටපු පොලිස්පතිවරයාද විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා අධිකරණය හමුවේ යළි කරුණු දැක්වීමක් සිදුකළා.

“මෙම නඩු වසර දෙකහමාරක් (2½) පමණ ඇදගෙන යාමට තිබූ නඩු දෙකක් (2). එහෙත් එය මාස හතක් (7) වැනි කාලයක් තුළ අවසන් කිරීමට අපට හැකි වුණා. ඊට මාගේ සහෝදර විනිසුරුවරු දෙදෙනාත් (2), රජයේ නීතිඥවරු, විත්තියේ නීතිඥවරු සහ අධිකරණ කාර්ය මණ්ඩලය ලබාදුන් සහයට ස්තුතිය පළ කරනවා. යුක්තිය ඉටු කිරීමේ දී සියලු පාර්ශව සතුටු කරන්න බැහැ.”

අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අධිකරණයෙන් පිටතට පැමිණියා.

2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා කිතුණු දේවස්ථාන 3 ක් සහ කොළඹ ප්‍රසිද්ධ හෝටල් 3 ක් ඉලක්ක කරගනිමින් සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 268 දෙනෙකුට දිවි අහිමි වූ අතර පුද්ගලයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

එමෙන්ම දෙහිවල පිහිටි ලැගුම්හලක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ද පිපිරීම් සිදු වූ අතර එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3) ද ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අනාවරණ වුණේ ජාතික තව්හිත් ජමාත් නමැති අන්තවාදී සංවිධානයක් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කළ බවයි.

එහි නායක බවට පැවසෙන සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් 8 දෙනෙකු ද මෙම ප්‍රහාර මාලාවෙන් මියගියා.

අනතුරුව සිදුකළවිමර්ශනවලදී අනාවරණ වුණේ, ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබී තිබූ බවයි.

ඒ අනුව තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාර වලක්වාගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමේ චෝදනා යටතේ එවක හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ එවක හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එක් පුද්ගලයෙකුට නීතිපතිවරයා විසින් අධි චෝදනා 855 බැගින් ගොනු කළේ පසුගිය වසරේ (2021) ඔක්තෝබර් 01 වැනිදායි.

නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 1,215 දෙනෙකු ද නම් කෙරුණා.

ඒ අනුව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පසුගිය ජනවාරි මාසය තෙක් සාක්ෂි විමසීම සිදු කෙරුණු අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ එම සාක්ෂි විමසා බැලීමෙන් අනතුරුවයි.

***************************************

සතොස හරහා පරිසර හිතකාමී නිෂ්පාදන අලෙවියට අවස්ථාවක්

(18.02.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala)

පරිසර හිතකාමී නිෂ්පාදන ලංකා සතොස වෙළඳසැල් ජාලය හරහා අලෙවි කිරීමේ අවස්ථාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පොලිතින්, ප්ලාස්ටික් සහ ආහාර දවටන ඇතුලු දිරාපත් නොවන නිෂ්පාදන තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පසුගිය දා තීරණය කරනු ලැබුවා.

ඊට විකල්ප ලෙස පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා සතොස වෙළඳසැල් ජාලය මගින් අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.

එහිදී විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදයින්ට වෙළඳපොලට යොමුවීම සඳහා ලංකා සතොස වෙළඳසැල් ජාලය හරහා අවස්ථාවක් ලබාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

***************************************

හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපෙයි

(18.02.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

අද (18) පෙරවරු 10 සිට හෙට (19) රාත්‍රී 10 දක්වා පැය 36 ක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ 01, 07, 09, 10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති අතර, කොළඹ 08 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

***************************************

මධුෂ්ගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ අල්ලයි

(18.02.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු කැලණිමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (17) සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 680 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

43 හැවිරිදි සැකකරුට එරෙහිව ස්ත්‍රී දූෂණ, ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑම, හෙරොයින් ළඟ තබාගැනීම ඇතුලු විවිධ වැරදි සඳහා අධිකරණවල නඩු විභාග වෙමින් පවතිනවා.

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු බවට අනාවරණ වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිත යි ෴

***************************************

ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලබන මාසයේ දිවයිනට

(18.02.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස බයිඩ්න් පරිපාලනය විසින් පත් කළ ‘ජූලි චන්’ ඊයේ (17) ශ්‍රී ලංකාව බලා පිටත්වූ බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළා.

ඊට පෙර ඇය, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ‘ඇන්තනි බ්ලින්කන්’ ද හමු වී තිබෙනවා.

එහි දී ඇය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිනිය ලෙස පත්වීම, ගෞරවයක් ලෙස සළකන අතර, ලක් රජය, සිවිල් සමාජය සහ මෙරට ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

ආර්ථිකයන් ගොඩනැංවීම සහ ගවේෂණය, දෙරටේ අගයන් හුවමාරු කරගැනීම මෙන්ම ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළා.

කොරියානු සම්භවයක් සහිත ‘ජූලි චන්’ චීනයේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරියක ලෙස කටයුතු කළ අතර, පසුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර අර්ධගෝල කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළා.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ‘ඩොනල්ඩ් ලූ’ ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

ඊයේ (17) ඔහු වාර්තාකරුවන් අමතා ප්‍රකාශ කළේ තමන්, ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට අදහස් කරන බවයි.

පසුගිය සැප්තැම්බරයේ සිය තනතුරට පත්වීමෙන් අනතුරුව සහකාර රාජ්‍ය ලේකම් ‘ඩොනල්ඩ් ලූ’ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙරට සංචාරයේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ද්විපාර්ශවික වෙළඳාම මෙන්ම මානව හිමිකම් පිළිබඳ කරුණුවලට ප්‍රමුඛත්වයක් දෙනු ඇතැයි අපේක්ෂිත යි ෴

***************************************

චමුදිත සමරවික්‍රමට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න – පොලිසියට නියෝගයක්

(18.02.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා වු විශේෂ කොට්ඨාසයට කැස්බෑව මහේස්ත්‍රාත් රුවන්දිකා වීරසිංහ අද නියෝග කළා.

ඉකුත් 14 වැනි දින අලුයම් කාලයේදී පිළියන්දල වෑවල නිවාස සංකීර්ණයක පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට නාදුනන මැර පිරිසක් විසින් ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කර තිබුණා.

වින්දිත මාධ්‍යවේදී චමුදිතට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට නියෝග කරන ලෙස ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා ඇතුළු නීතිඥ කණ්ඩායමක් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කර තිබෙනවා.

මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ පිලියන්දල නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ‘අපේ ජන බල පක්ෂයේ’ නායක සමන්ත පෙරේරා ගෙන් අද (18) දින පැය හතරක (4) කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

ඉකුත් 14 වෙනි දින චමුදිත ගේ පිලියන්දල නිවසට එල්ල කෙරුනු ප්‍රහාරයට දින කීපයකට ඉහතදී චමුදිත සමරවික්‍රම අපේ ජන බල පක්ෂයේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්චාවක් පවත්වා තිබුණා.

පොලිසිය විසින් සමන්ත පෙරේරාට කරන ලද දැනුම්දීමකට අනුව ඔහු පැමිණ ප්‍රකාශ ලබා දුන් බවත් එදින සම්මුඛ සාකච්ඡාවේදී කතාබහට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර එම ප්‍රකාශ සටහන් කරගත් බවත් පිළියන්දල පොලීසිය කියයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *