ගම්පහ ටියුෂන් පන්තියක කාන්තා වැසිකිළියේ කැමරාවක්

ගම්පහ ටියුෂන් පන්තියක කාන්තා වැසිකිළියේ කැමරාවක්

*********************************************

ගම්පහ ටියුෂන් පන්තියක කාන්තා වැසිකිළියේ කැමරාවක්

(17.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ප්‍රසිද්ධ ආයතනයක කාන්තා වැසිකිළියේ කැමරාවක් සවි කර තිබීමේ සිද්ධියට අදාළ ව එහි පන්ති පැවැත්වීම තහනම් කිරීමට අද (17) පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

ගම්පහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ගම්පහ නගරාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවයි.

ඒ අනුව නගරාධිපතිවරයාට පවතින බලතල අනුව විමර්ශන අවසන් වන තෙක් අදාළ ආයතනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.

එමෙන්ම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිට පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය මගින් සිදු කරනවා.

උසස් පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති පවත්වන එම ආයතනයේ ගැහැණු ළමයින්ගේ වැසිකිලියේ සවිකර තිබිය දී නවීන තාක්ෂණයෙන් යුත් කැමරාවක් හමුවුනේ පසුගිය සතියේදී යි.

ඒ සිසුවියකගේ මවක විසින් පොලීසිය වෙත කල පැමිණිල්ලකට අනුවයි.

එහි දර්ශන ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් නැරඹිය හැකි වන පරිදි නව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් අදාළ කැමරාව සවි කර තිබූ බවට යි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 15 ක් පමණ ලබා ගෙන තිබෙනවා.

අදාළ ආයතනයේ හිමිකරුගෙන්, ගුරුවරුන්ගෙන් සහ උපකාරක පන්ති වලට සහභාගී වන සිසුන්ගෙන් එම ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියට අදාළව තවත් සිසුන් 5 දෙනෙකු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද (17) ගම්පහ පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව සිසුන් පිරිසක් විසින් අදාළ කැමරාව සවි කරන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත සැකකරුවෙකු හඳුනාගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිව නැහැ ෴

කාන්තා වැසිකිළියේ කැමරාව, සවිකළ සැකකරු හඳුනා ගැනෙයි

(17.02.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ප්‍රසිද්ධ ආයතනයක කාන්තා වැසිකිළියේ කැමරාවක් සවි කර තිබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් ඔහුගේ අනන්‍යතාවය හෙළි කළ නොහැකි බව පරීක්ෂණ මෙහෙය වන නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී සදහන් කළා.

ගම්පහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ නගරාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවයි.

ඒ අනුව නගරාධිපතිවරයාට පවතින බලතල අනුව විමර්ශන අවසන් වනතෙක් අදාළ ආයතනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.

එමෙන්ම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිට මෙහෙය වනු ලබන්නේ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය මගින්.

ගම්පහ ටියුෂන් පන්තියේ වැසිකිලියක සැඟවූ කැමරාව, රහස් පොලීසියට

(17.02.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියේ තිබී හමුවු කැමරාව වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට භාරදීමට නියමිත බව පරීක්ෂණ මෙහෙයවන නිලධාරියෙකු ප්‍රකාශ කළා.

මේ වනවිට විමර්ශන අවසන් වන තුරු අදාළ උපකාරක පන්තිය ද වසා දමා තිබෙනවා.

***************************************

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්

(17.02.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) පස්වරුවේ උප්පුවේලි පොලිස් වසමේ නිලාවේලි සී විව් හෝටලය අසල වෙරළ තීරයේ දී දිය නෑමට පැමිණි පිරිසක් අතරින් එක් (1) අයෙකු දියවැලකට හසු වීමෙන් අතුරුදන් ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 21 ක් වන තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

මාතලේ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසකගෙන් එක් (1) අයෙකු දියවැලකට හසුව ගසාගෙන යාමේදී මිතුරන් දෙදෙනකු (2) විසින් ඔහු බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඔවුන් තිදෙනාම (3) දියඹට ගසාගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් විසින් ඉන් දෙදෙනෙකු (2) බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර, කල්තොට – කුඩා දූවිලි ඇල්ලේ දිය නෑමට පැමිණි කහවත්ත ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවකයන් පිරිසක් අතරින් එක් (1) අයෙකු ද දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

ඊයේ (16) උදෑසන හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළමුණ ඔය අසලදී යතුරුපැදියක් රියදුරුට පාලනය කරගත නොහැකිව පෙරලී යාමන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු හෙට්ටිපොල රෝහලට ඇතුළත් කැ ඇති අතර, එහි දී බරපතල තුවාල ලබා සිටි පසුපස ගමන්ගත් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂ්‍යට පත්ව ඇත්තේ වයස අවුරුදු 22 ක් වූ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි හා නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බවයි පොලිසිය පසන්නේ.

මේ අතර, ඊයේ (16) උදෑසන සිදු වු තවත් රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

හලාවත කුරුණැගල මාර්ගයේ විලවත්ත මාර්ග බාධකය අසලදී හලාවත දෙසට ධාවනය වූ වෑන් රියක මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් තුවාල ලැබූ එම පුද්ගලයා බිංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෑන්රථ රියදුරුගේ අපරික්ෂාකාරි සහ නොසැලකිළිමත් රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති ෴

***************************************

අපි නිසා අර්ථසාධකය බේරුණා – සජිත්

(17.02.2022 – 09:17 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන ආණ්ඩුව විටින් විට අලුත් තෑගි ජනතාවට ලබාදෙන අතර, ආණ්ඩුව ලබාදෙන අලුත් ම තෑග්ග වන්නේ, ඉදිරි මාස කිහිපය සඳහා විදුලිය කැපීමේ තෑග්ග බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මීට පෙර අවස්ථාවල දී ආණ්ඩුව ජනතාවට පොහොර කප්පාදුව, පිපිරෙන ගෑස් ටැංකි වැනි තෑගි ජනතාවට ලබා දුන්නා යැ යි ද විපක්‍ෂ නායකවරයා අවධාරණය කළා.

සෞභාග්‍යයේ දැක්ම වෙනුවට අන්ධකාරයේ දැක්ම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති බව යි ඔහු පවසන්නේ.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ ජාතික ආරක්‍ෂාව සහ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන බව කියමින් යැ යි විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කරන අතර, සිදුවී ඇත්තේ, ආණ්ඩුවෙන් ජනතාවට ආරක්‍ෂා වීමට සිදුවීම බව ද ඔහු සඳහන් කළා.

මේ වනවිට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස යනාදී සියලු අයිතිවාසිකම් ආණ්ඩුව විසින් උල්ලංඝණය කරමින් සිටින බවත් ජනතා අයිතිවාසිකම් විසිහතර පැයේදී ම උල්ලංඝණය කරන ආණ්ඩුවක් වර්තමානයේ බලයේ සිටින බවත් විපක්‍ෂ නායකවරයා පවසනවා.

සියයට 25 ක අධිභාර බද්දට ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ්. අරමුදල් ඇතුළු අරමුදල් එකොළහක් (11) අයත් නොවන බව අන්තිමට මුදල් ඇමැතිට කියන්නට සිදුව ඇති බව පැවසූ විපක්‍ෂ නායකවරයා, අර්ථසාධකයට තට්ටු කරන්නට ගත් උත්සාහයෙන් ආණ්ඩුව පසු බැස්සේ, සමඟි ජන බලවේගයේ අරගලය නිසා බව යි අවසාන වශයෙන් සඳහන් කර සිටියේ.

***************************************

පිලිස්සී මියගිය පොලිස් සැරයන්වරියගේ දරුවන් වෙනුවෙන් මුදල්

(17.02.2022 – 09:30 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල පොලිස් කොට්ඨාසයේ ගෝනපිනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී පසුගියදා පිලිස්සීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්වරියගේ දරුවන් දෙදෙනා (2) හට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙනයාම සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කෙරුණා.

ඒ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී රුපියල් ලක්ෂ දහයක් (10,00,000) වටිනා චෙක්පත් සහ ත්‍යාග දරුවන් වෙත ලබාදීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකය සහ පොලිස් පවුල් සුභසාධක සංගමය එක්ව කටයුතු සංවිධාන කර තිබුණා.

***************************************

සහල් කන්ටේනරයක් නවතා තිබූ බස් රියක ගැටී පෙරළෙයි

(17.02.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala)

මහනුවර මාතලේ මාර්ගයේ ගමන් කරමින් තිබූ සහල් පටවා ගත් කන්ටේනර් රථයක්, අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය මැද පෙරළී ගොස් අනතුරක් සිදු ව තිබෙනවා.

අද (17) වැනි දා උදේ හයයි තිහට (06:30) පමණ විශාල ශබ්දයක් නඟමින් මෙම අනතුර සිදු වූ බව යි ප්‍රදේශවාසින් පවසන්නේ.

මෙම කන්ටේනර් රථය ගැටීම හේතුවෙන් නවතා තිබූ බස් රථයට දැඩි හානි සිදු ව ඇති අතර, කන්ටේනර් රථයේ රියදුරු ද තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ඇති.

***************************************

විදුලි රැහැනක් යොදා වන අලියෙකු මරණයට පත්කිරීමේ සිද්ධියකට කාන්තාවක් අත්අඩංගුවට

(17.02.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

වන අලියෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් ඔට්ටුසුඩාන් ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ වනජීවි නිලධාරීන්ගේ පැමිණිල්ලකට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි.

46 හැවිරිදි කාන්තාවගේ ඔට්ටුසුඩාන් – ඔතියමලේ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වයස අවුරුදු 8 ක් පමණ වන වන අලියෙකු මරණයට පත්වී සිටියදී මුලතිව් වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව ඔවුන් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව ඔට්ටුසුඩාන් පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකාරියට අයත් කුඹුරේ යොදා තිබූ විදුලි රැහැනක ගැටී වන අලියා මිය යන්නට ඇති බවටයි සැක පළ කරන්නේ ෴

***************************************

විදුලි රැහැනක් යොදා වන අලියෙකු මරණයට පත්කිරීමේ සිද්ධියකට කාන්තාවක් අත්අඩංගුවට

(17.02.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

වන අලියෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් ඔට්ටුසුඩාන් ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ වනජීවි නිලධාරීන්ගේ පැමිණිල්ලකට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි.

46 හැවිරිදි කාන්තාවගේ ඔට්ටුසුඩාන් – ඔතියමලේ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වයස අවුරුදු 8ක් පමණ වන වන අලියෙකු මරණයට පත්වී සිටියදී මුලතිව් වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව ඔවුන් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව ඔට්ටුසුඩාන් පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකාරියට අයත් කුඹුරේ යොදා තිබූ විදුලි රැහැනක ගැටී වන අලියා මිය යන්නට ඇති බවටයි සැක පළ කරන්නේ ෴

***************************************

සඳතැන්න පාරිසරික සංචාරක කලාපය යළි විවෘත කෙරේ

(17.02.2022 – 11:05 +0530 – hirunews.lk/sinhala)

සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දමා තිබූ නුවරඑළිය – සඳතැන්න පාරිසරික සංචාරක කලාපය යළි විවෘත කර තිබෙනවා.

ඒ, එම සංචාරක කලාපය සංචාරක ආකර්ශනීය ගමනාන්තයක් ලෙස තවදුරටත් දියුණු කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදියි.

2014 වසරේ දී විවෘත කෙරුණු සඳතැන්න පාරිසරික සංචාරක කලාපය කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතාබීජ, අර්තාපල් ගොවිපළ ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

හෙක්ටයාර 155 කින් යුත් මෙම සංචාරක කලාපය කොරෝනා වසංගතයට පෙර දෛනික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ඇති අතර, එය දියුණු කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය රුපියල් බිලියන 17.2 ක ආයෝජනයක් කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සදහන් කළේ ෴

***************************************

අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මිය යයි

(17.02.2022 – 11:44 +0530 – hirunews.lk/sinhala)

මනම්පිටිය පොලිස් වසමේ මහවැව ප්‍රදේශයේ කුඹුරක් අසල දී විදුලි සැර වැදී පුදගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරුගේ කුඹුරු ඉඩම ඔස්සේ පෞද්ගලික ආයතනයක් සඳහා විදුලි රැහැනක් ඇද ඇති අතර, මරණකරු විසින් ඒ හරහා අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

එක් අවස්ථාවක දී එහි ඇති වූ දෝෂයක් පරීක්ෂා කිරීමට යාමේ දී මරණකරුට විදුලි සැර වැදි ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 58 ක මහවැව – සෙවණපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මනම්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

සාෆිගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

(17.02.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් හා දීමනා ලබාදෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂන රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ යි.

පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව සිදු කරනු ලබන මූලික විනය පරීක්ෂණය කුරුණෑගල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව විසින් සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටියා.

කෙසේ වෙතත් වගඋත්තකරුවන් වෙනුවෙන් පෙනී සටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන කියා සිටියේ, රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් පිළිබඳ කරුණු සලකා බැලීමට අභියාචනාධිකරන්‍යට අධිකරණ බලයක් නො මැති බවයි.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යි අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව මාර්තු 04 වනදා කැඳවීමට නියෝග කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *