‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කළ රසායනික යොදා පළතුරු ඉදවීම ගැන කමිටුවක්

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කළ රසායනික යොදා පළතුරු ඉදවීම ගැන කමිටුවක්

*********************************************

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කළ රසායනික යොදා පළතුරු ඉදවීම ගැන කමිටුවක්

(18.02.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

රසායනික ද්‍රව්‍ය භාවිත කර පළතුරු ඉදවීම සම්බන්ධයෙන් තොරතුරු සොයා වාර්තා කිරීමට කමිටුවක් පත් කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඔවුන්ගේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ උපදේශක කාරක සභාවට යොමු කිරීමට නියමිත යි.

රසායනික ද්‍රව්‍ය යොදාගෙන පළතුරු ඉදවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කරුණු වාර්තා වන අතර, එහි ආසන්නතම හෙලිදරව්ව සිදු කළේ ‘හිරු සී.අයි.ඒ.’ වෙතින්.

එහි දී රසායනික ද්‍රව්‍ය යොදා මැනිං වෙළඳපොලේ කෙසෙල් ඉදවන ආකාරය අප අනාවරණ කළා.

ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් රැස්ව ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

මෙම කරුණ ආහාර පනතට යටත් වූවත්, අදාළ වරද සිදු කරන පුද්ගලයින්ට මෙතෙක් දඬුවම් ලබා දී නො මැති බව එහි දී හෙලි වූ කරුණක්.

මීට අදාළ ව කාර්මික තාක්ෂණය ආයතනය විසින් සකස් කළ වාර්තාවක් ද ඊයේ (17) පාරිභෝගික අධිකාරිය වෙත භාර දී තිබෙනවා.

එමෙන්ම, ආර්ථික මධ්‍යස්ථානවල පළතුරු ඉදවීම සම්බන්ධයෙන් පවතින ක්‍රමවේද ගැන වාර්තාවක් කැඳවීමට ද සාකච්ඡාවේ දී තීරණය කෙරුණා.

මීට අදාළ ව ඉදිරියේ දී රාජ්‍ය ආයතන දැනුවත් කර ජනතාවට නිසි මඟ පෙන්වීමක් ලබාදීමට ද එකඟත්වයකට පැමිණි බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

***************************************

මහව දී මනුෂ්‍ය ඝාතනයක්

(18.02.2022 – 06:54 +0530 – hirunews.lk/sinhala)

මහව පොලිස් වසමේ බලගොල්ලාගම ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් බෑනා විසින් ඔහුගේ මාමා හට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සිදුවීමක් වාර්තා වනවා.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60 ක බලගොල්ලාගම – බලල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ව අද (18) දින මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නි‍යමිත යි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මහව පොලිසිය විසින් සිදු කෙරෙනු ලැබෙ යි ෴

***************************************

නිකවැරටියේ දී මාරක රිය අනතුරක්

(18.02.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය පොලිස් වසමේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ ගල්කන්ද හන්දියේ දී රිය අනතුරක් සිදු වී තිබෙනවා.

පුත්තලම සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලො‍රි රථයක් ඉදිරියෙන් ගමන් ගත් පාපැදියක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට යි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මිය ගිය බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 55 ක නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රථ රියදුරුගේ අපරීක්ෂාකාරී බව අනතුරට හේතු ව බවට වාර්තා වන අතර, නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර උඩවලව පොලිස් වසම රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ මිරිස්වැල්පත හංදිය අසල දී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 31 ක කුංකම ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ටිපර් රථයක් හා විරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටීමෙනු යි මෙම අනතුර සිදු වී ඇත්තේ.

උඩවලව පොලිසිය පරීක්ෂණ සිදු කර යි ෴

***************************************

නිමල් ලන්සා කලකිරීම ගැන හිරුට කියයි

(18.02.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

යළිත් වරක් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කළා.

ඒ, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මෙවර අයවැයෙන් රාජ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 10 ක මුදල්, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදාහැරීමට එහි ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ යි මෙලෙස ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවට වාර්තා වුයේ.

එසේම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම ද මෙම තීරණයට එක් හේතුවක් වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

***************************************

පෞද්ගලික අංශයෙන් ජාතික පද්ධතියට මෙගවොට් 300 ක විදුලිය

(18.02.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපය තුළ ලංකා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මෙගවොට් 300 ක පමණ ධාරිතාවක් ලබාගැනීමට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන වරින්වර හිඟවීම හේතුවෙන් මෙරට ස්ථාවර විදුලි සැපයුමට පසුගිය දිනවල දැඩි බලපෑමක් එල්ල වුණා.

එවන් පසුබිමක් තුළ ඉදිරි විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා මාස 03 ක කාලයක් තුළ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලය උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියා.

එහෙත්, ඊට අවසර හිමිවූයේ නැහැ.

කෙසේ වෙතත්, මේ වනවිටත් බලාගාර කිහිපයක් අක්‍රීයව පවතිනවා.

මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කැලණිතිස්ස, සොජිට්ස් යන බලාගාර මෙලෙස ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අර්බුදයට ලක්ව තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබිය දී තෙල් සංස්ථාවෙන් ඉන්ධන නො ලැබෙන පසුබිමක විදුලිබල මණ්ඩලය තීරණය කළේ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඍජුව ලබාගැනීමට යි.

කෙසේ වෙතත්, ආණ්ඩුව නියෝජනය කරන ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලින් එම තීරණයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මේ අතර, ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමක් සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි කතාබහක්.

ඉන්දීය ඔයිල් සමාගම පසුගිය දා පෙට්රල් සහ ඩීසල් මිල ඉහළ දැමුවද තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ ඔවුන් මිල ඉහළ නො දමන බවටයි.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් සංස්ථාව දෛනික ව ලබන අලාභය ඉහළ යෑමත් සමඟ එය තවදුරටත් දරාගත නො හැකි බැවින් කඩිනම් මිල ඉහළ නැංවීමක් ඉල්ලා මේ වනවිටත් බලශක්ති අමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (17) හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ, තෙල් සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල බවට එය පත්වනු ඇති බවයි.

මුදල් අමාත්‍යාංශය සමඟ පාරිභෝගිකයාට අවම පීඩනයක් ඇතිවන පරිදි මිල ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියා.

අමාත්‍ය උදය ගම්මන්පිල විසින් අද (18) දිනයේ දී ඊට අදාළව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතයි ෴

***************************************

පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනය කෙරෙයි

(18.02.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ආරවුලක් මත පොලිස් කොස්තාපල්වරයෙකු තංගල්ල – විතාරන්දෙනිය ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වී තිබෙනවා.

සංවිධානාත්මක ලෙස පැමිණි පිරිසක් මෙලෙස පහර දී ඝාතනයට ලක් කර තිබුණේ, අධිවේගී රථවාහන අංශයේ කසාගල පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයෙක්.

මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ යාබද ඉඩමේ නිවසක පදිංචි කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරන එහි හිමිකරු අතර කලක සිට පැවති ආරවුලක් ඝාතනයට මුල්වී තිබෙනවා.

ඝාතනය සිදු වූ ඊයේ (17) දින රාත්‍රියේ හෝටල් හිමියා සාදයක් පවත්වා ඇති අතර ඊට 15 දෙනෙකු පමණ එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

බීමතින් සිටි මේ පිරිස පොලිස් කොස්තාපල්වරයාගේ නිවසට කඩා වැදී අමානුෂික ලෙස පහරදී පසුව සිය ඉදිකරමින් පවතින හෝටල් පරිශ්‍රය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් යළි පහර දී තිබෙනවා.

එහිදී මෙම කොස්තාපල්වරයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ හෝටල් හිමිකරු මෙන්ම යාබද ඉඩමේ කාන්තාව ද ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන්.

එමෙන්ම මහව – බලගොල්ලාගම ප්‍රදේශයේදී බෑනා විසින් සිය මාමාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් ඊයේ (17) රාත්‍රියේ වාර්තා වුණා.

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගෙන මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර ඉතාලියේ මිලානෝ නුවරදී 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් තම මව ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

නාත්තන්ඩිය මාරවිල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස සිය පුත්‍රයා අතින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු ඉතාලි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ වසර කිහිපයක සිට සිය සිරුරට ආරූඪ වන භූතයෙකු වෙනුවෙන් තමන් පහන් දල්වා පුද පූජා පවත්වන බවයි.

එම බලවේගය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරු පාපොච්චාරණය කර ඇති බව සඳහන්.

මේ අතර කුරුණෑගල – කළුගමුව හන්දියේ බස්නැවතුම්පල අසල එළවළු වෙළඳසැලක් වැටලීම් සඳහා පැමිණි නිලධාරින් තුන්දෙනෙකුට (3) පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක හා ප්‍රමිති සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරීන් දෙදෙනෙකු (2) හා නිලධාරිනියක් (1) මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව සඳහන්.

පහරදුන් කළුගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් ඔවුන්ට ද තුවාල සිදු වී ඇති බව පවසමින් රෝහල් ගතව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (18) ඔවුන් කුරුණෑගල මහාධිකරණයේ දී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

***************************************

‘ගෝල් ටෙක්නෝ පාර්ක්’ ගාලු තාක්ෂණික උද්‍යානය ජනාධිපතිගේ නිරීක්ෂණයට

(18.02.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – වලහන්දූව ප්‍රදේශයේ ඉදිකෙරෙන ‘ගෝල් ටෙක්නෝ පාර්ක්’ නම් ගාලු තාක්ෂණික උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගීම අරමුණු කරගනිමින් දිවයින පුරා තාක්ෂණික උද්‍යාන 05 ක් ඉදිකිරීමට නියමිත යි.

ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑලිය සහ හබරණ ප්‍රදේශවල මෙම තාක්ෂණ උද්‍යාන ඉදිකෙරෙනු ඇති. ගාල්ල – වලහන්දූව ප්‍රදේශයේ ඉදිකෙරෙන තාක්ෂණ උද්‍යාන භූමියේ ව්‍යාපෘති පුවරුව ඊයේ (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විවෘත කෙරුණා.

2023 වසරේ මැද භාගය වනවිට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

ෆයිව්-ජී (5G) සන්නිවේදනය සහිත නවීන තාක්ෂණ පහසුකම්, නැනෝ පර්යේෂණ ආයතන, විනෝදාස්වාද ක්‍රියාකාරකම් හා ක්‍රීඩා මෙන්ම මානසික හා ශාරිරික විවේක මධ්‍යස්ථානවලින්ද මෙම තාක්ෂණ උද්‍යාන සමන්විත වනවා.

මේ අතර, නවීකරණය කරන ලද ගාල්ල ධර්මපාල උද්‍යානය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ඊයේ (17) ජනතා අයිතියට පත් කෙරුණා.

නිසි නඩත්තුවක් නො මැති ව විනාශයට පත්වෙමින් තිබූ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ධර්මපාල උද්‍යානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නවීකරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මඟ ගාල්ල – අක්මීමන – හියාරේ ජලාශය අසල දී ජනාධිපතිවරයා වෙත වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පිළිගන්වනු ලැබුවා.

‘සරුසාර කිතුලයි – තිරසාර රටයි’ යන්න තේමා කරගනිමින් එළිදැක්වුණු එම ඉදිරි ගමන් මග යටතේ කිතුල් පැණි නිෂ්පාදනය සඳහා ‘ශ්‍රී ලංකා ප්‍රමිත’ හඳුන්වා දෙමින් ප්‍රමිති සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමද එහිදී සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

***************************************

චීනය නිසා සමස්ත ආසියාව ම වෙනසකට ලක් වෙලා – අගමැති

(18.02.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

චීනය නිසා අද වනවිට සමස්ත ආසියාව ම වෙනසකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65 ක් සපිරීම සහ රබර් – සහල් ගිවිසුමට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (17) පැවති සමරු උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා – චීන තානාපති සබඳතාවල හැටපස් වන (65) සමරුව සහ චීන ශ්‍රී ලංකා රබර්, සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් වන සමරු උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ (17) පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙම සැමරුම් උලෙළට දේශපාලන පක්ෂ නායකයින්, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වන අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වුණා.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතා සැමරුම් කමිටුව විසිනු යි මෙම උලෙළ සංවිධාන කරනු ලැබ තිබුණේ ෴

***************************************

සංචාරකයින් ඉලක්ක කරගත් දුම්රිය සේවා කිහිපයක් ඇරඹේ

(18.02.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා අතිසුඛෝපභෝගී විශේෂ නව දුම්රිය කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු දුම්රිය ලබන මාර්තු මස සිට මහනුවර සහ ඇල්ල අතර ධාවනය කිරීමටයි තීරණය කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ෴

***************************************

දුම්රියක් පීලිපැන ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(18.02.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රඹුක්කන සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පාලක මැදිරිය සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *