විදුලි බල වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

විදුලි බල වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

*********************************************

විදුලි බල වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

(16.02.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

මාස එකහමාරක (1½) කාලයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන එකවර ආනයනය කිරීමට සැළසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයල ලංකා IOC සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීම හරහා මෙරට තාපවිදුලි බලාගාර එම සමාගම සතුවීමේ අවදානමක් පවතින බවටයි විදුලි බල වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන වරින් වර හිඟවීම මෙරට ස්ථාවර විදුලි සැපයුමට පසුගිය දිනවලදී එල්ල කළේ දැඩි බලපෑමක්.

ඒ සඳහා ගෙන ඇති නව පියවර පිළිබඳ මහජන උපයෝගීතා කොමිසම පැහැදිළි කළා.

මේ අතර අවශ්‍යතාව අනුව ඉදිරි මාස 03 ක කාලයක් සඳහා අවශ්‍ය අවස්ථාවල විදුලිය කප්පාදු කිරීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් ඊට අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (15) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළ අතර ඊට ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්ද දැනුම් දුන්නා.

මෙම චෝදනා සම්බන්ධයෙන් අප මහජන උපයෝගිතා කොමිසමෙන් ප්‍රශ්න කළා.

මේ අතර මුළු රටම රට විදුලි අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක ගාල්ල සමුද්‍ර මාවතේ සහ උණවටුන ප්‍රදේශයේ ඇතැම් වීදි පහන් දිවා කාලයේත් දැල්වෙන අයුරු දක්නට ලැබුණා.

***************************************

ආනයනික සහල් නිසා දේශීය සහල් ඉල්ලුම පහත වැටේ – මිලත් අඩුවෙයි

(16.02.2022 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සහල් හේතුවෙන් දේශීය සහල් අලෙවිය සහ මිල පහළ ගොස් ඇති බව මරදගහමුල සහල් නිෂ්පාදයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති බී.කේ. රංජිත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ රජය සහල් ආනයනය කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් රැසක් ආනයනික සහල් මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි.

මෙම තත්ත්වය මත දේශීය සහල් අලෙවිය සියයට 60 කින් පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, දේශීය සහල් මිලද යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේ ෴

***************************************

ගාලු මුහුදේ ධීවර ගැටුම

(16.02.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මහ මුහුද මැද සිදු වූ ගැටුමකින් තුවාල ලැබූ ධීවරයින් පිරිසක් දින 6 ට පසු අද (16) වර වරාය වෙත ළඟා වුණා.

මෙම පහරදීම සිදුකර ඇත්තේ ඔවුන් සමඟ මුහුදු ගිය කණ්ඩායමේ ප්‍රධානියා වන අතර පසුව ඔහු වෙනත් යාත්‍රාවකින් පලා ගොස් ඇති බව සඳහන්.

කැන්ගරු බහුදින ධීවර යාත්‍රාව පසුගිය 09 වනදා මුහුදු ගොස් තිබුණේ මිරිස්ස ධීවර වරායෙන්. ඒ ගාල්ල තල්පේ ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පස්දෙනකු (5) සමගින්.

මුහුදු මැද දී යාත්‍රාවේ සිටි ධීවරයින් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.

එහිදී කණ්ඩායමේ ප්‍රධානියා අනෙක් සිව්දෙනාට (4) පහරදී යාත්‍රාවේ සන්නිවේදන උපකරණ පද්ධතියට ද හානි කොට වෙනත් යාත්‍රාවකින් පළා ගොස් ඇති බව සඳහන්.

කිසිදු සන්නිවේදන පහසුකමක් හෝ නොමැතිව දින 6 ක් තිස්සේ මහ මුහුද සමග සටන් කොට දැඩි වෙහෙසට පත්ව සිටි ධීවරයින් සිව්දෙනා (4) යාත්‍රාවද සමගින් අද (16) පෙරවරුවේ ගාල්ල ධීවර වරාය වෙත ළඟා වුණා.

සිද්ධිය සැළවීමත් සමග ඔවුන්ගේ ඥාතීන්ද ධීවර වරාය පරිශ්‍රයට රැස්ව සිටියා.

පහර කෑමෙන් සහ අධික වෙහෙස හේතුවෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයින් සිව්දෙනා රෝහල් ගත කෙරුණා.

ඔවුන්ට පහරදී පළා ගිය බව පැවසෙන සැකකරු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර ගාල්ල වරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

***************************************

ධනුෂ්කොඩි වෙරළෙන් රොන් ඉරූ දහස් ගණන් සමනලුන් දිවයිනට – සිරිපා යන සමනලුන් අඩුවෙයි

(16.02.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කළු, සුදු සහ තද රතු පැහැති වර්ණයෙන් විචිත්‍රවත් ‘ක්‍රිම්සන් රෝස්’ සමනලුන් දහස් ගණනක් ඉන්දියාවේ සිට දිවයිනට පැමිණීම සඳහා ගමන් ආරම්භ කර තිබෙනවා.

දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් හි ධනුෂ්කොඩි වෙරළේ සිට මෙලෙස සමනලුන් ශ්‍රී ලංකාවට ගමන් අරඹා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ අවසාන නැවතුම වන ධනුෂ්කොඩි වෙරළේ මල්වල සමනලුන් තත්ත්පර තිහක (30) පමණ කාලයක් හිඳ මල් පැණි බී මෙලෙස සිය ගමන ආරම්භ කරන බවටයි ඉන්දීය පරිසරවේදීන් නිරීක්ෂණය කර ඇත්තේ.

ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ මන්නාරමට කිලෝමීටර් 25 ක පමණ දුරක් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින අවම දුරක් මෙලෙස ‘ක්‍රිම්සන් රෝස්’ සමනලුන් සිය ගමන් මාර්ගය ලෙස තෝරා ගැනීමද විශේෂත්වයක්.

2016 වසරේ සිට මෙලෙස ඉන්දියාවේ සිට සමනලුන් දිවයිනට පැමිණෙන බවට නිරීක්ෂණය කර ඇති තිබෙනවා.

මෙරට සමනලුන් වර්ග 248 ක් පමණ ජීවත් වන අතර, ඉන් ශ්‍රී ලංකාවට ආවේණික සමනලුන් සංඛ්‍යාව 31 ක්.

ඒ අතරින් සමනලුන් වර්ග 60 ක් පමණ රට තුළ සංක්‍රමණය වනවා.

මේ අතර, පරිසරවේදී රාජික ගමගේ කියා සිටියේ සාම්ප්‍රදායික ව්‍යවහරේ තිබෙන ‘ශ්‍රී පාදයේ යන සමනලුන්’ මෙවර දක්නට නොමැති බවයි.

ආක්‍රමණික ශාඛ හේතුවෙන් සමනලුන්ට අවශ්‍ය ධාරක ශාක මෙන්ම පරිසර පද්ධතිය විනාශ වී යෑම මීට හේතු වන්නට ඇති බවටයි ඔහු තවදුරටත් සඳහන් කළේ ෴

***************************************

ජාතිය ගොඩනැගීමේ වගකීම සියලුදෙනා සතුයි – අගමැති

(16.02.2022 – 23:27 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයේ විනාශකාරී ප්‍රතිවිපාකවලින් පසු රට යථා තත්වයට පත්වන විට ජාතිය ගොඩනැගීමට සියලුදෙනාට යුතුකමක් ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ ‘ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස්’ හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

***************************************

ආණ්ඩුවේ හවුල් පක්ෂ හෙට (18) යළිත් රැස්වෙයි

(17.02.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලිය ලබන මස 02 වනදා ආණ්ඩුවට භාරදීමට නියමිතයි.

හවුල්කාර පක්ෂවල සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් හෙට (18) කොළඹ දී පැවැත්වෙන බවයි.

එය අමාත්‍යවරුන් වන විමල් වීරවංශගේ හෝ උදය ගම්මන්පිලගේ නිවසේ පැවැත්වීමට නියමිත යි.

පවතින ඩොලර් අර්බුදය, විදුලි සහ ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් මෙන්ම ඉහළ යන ජීවන වියදම මගහරවා ගැනීමට අදාළ කරුණු ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙම යෝජනාවලියට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පෙරේදා (15) ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ දී පැවැත්වුණා ෴

***************************************

හිරු මාධ්‍යවේදී චමුදිතගේ නිවසට පහරදීමේ සිද්ධිය ගැන විමර්ශන තවදුරටත්

(17.02.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් සී.සී.ටී.වී. කැමරා විශ්ලේෂණය සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස සහ අවට නිවාසවල සතියක පමණ කාලයක සී.සී.ටී.වී. දර්ශන මෙලෙස විශ්ලේෂණය කිරීම ආරම්භ කරන බවයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබාදීමට හිරු මාධ්‍ය ජාලය තීරණය කළා.

ඒ අනුව ප්‍රහාරය සඳහා පැමිණි සැකකරුවන් සම්බන්ධයෙන් හෝ අදාළ මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් දුරකතන අංක 077 032 2821 ඔස්සේ හිරු සී.අයි.ඒ. වෙත දැනුම්දිය හැකියි.

එලෙස තොරතුරු ලබා දෙන ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරන බවට ද අප සහතික වනවා.

එමෙන්ම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සී.සී.ටී.වී. දර්ශන 86 ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පළාගිය රථය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දෙහිවල සරණංකර මාවත දක්වා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කල බවයි පොලිසිය සඳහන් කළේ.

***************************************

හෘදයාබාධ සහ අංශභාග තත්ත්වයන්ට බූස්ටර් එන්නතේ බලපෑමක් නැහැ

(17.02.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බවට පළ වන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ප්‍රකාශ කළේ, අසත්‍ය ප්‍රකාශවලට නො රැවටී බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යුහුසුලුව කටයුතු කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (16) තහවුරු වුණා.

එමෙන්ම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,31,816 ක් දක්වා ඉහළ ගියේ තවත් කොරෝනා ආසාදිතයන් 1,217 ක් ඊයේ (16) වාර්තා වීමත් සමගයි.

තවත් කොරෝනා මරණ 25 ක් ඊයේ (16) වාර්තා වූ අතර, ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 15,899 ක් දක්වායි ෴

***************************************

අධ්‍යාපන සමූපකාර සේවකයින් අද (17) වර්ජනයේ

(17.02.2022 – 07:49 +0530 – hirunews.lk/sinhala)

තමන්ට හිමි රුපියල් දසදහසේ (10,000) දීමනාව සහ රජය පසුගියදා ලබාදුන් රුපියල් පන්දහසේ (5000) දීමනාව මෙතෙක් ලබානොදීමට එරෙහිව අද (17) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක නිරත වන බව අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති නන්දන හේවගේ කියා සිටියේ වර්ජනයට සමගාමීව කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

මීට පෙර අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 04 ක් රුපියල් දසදහසක (10,000) වැටුප් වැඩිවීමක් ඉල්ලා දින 40 ක අඛණ්ඩ වර්ජනයක නිරත වුණා.

පසු ව විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ සමූපකාර කොමිසමේ නිලධාරීන් මැදිහත්ව එම රුපියල් දසදහසේ (10,000) වැටුප් වැඩිවීම ලබාදෙන බවට වූ පොරොන්දුව මත එම වර්ජනය අවසන් වුණා ෴

***************************************

ආයෝජකයින් දිරි ගැන්වීමට මහබැංකුව සැරසේ

(17.02.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)

විදේශ තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට සුදුසුකම්ලත් ආයෝජකයින් දිරි ගන්වමින් සිටින බව මහ බැංකුව පවසනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතු මගින් ඩොලර් මිලියන 111.5 ක අරමුදලක් රැස්කරගෙන ඇති අතර, කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ ආයෝජකයින්ද ඒ සඳහා ඉදිරිපත්ව සිටියා ෴

***************************************

ඇලපාත විහාරස්ථානයක බුද්ධ ප්‍රතිමාවේ තිබූ රන් ඌර්ණ රෝම ධාතුව සොරකම් කරයි

(17.02.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ඇලපාත – කරංගොඩ – සිද්ධාර්ථෝදය පිරිවෙනෙහි හිටි බුද්ධ ප්‍රතිමාවේ තිබූ රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා රනින් නිම කළ ඌර්ණ රෝම ධාතුව කිසියම් පිරිසක් සොරාගෙන ගොස් තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මස පිළිම වහන්සේගේ තීන්ත ආලේප කටයුතු සිදුකර ඇති අතර පසුව වර්ෂාවත් සමඟ එය නතර කරනු ලැබුවා.

කෙසේ වෙතත් යළි තීන්ත ආලේප කිරීමේ කටයුතු පසුගිය 15 වන දා ආරම්භ කර ඇති අතර එහිදීයි මෙම රන් ඌර්ණ රෝම ධාතුව නො මැති බවට අනාවරණ වී ඇත්තේ.

එම ඌර්ණ රෝම ධාතුව පවුම් පහමාරක් (5½) පමණ බරින් යුක්තයි ෴

***************************************

මන්න රමේෂ්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

(17.02.2022 – 08:29 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ දී අනවසරයෙන් නීතිවිරෝධී ව කැළණි ගංගාව ආශ්‍රිත ව පතල් කැණීම සිදු කිරීම හා නීතිවිරෝධී ම්ත්ද්‍රව්‍ය අලවි කරන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්‍ය බලකාය විසින් මෙහෙයුමක් සිදු කරනු ලැබ තිබෙනවා.

එහි දී අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව යි වාර්තා වන්නේ.

මොහු ‘මන්න රමේෂ්’ නමැත්තාගේ සමීපතම ගෝළයෙකු බවට ද පොලිසිය වාර්තා කරනවා.

තව ද සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ ගෙන ආ ඔහු සන්තකයේ තබා ගෙන සිටි කේරළ ගංජා ග්‍රෑම් 235 ක් සමඟ මත් පෙති 50 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර සෝදිසි කිරීම්වල දී මහජනතාව බිය වද්දා කපා කෙටීම සදහා යොදාගත් කඩු 2 ක් ද අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙ ත්‍රීවීල් රථයේ තිබී සොයාගන්නා ලද අතර, මෙම කේරළ ගංජා අලෙවි කිරීමෙන් උපයා ගත් රුපියල් ලක්ෂයකට (1,00,000) වැඩි මුදල් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අවිස්සාවේල්ල පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

***************************************

ඇමති බන්දුල ඩුබායි යයි

(17.02.2022 – 09:00 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඩුබායි රාජ්‍යය බලා පිට ව ගොස් තිබෙනවා.

ඒ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්.

ඊයේ (16) ඩුබායි බලා ගිය අමාත්‍යවරයා, එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්‍ය තානි පින් අහමද් අල් සෙයුදි හමුවීමට නියමිත යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *