අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි

අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි

*********************************************

අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි

(17.02.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala)

හොරණ – කඳන ප්‍රදේශයේ කාන්තාවක් භාරයේ සිටි 7 හැවිරිදි දරුවෙකු අහසට වෙඩි තබා පැහැරගෙන ගොස් තිබෙනවා.

මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘හොරණ නීලක’ නැමැත්තා මෙලෙස පැහැරගෙන ඇත්තේ, සිය නැන්දම්මා භාරයේ සිටි ඔහුගේ දරුවා බවයි පරීක්ෂණ පවත්වන උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

සැකකරු මීට දින කිහිපයකට පෙර සිය බිරිඳගේ අත් පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා දමා තිබූ අතර, ඔහුගේ බිරිඳ මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

එම සිද්ධියට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදු කරමින් පවතින අතරතුර ඊයේ (16) රාත්‍රියේ මෙම පුද්ගලයා පැමිණ මෙලෙස අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මතුගම – බාලිකා පාර ප්‍රදේශයේ නිවසක සිටි තිදරු මවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

යතුරුපැදියකින් මුහුණු ආවරණය කර හෙල්මට් පැළදි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ, පෙරේදා රාත්‍රී කාලයේදියි.

මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා මතුගම නගරයේ රන් ආභරණ වෙළදසලක හිමිකරුවෙකු වන අතර, ඔහු ඝාතනය කිරීම සඳහා මෙලෙස පැමිණ ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ශාන් අරෝෂ්’ හෙවත් ‘මතුගම ශාන්’ නැමැත්තාගේ සාමාජිකයින් පිරිසක් බවට අනාවරණ වී තිබෙනවා.

මිය ගිය කාන්තාව සුනඛයාට කෑම ලබාදීම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ වෙඩික්කරුවන් නිවසට ඇතුළු වී ඇති අතර, එම අවස්ථාවේ අදාළ කාන්තාව නිවසේ සිහිසුන්ව ඇද වැටීමෙන් පසු ඇය වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වුණා ෴

++++++++

අහසට වෙඩි තබා සිය දරුවා පැහැර ගත් හොරණ නීලක පොලිස් වෙඩි පහරින් මරුට

(17.02.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

T56 ගිනි අවියකින් අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගිය, මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘ඊශ්වරගේ දොන් නීලක සඳරුවන්’ හෙවත් ‘හොරණ නීලක’ නැමැත්තා හොරණ – අඟුරුවාතොට ප්‍රදේශයේදී පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඔහු සැඟව සිටි නිවසක් අද (17) දහවල් වැටලූ අවස්ථාවේ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

හොරණ – කඳන ප්‍රදේශයේ කාන්තාවක් භාරයේ සිටි 7 හැවිරිදි දරුවෙකු අහසට වෙඩි තබා මෙලෙස පැහැරගෙන ගොස් තිබුණා.

මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘හොරණ නීලක’ නැමැත්තා මෙලෙස පැහැරගෙන ඇත්තේ, සිය නැන්දම්මා භාරයේ සිටි ඔහුගේ දරුවා බවයි පරීක්ෂණ පවත්වන උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

සැකකරු මීට දින කිහිපයකට පෙර සිය බිරිඳගේ අත් පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා දමා තිබූ අතර, ඔහුගේ බිරිඳ මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

එම සිද්ධියට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදු කරමින් පවතින අතරතුර ඊයේ (16) රාත්‍රියේ මෙම පුද්ගලයා පැමිණ මෙලෙස අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.

සැකකරු හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ නිවසක් තුල පැහැර ගනු ලැබූ දරුවා රඳවාගෙන සිටින බවට පරීක්ෂණ පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද (17) දහවල් එම නිවස වටලා තිබෙනවා.

එහිදී එම පුද්ගලයා පොලිසියට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දැනුවත් කර ඇතැයි සඳහන්.

පසුව විශේෂ කාර්ය බලකායේ ක්ෂණික ප්‍රහාරයක යතුරුපැදි කණ්ඩායම් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ට ද සැකකරු නිවස තුල සිට වෙඩි තබා තිබෙනවා.

අනතුරුව අදාළ නිවසට ඇතුලු වූ නිලධාරීන් ක්ෂණිකව ප්‍රති ප්‍රහාර එල්ලකර ඇති අතර එහිදී සැකකරු මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

‘නීලක’ නම් මෙම සැකකරු අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට ද අවශ්‍ය කර සිටි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

නීලකගේ දරුවා මිතුරෙකු විසින් පොලිසියට භාර දෙනු ලබයි

(17.02.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී මියගිය ‘හොරණ නීලක’ විසින් පැහැරගෙන ගොස් තිබූ ඔහුගේ දරුවා මිතුරෙකු විසින් හොරණ පොලිසියට භාරදී තිබෙනවා.

සැකකරු මෙම වෙඩි හුවමාරුවට පෙර දරුවා මිතුරාට භාරදී තිබී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

T56 ගිනි අවියකින් අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගිය, මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘ඊශ්වරගේ දොන් නීලක සඳරුවන්’ හෙවත් ‘හොරණ නීලක’ නැමැත්තා හොරණ – අඟුරුවාතොට ප්‍රදේශයේදී පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත් වුණා ෴

***************************************

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(17.02.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සඳහා ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වන දායි.

ඊට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යි ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අද (17) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයට කැඳවනු ලැබුවේ.

ඒ අනුව ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අද (17) පෙරවරු 09:45 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළා ෴

***************************************

අයි.ඕ.සී. ඉන්ධන ගැනීමේ තීරණයට, තෙල් වෘත්තීය සමිති විරුද්ධ වෙයි

(17.02.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ආනයනය කිරීමට බලයක් නොමැති බව ඛනිජ තෙල්, වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසනවා.

අද (17) මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ, ඊට තම සංගමය ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල විරෝධය පළ කරන බවයි.

මේ අතර, මාස එකහමාරක (1½) කාලයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන එකවර ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ (16) මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, විදුලිබල වෘත්තීය සමිති චෝදනා කළේ, විදුලිබල මණ්ඩලය, ලංකා අයි.ඕ.සී. සමාගම හරහා ඉන්ධන මිල දී ගැනීමෙන් අවසානයේ මෙරට තාප විදුලි බලාගාර එම සමාගම සතුවිය හැකි බවයි.

මේ අතර, ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය අවස්ථාවල විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අවසර ලබා නොදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කර තිබුණ ද ඊට විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ නව සභාපති අනිල් රංජිත් ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ ඉන්ධන අවසන් වුවහොත් සහ ජල විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

එමෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂ ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, උමාඔය ව්‍යාපාරය ආරම්භ වූයේ නම් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි.

මේ අතර, කොළඹ ඇතැම් සිපෙට්කෝ ඉන්ධනහල්වල ඉන්ධන නො මැති වීම හේතුවෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල්වල ඉන්ධන ලබා ගැනීම සඳහා අද (17) දිනයේ දී පෝලිම් දක්නට ලැබුණා.

***************************************

රන්ජන් රාමනායක දේශපාලන පළි ගැනීම් කොමිසමට රැගෙන එයි

(17.02.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක අද (17) පෙරවරුවේ දේශපාලන පළි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශය හමුවට බන්ධනාගාර බස් රථයකින් රැගෙන එනු ලැබුවා.

ඒ, 2015 – 2019 අතර යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළි ගැනීම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුගෙන් ලබා ගත් ප්‍රකාශවල වාර්තා කියවා බැලීම සදහායි.

මේ වන විටත් ඔහු දේශපාලන පළි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශයේ රැඳී සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ ෴

***************************************

ඩෙංගු යළි හිස ඔසවයි

(17.02.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක් අධි අවදානම් කලාප ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය නම් කර තිබෙනවා.

පෙබරවාරි 01 වනදා සිට 06 වන දා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 925 දෙනෙකු වාර්තා වී ඇති අතර, 07 වන දා සිට 13 වන දා දක්වා කාලය තුළ රෝගීන් 634 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.

ඉන් සියයට 51 ක් රෝගීන් බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

***************************************

කරාපිටියේ ළමා පිළිකා ප්‍රතිකාර ඒකකය වැසේ

(17.02.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත විශේෂ ළමා පිළිකා ප්‍රතිකාර ඒකකය වැසී ගොස් තිබෙනවා.

දකුණු පලාත තුළ ස්ථාපිත එකම ළමා පිලිකා රෝග ප්‍රතිකාර ඒකකය මෙය වන අතර, 2007 වසරේ සිට මේ දක්වා ඉන් ප්‍රතිකාර ගෙන ඇති සංඛ්‍යාව අතිමහත් බවයි රෝහල් කාර්ය මණ්ඩලය සදහන් කළේ.

ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය සියලු පහසුකම සහ හෙද නිළධාරීන්ගෙන් ද සමන්විත මෙම ඒකකය මගින් 2021 වසරේ සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව ප්‍රතිකාර කිරීම් සිදු කර තිබෙනවා.

කෙසේ හෝ හැකි ඉක්මනින් සිය දරුවන්ගේ ජිවිත අනතුරේ නොදමා පිළිකා ඒකකයට අවශ්‍ය වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙසයි පිළිකා රෝගයෙන් පිඩා විදින දරුවන්ගේ දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

කළු ගල් කැඩීමට එරෙහි ව ආනමඩුවේ දී විරෝධතාවක්

(17.02.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ආනමඩුව – රඹාවැව ප්‍රදේශයේ කළු ගල් කැඩීමේ ස්ථාන 5 කට එරෙහිව ගම්මාන කිහිපයක ජනතාව අද (17) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් පුත්තලම – ආනමඩුව මාර්ගය රඹාවැව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

***************************************

යාපනය සරසවි සිසුන් විරෝධතාවයක

(17.02.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල පරිපාලනය සිදු කරන අනවශ්‍ය බලපෑම් නතර කරන ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (17) දහවල් විරෝධතාවයක නිරත වුණා.

විශ්වවිද්‍යාල ගේට්ටුව වසා දමමින් සිසුන් විරෝධාතාවයෙන් නිරත වු අතර ඔවුන්, ආචාර්යවරුන්ට සහ අනෙක් සිසුන්ට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට ඉඩ ලබා නොදුන් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

සාකච්ජා මාර්ගයෙන් විසදුම් ලබාදීමට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එකඟත්වය පළ කළද ඊට සිසුන් කැමැත්ත පළ කර නැහැ.

සිසුන්ගේ විරෝධය හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා ෴

***************************************

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා කේබලයක් සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(17.02.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා කේබලයක් සොරාගත් සහ ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණි පාලමට පහලින් සවිකර තිබු රුපියල් 56,000 ක් වටිනා අදාළ සංඥා කේබලය සමග සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් අවුරුදු 42 සහ 48 යන වයස්වල පසුවනවා ෴

***************************************

මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

(17.02.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීම අද (17) පැවැති අවස්ථාවේ දී එහි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

පසු ව එය පාලනය කිරීමට පොලිසිය කැඳවීමට ද නගර සභා ලේකම්වරයාට සිදු වූ බව වාර්තා වනවා.

අද (17) උදෑසන නගරාධිපතිවරයාට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසින් පිරිසක් නගර සභා භූමිය තුළ දී විරෝධතාවක් පවත්වා පසු ව එම පිරිස සභාව ගර්භය තුළට ඇතුළුවීමට උත්සාහ දරා තිබුණා.

පසුගිය දා කාන්ති කොඩිකාර මන්ත්‍රීවරියට සභාපතිවරයා පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමිනු යි ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙලෙස නිහඬ විරෝධතාවක නිරත වුණේ.

පසු ව එම පිරිස මාසික සභා රැස්වීම පැවැති ස්ථානයට යාමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය මැදිහත් වි එය වළකා තිබෙනවා.

එහෙත් පසු ව එහි සිටි එක් කාන්තාවක් සභාව පැවැත්වෙන පරිශ්‍රයේ ගැලරියට යාමට උත්සාහ කිරීමේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගත් බව වාර්තා වනවා.

මෙහි දී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා මහරගම පොලිසියේ නිලධාරින් නගර සභා පරිශ්‍රයට කැඳවීමට ලේකම්වරයා පියවර ගෙන තිබු අතර, පසු ව පොලිස් නිලධාරීන් කාන්ති කොඩිකාර මන්ත්‍රීවරිය සහ ලේකම්වරයා සමග සාකච්ඡාවක් සිදුකොට තත්ත්වය පාලනය කිරීමට යි පියවර ගෙන ඇත්තේ.

මේ අතරතුර දී විනාඩි හතළිස් පහකට සභාව කල් දැමීමට ද සිදු වී තිබෙනවා ෴

***************************************

හෙද පරිපූරකයන් වැඩට එද්දී, වෛද්‍යවරුන් වර්ජනයකට සැරසේ – අවසන් තීරණය ඉරිදා

(17.02.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වන දා සංකේත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අද (17) පැවති මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංගණය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් සමස්ත රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් රජය කටයුතු කිරීමට එරෙහිව මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, මධ්‍යම කාරක සභාව ගත් සංකේත වර්ජන ක්‍රියාමාර්ගය පිළිබද තීරණය ලබන ඉරිදා (20) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව වෙත යොමු කර අවසන් තීන්දුවකට එළඹෙන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන් මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයකට සැරසෙන්නේ හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් පසුගියදා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර අද (17) යළි සේවයට වාර්තා කිරීමෙන් අනතුරුවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *